අරුණි ශපීරෝ‍ වෙතින්

ත්‍රස්තවාදය නිසා ඇතිවන සත්ත්‍රාසයේ අවදානම

Posted in Uncategorized by arunishapiro on මැයි 21, 2019

ෂර්ලොක් හෝම්ස්, ඇගතා ක්‍රිස්ටි සහ මෑත කාලීන ජේම්ස් පැටර්සන්, සහ ඇන්තනි හොරවිට්ස් යනාදීන් ඉතා රසවත් ප්‍රබන්ධ තුලින් අබිරහස් මිනීමැරුම් විසඳා පාඨකයා පිනවන ලොව සුපතල ලේඛකයන් වෙති. ඒත් එම පොත්වල දකින්නට ලැබෙන තරම් මිනීමැරුම් ඒ රටවල සමාජයේ එදත් අදත් නැතිබව සැබෑ දත්ත විසින් ඔප්පු කරයි.

ක්‍රිස්ටි ලියූ අර්කියුල් පුවාරෝ (Hercule Poirot) චරිතය පාදක කරගත් කතා පොත් තුලින් කියවන්නට ලැබෙන බ්‍රිතාන්‍යයේ පිටිසර ගම්මාන වලදී සිද්ධවෙන අබිරහස් මිනීමැරුම් බොහෝය. ඒත් එදා මෙන්ම අදත් දත්ත පෙන්වන්නේ එවැනි ගම්වල මිනීමැරුම් සංඛ්‍යාව කොතරම් අඩුදැයි කියායි. අද ඒ රටවල ගම්බද මිනීමැරුම් විමසන රහස් පරීක්ෂකයන්ට කාලය බහුල නිසා ඔවුන් ඉතා පැරණි මිනීමැරුම් පවා විසඳන්නට සමත්ව සිටිති. මේ ගැන හොරවිට්ස් සිය “මැග්පයි මිනීමැරුම්’ (Magpie Murders) 2017 ප්‍රබන්ධයේ චරිතයකින් හෙළිකරන්නට පසුබට නොවීම ඔහු පාඨකයාට දක්වන ගෞරවයක් යැයි සැලකිය හැකියි.

ලෝකයේ ඉහළම මිනිස් ඝාතන දත්ත ලැබෙන මෙක්සිකෝවේ ලොස් කාබොස් සහ දෙවැනි ඉහළම මිනිස් ඝාතන දත්ත ලැබෙන වර්තමාන වෙනෙසියුලාවේ කරාකස් නගරය පසුබිම් කරගත් මිනීමැරුම් ගැන ලියන සහ නිර්මාණය කරන ලද කලාත්මක වෑයම් කියවන්නට සහ නරඹන්නට එහි වාසය කරන ජනතාව මෙන්ම ලෝකවාසීන් ද පෝලිම් ගැසෙන ආකාරයක් දකින්නට නැත.

එයින් පෙනී යන්නේ, ලෝකවාසී පාඨකයන් සහ ප්‍රේක්ෂකයන් සැබෑ තත්වයන් දැනගන්නට ඇති කැමැත්තට වඩා තමන්ට හුරු පුරුදු දැක්ම සහ පරිසරය අනුව ගෙනෙන මනඃකල්පිත වලට ඇලුම් කරන බවයි.

ත්‍රස්තවාදී සිදුවීමක් නිසා තමන්ගේ දැක්ම සහ පරිසරය නැවත විභාග කරන්නට අවස්ථාවක් මිනිසාට පෑදෙයි. ඒත් හුරු පුරුදු දැක්ම සහ පරිසරය තුලින් නොව සැබෑ තත්වයන් විමසා බලන්නට ඉදිරිපත්වෙන අය ලොව සිටින්නේ අල්පයකි. මෙයින් සමාජයට හානිකර තත්වයන් නැවත නැවතත් ඇතිවේ.

9/11 ඇමෙරිකාවේ සිද්ධ වූ ත්‍රස්ත ප්‍රහාර වලට පසුව පසුගිය වසර කිහිපයේ දී ප්‍රංශය, ජර්මනිය, තුර්කිය, බෙල්ජිමය, සහ බ්‍රිතාන්‍යය, ත්‍රස්තවාදීන්ගේ පහරදීම් වලට ගොදුරු වූහ.

පසුගිය මාසයේ ලංකාවේ වැසියන් නැවතත් ත්‍රස්තවාදී බෝම්බ වලින් මිය ගියහ.

ඉතින්, මේ ත්‍රස්තවාදී ප්‍රහාර වලට ඒකීය පුද්ගලයන් ලෙසින් සහ දේශපාලන ලෙසින් දක්වන ප්‍රතිචාර ඒ ත්‍රස්තවාදී ප්‍රහාර වලට වඩා හානියක් ගෙනෙනවා යැයි කිව්වොත් ඔබ පිළිගනීවිද? ඔබ එල්බ සිටින හුරු පුරුදු දැක්ම සහ පරිසරයට ඉහත ප්‍රකාශය අනුකූල නොවන නිසා මේ ගැන විමසා බැලීමට පවා වෑයමක් ගනීවිද?

2000 ගණන් මුල දී ජර්මන් මනෝවෛද්‍ය ගෙයර්ට් ගීගරෙන්ස (Gerd Giegerenzer) විසින් ‘සත්ත්‍රාසයේ අවදානම’ (dread risk) යන ප්‍රපංචය හඳුන්වා දුන්නේය. ඒ අනුව සැබෑ දත්ත උපයෝගී කරගෙන ත්‍රස්තවාදී ප්‍රහාරයට වඩා හානියක් ඉන් පසුව මිනිසුන් ගන්නා පියවර නිසා ඇතිවෙන බව ඔහු පෙන්වයි.

ත්‍රස්තවාදී ප්‍රහාරයක් වැළැක්වීම අතිශය දුෂ්කර වූවකි. (ඒ ගැන ඔත්තු ලැබුණද කිසිත් නොකර සිටීම වෙනත් කතාවකි.) ඒත් ත්‍රස්තවාදී ප්‍රහාරයකින් පසුව මිනිසුන් ගන්නා තීරණ තුලින් ඇතිවන මහත් හානිය පහසුවෙන් සහ අඩු වියදමකින් වළක්වා ගත හැකි වූවක් යැයි කිව්වොත්, එය සැබැවින්ම විමර්ශනයට කැමති වනුයේ කීයෙන් කී දෙනෙක්ද?

සෑම ත්‍රස්ත ප්‍රහාරයකින් පසුව අපිට දකින්නට ලැබෙන්නේ ඒ රටේ රජය හදිසි නීතිය ක්‍රියාවට නැංවීමයි. එයින් යම් අයෙක් සැක කටයුතු යැයි තීරණය කරන නිසා පමණින්, සාක්ෂි ඉදිරිපත් නොකර අත්අඩංගුවට ගන්නා අයව දීර්ඝ කාලීනව රඳවා ගන්නට ඉඩ පෑදේ. අදිපත් නොමැතිව ගෙවල් දොරවල් හා රැකියා ස්ථාන ඇතුලත සෝදිසි කරන්නට අවස්ථාව පෑදේ. මහජන සහ පෞද්ගලික උත්සව තහනම් කිරීමට හැකියි. ත්‍රස්තවාදයේ නොයෙදුන අයගේ පෞද්ගලික දේපල පවා රජය බාරයට ගෙන ජනතාවගේ සිවිල් නිදහස් කප්පාදුව සිදුවේ.

ඒ නීතියට අනුකූලව කටයුතු සිද්ධ වෙන රටවල් වලයි. නීතිය තමන්ට රිසි ආකාරයෙන් භාවිතයට ගන්න රටවල මෙවැනි සෝදිසි, විපරම්, අත්අඩංගුවට ගැනීම් සහ පවරා ගැනීම් සඳහා බලය යොදවන්නට හැකි අය මොන තරම් හානිකර තත්වයක් ගෙනෙනවාදැයි කියා ඒ රටවල කවුරු සොයා බලනවාද?

ප්‍රංශයේ හදිසි නීතිය යටතේ තිදෙනෙකුට වඩා වැඩි දෙනෙක් රැස්වන හමුවීම් තහනම් වෙයි. 2015 නොවැම්බර් 13 වැනිදා පැරීසියට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාර වලින් පසුව 2017 නොවැම්බර් 1 වැනිදා තෙක් එරට හදිසි නීතිය යටතේ පැවතිණ. ප්‍රංශයේ හිටපු අගමැති මැනුඑල් වැල්ස්, ISIS පරාජය කරන තෙක් ප්‍රංශය හදිසි නීතිය යටතේ පැවතිය යුතු යැයි යෝජනා කරන ලද්දෙකි.

2017 ජූනි 3 වැනිදා ලන්ඩන් පාලම මත වෑන් රථයකින් යටකරමින් සහ පිහියෙන් ඇනීමෙන් එල්ල කරන ලද ත්‍රස්තවාදී සිද්ධියෙන් පසුව ඉන්ටනෙට් විපරම් දැඩි කළ යුතු යැයි බ්‍රිතාන්‍ය අගමැතිනිය වන තෙරේසා මේ කියා සිටියාය. ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ජනාධිපතිවරණ කතා පවත්වද්දී ISIS පරාජය සඳහා ඉන්ටනෙට් බාගෙට වසා දමන්නට අවශ්‍ය යැයි කියන ලදි.

“තාවකාලික සුළු ආරක්ෂාවක් මිල දී ගැනීම සඳහා ආවශ්‍යක නිදහස අත්හරින්න අය, නිදහසට හෝ ආරක්ෂාවට සුදුසු වූවන් නොවෙති,” යැයි බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින් කියන ලද්දේය. එම කියමන නූතනයට සුදුසු ලෙසින් ඉදිරිපත් කරන්නේ ජර්මන් මනෝවෛද්‍ය ගෙයර්ට් ගීගරෙන්ස විසිනි.

ගීගරෙන්ස ලියූ “අවදානම් ශූරවීම: හොඳ තීරණ ගන්නේ කෙසේද?” (Risk Savvy: How to Make Good Decisions) 2015 පොතේ පළමු පරිච්ඡේදයේ සිරස්තලය “මිනිසුන් මෝඩද?” යන ප්‍රශ්නයයි. ඊට යටින් ඔහු රැල්ෆ් වෝල්ඩෝ එමර්සන් කියමනක් සපයයි: “බියට ප්‍රතිවිෂය දැනුමයි”. සාක්ෂරතාව යන වචනයෙන් හඳුන්වන -කියවන්නට ලියන්නට ඇති හැකියාව- යනු ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක තතු දන්නා පුරවැසියාගේ ජීවන රුධිරය ලෙස සැලකේ යැයි කියන ඔහු ඒත් කියවන්නට හා ලියන්නට පමණක් දැන සිටීම අද ප්‍රමාණවත් නැතැයි පෙන්වයි. වර්තමාන මිනිසා අවදානම් පිළිබඳව නූගතෙක් නිසා, අවදානම් සාක්ෂරතාවය (risk literacy) ගැන මූලික දැනුමක් නූතන තාක්ෂණික සමාජය හා කටයුතු කරද්දී අවශ්‍ය වේයැයි ඔහු පෙන්වා දෙයි.

පුරුද්දෙන් ඇති කරගත් හුරුව අනුව මිනිසා තීරණ ගැනීම් කරයි. ඒත් අපට ලැබෙන තොරතුරු නිසියාකාරයෙන් පරිවර්තනය කරගන්නට නොහැකියාව නිසා අප විසින් වැරදි නිගමන හරහා අපටම හානිකර තීරණ ගන්නේ නම් අපි එම හැදියාව වෙනස් කරගන්නේ කෙසේද?

දක්ෂ ලෙසින් තීරණ ගැනීමේ හැකියාව මිනිසාට වර්ධනය කරගන්නට හැකියි. වෛද්‍යවරු, විනිසුරුවන් සහ 4 පෙළ දරුවන් සඳහා ද මේ දැනුම බෙදා දෙන ලද මේ මනෝවෛද්‍යවරයා ඔවුන්ට නිවැරදි තීරණ ගන්නට ක්‍රමවේද පුහුණු කරන ලදි. මේ ගැන හැදෑරීම සඳහා වෛද්‍ය විද්‍යාල තුල දැන් පාඨමාලා ආරම්භ වී ඇත.

ත්‍රස්තවාදීන් දෙපාරක් පහර දෙන ආකාරය ඔහු මෙසේ පැහැදිලි කරයි. මුලින් ඔවුන් ශාරීරික පහරක් දෙයි. දෙවැනි වතාවේ ඔවුන් අපේම මොළය උදව්වට ගෙන අපිට පහර දෙයි. ඒ පළමු පහර දීමට සියල්ලන්ගේම අවධානය යොමු වේ. මහත් මුදලක් යටකර ත්‍රස්තවාදය පරාජය සඳහා විශාල රාජ්‍ය ආයතන පටන් ගැනෙයි. නව තාක්ෂණයේ සහායෙන් සම්පූර්ණ සිරුර ස්කෑන් කර බැලීම වැනි පිළිවෙත් ගෙනෙයි. ඒත් දෙවැනි පහරට කිසිම අවධානයක් යොමු නොවේ. එනම් අපේම මොළය උදව්වට ගෙන අපගේ වැරදි නිගමන තුලින් වැරදි තීරණ වලට එළඹීම ගැන කිසිවෙක් අවධානයක් යොමු නොකරති.

ත්‍රස්තවාදියා ප්‍රයෝජනයට ගන්නා මේ අපේ මොළයේ ඇති මානසිකත්වය කුමක්ද?

මිනිසුන් හදිසියේ මිය යන ඒත් සිදුවිය හැකි අඩු සම්භාවිතාවකින් යුතු සිද්ධීන් ගීගරෙන්ස හඳුන්වන්නේ සත්ත්‍රාසයේ අවදානම් කියායි.

එවැන්නක දී අපගේ මොළය හුරු පුරුද්ද නිසා කියන්නේ “යම් අවස්ථාවක බොහෝ දෙනෙක් මිය ගියේ නම්, ඊට බිය වී, එවැනි තත්වයන් මඟහරින්න,” කියායි.

9/11 වලින් පසුව වසරක් පමණ කාලයක් පුරා, ඇමෙරිකාව ඇතුලත ගුවන්ගමන් අත්හැර, වාහන වලින් දුර ගමන්බිමන් යෑම නිසා ඊට කළින් වසර 5 කටම වඩා වැඩියෙන් රිය අනතුරු මරණ සංඛ්‍යාවක් දකින්නට ලැබුණු බව හේ පෙන්වයි.

මෙහි දී ඔහු පෙන්වා දෙන්නේ අපිට ඇත්තේ මරණය ගැන බියක් නොවේය කියායි. අපිට ඇත්තේ යම් ආකාරයකින් මැරෙන්නට සිද්ධ වීම ගැන බියකි. විශාල පිරිසක් යම් අවස්ථාවක දී එකවර මිය යෑම නිසා අපේ මොළය මහත් ලෙසින් තැතිගෙන ඊට ප්‍රතිචාර දක්වයි. ඒත් වසරක් තුල සිදුවූ රිය අනතුරු නිසා ඊට වඩා මහත් සංඛ්‍යාවක් මිය යෑම ගැන අපි කලබලයට පත් නොවෙමු.

මේ සත්ත්‍රාස අවදානම් බිය එන්නේ ඇයි? මිනිස් ඉතිහාසයේ බොහෝ කාලයක් කුඩා ගෝත්‍රික කණ්ඩායම් හැටියට මිනිසුන් ජීවත් වූහ. එහි දී ගෝත්‍රයක විශාල සංඛ්‍යාවක් එකවර මිය යෑම නිසා ගෝත්‍රයේ පැවැත්මට මෙන්ම කුසගින්නේ මිය යෑමට, සත්වයින්ට ගොදුරු වීමට වැඩි ඉඩකඩක් තිබිණ.

ඒත් අතීතයේ සත්‍යයක් වූවත් එය වර්තමානයේ සත්‍යයක් නොවේ යැයි ගීගරෙන්ස පෙන්වා දෙයි. නිවැරදි නිගමන වලින් යහපත් තීරණ ගැනීම සඳහා විචාරයෙන් විමසා බැලිය යුතු ක්‍රමවේද අපි තවත් ප්‍රමාද නොවී ඉගෙන ගත යුතුයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: