අරුණි ශපීරෝ‍ වෙතින්

ප්‍රජාතන්ත්‍රවාදය වර්ණනා කරන්නට පෙර

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 27, 2019

ප්‍රජාතන්ත්‍රවාදයේ කුරිරු අවදානම සෑම පුරවැසියෙක්ම දැන සිටිය යුතු වූවකි. “කාලයෙන් කාලයට අත්හදා බලන ලද අනිකුත් සියළු ක්‍රම හැරෙන්නට ඇති අතිශය නරක ක්‍රමය” යැයි වින්ස්ටන් චර්චිල් ප්‍රජාතන්ත්‍රවාදය හැඳින්වීය. අනෙකුත් පාලන ක්‍රම සියල්ලම මෙයට වැඩියෙන් බෙහෙවින් නරක වෙද්දී ඉතිරි වූව පමණක් නිසා එය අති ප්‍රශංසා මුඛයෙන් වර්ණනා කළ යුතු නොවන්නක් වනුයේ මන්ද?

ඔබ ජීවත්වන සමාජයේ බහුතර කැමැත්ත අනුව තමන්ගේ ජීවිතයේ සෑම අස්සක් මුල්ලක්ම පාලනය කරන්නට අවශ්‍ය පූර්ණ බලතල යම් පිරිසකට පවරන්නට ඔබ එකඟ ද? එහෙම නම්, ඔබ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අදහසට එකඟයි.

අයෙක් ඉගෙන ගත යුතු අධ්‍යාපනය තීන්දු කරන්නට? පෙනී සිටිය යුතු විභාග තීන්දු කරන්නට? ඒ විභාග වලට පෙනී සිටිය යුතු ආකාරය තීන්දු කරන්නට? කළ යුතු රස්සාවට අවශ්‍ය සුදුසුකම් තීන්දු කරන්නට? වෙහෙසන ශ්‍රමයෙන් ලැබෙන ඵලදාවෙන් මිල දී ගන්නා පෞද්ගලික දේපල මොනවාදැයි, ඒවා පාවිච්චි කළ යුත්තේ කෙසේදැයි හා ඒවා විකුණත හෝ උරුමක්කාරයන්ට පවරත හැකි කෙසේදැයි කියා තීන්දු කරන්නට? බස්රථයක දී අහන්නට ලැබෙන සිංදු මොනවාදැයි තීන්දු කරන්නට? සුදුසු පිරිසක් සිටිනවා යැයි විශ්වාසය කරන පාලන ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදයයි.

ජෝන් ජාක් රූසෝ ඉදිරිපත් කළ “පොදු කැමැත්ත” අනුගමනයෙන්, ඔබ ගෙවන කෙටි ජීවිතයේ සියළු අවධි නිවැරදි ලෙසකින් මෙහෙයවන්නට දන්නවා කියාගත් දේශපාලනයේ යෙදුනු පුරවැසියන් කොට්ඨාශයකට පවරා ඒ අය කියන අන්දමට කටයුතු කරන්නට ඔබ සූදානම් නම් එය ප්‍රජාතන්ත්‍රවාදයට කැමැත්ත දැක්වීමයි.

එසේ අනුන් වෙනුවෙන් තීන්දු ගන්නට පත්වෙන පිරිස නිරතුරුවම ඔවුන්ගේ බලය වැඩිකරගන්නට වෑයම් කරති. ඔවුන්ගේ බලය වැඩිවීම යනු ඔබ ගෙවන ජීවිතයට වැටෙන බාධක වැඩිවීමයි. සමස්ත සමාජයෙන් වැඩි චන්ද කැමැත්තක් ඉල්ලා සිටින ඔවුන් එම චන්ද බලයෙන් ඔවුන්ගේ පාලන බලය වැඩිකර ගනිති. ඔවුන්ගේ පාලන බලය වැඩිවීම යනු සාමාන්‍ය පුද්ගලයාට සිය ජීවිතයේ තීන්දු ගත හැකි බලය අඩුවීමයි. ප්‍රජාතන්ත්‍රවාදයේ කුරිරු අවදානම එයයි.

වෙනත් කෙනෙකු නිවැරදි තීන්දු ගන්නා නිසා අපේ ජීවිතය යහපත් වෙනවා නම් ඉතින් එහි ඇති නරක කුමක්දැයි මේ ගැන කිසිවිටෙකත් සොයා නොබලන ලද කෙනෙක් විමසනු ඇත. ඉතිහාසයේ නොයෙකුත් කාලයන්හි දී එසේ දේශපාලකයන් පිරිසක් අතට සමස්ත සමාජයේ බහුතර තීරණ ගන්නට බලය පැවරූ අවස්ථා සියල්ලක්ම අවසානයේ දී, නොවැරදීම අසන්නට ලැබෙන්නේ මෙම සත්‍යයයි: එනම්, බහුතර කැමැත්තෙන් පත්කරගත් දේශපාලකයන් කොට්ඨාශය ජනතාව වෙනුවෙන් ගත් තීරණ නිවැරදි ලෙසින් මෙහෙයවන්නට අසමත් වූහ.

එම සත්‍යය හමුවේ ජනතාවට ලැබෙන පිළිතුර වූයේ මෙයයි: ඔවුන් අසමත් වූව ද ක්‍රමය නිවැරදි බැවින්, ඒ සඳහා වෙනත් දේශපාලකයන් පිරිසක් ඊට පත්කරගත යුතුයි.

ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ කුරිරු අවදානම අඩුකරගැනීම සඳහා ගත යුතු වූ පියවර මොනවාදැයි සහ ඒවා කළ යුත්තේ කෙසේදැයි කියා බොහෝ දෙනෙක් විමසන්නේ නැත. සමහර විට ඔවුන්ගේ නොදන්නාකම, අකමැත්ත සහ කම්මැලිකම ඊට හේතු විය හැකියි. ඒත් වැඩියෙන්ම සිද්ධ වෙන්නේ වැඩි බලය තමන් අතට ගන්නට මාර්ග නිරතුරුව හොයන දේශපාලකයන් ඊට වැඩි අවධානයක් එල්ලවීම වළක්වාලීමයි.

ස්පාර්ටාව සමඟ දීර්ඝ කාලීන යුද්ධයක නියැළුන, ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයෙන් පාලනය වූ ඇතැන්ස් රාජ්‍යය, ක්‍රි. පූ. 415-413 හි පැවති සිසිලියන් මෙහෙයුමේ දී අන්ත පරාජයක් අත්කර ගත්හ. සිසිලියන් මෙහෙයුම නම් ඇතැන්ස් අධිරාජ්‍යය විසින් ස්පාර්ටා, සිරකියුස් සහ කොරින්ත් පරදවන්නට ගත් වෑයමයි. ඒ යුද මෙහෙයුම පටන් ගන්නට පෙර ප්‍රජාතන්ත්‍රවාදී ඇතැන්ස් රාජ්‍යයේ පාලකයන් අතර වාද සහ මන්ත්‍රණ සභා ගණනාවක් පැවැත්විණ. ඒවායේ දී ඇතැන්ස්හි දේශපාලන බලය අල්ලා ගන්නට සිද්ධ වූ වෑයම් මිසෙක සිසිලියන් මෙහෙයුම කුමක් අරබයා කරන්නක් ද, කවුරු මෙහෙයුමේ කෙසේ අණ සහ ආඥා නිකුත් කළ යුතුද, එහි නඩත්තුව කෙසේද, යනාදී වැදගත් ප්‍රශ්න කිසිවක් සැලකිල්ලට ගැනුනේ නැත.

සිසිලියන් මෙහෙයුමේ ඉතිහාසය ගැන සටහන් තබන තුසිඩයිඩස් වෙතින් අපට දැනගන්නට ලැබෙන්නේ මේ මෙහෙයුම පෙලපනීසියන් යුද්ධයේ දී ලොව මුල්ම ප්‍රජාතන්ත්‍රවාදී ඇතැන්ස් අධිරාජ්‍යයේ පරාජයට පාර කැපෙන ලද අවස්ථාව හැටියටයි. එහෙත් එම අවස්ථාව ඇතැන්ස්හි පාලන බලයට පොරකෑ දේශපාලන බහුතරය විසින් හඳුනා නොගත් නිසා පෙලපනීසියන් යුද්ධය තවත් දශකයක් පුරා ඇදී ගියේය.

පෙලපනීසියන් යුද්ධය ලෝක ඉතිහාසයේ වැදගත් තැනක් ගන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ ඇති කුරිරු අවදානම එහි දී මනාව ඔප්පු කළ බැවිනි. එනම් එය පොදු කැමැත්ත තුලින් පුරවැසියන් සිය පාලක කොට්ඨාශයකට තමන් වෙනුවෙන් තීන්දු ගැනීමේ බලය පවරා අන්ත දුක්ඛිත අසරණ තත්වයකට පත්වූ ලොව මුල්ම අවස්ථාවයි. සටහන්ගත ඉතිහාසයේ ප්‍රථම වරට දකින්නට ලැබෙන ඒ ඛේදවාචකය වෙනත් මුහුණුවරින්, නොයෙකුත් කාලයන්හි දී, නොයෙකුත් දේශයන්හි දී, නැවත නැවතත් දිගහැරෙයි. නමුත් ලෝකයේ බහුතරය ලෝක ඉතිහාසය නොදන්නා බැවින් ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්නේ ද නැත.

අප ගැන තීන්දු ගන්නට, අප විසින්, අපේ කැමැත්තෙන්ම, අප සතු බලය පවරා දෙන්නේ දේශපාලකයාට නම් ඒ පවරන මහා බලයේ ඇති අනතුරුදායක අවදානම ගැන අප මුලින්ම සහ පරතෙරට කතාබහ කළ යුතු නොවේද?

පුරාතනයේ පටන් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ දකින්නට ලැබෙන අපූරු ලක්ෂණයක් ඇත. පුරවැසියන්ගේ සිත් දිනා ගන්නට, ජනතාවගේ “හද ගැස්ම දන්නා” දේශපාලකයෙක් හැටියට සමස්තයේ කැමැත්තෙන් ඉහළම පුටුවට තෝරා පත්වෙන්නට නම් තරඟකරුවන් අතර වැඩියෙන්ම වාග් කෞශල්‍යය හැකියාව තිබීම පමණක් ප්‍රමාණවත් වීම ඒ අපූරු ලක්ෂණයයි.

මේ බව ඉතිහාසයෙන් ඉගෙන ගත් මෑත කාලීන ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටි උගතුන්, ජනතාව අතරින් වැඩිම හදවත් දිනාගන්නට සමත් වූ අයෙක්ව මෙල්ල මට්ටු කරන්නට හැකි පියවර පිහිටුවා ගත්හ.

ජනතාවගේ නියෝජිතයන් තුලින් පාලන බලය මෙහෙයවීම එයින් එකකි. සම්පාදකය, විනිසුරු සහ විධායක ලෙසින් බලය බෙදී පැවතීම අනෙකයි. ඒ අනුව යමින් චන්ද පෙට්ටිය හමුවේ නැවත නැවතත් ජනතාව සිය කැමැත්ත දැක්වීම නිසා පාලනයක් ප්‍රජාතන්ත්‍රවාදී යැයි සැලකේ.

සිය කැමැත්ත දක්වන්නට සමහර රටවල පෝලිම්වල පැය ගණන් සිටගෙන ඉන්න ජනතාව තමන් තෝරන චන්ද අපේක්ෂකයන් ගැන දන්නේ අල්ප වශයෙනි. දේශපාලන සොයා බැලීම් සඳහා යන කාලය සහ මුදල් වෙනුවට තමන් වෙනුවෙන් කළ හැකි දේවල් ගණනාවක් ඔවුනට ඇත. උඩින් පල්ලෙන් බලා හිතෙන හැටියට චන්දය දෙන්නට බහුතරය පෙළඹෙන නිසා අර කාලයක් සහ මුදලක් වැයකර සොයා බලන්නාගේ චන්දයට කිසිත් වැදගත්කමක් නොලැබේ.

අයෙක් ඔහු පෞද්ගලික අයිතියක් කියන දේවල් ගැන කොතරම් දැන සිටිනවාද? ගෙයක් හදන්නට යද්දී, වාහනයක්, මහන මැෂිමක් නැත්නම් සීතකරණයක් ගනිද්දී, තැන්පතු සහ රන් ආභරණ යනාදිය ගැන කොතරම් සොයා බලනවාද? ඒත් අයෙක් ඔහු තම අනගිතම අයිතිය හැටියට සලකන චන්දය දෙන්නට යද්දී ඒ ඒ පුද්ගලයන් ගැන දන්නේ සහ විපරම් කරන්නේ කොපමණක්ද?

ප්‍රකාශ කරන චන්දය නිසා ඇතිවන ඵලවිපාක ගැන සහ එයින් තමන්ට සිද්ධවිය හැකි කුරිරු අවදානම ගැන සාමාන්‍ය චන්දදායකයාට ඇත්තේ අල්ප වැටහීමකි. අල්ප වැටහීම නිසා ප්‍රකාශ කරන චන්දයෙන් තමන් කැඳවන හානිය නොදැන ඔවුන් තමන්ගේ තෝරාගැනීම දක්වන චන්දය යනු තමන් සතු අනගි අයිතියක් යැයි විශ්වාසයෙන් ඒත් තමන් සේ ම වැඩි සොයාබැලීමක් නොකළ දහස් ගණනක් සමඟ පෙළ ගැසෙති.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: