අරුණි ශපීරෝ‍ වෙතින්

නයගරා දිය ඇල්ල සහ නිකොලා ටෙස්ලා

Posted in Uncategorized by arunishapiro on ජූනි 15, 2019

වයස අවුරුදු 12 දී පමණ, නයගරා දිය ඇල්ලේ ලිතොග්‍රාෆ් සිතුවමක් දැක, දිය ඇල්ල යටින් කරකැවෙන රෝදයක් හදා එයින් ලෝකයට බලය සැපයීම තම පැතුමක් වූයේ යැයි නිකොලා ටෙස්ලා සිහිකරන්නට ඉදි වූ ස්මාරක පුවරුවක සඳහන්. කවදා හරි ඇමෙරිකාවට ගිහින් වෝටර් ටර්බයින් මාර්ගයෙන් විදුලිය සපයන හැටි ගැන සොයා බලන්නේ යැයි ඔහු සිය මාමා කෙනෙකුට ද කියා ඇත.

නිකොලා ටෙස්ලා උපත ලැබූ ගම ක්‍රොඒෂියා නම් රටේ, Smiljan යැයි සඳහන්. “ස්මීයන්” නමැති ගම ටෙස්ලා උපත ලද කාලයේ දී අයිති වූයේ ඔස්ට්‍රියන් අධිරාජ්‍යයයටයි. පසුව ටෙස්ලා ඇමෙරිකාව තම වාසස්ථානය කරගත්තේය. ස්මීයන් ගමේ ද ටෙස්ලා වෙනුවෙන් ඉදි කරන ලද ප්‍රතිමාවක් ඔහු වෙනුවෙන්ම හැදූ අනුස්මරණ මධ්‍යස්ථානයක පිහිටයි.

ටෙස්ලා සර්බියන් වූයේ යැයි කියන්නටත්, ටෙස්ලා ක්‍රොඒෂියන් වූයේ යැයි කියන්නටත් ඒ දෙපැත්තේම අය පෙළඹෙති. සමහර විට මෙය දුප්පත් රටවල දකින්නට ඇති ගතියක් විය හැකියි; ලංකාව හා යාන්තම් හෝ සම්බන්ධයක් ගෑවිච්ච අයෙක් බටහිර රටකින් සම්මානයක් දිනාගන්නට සමත් වූවේ නම් ඒ අයව ශ්‍රී ලාංකේය කියා හඳුන්වන්නට ඇති කැමැත්ත ඉතා දැඩියි.

ලොව අනෙකුත් නවෝත්පාදකයන්ට මෙන්ම ටෙස්ලාට ද සිය අදහස් ක්‍රියාවට නංවන්නට හැකියාව පෑදෙන්නේ ඒවාට ඉඩකඩ ලැබෙන නිර්බාධ වෙළඳපොලක් ඇති රටකට ඇතුල්වීමට අවස්ථාව ලැබුණ පසුවයි. ඔහු ලෝක ප්‍රසිද්ධියක් ලබාගන්නට සමත්වෙන්නේ මෙතෙක් ඔප්පු කර නැත්තක් ගැන මහත් ධනයක් යටකර අවදානම් ගැනීම සඳහා අතදෙන්නට ධනපතියන් ඉදිරිපත් වූ නිසයි. එවක ඇමෙරිකන් ධනපතියන් වූ ජේ. පී. මෝගන්, ජෝන් ජේකොබ් ඇස්ටර්, ලෝඩ් රොත්ස්චයිල්ඩ් (නේතන්) සහ ඩබ්. කේ. වැන්ඩබිල්ට් (කොරනේලියස්ගෙ මුනුපුරා) යනාදීන් නයගරා දිය ඇල්ල අසල විදුලිබලාගාරයක් පිහිටුවීමට ප්‍රාග්ධන දායකත්වය දුන් අය වූහ. ජෝර්ජ් වෙස්ටින්හවුස් සමඟ කොන්ත්‍රාත්තුව බාරගත් ටෙස්ලා 1895 වසරේ දී මුලින්ම ඊසාන දිග උතුරු ඇමෙරිකාවට නයගරා දිය ඇල්ලෙන් විදුලිබලය සපයන්නට සමත් වූයේය.

ටෙස්ලා වෙනත් නවෝත්පාදන සිය ගණනකට හිමිකම කිව්වද, මිනිස් ජීවිතය සමෘද්ධිමත් කරන්නටත් මිනිස් හැදියාවන් වෙනස් කරන්නට සමත් වූ විදුලිබලය ඔහු ලොවට ප්‍රදානය කරන ලද විශිෂ්ටතම වූවයි. ඒත්, එහි ආශ්චර්යය ගැන සිතන්නට නොහැකි වූවන්, විද්‍යාව බැහැරලා, මතවාදයකට වැඳ වැටෙමින් 2007 දී පටන් ගත් “පෘතුවි හෝරාව” වැනි මුග්ධ සිරිතක් මහත් උත්කෘෂ්ට ලෙසින් සැමරීම ගැන ටෙස්ලා කුමක් සිතාවි දැයි එම ටෙස්ලා උද්‍යානයේ ඇවිදිද්දී මම කල්පනා කළෙමි.

මේ කුඩා උද්‍යායනයේ, නයගරා දිය ඇල්ල වෙතට මුහුණ ලා සිටින පරිදි නිකොලා ටෙස්ලාගේ පිළිමය ඉදිකර ඇත.

නිකොලා ටෙස්ලා සහ නයගරා දියඇල්ලෙ විදුලිබල ව්‍යාපෘතිය ගැන ඉංග්‍රීසියෙන් කියවන්නට කැමති අයට ඒ සඳහා කදිම සටහනක් මෙතැන ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: