අරුණි ශපීරෝ‍ වෙතින්

බ්‍රැම්ප්ටන්ස්ටාන්

Posted in Uncategorized by arunishapiro on ජූනි 18, 2019

කැරී ලෑම්ට අකුලාගෙන යන්නට සිද්ධ වෙන තත්වයක් හදන්නට පාරට බැස්සේ හොංකොං ජනතාවයි. අහස්කුස සිඹින උස් ගොඩනැඟිලි මැද්දෙන් පාරවල් අවහිර කරමින් ඒ මහා ජන ගඟ ගලද්දී, ඔවුන් අතර වූ තරුණ තරුණියන්ගේ සහභාගීත්වය වැඩියෙන් ඉස්මතුව පෙනිණ. මිලියනය ඊ ළඟ දවසේ මිලියන දෙකක් වෙද්දී, පොලීසිය දමා පහර දී ඔවුන් ගෙදර යවන්නට නොහැකි යැයි වැටහෙද්දී, පොලීසිය පැත්තකට වීම දකින්නට ලැබිණ. එය චීනයෙන් නොව එංගලන්තයෙන් දායද වූවකි. එහෙත් එංගලන්තයෙන් දායාද වූ පිළිවෙත් චීනය අතින් කෙමෙන් සහ වක්‍ර මාර්ග වලින් කප්පාදුවට ලක්වීම කොතරම් පෙළපාලි ගියත් දිගින් දිගටම සිද්ධ වීම හොංකොං වැසියන්ගේ ඛේදවාචකයයි.

ජූනි 16 වැනි ඉරිදා දකුණු ඇමෙරිකාවේ ආජන්ටීනා, උරුගුවායි සහ පැරගුවායි යන රටවල විදුලිබලය ඇණහිටියේ මිලියන 50 ක් පමණ ජනතාවක් අසරණ කරමිනි. දුරකතන සහ අන්තර්ජාලය පමණක් නොව බුඑනෝස් අයර්ස් හි මහජන ප්‍රවාහනය ද නැවතිණ. වතුර සැපයුම නැවතිණ. කඩසාප්පු වසා දැමිණ. උදේ 7 ට පමණ නැවතුණ විදුලිබලය රාත්‍රියේ යළි ක්‍රියාත්මක කරන්නට ආජන්ටීනාව සමත් විය. එය සයිබර් ප්‍රහාරයක් නොවේ යැයි දැනට කියැවේ. ඉන් කියැවෙන්නේ එය පවතින දුර්වල පද්ධතියක් කඩාවැටීම බවයි. රටවල් කිහිපයක එකතුවෙන් විදුලිබල පද්ධතියක් ගෙන යාමේ ඵලවිපාක දැන් ඔවුන් තෝරා බේරා ගන්නට උත්සාහ කරති. මෙතෙක් කාලයක් ගෙන ගිය අයහපත් ආර්ථික පිළිවෙත් වෙනස් කරන්නට නම් එහෙත් ඔවුන් යුහුසුළු වේ යැයි සිතිය නොහැකියි.

ටොරොන්ටෝ, කැනඩාවේ ඔන්ටේරියෝ ප්‍රාන්තයේ අගනගරයයි. පරිස්ථානීය ජනතාව ඒ නම උච්චාරණය කරන විධි බොහොමයකි. ‘ටොරොන්නෝ’ යැයි ද, ට්‍රොනෝ කියා ද, ‘ටොරානා’ සහ ‘ටරාන්නා’ යනාදී වශයෙන් ඒ නම කියැවේ.

90 ගණන් මුල දී, කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ ශ්‍රී ලාංකික අවන්හල් සහ කඩසාප්පු බොහොමයක් ඇතැයි මම මුලින්ම දැන ගතිමි. සෑහෙන සිංහල සහ ද්‍රවිඩ ජන සංඛ්‍යාවක් එහි පදිංචියට ගිය නිසා ඒවා ඔවුන් සඳහාම ඉදි වෙන ලදි. ඒ පැත්තේ යාම මගේ ආසාවක් වුවත් ඒ ආසන්නයට කිහිප වතාවක් ගිය ද නගරය බලන්නට යෑම පසුවට කල් දැමිණ. මෙවර එම ආසාව මුදුන්පත් විය.

ඒත් ටොරොන්ටෝ නගරයේ ඩවුන්ටවුන් හෙවත් “නගරය මැද” පවතින ජෙරාඩ් ඉන්දියා බසාර් (Gerrard India Bazzar) දැන් ජරාවට පත්ව ඇති බව ඒ ආසන්නට එද්දීම පැහැදිලි විය. කුලියට දීමට ඇතැයි ගසා ඇති පෝස්ටර් වැසී ගිය කඩසාප්පු වීදුරු ගණනාවක් සරසා ඇත. ඒවා සියල්ලම පාහේ අලුත්වැඩියා කළ යුතු තත්වයේ පවතී. අතරින් පතර වූ අවන්හල් සහ කඩසාප්පු සතියේ දිනවල විවෘත නැතැයි සඳහන් වූ අතර එකක් දෙකක් දවල් 12 න් පසු විවෘත වන්නේ යැයි සඳහන් විය. ජෙරාඩ් ඉන්දියා බසාර් ගැන ඇති වෙබ් අඩවියේ මේ වර්තමාන තත්වය ගැන, එනම් දැන් එය උත්සවයක් පැවැත්වෙද්දී පමණක් ජනාකීර්ණ වෙන ස්ථානයක් යැයි සඳහන් නැත.

ටොරොන්ටෝ නගරයට ආසන්නව පිහිටන මධ්‍යස්ථ ප්‍රමාණයක නගරයක් වූ බ්‍රැම්ප්ටන්, උතුරු ඇමෙරිකාවේ පවතින අපූරු නගරයකි. අපි ඒ පැත්තට ළංවෙද්දී මිනිසුන් දකින්නට පෙර දැක්කේ බලන හැම අතකම පාහේ පැවති ඉන්දීය නම් ආශ්‍රයෙන් දිස්වන ‘වැනිටි ප්ලේට්’ හෙවත් වාහන නම්බර් ප්ලේට් වූහ. ඒ පැත්තේ ගෙවල් විකුණන (realtor) අයගෙන් බහුතරය ඉන්දීය නම් වලින් යුතුයි. කොස්ට්කෝ, වෝල්මාට්, ස්ටාර්බක්ස් වැනි ඇමෙරිකන් ව්‍යාපාර වලට අමතරව, හැම පැත්තකින්ම දකින්නට ලැබුණේ දකුණු ආසියාවේ නම් වලින් දිස්වෙන ව්‍යාපාරයන්ය. රත්තරන් බඩු, සාරි සහ අනෙකුත් ඉන්දීය ඇඳුම් පැළඳුම්, ඉන්දීය ග්‍රොසරි යනාදිය හැම අත දකින්නට ලැබිණ.

ඉන්දීය අවන්හලකින් කන්නට නම් ගෙදර සිට සැතපුම් 65 කට වඩා (කිලෝමීටර් 100 කට වඩා) දුරක් ගෙවා යන්නට සිද්ධ වෙන අපට, බලන බලන හැම අත ‘තන්දූරි ෆ්ලේම්’, ‘බොම්බෙ පැලස්’, ‘බබා ධබා’ වැනි නම් දැක ගන්නට ලැබුණි. ‘තිනූෂ ටේක් අවුට් ඇන්ඩ් කේටරින්’ ඒ අතර වූ රස නහර පිනවන සිංහල කෑම පිරිනමන අවන්හලකි. පෝලිමේ ඇවිත් ආහාර ගෙනියන අය වැඩිපුර දකින්නට ලැබෙන මෙම අවන්හලේ අසුන්ගෙන ආහාර ගන්නා අය දකින්නට ලැබුනේ අතලොස්සකි. අපි දෙදෙනා ඒ අසුන්ගෙන ආහාර ගත් අය වූහ. කෑම පිඟන් විකුණන ආකාරයෙන් නොව, අපි කැමති දේ පමණක් ඉල්ලා සිටියදී එය එසේම සැපයූ ඔවුන් වෙතින් ඉතා විශිෂ්ට සේවයක් අපට ලැබුණි.

ඉන්දීය සම්භවයක් ඇති ජනතාව වැඩිපුර වාසස්ථානය කරගෙන සිටින කැනඩාවේ නව වැනි විශාලතම නගරය ලෙස සැලකෙන මෙයට බ්‍රැම්ප්ටන්ස්ටාන් යැයි සුරතල් නම වැටී ඇතැයි අපි දැනගත්තෙමු. ඊයේ පෙරේදා මෙම නගරය අනාගත නගරයක් හැටියට සැලකෙන ප්‍රශස්ත ලැයිස්තුවකට එකතු විය. ව්‍යාපාරිකයන්ගේ පහසුවට ගෙනෙන ලද යහපත් ආර්ථික පිළිවෙත් එහි දියුණුවට හේතු වූ බව පිළිගන්නා අය සිංහලෙන් කියවන අය අතර නම් ඉතාමත් අඩු විය හැකියි. මන්ද, ඒ පළාතේ වාසය කරන සිංහලෙන් කියවන අය සඳහා මුද්‍රණය වූ පුවත්පතක පිටු පුරවා තිබුණේ ඒ පැත්තේ ලාංකිකයන් අමතන්නට පැමිණි ජවිපෙ පක්ෂ නායකයාගේ ඡායාරූප හා විස්තර වලිනි. ලංකාවේ බහුතර සිංහලයන් අරගන්නෙත් පිටරටෙන් එන හොටු පමණයි, දියුණු තැනකට ගියත් ගෙනියන්නෙත් හොටු පමණක් යැයි මට සිතුණි.

2 Responses

Subscribe to comments with RSS.

  1. Lalita ranawana said, on ජූනි 18, 2019 at 10:16 ප.ව.

    Oba apawa apooro than walata geniyanawa.kannada hitiya ape malli kenek kiwwe wenas deyak .tax and difficulties.obe vicharaya hondai.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: