අරුණි ශපීරෝ‍ වෙතින්

නයගරා දිය ඇල්ල නැරඹීම

Posted in Uncategorized by arunishapiro on ජූනි 12, 2019

අප දෙදෙනාම නයගරා දිය ඇල්ල දැක නොතිබීම පුදුමයකි. මන්ද, ඊට ඉතා ආසන්නව උතුරෙන් හා දකුණින් මෙන්ම නැගෙනහිරින් හා බටහිරින් ද අප කිහිප වතාවක් ගමන් කර තිබීම නිසයි. මෙවර අපි එහි යෑමටත්, ඒ අසල රාත්‍රිය ගෙවීමටත් අදිටන් කරගත්තෙමු.

රාත්‍රිය ගෙවන්නේ නම් කැනඩාවේ සිට එය පෙනෙන හෝටලයක නතර වෙන්න යැයි ඒ හරහා නිතර යන එන අපේ මිතුරා දුන් උපදෙස විය. මාස 5-6 කට කළින් වෙන්කර ගනිද්දී අපට නවාතැන් සඳහා 14 වැනි තට්ටුවේ කාමරයක් ලැබුණි. ඊට උඩින් වූ තට්ටු සියල්ලේම කාමර ඒ වනවිටත් පිරී තිබුණි.

එන හෝ යන වෙන කිසිවෙක් දකින්නට නොමැති වූ රටවල් දෙකේ මායිම් තීරුවට අපි ළඟා වූයේ රාත්‍රී 9:30 ට පමණ. ඒ අවට සූදු ක්‍රීඩා සඳහා ඇති කැසිනෝ ගැන දැන්වීම් බහුල විය. පාර තොටේ කිසිවෙක් නොවූයේ සමහර විට ඒ දිනවල පැවති අධික සීතල නිසා වෙන්නැති. නැත්නම් ඔවුන් ඒ වෙද්දී සූදුවට කැසිනෝ ඇතුලට ගිහින් සිටි නිසා වෙන්නැති.

හෝටල් කාමරයට ඇතුල් වූ සැණින් අපි දැක්කේ දෙපැත්තට ඇද තිබූ ජනෙල් තිර මැදින් පෙනෙන, ඉතා සෙමෙන් වෙනස් වෙන පාට පාට ලයිට් වලින් ආලෝකමත් වූ නයගරා දිය ඇල්ලයි. ඇමෙරිකන් දිය ඇල්ල සහ මනමාලියගේ වේල්ල නම් කුඩා දිය ඇල්ල, ඈතින් දිස් විය. අශ්ව ලාඩමක හැඩයෙන් පිහිටන කැනේඩියන් දිය ඇල්ල ලෙස සැලකෙන්න අපේ කාමරයට මුහුණ ලා තිබුණි. ඉතා සුළු ප්‍රමාණයකට පමණක් විවෘත කරන්නට හැකි වූ කාමරයේ ජනේලයෙන් දිය ඇල්ල කඩා වැටෙන සද්දයට අපි සවන් දුන්නෙමු. ඇඳේ වැතිර ගෙන නිදිමතෙන් ඇස් පියවෙන තෙක්, ජනේලයෙන් පෙනෙන නයගරා දිය ඇලි දිහා අපි එදා රෑ බලා සිටියෙමු.

නොනවත්වා ඇද හැලෙන දිය ඇල්ල සිත වශී කරගන්නේ, මිනිසා නිර්මාණය කරන ලද දෑ කොතරම් අපූරු වුවත්, ස්වභාව ධර්මය ඒ සියල්ලටම වැඩියෙන් කොතරම් ආශ්චර්යයමත් දැයි සිහිකරවන්නට මෙනි.

ඊ ළඟ උදෑසන ඇහැරුනේ හිරු එළියෙන් බැබළෙන දිය ඇල්ල දකිමින්. පංච මහා විල් අතරෙන් එකක් වූ ඊරි විල යනු කොතරම් විශාල ප්‍රමාණයක් පුරා පැතිර පවතින්නේ දැයි යාන්තම් ඉඟියක් දැනුණි. ඊරි විලෙන් ගලා එන වතුර ඇද හැලී යන්නේ ඔන්ටේරියෝ විලටයි. ඒත් ඒ විල් අතර සමහර තැන් කොතරම් විශාල දැයි කිවහොත් ඒ පළල් තැන්වල දී විලෙන් එහා පැත්තක් පෙනෙන්නේ නැත.

කඩිමුඩියේ සීතලට හරියන්න ඇඳුම් ඇඟලා ගත් අපි උදෑසන 6 ට පමණ කෑමක් බීමක් හෝ නොගෙන දිය ඇල්ල වෙත පා නැඟුවෙමු. එය අප ගත් විශිෂ්ට තීරණයක් විය. දිය ඇල්ලේ සිරියාව මුළුමනින්ම අත්විඳින්නට අපිට ලැබුණේ පැය භාගයක් පමණ කාලයකි. හිරු එළිය හොඳින් තිබුණ ද, ගලා හැලෙන වතුර කන්දරාවෙන් පිටකරන ජලවාෂ්ප වලින් හැදුන මීදුමෙන් වසන් වීමට දිය ඇල්ල ඉතා ඉක්මණින් සමත් විණ.

ආපසු හෝටලයට ගමන් කරද්දී එදින උදයේ වටපිටාව බෙහෙවින් ජනාකීර්ණ බව අපිට පෙනිණ. විශාල සංචාරක බස් රථ වලින් ආපහු යන්නට පෝලිම් ගැසී සිටි චීන පෙනුමැති සංචාරකයන් බොහෝ වූහ. සූදු කෙළීම සඳහා කැසිනෝ බලා එන ජනතාව සඳහා වෙන්වුන ඒ සංචාරක බස් රථ අය කරන්නේ ඉතා අඩු ගාස්තුවක් යැයි අපිට දැනගන්නට ලැබුණි.

මෙය, දරුවන්ගේ නැටුම් සහ විවිධ ක්‍රීඩා තරඟ පැවැත්වීමට ද තෝරා ගැනෙන නගරයක් බව හෝටල් වලින් එළියට බහින අය වෙතින් දිස්විය.

නවාතැන් සඳහා හෝටල් රාශියක් ද, එසේම අවන්හල් ගණනාවක් ද පිහිටන පරිසරය බිහිවෙන්නට ඇත්තේ ස්වභාව ධර්මයා පිරිනැමූ මන බන්ඳන නයගරා දිය ඇල්ල ප්‍රධාන කරගෙන වුවත්, එය පමණකට සංචාරක කර්මාන්තය සීමා නොවී වෙනත් වෑයම් තිබීම දකින්නට ලැබීම මිනිසා සැබැවින්ම අපූරු සතෙක් යැයි සිහි කරවයි.

5 Responses

Subscribe to comments with RSS.

  1. පික්ෂු ඩොකා said, on ජූනි 13, 2019 at 8:58 ප.ව.

    කසාදය සමග බටහිර රටකට යාමට වීසා ලැබීම නරක ගනුදෙනුවක් නොවේ. සිංහලෙන් බ්ලොග් ලියන එක් කාන්තාවක් මහළු ඇමරිකානු යුදෙව් ජාතිකයෙකු කසාද බැඳ ඇමරිකාවට සංක්‍රමණයවී සිටින්නීය​. එය සමහරුන් ගේ දෝෂ දර්ශණයට ලක් වූවද එහි වරදක් මම නොදකිමි. ලංකාවේ පුරුෂයෙකු සමග විවහාවී පුරුෂාධිපත්‍යට යටත්වී ජීවත් වීමට වඩා වෛවාහික සංස්ථාවේ සමානාත්මතාව විශ්වාස කරන උතුරු ඇමරිකානුවෙකු සමග ජීවත් වීම නරක නැත.

    • arunishapiro said, on ජූනි 14, 2019 at 8:07 පෙ.ව.

      මම බටහිර රටකට වීසා ලැබුවේ කසාදයක් තුලින් නොවේ. එසේම මම කසාද බැන්ඳේ මහල්ලෙක්ව නොවේ. නොදන්නා දේ දන්නා විදියට ලියන්නට පෙර සැබෑ තතු සොයාගන්න, එය කිසිත් ලෙසකින් අසීරු නැත.

  2. ravisandu said, on ජූනි 14, 2019 at 12:57 ප.ව.

    ස්තූතියි අරුණි….:)

  3. Indranatha Thenuwara said, on ජූනි 15, 2019 at 7:50 පෙ.ව.

    කවදා හෝ දවසක බලන්නට යන්නට සිත අවදි කළා ලියවිල්ල.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: