අරුණි ශපීරෝ‍ වෙතින්

විපරම් ධනවාදය සහ අනුන්ට සුදුසු දේ තීන්දු කරන්නට නළියන අය

Posted in Uncategorized by arunishapiro on ජනවාරි 21, 2019

නිර්බාධ වෙළඳාම තුලින් ජාතීන්ගේ ධනය වැඩි වර්ධනය වූ ආකාරය සවිස්තරව සහ ක්‍රමානුකූලව පැහැදිලි කළ කෘතිය පළවී වසර 91 ක් යද්දී ධනවාදය යැයි ලේබලයක් අලවා නිර්බාධ වෙළඳ ක්‍රමය වැරදියට නිර්වචනය කළ පොත අතිදුෂ්ටයන්ගේ සිත් තදින් අල්ලාගන්නට සමත්විය. ඔවුන් එහි සඳහන් කරුණු භාවිතයට ගත්තේ පවතින ක්‍රමය යටතේ දුක් විඳින දුගී දුප්පතුන්ගේ තත්වය යහපත් අතට වෙනස් කරනවා යැයි පාරට්ටු වදන් පෙරටුකර ගනිමිනි.

ඇඩම් ස්මිත් ලියූ “ජාතීන්ගේ ධනය පිළිබඳ ස්වභාවය සහ හේතු ගැන විමසීමක්” යන පොත කියවා සිය ආර්ථික ක්‍රම ඒ පරිදි හැඩගස්වා ගත් රටවල් දිගින් දිගටම සශ්‍රීක වන්නට සමත් වූහ. ඒත් එහි දැක්වූ පරිදි ලොව සියල්ලන්ගේම ජීවන තත්වයන් එතෙක් ඉතිහාසයේ ප්‍රථම වතාවට යහපත් අතට හැරීගෙන පැමිණෙමින් තිබූ බව දැනගන්නට අවස්ථාවක් ලෝක වාසී ජනතාවට අහිමි වූයේ සියල්ලන්ට දැනුමට අයිතියක් ඇතැයි කියමින් ඒ දැනුම බෙදන්නට මුල්වූ ගුරුවරුන් නිසා යැයි අද පැහැදිලිවම දකින්නට හැකියි.

අනුන්ට සුදුසු දේ මොනවාදැයි කියා තමන් දන්නවා යැයි කෙළින් කියන්නට අතිදුෂ්ටයන් ඉදිරිපත් නොවෙති. එසේ කිව්වොත් කිසිවෙක් ඔවුනට බලය පවරන්නේ නැත. ඉතින් ඒ වෙනුවට ඔවුන් නිතරම යොදාගන්නේ පවතින අසාධාරණය සහ අයුක්තිය වෙනස් කරන්නට ඔවුන් පෙනී සිටිනවා යැයි කීමයි. අසාධාරණය සහ අයුක්තිය පරදන්නට සෑම මිනිස් සිතක්ම කැමතියි. නමුත් අසාධාරණය සහ අයුක්තිය කුමක්දැයි පහදා ගන්නට අවශ්‍ය දැනුම සියල්ලන්ටම දැනුමට අයිතියක් ඇතැයි කියන අයගෙන් ලැබී නැති බව අද පැහැදිලිවම දකින්නට හැකියි.

අතිදුෂ්ටයන්ට සහාය දුන් ප්‍රයෝජනවත් මෝඩයන් විසින් ධනවාදය වැරදියට ලේබල් කරන ලද පොත අනුව අනුන්ට සුදුසු දේ මොනවාදැයි කියා නීතිමය මාර්ගයෙන් ස්ථාපිතයට සමත් වූහ. ජනතාවට ලැබෙන දැනුම මොනවාදැයි කියා නියාමනයේ යෙදෙන ගුරුවරුන් නිසා මේ කල්ක්‍රියාව සදාචාරමය වූ උසස් වෑයමක් හැටියට ලොව ජනප්‍රිය විය. අතිදුෂ්ටයන්ට සහාය වනු පිණිස තව තවත් ප්‍රයෝජවත් මෝඩයන් ලොව නන් දෙසින් බිහිවන්නට වූහ.

සදාචාරාත්මක පැත්තෙන් කිසිම ලෙසකින් සාධාරණීය කරන්නට නොහැකි බියකුරු පිළිවෙත් ක්‍රියාවට නැංවූ අතිදුෂ්ටයන් අතින් ලොව දුගී දුප්පතුන්ගේ ජීවිත යහපත් අතට වෙනස් වෙනවා වෙනුවට ඔවුන්ට ඔවුන්ගේ ජීවිත පවා අහිමි වී ගියහ. දුක්ඛිත සහ ඛේදනීය තත්වයන් වසන් කරගෙන ඉන්නට තව දුරටත් ප්‍රයෝජනවත් මෝඩයන් සහාය වූහ. ඒ ප්‍රදේශයන්හි දිවි ගලවා ගන්නට සමත් වූ ජනතාව හිටියාටත් වඩා දුප්පත් වූහ. ඒ ප්‍රතිපත්ති නිසා සලිත වී ගියද, ඒ ගැන කළ යුත්තේ කුමක්දැයි කියා අවබෝධයක් ඒ ජනතාවට නොතිබිණ.

අසාධාරණ ආර්ථිකය, සමාජ යුක්තිය, සමාජ සාධාරණය යනාදී වදන් වලින් අනුන්ට සුදුසු මොනවාදැයි තීන්දු කරන්නට රිසි වූ අතිදුෂ්ටයන්ගේ සහායට පෙරටුගාමී වෙන ප්‍රයෝජනවත් මෝඩයන් කළින් කලට ලොව බිහිවෙති.

රැකියාව, පොලිය සහ මුදල් පිළිබඳ පොදු න්‍යාය යැයි පොතක් ලියමින් නිර්බාධ වෙළඳාම අවහිර කරමින් තවමත් ගැලවෙන්නට බැරි වූ අවුල් (ණයබර) බොහොමයක් ජනිත කළ ජෝන් මේනාඩ් කේන්ස් එවැන්නෙකි.

විසිඑක්වැනි සියවසේ ප්‍රාග්ධනය නමින් පොතක් මෑතක දී ලියුවේ තෝමස් පිකෙටි නමැති ප්‍රයෝජනවත් මෝඩයා විසිනි. එය සෙසු ප්‍රයෝජනවත් මෝඩයන් විසින් ලොව ජනප්‍රිය කරන්නට දැඩි වෑයමක් ගත්හ. එහි අඩංගු වැරදි අර්ථ කථන සහ ගණිත අඩුපාඩු ගැන කළ සවිස්තරව ඉදිරිපත් කිරීම් වලට පොත ගැන වූ තරම් සැලකිල්ලක් දැක්වීමට සියල්ලන්ටම දැනුම බෙදීමට ඉදිරිපත්වන ගුරුවරුන් එතරම් වෑයමක් නොගත්හ.

නිර්බාධ වෙළඳාමට ඉඩ දිය යුතු යැයි කියන සහ අනුන්ට සුදුසු සේ තීන්දු කරන්නට පිරිසකට බාරදිය යුතු යැයි කියන යනුවෙන් ලොව සිටින දෙපිරිසකි. අතිදුෂ්ටයන්ට පාලන බලය ලැබෙන්නේ දෙවැන්නට සහාය දක්වන ප්‍රයෝජනවත් මෝඩයන් වෙතින් යැයි අවබෝධය පෑදෙන්නට ඉඩ දීමට ගුරුවරු තවමත් අකමැතියි. සමහර විට අනුන්ට සුදුසු දේ තීන්දු කරන අය ඔවුන්ගේ වේතන ගෙවන නිසාත්, ඒ අයට කරන වර්ජන සහ තර්ජන වලින් තම වේතන වැඩිකරගන්නට හැකියාව ඇති නිසාත් විය හැකියි.

නිර්බාධ වෙළඳාමට ඉඩ දුනහොත් සියල්ලන්ටම නිතිපතා වර්ජනයට ඉඩ ලැබේ. තර්ජනය අනවශ්‍යයය. ජාතීන්ගේ ධනය වැඩිවෙද්දී (ණය ගැනීම නිසා නොව) ආර්ථික දියුණුව තුලින් සැබෑ ලෙසින් සියල්ලන්ගේම වේතන වැඩිවීම සිද්ධ වේ.

ඒත් ගුරුවරු තවමත් එම සත්‍යය වසන් කරති. පවතින තත්වයන් අවුල් කරමින් අලුත් අදහසක් විදියට ගෙනෙන, මෙතෙක් අසාර්ථක වූවත් එයම එනම් අනුන්ට සුදුසු දේ තීන්දු කරන අයගේ බලය තවත් වැඩිකරන යටි අරමුණින් ඔවුනට සහාය දෙන්නට හාවඩ් සහ චිකාගෝ යන විශ්වවිද්‍යාලයන්හි දර්ශන මහාචාර්යවරියක් වන ශෝශානා සුබොෆ් විසින් විපරම් ධනවාදය නමින් අලුත් පොතක් ඉදිරිපත් කර ඇත.

විපරම් ධනවාදය (surveillance capitalism) යනු චර්යාවාදී දත්ත සඳහා මිනිස් අත්දැකීම් සොරාගැනීම බව ඇයගේ ඉදිරිපත් කිරීමයි. ගූගල්, ෆේස්බුක්, ඉන්සටග්‍රෑම්, ටම්බලර් යනාදී තැන්වලට ජනතාව කැමැත්තෙන් එකතු වී සිය මත, ඡායාරූප සහ අත්දැකීම් බෙදා ගැනීමේ දී ඒවා සඳහා කිසිදු ගාස්තුවක් නොගෙවා ඔවුන්ගේ චර්යාව පිළිබඳ වූ දත්ත එකතු කරගන්නට මේ දැවැන්ත ධනවාදී සමාගම් සමත් වෙති.

ඒ එකතු කරගන්නා වූ දත්ත සම්භාරය යාන්ත්‍රික බුද්ධියකින් මෙහෙයවා නිෂ්පාදන ගැන අනාවැකි කියන්නට අවස්ථාවක් මේ දැවැන්ත ධනවාදී සමාගම් අනතුරුව සමත් වෙතැයි ඇයගේ අවලාදයයි. ඔව්, මේ දත්ත එකතු කරගැනීම තුලින් මේ දැවැන්ත ධනවාදී සමාගම් සපයන සේවාවන් හි දියුණුවක් සිදුවන බව ඇය කෝන්තරකාරීව (grudgingly = මේ වචනයට හරියන සිංහල වචනයක් මතකයට ආවේ නැහැ) පිළිගනියි. එම සේවා දියුණුව සපයනවා හැරෙන්නට ඔවුන් එකතු කරගන්නා දත්ත “චර්යාවාදී අතිරික්තය” යැයි හැඳින්වීම තුලින් ඇයගේ කෝන්තරකාරී හැදියාව මම දකිමි.

ෆේස්බුක් වැනි තැනක දැන්වීමක් නොදැමූ කිසියම් හෝ ව්‍යාපාරික වෑයමක් ගත් අයෙක් අද සොයාගැනීම අසීරුය. ඉතින් ඒ නිසා ඒ ගැන අත්දැකීමක් තියන සියල්ලන්ටම පැහැදිලිවම අවබෝධ වූ එක් කාරණයක් ඇත. දත්ත එකතු කිරීම සහ යාන්ත්‍රික බුද්ධි තාක්ෂණයෙන් ලැබෙන අනාවැකි මත පමණක් තමන් අලෙවිය වැඩි වූයේ නැත.

හදන්නේ මොනවා ද, කොපමණක් ද, කුමන අය සඳහා ද, කුමන මිලකට අලෙවි කරත හැකිද යනාදී ප්‍රශ්නවලට වලට තවමත් නිවැරදි පිළිතුරු සපයන්නේ 1776 දී මෙන්ම අදත් “වෙළඳපොල” පමණයි.

පාරිභෝගිකයා යනු චපල අස්ථිර සත්වයෙකි. මිල දී ගන්නා මේ දේ තව මොහොතකින් ආපහු යවා මුදල් ඉල්ලන (ඊට ඉඩ ඇති රටවල) හැදියාවෙන් යුතු වූවෙකි. තමනට මිල දී ගත නොහැකි දේ සඳහා පෙරුම් පුරන්නෙකි. කිසිදිනෙක නොගන්නා බඩුවල මිල ගණන් නිති සොයා බලන අය සිටිති. කාලාන්තරයක් තිස්සේ භාවිතා කළ දැයක් මොහොතකින් සදහටම අත්හැර දමති.

දයාබර හිතවතුන් අතරේ ද සත්‍ය සඟවමින් අනිකක් බෙදාගන්නා අය ලොව නොමඳ වෙති. නොදන්නා නොහඳුනන අය අතරේ සිය සැබෑ හැදියාවන් මෙන්ම අමූලික බොරු ද බෙදාගන්නා අය සිටිති. තාක්ෂණික බුද්ධියකට සැබෑ ලෙසින් ගණනය කරත නොහැකි වූ ඒ විවිධාකාර වූ තත්වයන් බැහැරලා කොපමණ චර්යාවාදී අතිරික්තයකට හිමිකම් කියූව ද දැවැන්ත සමාගම් ධනවතෙක් බිහිනොවේ.

ගූගල් වැනි ආයතනයක් මා විපරම් කරන දැයක් ගැන දක්වන අවධානය යනු මම නම් වූ පුද්ගලයා ගැන දක්වන අවධානයක් නොවේ. එහෙත් මේ දැවැන්ත ධනවාදී සමාගම් මෙල්ල මට්ටු කරන්නට, ඔවුන් එසේ සොරාගන්නා ජනතාවගේ චර්යාවාදී අතිරික්තය හේතුවෙන් ඒ සඳහා නිසි පියවර ගන්නට, කියද්දී සිද්ධ වනුයේ අනුන්ට සුදුසු දේ මොනවාදැයි තීන්දු කරන අයගේ බලය තවත් වැඩිකිරීමයි.

ගූගල් වැනි ආයතන කරන විපරම් තාක්ෂණයට මම නම් වූ පුද්ගලයා කරන දැයට බාධා කරන්නට ක්‍රමවේදයක් නැත. මම නම් වූ පුද්ගලයා කරන දැය ගැන බාධා ගෙනෙන්නට හැකියාව ඇති එකම අවස්ථාව නම් මට ඉහළින් සිටින නීතිමය බලය සතු අයෙකුට මා ගැන විපරම් කිරීමට අවසර ඇතිනම් පමණි. මේ දෙක ගැන වෙනස පහදා ගැනීම මෙන්ම එයින් දුප්පත් අහිංසකයන්ට වැඩියෙන් අවාසි සිද්ධ වී ඇත්තේ කුමන අවස්ථාවේ දී දැයි කියා පහදා දීම, අනුන්ට සුදුසු මොනවාදැයි තීන්දු කරන්නට පෙනී සිටින අය නිතරම මඟ හරිති.

මෙම පොත ඉදිරිපත් කරන්නේ ඩිජිටල් තාක්ෂණයේ සත්‍ය ස්වභාවය ගැන අනගි වූ නව දැක්මක් යැයි කියමිනි. ඒ නිසා එහි කියැවෙන බියකුරු තත්වයන් වෙතින් අහිංසක ජනතාව ගලවා ගත යුතු යැයි පාරට්ටු බාමින් ලිපි ලියන අය වැඩිකල් යන්නට පෙර බහුල ලෙසින් ලොව පැතිර යනු ඇත.

ජාතීන්ගේ ධනය කෘතිය කියවන ලද අය තරමක් හෝ සිටින රටවල අය ඊට පහසුවෙන් ගොදුරු නොවෙනු ඇත. ඒත් එය කියවන්නට නොලැබුණු, හැමදාම සංවර්ධනය වෙමින් පවතින රටවල සිටින, අනුන්ට සුදුසු සේ තීන්දු කරන පිරිසගේ බලය තවත් වැඩිකරන්නට නම් මේ පොතේ අවුල් සහගත දැක්ම නිසා අලුත් නීති මාර්ග හැදෙනු ඇත.

නීතියක් ගෙනැවිත් ජනතාවගේ හැදියාව වෙනස් කරන්නට හැකි යැයි සිතන අය තවමත් ලොව බහුතරයකි. අසාර්ථක වූ ශතකයක් පුරා පැවති කොමියුනිස්ට් වෑයම ඔවුන් නොදැක්කා සේ අහක බලාගෙන සිටිති.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: