අරුණි ශපීරෝ‍ වෙතින්

වොට්කින්ස් ග්ලෙන්

Posted in Uncategorized by arunishapiro on ජූනි 24, 2019

උතුරු ඇමෙරිකාවේ පංච මහා විල් ආශ්‍රිතව තවත් විල්, ලොකු කුඩා පොකුණු සහ දිය ඇලි මහත් ගණනාවක් ඉතා විශාල භූමි ප්‍රදේශයක් පුරා පැතිර ඇත. ඒවායේ පිහිටීම නිසා දකින්නට ලැබෙන දැකුම්කළු පරිසරයෙන් යුතු ලොකු කුඩා නගර සහ ගම්මාන බොහොමයක් කැනඩාව සහ ඇමෙරිකාව යන රටවල් දෙකටම අයත් වේ. ඔන්ටේරියෝ විල පැත්තෙන් දකුණට යද්දී, නිව් යෝර්ක් ප්‍රාන්තයේ උතුරු පෙදෙසේ පිහිටන, අත්වල ඇඟිලි සේ සිතියමකින් පෙනන, ෆින්ගර් ලේක්ස් (ඇඟිලි විල්) ගිම්හානයේ දී විනෝදාස්වාදය සඳහා මහත් ජනතාවක් ඇදී යන පැත්තකි.

වොට්කින්ස් ග්ලෙන් යනු මේ ‘ඇඟිලි විල්’ අතරෙන් ‘සෙනෙකා විල’ නම් වූවේ දක්ෂිණාංශයේ ඇති ඉතා සුන්දර කුඩා ගම්මානයයි. මෙදින එය අපේ ගමනාන්තය විය. සෙනෙකා විල අයිනෙන්ම දිවෙන කුඩා පාරේ සැතපුම් 30 ක් පමණ වාහනයෙන් යද්දී කළින් දැක්කාට වැඩියෙන් ලස්සන තැනක් නැවත නැවතත් දකිද්දී, කොතැනදීද වැඩියෙන්ම චමත්කාර දර්ශනයක් ලැබෙන්නේ යැයි සිතාගත නොහැකි තරම් තත්වයකට අප පත්වීමු.

විල අද්දර ඉදි කරන ලද නිවාස විලේ සෞන්දර්යයට හානියක් නොවන ආකාරයෙන් හදා ඇතැයි මට සිතුණි. එනම්, විලෙන් නිවසටත් නිවසෙන් විලටත් එකසේ සුන්දරත්වයක් එකතු වෙන ආකාරයෙන්, පාරේ සිට බලන්නෙකුට විල මෙන්ම විලේ එහා පැත්තේ අද්දර පවා දැකගන්නටත් හැකිවන ලෙසකින් ඒවා බොහොමය නිමැවී ඇත.

වොට්කින්ස් ග්ලෙන් හාබර් හෝටලය එම නමින්ම ඇති වරායට මුහුණලා ඉදිකර ඇත. එම වරාය අතීතයේ දී බඩු සහ මඟීන් ප්‍රවාහනය සඳහා තනන ලද්දකි. අද එය සෙනෙකා විලේ විනෝදාස්වාදය සඳහා එහි එන සංචාරයක් වෙනුවෙන් පාවිච්චියට ගැනෙන්නකි.

වරායේ නැංගුරම් ලා තිබූ සුවිශේෂී රුවල් නැවක් ගැන මෙහි දී විශේෂයෙන් සඳහන් කළ යුතුයි. ඒ, ‘හයි සොසයටී” (1956) නම් සිනමා නිර්මාණයේ ග්‍රේස් කෙලී සහ ෆ්‍රෑන්ක් සිනාත්‍රා හනිමුන් ගිය ‘ටෲ ලව්’ නමැති රුවල් නැවයි. ටිකට් පතක් මිල දී ගෙන එහි නැව් ගමනක් යන්නට අද සංචාරකයන්ට පුළුවනි.

වොට්කින්ස් ග්ලෙන් ප්‍රාන්ත උද්‍යානයේ දී ගන්නා ලද සිත්කළු ඡායාරූප රැසක් අපිට කැනඩාවේ තවත් මිතුරෙක් වෙතින් දැකගන්නට හැකිවිණ. මෙය සැතපුම් 2 කට අඩු, පයින් යා හැකි කුඩා අතුපාරවල් ගණනාවක දී ඇද හැලෙන දිය ඇලි 19 ක් නරඹන්නට හැකි උද්‍යානයකි.

මේ උද්‍යානය සංචාරකයන් වෙනුවෙන් පටන් ගන්නා ලද පෞද්ගලික ව්‍යාපාරයකි. පළාතේ පුවත්පත් අයිතිකරුවෙකු වූ මොර්වෝල්ඩන් එල්ස් (Morvalden Ells) සහ ඉඩම්හිමියෙකු වූ ජෝර්ජ් ෆ්‍රීයර් (George Freer) විසින් 1863 වසරේ ගිම්හානයේ දී උද්‍යානය විවෘත කළ පසුව එම වසර තුල දී ඔවුන් ටිකට්පත් දහදාහක් විකුණන ලදැයි කියැවේ. අයිතිකරුවන් රැසකගෙන් පසුව 1906 දී එය නිව් යෝර්ක් ප්‍රාන්තය විසින් මිල දී ගන්නා ලදි.

වසන්තයේ ආරම්භයත් සමඟ, සතියේ මැද දිනක හිමිදිරි උදයේ එහි ගිය නිසා වෙන්නැති අපිට එහි හැම අත යද්දී අනෙක් සංචාරකයන් පසුපස පෝලිමේ යන්නට සිද්ධ වූයේ නැත. මෙය නිව් යෝර්ක් ප්‍රාන්තයේ පමණක් නොව ඇමෙරිකාව තුල පිහිටන සංචාරක ස්ථාන අතර ඉතා ජනප්‍රිය තැනක් හැටියට සැලකෙන්නකි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: