අරුණි ශපීරෝ‍ වෙතින්

සලාඩෝ නගරයේ බාර්ටන් නිවහන

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 13, 2019

1681 සිට පැවතෙන පිටකොටුවේ පැරණි ඕලන්ද රෝහල පටන් ගන්නා ලද්දේ ඩච් ඊස්ට් ඉන්දියා කොම්පැණියේ නිලධාරීන් සහ සේවකයන්ගේ සෞඛ්‍ය පහසුකම් සපයන්නට යැයි කියැවේ. 2011 දී එම ඵෛතිහාසික ස්ථානය සාප්පු සහ අවන්හල් සංකීර්ණයක් බවට හැරවිණ. කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන සහ දර්ශන් මුනිදාස යන අයගේ මූලිකත්වයෙන් විවෘත වූ මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ් නම් භෝජනාගාරය අද ලංකාවේ අය මෙන්ම සංචාරකයන් ද ගැවසෙන තැනක් බවට පත්ව ඇත.

එලෙසින් වෙනත් අරමුණක් වෙනුවෙන් පටන්ගෙන පසුව අවන්හල් බවට වෙනස් වූ අපූරු ස්ථාන බොහොමයක් ලොව පවතී. ඇමෙරිකාවේ නිරතුරුව දකින්නට ඇති බැංකු වෝල්ට් එකක ඇතුලත අවන්හලක් බවට හැරවීම හෝ පැරණි ගුවන්යානාවක් හෝ දුම්රිය මැදිරියක් අවන්හලක් වීම එතරම් පුදුමයක් ඇති කරන්නක් නොවේ.

ඒත් වසර 80 කට පෙර අතීතයේ මෘතශරීරාගාරයක් හැටියට පැවති තැනක් අද අවන්හලක් වෙද්දී කී දෙනෙක් එහි දී බඩගිනි නිවාගන්නට යාවිද?! ලින්ගර් රෙස්ටුරාන්ට් නම් එය කොලරාඩෝ ප්‍රාන්තයේ ඩෙන්වර් නගරයේ පිහිටයි. 1917 වසරේ බෆලෝ බිල් නැමැත්තාගේ මෘතදේහය එහි මාස 6 ක් තිස්සේ රැඳී තිබුණා යැයි කියැවේ.

පැරණි ගොඩනැඟිලි ආරක්ෂාවට හා නඩත්තුවට ඒවායේ ඉඳුම් හිටුම් සපයන හෝටල් හෝ කෑම බීම ගන්නට හැකි අවන්හල් පිහිටුවා ගැනීම අලුත් අදහසක් නොවේ. පැරණි රජමාලිගා පවා අද අවන්හල් බවට පත්වී ඇති ආකාරය යුරෝපයේ සංචාරය කරන අයට දකින්නට ලැබේ.

ටෙක්සාස් ප්‍රාන්තයේ සලාඩෝ නමැති කුඩා නගරයේ දී අපි ගොඩවැදුනේ අවන්හලක් බවට හැරවුන පෞද්ගලික නිවහනකටයි.

1800 ගණන්වලදී නිමැවෙන ලද පෞද්ගලික නිවහන් බොහොමයක් තවමත් ඇමෙරිකාවේ විවිධාකාර ලෙසින් භාවිතයට ගැනෙන තැන් හැටියට පවතී. ඉතිහාසය ගැන උනන්දුවක් දක්වන අයට ඊට අගනා අවස්ථා සලසනවා මෙන්ම එවැනි තැනකට ඇතුල්වෙන එවන් රුචියක් නැති කෙනෙකුට පවා ඉතිහාසය සොයාබලන්නට කැමැත්තක් ඇති කරවයි.

සලාඩෝ බෙහෙවින් පුංචි නගරයකි. එහි ප්‍රධාන කඩමණ්ඩිය පයින් ඇවිද හැම තැන යන්නට හැකි තරම් ප්‍රමාණයෙන් කුඩා වූවකි. එහි දකින්නට ලැබෙන කඩ සියල්ලම සංචාරකයන් ඉලක්ක කරගත් ව්‍යාපාර වෙති.

මහ වීදියේ කුඩා කඳු ගැටයක් මුදුනේ පිහිටන ලද මෙම නිවස 1866 දී ඉදිවී ඇත්තේ වෛද්‍යවරයෙක් වූ වෙල්බෝර්න් බාර්ටන් සහ ඔහුගේ බිරිය වූ ලුයිසා ඇඩෙලින් කොක්ස් වෙනුවෙනි. ඔවුනට දරුවන් දහ දෙනෙක් වූහ. නිවස අදිරය 3 ක දී නිමැවී ඇත.

1854 දී ගැල්කරත්ත වලින් බටහිර පෙදෙස් බලා ඇදී ආ සියයක් පමණ පිරිසක් සමඟ බාර්ටන් පවුල ද ටෙක්සාස් වලට පිවිස ඇත. ගොවිතැන් සඳහා ඉඩමක් මිල දී ගෙන පදිංචි වෙන ඔහු වෛද්‍ය වෘත්තියේ යෙදෙන අතරේ ගොවිතැනේ ද යෙදෙන ලද්දෙකි.

ඇමෙරිකන් සිවිල් යුද්ධයේ දී දොස්තර බාටන් දකුණේ සමාබන්ධන හමුදාවේ වෛද්‍යවරයෙක් ලෙසින් කටයුතු කර ඇත. යුද්ධයෙන් පසුව පවුල සමඟ සලාඩෝ පැත්තට පැමිණෙන ලද්දේ ඒ පැත්තේ පාසැල් ඉතා දියුණු තත්වයක පවතිනවා යැයි ආරංචි වූ නිසා යැයි කියැවේ. සිය වෛද්‍ය වෘත්තිය නැවත පටන් ගත් ඔහු සමඟ හෙදියක් ලෙසින් කටයුතු කරන්නට ඔහුගේ බිරිඳ වූ ලුයිසා ඔවුන්ගේ අශ්ව කරත්තය පදවාගෙන යන ලදැයි කියැවේ.

මෙම නිවහනේ සියලු කාමර අද අවන්හලේ භෝජනාගාරය සඳහා පාවිච්චි වේ. අපි තෙමහල් නිවසේ හැම කාමරයක්ම නැරඹූ නමුත් ආහාරපාන පිළියෙල වෙමින් පැවති මුළුතැන්ගෙය බැලීමට නොගියෙමු. අවන්හල ඉදිරිපත් කළ ආහාර පාන රස නහර පිනා යන සේ ප්‍රණීත වූ අතර සේවාව ද ඉතා ඉහළ මට්ටමකින් විය. පරණ ගෙයක් ඇතුලතට ගියා යැයි මතක්වෙන්නේ එහි ගෘහ නිර්මාණය සහ බිත්තිවල ගසා ඇති පිංතූර නිසා පමණි. එදා වැහිබර දවසක් වුවද කිසිදු කුටිල ගඳක් එහි නොවීය.

පැරණි ගොඩනැඟිලි අබලන්ව ජරාවට පත්ව යා නොදී මෙසේ ඒවා ප්‍රයෝජනයට ගැනීම සහ ඒ නිසා පිරිසකට රැකියා සැපයීමට සමත්වීම ගැන බඩත් සිතත් පුරවා ගත් ප්‍රීතියෙන් අප සලාඩෝ නගරයෙන් නික්ම ආවෙමු.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: