අරුණි ශපීරෝ‍ වෙතින්

කුඩා නිවස හැදූ තැනිතලාවේ පිහිටි විශාල නගරය

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 4, 2019

කල් තියා සූදානම් කරගත් දුර ගමන අරඹන ලද එදින ඩෙලවෙයාර් පැත්තට හේමන්තයේ සීතල සුළං සමඟ යාන්තමට හිම වැටෙන්නට පටන් ගත් උදෑසනක් විය. ෆෝඩෝර් සිතියම් පොත් බලමින් සහ කාලගුණය හොයාගන්නට මගදිගට රේඩියෝ ස්ටේෂන් හොයමින් ගිය කළින් ගමන් ගැන සිහිකරමින් බඩු පටවා තිබුණ වාහනයට නැඟ ගමන ආරම්භ කළේ තනියමයි.

කලබලකාරී නොවන සංචාරක අවාරය වෙළාගත් අපේ ගම්බිම් පසුකර ඊටත් තදින් දරුණු සීතලකින් පොරවන ලද නිව්යෝර්ක් නාගරික කලබලයට මම රිංගා ගත්තෙමි.

අප පදවාගෙන යන වාහනය කුඩා බැවින් පටවාගෙන යන්නට නොහැකි ඇඳුම් පැළඳුම් තොගයක් ළඟම ඇති ප්‍රවාහන සේවාවක් හරහා අපේ ගමනාන්තය වෙත පැටෙව්වේ 1971 වසරට කළින් එවැනි සේවයක් නොමැති වූ බව සිහිවෙද්දීය. බඩු මුට්ටු යවත හැකි සේවා ඈත අතීතයේ පටන් පැවතිය ද, මෙතරම් ඉක්මණින් සහ සුරක්ෂිත බව සහතික කරමින් සපයන සේවා නොමැති විය. ඒ නිසා අපට ලෝරාට මෙන් වැඩියෙන් පිරවූ බැවින් අතරමග දමා යන්නට සිද්ධ වූ ගැල් කරත්තයක අභියෝගයකට මුහුණ දෙන්නට සිද්ධ වූයේ නැත.

නිව්යෝර්ක් නගරය හිමෙන් වැසී යද්දි එම ප්‍රාන්තය පසුකර නිව් ජර්සි හරහා ඇවිත් නැවතත් ඩෙලවෙයාර් ගඟ හරහා මේරිලන්ඩ් ප්‍රාන්තයට පිවිසුනෙමු. එවැනි කටුක කාලගුණයකට මුහුණ දෙමින් ගෑණු පරාණ දෙකකට තනිවම ගමන්කළ නොහැකි වූ ඉතිහාසයක් තිබුණා නේද යැයි සිහිකරමින් තවමත් එවැනි රටවල් ලොව කොතරම්දැයි විමසමින් මාත් දියණියත් රාත්‍රී 9 පසුවෙද්දී සෙල්ෆෝන් වලින් ගූගල් කර නවාතැනක් සොයාගත්තෙමු.

නුදුරු අතීතයක දී රට හරහා ගමන් ගනිද්දී අපි නවාතැන් ගන්නට සුදුසු නගර සහ නවතින පහසුකම් ගැන කළින් සොයා බලා තිබුනෙමු. ඒත් මේ ගමනෙ අපේ අභිප්‍රාය වූයේ හැකි ඉක්මණින් ගමනාන්තයට යෑමයි. නිව්යෝර්ක් සිට ටෙක්සාස් දක්වා යන අධිවේගී මාර්ග අසලින්ම පිහිටන හෝටල්වල නවාතැන් ගන්නට අපි අදිටන් කරගෙන සිටියෙමු.

පළමු දිනය ගෙවූ රාත්‍රිය ඉතා තද සීතලකින් පරිසරය වෙව්ලන ලද්දකි. ඊ ළඟ දිනයේ උදෑසනින් නැඟිට නැවත ගමන අරඹන්නට සූදානම් වූ අපට වාහනය පණගන්වත නොහැකි විය. ඇමෙරිකන් ඔටොමොබිල් ඇසෝසියේෂන් නොහොත් AAA (ට්‍රිපල් ඒ) සාමාජිකත්වයෙන් සපයන පහසුකම් අනුව වාහනය ළඟම ඇති ගරාජ් එකකට ඇදගෙන යවන ලදි. එහිදී ස්ටාටර් මෝටරය කැඩී ඇති බව දැනගන්නට ලැබිණ. එපමණක් නොව මෙය අද සුලබව දකින්නට නොමැති වාහනයක් නිසා අලුත්වැඩියාවට අවශ්‍ය කොටස් ගෙන්වා ගන්නට හැකිවනුයේ ඊළඟ උදෑසන බවත් අපිට දැනගන්නට ලැබිණ.

රෙපෙයාර් වැඩ තනියම කරගන්නට සිද්ධ වූ යුගයක් ලොව තිබුණ බවත්, නොදන්නා නොහඳුනන ගරාජ් වෙත සිය වාහනය පමණක් නොව ජීවිත ආරක්ෂාව ද පවරන්නට සිද්ධ වූ කාලයක් පැවති බවත් මතක් කරමින් අපි සැනසුම් සුසුම් හෙළා දිනයක් පරක්කු වීම ගැන දුක් වූයේ නැත. වාහනය අලුත්වැඩියා කළ ගරාජ් එකෙ කිසිවෙක් අප නොදත්තෙමු. ඒත් අපිට වගකීම සහතික වූයේ එතැන වාහන නිමැවුම්‍කරුවන් විසින් අනුමත කරන ලද ස්ථානයක් වූ නිසයි. එය වර්තමානයේ දී අපි අත්විඳින අපූරු පාරිභෝගික සේවාවකි.

දිනයක් ගෙවී සහ ඩොලර් ගණනාවක් ගෙවා දැමූ අපි තුන්වැනි දින රාත්‍රියේ වර්ජීනියා ප්‍රාන්තයෙ මායිම්බඩ නගරයක් දක්වා එන්නට සමත්වීමු. දකුණට පිවිස ඇතැයි සිහිකරවන පරිසරය සීතලෙන් ඉතාමත් අඩු විය.

කලකට පෙර අප ජීවත්වූ ටෙනසි ප්‍රාන්තයෙ නොක්ස්විල් නගරය හරහා අපේ ගමන වැටී තිබුණි. අප කල් තියා සූදානමින් සිටියේ එහි දී අපේ පරණ යාළුවෝ රැසක් මුණ ගැහෙන්නටයි. ඒත් දවස වෙනස් වූ බැවින් අපට හමුවූයේ දෙතුන් දෙනෙක් පමණි.

වර්ජිනීයාවෙන් පටන් ගත් එදින අප ටෙනසි හරහා ගොස් ලෝරාගෙ තැනිතලා නගරයෙ කුඩා නිවස කෞතුකාගාරයක් හැටියට පවත්වාගෙන යන මිසූරි ප්‍රාන්තයට දකුණින් වන ආර්කන්සා ප්‍රාන්තයට ඇතුල් වූයෙමු. තැනිතලාව මැදින් දුවයන, ක්ෂිතිජය පෙනෙන තරම් ඈතට ඉරක් ගසා ඇති ලෙසකින් දිස්වන අධිවේගී මාර්ගවල ගමන් කරමින් අප ලිට්ල් රොක් වැනි හැම අත විසිරී ගිය විශාල නගර පසුකරමින් ටෙක්සාස් ප්‍රාන්තයට ඇතුල් වුනෙමු.

ටෙක්සාකාර්නා එදා රෑ අපි නැවතුන නගරයයි. එය පිහිටි ප්‍රදේශය තුල දකින්නට ලැබුනේ ඇමෙරිකාවේ නැගෙනහිර පැත්තෙ ඇති ගම් නගර වලින්ම හැඳින්වෙන ගම් හා නගර වූහ. ස්පාඤ්ඤ නම් වලටත් වැඩියෙන් යුරෝපීය ආභාසයෙන් යෙදූ නම් සහ මුල් ඇමෙරිකන් ජනාධිපතිවරුන්ගේ නම් ඔවුන් සිය නගර වලට යොදා ඇති බව කැපී පෙනුණි. ඒ, සමහර විට මේ පැත්ත ලෝරා වැනි අයගේ සංක්‍රමණය නිසා ජනාවාස වූ පළාත් හේතුවෙන් යැයි සිතිය හැකියි.

ගමන පටන්ගෙන තිබියදී මට ලැබුන ඉඟියක් හරහා 1981 දී උසස්පෙල පංතියේ දී අවසානවරට දැකපු යෙහෙළියක් මුණගැසීමට අවස්ථාවක් පාදාගත හැකිවිය. සෙල්ෆෝන් සහ ෆේස්බුක් මාර්ගයෙන් අප දෙදෙනා ඩැලස් ෆෝට් වර්ත් හි පිහිටන ශ්‍රී ලාංකික පංසල් භූමියෙ රථගාලේ දී හමුවුනෙමු.

දින හතරකින් සහ සැතපුම් දහස් ගණනකින් පසුව දියණියව සහ ඇත් පැටියෙක් බරට වාහනයේ පැටවූ පොත්, විස්කි, තුවක්කු, සහ වෙඩිබෙහෙත් සමඟින් ඇයව ඇයගෙ සැමියා වෙතට ගෙනෙන්නට මම සමත්වීමි. අප දෙදෙනා නොයෙකුත් මාතෘකා ගැන සංවාදයෙ යෙදීම නිසා අපි සවන්දුන් කතන්දර පොත නම් ඉවර කරන්නට අපිට නොහැකි විය.

කළින් ලියූ සටහන් දෙකක්: විස්කොන්සින් පැත්තෙන් යද්දි ලියපු ලෝරා ඉන්ග්ල්ස් වයිල්ඩර් ගැන විස්තර අඩංගු සටහන සහ ලිට්ල් හවුස් ජීවිතය සැබැවින්ම ගෙවූ දැරිය ලෝරාගේ දියණිය රෝස් ගැන සටහන.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: