අරුණි ශපීරෝ‍ වෙතින්

ඔබ සිහසුන් ක්‍රීඩා සඳහා සහාය වෙන්නෙක් ද?

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 13, 2019

හෙට ඇරෙඹන සිහසුන් ක්‍රීඩා අවසාන කොටස නරඹන්නට ඇමෙරිකන් ජනගහණයෙන් බොහෝ විශාල පිරිසක් සූදානම්ව සිටිති. ඒ සඳහාම පැවැත්වෙන “නැරඹීමේ සාද” සඳහා එහි ලාංඡන සහ රූප වලින් හැදෙන විශාල කේක් ගෙඩි ග්‍රොසරි කඩවලින් මිල දී ගන්නට ඇති සැටි දුටුවෙමි. වර්තමානයේ ‘සුපර් බෝල්’ නරඹන්නට එකතු වෙනවාට වැඩියෙන් ජනතාවක් මෙය පළමු දිනයේ නරඹන සංඛ්‍යාව නියෝජනය කරනු ඇත.

‘සිහසුනට තරග වැද’ නමින් මෙම ටෙලිනාට්‍යයට පාදක වූ ජෝර්ජ් ආර්. ආර්. මාර්ටින් ගේ ‘ගිනි සිසිලක ගීතය’ කතා මාලාවේ සිංහල පරිවර්තනයක් මෙතැනින් කියවන්නට හැකියි.

මෙම සිහසුන් ක්‍රීඩා වලින් ඔවුන් තරඟ වදින්නේ බලය තුලින් වත්කම් අල්ලාගන්නට සහ ඒ අල්ලාගන්නා ලද වත්කම් බෙදන ආකාරය තීන්දු කරන්නටයි. වර්තමානයේ අපිට අපගේ දේශපාලනඥයන් වෙතින් දකින්නට ලැබෙන හැදියාවන් බොහොමයක් මේ ටෙලිනාට්‍යය තුලින් දිස්වෙයි.

මෙහි සිහසුනට තරඟ වදින අය මෙන්ම වර්තමාන ලෝක දේශපාලනඥයන් ද නියැළෙන්නේ නීත්‍යානුකූලව පිරිසක් වෙතින් මංකොල්ලන වත්කම් ඔවුන් කැමති තවත් කොටසක් වෙතට බෙදන්නේ කෙසේදැයි තීන්දු කරන්නටයි.

සිහසුනට තරඟ වදින මූලික චරිත ඒ ඒ අයවළුන් හා පාර්ශවික ගිවිසුම් වලට එළඹෙති. ඒත් තම පාර්ශවයට ඇඳාගන්නා මිතුරුකම් ඇතිවෙන්නේ සහ ඒ මිතුරන් හතුරන් බවට පත්වෙන්නේ ඉතා ඉක්මණින්. දේශපාලන වේදිකාව තුල ද අපිට එසේ අයෙක් සිය බලය තහවුරු කරගන්නට මිත්‍ර පාර්ශව හදා ගැනීමත්, බලය එයින් තහවුරු නොවන කල ඒ මිත්‍රත්වයන් කැඩී යන ආකාරයත් දැකිය හැකිවේ.

සාමාන්‍ය පුද්ගලයෙකුට, හෙතෙම කොතරම් හිතෛෂී සොල්දාදුවෙකු වුවත්, වගවිභාගයක් නැතිව හිස ගසා දැමෙන අතර, එම වරදම කරන ලද ඉහළ තානාන්තරයක් උසුලන අයෙකුට නීතිය හමුවේ නඩු ඇහෙන හැටි බොහෝ දුරට වර්තමාන ලෝකයේ සිද්ධවන අපරාධ සහ දඬුවම් හා සමානයි.

වෙහෙසෙන මිනිසුන් උපයන ලද වත්කම් අල්ලාගන්නට රජවරුන් තරඟ කරන ලද එවැනි සැබෑ ඉතිහාසයක් ලොව පැවතිණ. එය අඩු ආයුෂ කාලයෙන්, දුප්පත්කමෙන්, බඩගින්නෙන්, බෝවෙන රෝග වලින් ගහණ වූ දීර්ඝ මිනිස් ඉතිහාසයයි.

කාර්මික විප්ලවය නිසා සීඝ්‍රයෙන් වෙනස් වූ ලෝකයේ, වෙහෙසෙන මිනිසුන්ට තම වත්කම් සඳහා අයිතියක් කියන්නට ලොව ප්‍රථම වරට අවස්ථාව පෑදිණ. ආයුෂ කාලය වැඩිවී, දුප්පත්කම ලොව අඩුවී ගියේය. කුසගිනි නිවාගැනීමට කනවා වෙනුවට රස කෑම ඇස පිනවන ආකාර වලින් හොයන මිනිසුන් ලොව වැඩි වූහ. බෝවෙන රෝග ලොවෙන් තුරන් කරන්නට මෙන්ම ජානගතව ඇතිවන රෝග සඳහා ද බෙහෙත් සොයා ගැනිණ.

ඒ ජයග්‍රහණ සියල්ලටම හේතු වූයේ වත්කම් අල්ලාගැනීම සහ ඒවා තමන් කැමති අය අතර බෙදා හැරීමේ ක්‍රමය ලෝකයේ මඳකට නැවතුණ නිසයි. තමන්ගේ වෙහෙසේ ඵලදාව තමනට රිසි පරිදි ආයෝජනය සඳහා ලෝකයේ වැඩි ජනගහණයකට මිනිස් ඉතිහාසයේ ප්‍රථම වරට අවස්ථාවක් පෑදුණ නිසයි.

තම වෙහෙසේ ඵලදාව තමනට රිසි පරිදි ප්‍රයෝජනය ගැනීමට පුද්ගලයාට වැඩියෙන් ඉඩකඩක් සලසා ඇති රටවල් අද දියුණු රටවල් හැටියට හැඳින්වෙයි. එයට අඩුවෙන් ඉඩකඩ ඇති රටවල් හැමදාම දියුණුවෙමින් ඉන්නා රටවල් යැයි පෙනී යයි. දියුණු වෙමින් පවතින නොහොත් දුප්පත්කමෙන් වැඩි ජනතාවක් පෙළෙන රටවල වැඩි ජනගහණයක් තවමත් රජවරු විශ්වාස කරති. බලය අල්ලාගන්නට තරඟ වදින මූලිකත්වය ගන්නා අය අතර සිද්ධ විය යුතු යැයි සිතන පාර්ශවික ගිවිසුම් ගැන, සහ නීතිය විපර්යාස කළ යුතු අන්දම කෙසේදැයි ගැන කතාබහෙන් ඔවුන් රජවරුන්ට වැඩි ජනතාවකගේ සමෘද්ධිය සලසන්නට හැකි යැයි තරයේ විශ්වාසය තබාගෙන සිටිති.

සියල්ලන්ගේම දියුණුව සඳහා අවශ්‍ය රට හදන්න රජෙක් පත්කර ගැනීම නොවේ. එකිනෙකා සමඟ එකතු වී එකිනෙකාගේ සුවසෙත සලසා ගන්නට ජනතාවට ඉඩ දී රජයේ බලය අඩු කිරීමයි. සියල්ලන්ටම එක හා සමාන ලෙසින් නීතිය ක්‍රියාත්මක කිරීමයි. තවදුරටත් මංකොල්ලයට සහාය දැක්වීම නවතා සැබෑ සමෘද්ධියට සහාය දක්වන අයෙක් වෙනවා ද යන්න, වෙන කාගේවත් නොව ඔබගේ තීරණයයි.

One Response

Subscribe to comments with RSS.

  1. sunil R. de Silva said, on අප්‍රේල් 16, 2019 at 3:03 පෙ.ව.

    This post from Aruni is opportune and quite relevant to Sri Lanka in particular.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: