අරුණි ශපීරෝ‍ වෙතින්

සවුත් බයි සවුත්වෙස්ට් SXSW↙

Posted in Uncategorized by arunishapiro on මාර්තු 14, 2019

අලුතින් භාණ්ඩයක් හෝ සේවාවක් වෙළඳපොලට ඉදිරිපත් කරන්නට කැමති ව්‍යවසායක වෑයමට සහ ලෝක වෙළඳපොලට අලුතින් එකතු වෙන අයෙකුට කදිම පරිසරයක් හදා ඇති උත්සවයකි මෙය. ටෙක්සාස් ප්‍රාන්තයේ ඔස්ටින් නගරයේ වාර්ෂිකව පැවැත්වෙන SXSW↙ 1987 දී ආරම්භ විය.

එහි ආරම්භය නොසිතූ විදියකට දිග හැරැණකි. නිව් යෝර්ක් හි පැවැතෙන සංගීත උත්සවයක් දකුණට ගෙනෙන්නට ගත් වෑයමක් අතරමඟ නැවතෙද්දී, එය දකුණේ අයට එකතුව කළ හැකිදැයි සොයා බලන්නට ගත් උත්සාහයක් සාර්ථක වීමේ ප්‍රතිඵලයයි මෙය. ඉතා ඉක්මණින් ජනප්‍රිය වූ උත්සවය දැන් විශාල ජනකායක් ඇදී යන්නක් බවට පත්ව ඇත.

මුලින්ම සහ විශේෂයෙන්ම හුවා දක්වන්නට අවශ්‍ය වැදගත් කරුණකි. මෙම උත්සවය ඇමෙරිකන් ෆෙඩරල් රජයේ හෝ ටෙක්සාස් ප්‍රාන්ත ආණ්ඩුවේ වෑයමක් හෝ ඒවායේ අනුග්‍රහයෙන් පැවැත්වෙන්නක් නොවේ. බදු ගෙවන ජනතාවට බරක් පටවන්නේ නැතිව, නිර්මාණශීලී පුද්ගලයන්ට තම තමන්ගේ වෘත්තීන් වැඩි දියුණු කරගන්නටත්, ලෝකයේ නන් දෙසින් එන එවැනි වෙනත් අය සමඟ මුණ ගැසෙන්නටත්, එකිනෙකාගේ අදහස් දැනගැනීමට සහ බෙදාගැනීමට මෙම උත්සවය කදිම අවස්ථාවක් සපයයි.

යම් ව්‍යවසායක වෑයමකින් ලාබයක් සොයන්නට නම් එයින් සපයන අගයක් තිබිය යුතුයි. විකෘති වූ ආර්ථිකයක (ලංකාවේ වැනි) මුළු මහත් ජනතාව පිට බදු බර පටවමින් සුලුතරයක් (දේශපාලනඥයන් සහ එද්දලයන්) ධනවස්තුවලට හිමිකම් කියති. අගයක් සපයන ව්‍යවසායකත්ව වෑයමක නියැළෙන්නාට මුහුණ දෙන්නට සිද්ධවෙන නීති රීති වැඩිවී ආර්ථිකය බංකොළොත්වෙද්දී (අද වෙනිසියුලාව වැනි) පවා අර සුලුතරය තම බලයෙන් ඉවත් නොවෙති. තව දුරටත් ව්‍යවසයාකත්වයේ යෙදෙන අයටම වරද පටවමින් දුප්පතාගේ හිතසුව පිණිස යැයි පෙනී සිටින එම සුලුතරය සැබැවින්ම තරකරගන්නේ ඔවුන්ගේ බඩ සහ ඔවුන්ගේ මල්ල යැයි දැක දැක කරකියාගත නොහැකි තත්වයකට රටවැසියන් සිටිති.

මහජනතාවට බදු බරක් පටවන්නේ නැතිව, අගයක් සපයන අයට සහ ඒ අගයට ගෙවන අය අතර කැමැත්තෙන් සිද්ධ වෙන හුවමාරුවට කදිම ස්ථානයක් සැපයීම නිසා මෙම උත්සවය ඉතා සාර්ථක අතරමැදියෙක් බවට පත්ව සිටියි.

ලංකාව වැනි රටක මෙවැනි වෑයමක් ඵල නොදරන හේතු කිහිපයකි. මුල්ම හේතුවක් වනුයේ දේශපාලනඥයෙක් සහභාගී කරනොගන්නේ නම් එහි කටයුතුවලට අවශ්‍ය අනේකවිධ අවසර ලබාගත නොහැකියාවයි. අර කියන සුලුතරයට කුට්ටියක් නොදුන්නොත් එතැනට කඩාකප්පල්කාරී චණ්ඩි පවා පැමිණෙන්නට ඉඩ ඇත.

ලංකාවේ සිටින ව්‍යවසායකයන් අල්පය රටේ දේශපාලනඥයන් සහ එද්දලයන් සමඟ ඇති ඇයි හොඳයිකම් නැතිවේය යන බියෙන් මෙවැන්නකට සහයෝගය දීමෙන් පසුබට වෙනු ඇත. ඒ සුහදකම් නැතිවුවහොත් ඔවුන්ගේ ව්‍යාපාරවලට කණකොකා හඬන්නට ඉඩ තිබීම සැබෑ අවදානමකි.

පුහු ආකල්ප වෙනස්නොවීම නිසාත්, ව්‍යවසායකත්වය සහ වෙළඳපොල තරඟය ගැන සැබෑ අවබෝධයක් නැතිකම නිසාත්, මෙවැන්නකට දායකත්වය සැපයීම කෙසේ වෙතත්, ඊට හවුල්වීමෙන් ද දේශීය ව්‍යවසායකයන් වැළකෙනු ඇත. එපමණක් නොව ඒ ගැන මවාගත් බොරු කීමද පැතිර යනු ඇත.

ඉතින් මෙවැනි වෑයමක් සාර්ථක වේදැයි සොයා බලන්නට නම් ලංකාව වැනි රටක පුද්ගලයෙකුට හැකිවනුයේ ඒ සඳහා විදේශීය සමාගම්වල අනුග්‍රහය ලබාගන්නටයි. විදේශීය කියූ සැනින් මුහුණ දෙන්නට සිද්ධ වෙන්නේ කුමන ආකල්පයන්ටදැයි කියන්නට අවශ්‍යද?!!!!!

විකල්ප සොයන්නට අවශ්‍ය යැයි කියන, ඒත් සමාජවාදී පාරේ (වෙනිසියුලාව ගිය පැත්තේම) තව ඈතට යෑම විකල්පය යැයි කියන්නට පෙනී සිටින පිරිස මෙය දේශීය වෙළඳපොල ආක්‍රමණයට ආ බටහිර සහ ඇමෙරිකන් කඩාකප්පල්කාරී වෑයමක් හැටියට කටකතා පතුරුවා යවනු ඇත.

සම්මන්ත්‍රණ, සංගීත සහ සිනමා උත්සව, වෙළඳ ප්‍රදර්ශන, ව්‍යවසායකයන් අතර එකිනෙකා හමුවීමට අවස්ථා සහ විවිධ තෑගි ප්‍රදානෝත්සව පිරිණු මෙවැනි වෑයමක් ආරම්භවීම නිසා, අගයක් සපයන ව්‍යවසායකත්ව වෑයම් කොපමණ ගණනාවක් රටේ ආර්ථිකය සරුසාර කරන්නට දායකත්වය සැපයූවාද යන්න දැනගැනීමට ඉතින් ලංකාවේ වැසියෙකුට අවස්ථාවක් නොලැබී යයි.

වීසා ලබාගැනීමේ අපහසුව නිසා මෙවැන්නකට සහභාගීවන්නට ලංකාවේ ව්‍යවසායකත්වයට දැඩි ආශාවක් නළියන ඒත් නමගිය ව්‍යාපාරයක් නොමැති පුද්ගලයෙකුට කිසිත් ඉඩක් නැතිවීම සැබැවින්ම ඛේදනීය තත්වයකි.

One Response

Subscribe to comments with RSS.

  1. krishramanayaka71 said, on මාර්තු 15, 2019 at 2:18 පෙ.ව.

    වෑයමක් ගන්න ඉඩක් නැති රටක සමාජයක ඉඳන් මේව කියවන්නවත් ලැබීම සතුටක්


ප්‍රතිචාරයක් ලබාදෙන්න