අරුණි ශපීරෝ‍ වෙතින්

ජූලි හතර නොහොත් ඇමෙරිකන් නිදහස් දිනය

Posted in Uncategorized by arunishapiro on ජූලි 3, 2019

නිදහස් දිනය යනු ඇමෙරිකාවේ බහුතර ජනතාව සැබෑ ලෙසින්ම නිදහසේ කාලය ගෙවන දිනයයි. කල් තියාම ජූලි හතර ගෙවන්නට සුදුසු තැනක් තෝරා ගැනීමට අවශ්‍යයයි. එළිමහනේ කෑම උයාගන්නට, දියට බැස නාන්නට සහ ඉර බැස යද්දී ඇරඹෙන ගිණිකෙළි සංදර්ශන නරඹන්නට හැකියාව, යනාදිය තැනක් තෝරා ගැනීමේ දී සොයා බැලිය යුතු ප්‍රධාන සාධක වෙති. ඒ තුනම සපුරන ස්ථානයක් ඇත්නම් කල්තියාම එතැනට සෙනඟ ඇදී එන ආකාරය දැකිය හැකියි.

මෙදින රාජ්‍ය ආයතන යටතේ මෙහෙයවන නිල උත්සව දකින්නට නැත. ගම් නගර මට්ටම් වලින් පැවැත්වෙන උත්සවයක් ඇත්නම් ඒවා ආණ්ඩුවේ තනතුරු හොබවන ලොකු ලොක්කන්ට කැපී පෙනෙන්නට ලැබෙන උත්සව නොවේ. ගමේ හෝ නගරයේ සාමාන්‍ය ජනතාව ඇමෙරිකන් කොඩි රැගෙන, එහි පාට වලින් විවිධාකාර ඇඳුම් පැළඳුම් වලින් සැරසී, එකමුතුවෙන් සහභාගී වෙන පෙරහැරක මූලිකත්වය ගන්නේ එක්කෝ කුඩා දරුවෙකි. නැත්නම් ජනාදරයට පාත්‍ර වූ වයෝවෘද්ධයෙකි. හමුදාවේ සේවයෙන් විශ්‍රාම ගත්තවුන්ට ද එවැනි පෙරහැරක යන්නට ඉඩකඩ ලැබේ. එවැනි පෙරහැර පටන් ගැනෙන්නේ සහ අවසන් වෙන්නේ ද වේදිකා මත නැඟ කෙරෙන කතා පැවැත්වීම් වලින් තොරව. මඟ දෙපස පුටු තබාගෙන ‘ජූලි හතර පෙරහැර’ නරඹන අය බොහොමයක් එහි ගමන් කරන අයගේ හිතවතුන්, ඥාතීන් සහ අසල්වැසියන් වෙති.

පවුලේ අය සමඟ එකතු වී ජලාශ්‍රිත ක්‍රීඩාවන්හි යෙදීමත්, එළිමහනේ බාබික්‍යු විදියට හොට්-ඩෝග්ස් උයාගෙන කෑමත්, බියර් බීමත්, ගිණිකෙළි සංදර්ශන නැරඹීමත්, අනතුරුව දරුවන් සමඟ ගිනිමැළයක් වටේ එකතු වී කතන්දර කියමින් මාෂ්මෙලෝස් පුලුස්සමින් කෑමත්, සාමාන්‍යයෙන් ජූලි හතර දවසක දකින්නට ලැබෙන ක්‍රියාකාරකම් අතර වෙති.

ඉතින් ඒ නිසා, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රටවැසියන් අමතා කතාවක් පවත්වන්නට නියමිත, ‘සැලියුට් ටු ඇමෙරිකා’ නමින් මේ ජූලි හතර වැනිදාට වොෂිංටනයේ පැවැත්වෙන උත්සවයක් සංවිධානය කර ඇතැයි අහන්නට ලැබීම බොහෝ පිරිසකගේ සිත් නොසන්සුන් කරන්නට සමත් විණ.

ඊට සහභාගී වන්නට ගෙනෙන ලද යුධ ටැංකි දැකීමට ලැබීමත් සමඟ ඒ නොසන්සුන් බව තවත් වැඩි විය. හමුදාවේ බලය පෙන්වන යුධ ටැංකි ප්‍රදර්ශනය අද ඇමෙරිකන් වැසියන්ගේ සිත් දිනාගත හැකි ආකාරයක් නොවේ. 1953 වසරේ ඩ්වයිට් අය්සන්හවර් ජනාධිපති පදවිය බාර ගත් උත්සවයේ දී මෙන්ම 1964 දී ජෝන් එෆ්. කෙනඩි ජනාධිපති පදවිය බාරගත් උත්සවයේ දීත් යුධ ටැංකි වොෂිංටනයේ උත්සව වලට සහභාගී කර ගැනිණ. කෙනඩි පදවි ප්‍රාප්තියේ දී මිසයිල පවා පෙරහරට එක් කරගන්නා ලදි. හමුදාව පසුබිම් කරගෙන ජෝර්ජ් බුෂ් සහ බරක් ඔබාමා යන හිටපු ජනාධිපතිවරුන්ද කතා පවත්වා ඇත. ඒත් අවසන් වූවා යැයි කියූ යුද්ධ නිමා වූයේ ඒ කතා වලින් තවත් කාලයකට පසුවයි. ඒ කිසිවෙක් ජූලි හතරවැනිදා උත්සවයක් සඳහා හමුදාව යොදාගෙන නැත.

2020 ජනාධිපතිවරණයට ලැහැස්ති වෙන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මෙවර තේමාව ‘Keep America Great’ යන්නයි. මුල් වටයේ පොරොන්දුව දැනටමත් ඉෂ්ට කර ඇති බවක් මෙයින් හැඟවීම ඔවුන්ගේ මැතිවරණ ප්‍රචාරණයේ දක්ෂතාවයයි. අනෙක් පාර්ශව සියල්ල තුලින් ට්‍රම්ප්ව ගෙදර යවන්නට සමත් වූවෙක් සිටින බවක් දැනට දකින්නට නැත.

‘සැලියුට් ටු ඇමෙරිකා’ නාඩගම කෙසේ දිග හැරුණත්, හදිසියේ සංවිධානය කරන ලද්දට සහභාගී වෙන ජනකාය කොතරම් අඩු හෝ වැඩි වුවත්, ට්‍රම්ප්ගේ ‘ජනප්‍රියත්වයේ’ වෙනසක් නොවනු ඇත. ප්‍රතිවාදීන් නැති දේශපාලකයෙක් බලයේ සිටීම අහිතකර තත්වයකි. ඒත් එවැනි අයෙකුව පවා වසර 8 කින් ගෙදර යවත හැකියාව රටේ භාග්‍යයයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: