අරුණි ශපීරෝ‍ වෙතින්

ඕනෑම කලා නිර්මාණයක වටිනාකම කුමක්දැයි කියා තක්සේරු කරන්නේ කෙසේද?

Posted in Uncategorized by arunishapiro on අගෝස්තු 6, 2019

ලංකාවේ සමාජවාදී උත්සවාකාරයෙන් සැමරෙන සාහිත්‍ය මාසය ළඟ එන බව අඟවන සලකුණු රැසක් මේ දිනවල දකින්නට ලැබේ. වෙළඳාම, වෙළඳපොල, කඩහිමියන්, මුදල හා ලාබය යනාදිය අවතකසේරු කිරීමේ නිති යෙදෙන අය පවා සාහිත්‍ය මාසය ඉලක්ක කරගනිමින් පොත් එළිදක්වන්නට පෙළ ගැසෙන ආකාරය ඉස්මතුවී දකින්නට ලැබේ.

‘සමාජවාදී උත්සවාකාරය’ ලෙසින් මම හැඳින්වූයේ සාහිත්‍ය මාසයේ රටේ පැවැත්වෙන බොහෝ වැඩ සටහන් රජය සමඟ අත්වැල් බැඳගත් ඒවා නිසායි. ඒත් ලංකාව යනු සමාජවාදී රටක් නොවේ යැයි සමහරු තවමත් කියති. ඔවුන් එසේ කියන්නේ, මෙසේ ඊට විරෝධය දක්වන අයත්, ලාබය උදෙසා වෙහෙසවීම පැහැදිලිව පෙනෙන නිසා විය හැකියි. සමාජවාදය අත්හරින්නට අකමැති, එය ආචාර ධාර්මික පැත්තෙන් පහළම මට්ටමේ සිටිනවා යැයි ඔප්පු කර පෙන්නුවත් පිළිනොගන්නා අය, තව දුරටත් වෙළඳාම, වෙළඳපොල, කඩහිමියන්, මුදල හා ලාබය නිසා ලැබෙන ඉඩකඩ අනුව සිය නිර්මාණ නිකුත් කරමින් ඒත් එයට ඉඩ ලැබෙන ක්‍රමය ඉහළ ආචාර ධාර්මික තත්වයක් යැයි පිළිගැනීම ප්‍රතික්ෂේප කරති.

වෙළඳපොල, ජනප්‍රියත්වය කලා නිර්මාණයක අනගිත්වය දක්වන්නේ යැයි කිව්වොත්?

ජනප්‍රිය යැයි මෙහි දී සලකන්නේ පාඨකයන්, ප්‍රේක්ෂකයන් කැමැත්තෙන් සිය මුදලින් මිල දී ගන්නා නිර්මාණ පමණක් බව සලකන්න.

ජනප්‍රිය සංස්කෘතිය තුළ විකාර රැසකි. ඒත් ඒවා උලුප්පා පෙන්වීමෙන් එලීටිස්ට්ලා කරන්නේ තමන්ට නියාමන බලය අල්ලා ගැනීමට ප්‍රයත්නයකි.

කලා නිර්මාණයක් ප්‍රකාශනයට ඉඩ දීම මෙන්ම එහි වටිනාකම තක්සේරු කරන්නට රජය මැදිහත්වීමෙන් පිහිටුවා ගන්නා ලද විද්වත් කමිටු, ඒවායේ අනුමැතිය අනුව පැවැත්වෙන ත්‍යාග හා සම්මාන ප්‍රදානෝත්ස්ව, ඒ අනුව රජය හරහා පාසැල් සහ පුස්තකාල පද්ධතියට ග්‍රන්ථ මිල දී ගැනීම සහ බෙදා හැරීම, යනාදී වශයෙන් බෙහෙවින් සමාජවාදී වූ පියවර තවමත් ලංකාවේ අනුගමනය කෙරේ.

අනගිත්වය කුමක්දැයි තේරීම සඳහා පත්වන පුද්ගලයන් ඒ ඒ රජය අනුව වෙනස්වීමත්, ප්‍රකාශන තහනම් හා නිර්මාණකරුවන් හිරබත් කෑමත් පෙන්වනුයේ ‘කමිටුවක්’ හෝ ‘පුද්ගලයෙක්’ එම කාර්යයට අසමත් බවයි. නමුත්, කලා නිර්මාණයන්හි අනගිත්වය කුමක්දැයි වෙළඳපොලට තීරණය කිරීම පවරන්නට සිතන්නට නොහැකි ජනතාව පසුබට වෙති.

ඔවුන් දකින්නේ වෙළඳපොලේ මහත් විකාර රැසක් ඇති බව පමණකි.

කවුරුන් හෝ ඒ විකාර රැස අතරින් අනගි යැයි කියන ස්වල්පය තෝරා පෙන්වන්නේ නම් කියා ඔවුන් ප්‍රාර්ථනා කරති.

ඊට සමත් වනුයේ විද්වත් පුද්ගලයන් යැයි ඔවුන් තරයේ විශ්වාස කරති.

එපමණක් නොව, එසේ තෝරා ගන්නා හොඳ කලා නිර්මාණ වලට ජනප්‍රිය වන්නට ඉඩ දී, නුසුදුසු කලා නිර්මාණ සමාජයෙන් තහනම් කළ යුතු බවත් කියන්නට පවා ඔවුන් පෙළඹෙති.

ඉතින් සමාජවාදී සමාජයක් හැම විටම අනගි කලා නිර්මාණ මොනවාදැයි තීන්දු කරන විද්වත් පුද්ගලයන් සහ ඔවුන් වෙතින් හැදෙන විද්වත් කමිටු සොයන්නට නිති වෙහෙසෙති.

‘වානිජ්‍ය කලාව’ පහත් යැයි හඳුන්වා මුදල් උපයන ජනප්‍රිය නිර්මාණ හෙළා දැකීම එවැනි කමිටුවල නිලතල දරන්නට රිසි වූ අය විසින් කරන වෙළඳපොල හෑල්ලුවයි.

වෙළඳපොල අනගි කලා නිර්මාණ මොනවාදැයි තීන්දු කරන්නට සමත් වූ බව පෙන්වන කතිකාව ලංකාවේ තවමත් ඇරඹී නැත.

වික්ටෝරියන් යුගයේ නවකතා 40,000 ක් පමණ බිහිවූවා යැයි ඇස්තමේන්තු වේ. ඉන් 39,800 ක් විකාර වූවා යැයි සැලකේ. අපි ඒවා අද කියවන්නේ නැත. ඒත් චාල්ස් ඩිකන්ස්, ජේන් ඔස්ටන්, සහ බ්‍රොන්ටේ සහෝදරියන් යනාදීන් ලියූ නිර්මාණ වර්තමානයේ සිංහල බසින් පවා කියවන්නට ලැබේ.

ඒවා වෙළඳපොල තුලින් අනගි යැයි ලෝක ජනතාව විසින් තීන්දු කෙරුණ පොත්පත් වෙයි.

සංස්කෘතිය දියුණු කරන්නේ වානිජ්‍යයයි. චාල්ස් ඩිකන්ස් සිය නවකතා මුලින්ම කොටස් වශයෙන් පුවත්පත්වල පළ කරන ලද්දෙකි. පාඨකයන්ගේ රුචි අරුචිකම් ගලා එද්දී, ඔහු කතාවේ චරිත වෙනස් කළේය, සමහර චරිත වලට හේ වැඩි වැදගත්කමක් දුන්නේය.

මහජනතාව වෙනුවෙන් කියා පෙනී සිටින සමාජවාදියා මහජනතාව ඉහළින් තියන්නේ චන්දයෙන් තේරී පත්වන තුරු පමණි. එසේම සංස්කෘතිය රැකගන්නට යැයි කියා ප්‍රේක්ෂකයන්ට ලැබිය යුත්තේ මොනවාදැයි තීන්දු කරන්නට පොරකන විද්වතුන් ප්‍රේක්ෂකයන් ගැන හිතන්නේ තීන්දු කරන බලය අතට ලැබෙන තුරු පමණි.

ඒත් ඔබත් මමත් නිසා හැදෙන වෙළඳපොල! එය කලා නිර්මාණයක් මිල දී ගන්නා පුද්ගලයාගේ දේශපාලනික හෝ ආගමික නැඹුරුව, දැනුම හෝ වත්කම හෝ සමාජ තත්වය, මෙන්ම පුද්ගලයා සද්ගුණවත් අයෙක් දැයි පවා නොතකයි. එය මහජනතාව තුල ඇති ප්‍රබුද්ධිය හුවා දක්වන්නකි. චාල්ස් ඩිකන්ස් දක්ෂ රචකයෙක් කරවන්නට සමත් වූවා සේ, වෙළඳපොල විසින් කලා නිර්මාණකරුවාව හොඳ මාර්ගයක යවන්නට සමත් වෙයි.

ඉතින් අද වෙළඳපොලේ මහත් විකාර රැසක් ඇතැයි කියා තැවෙන්න එපා. ඒවාට ඉඩ ලැබෙන නිසාම සදා කල් ලෝක ප්‍රසාදයට පත්වන්නට හැකියාව ලැබෙන අනගි කලා නිර්මාණයකටත් ඉඩක් ලැබෙනු ඇතැයි කියා තුටුවන්න. අරයාගේ නිර්මාණය තහනම් කරන්න, මෙයාගේ නිර්මාණයට තෑග්ගක් දෙන්න කියනවා වෙනුවට තමන් විසින් මුදලක් ගෙවා නිර්මාණයක් මිල දී ගන්නටත්, එයින්ම පමණක් අනගිත්වය තීන්දු වෙන බවත් පහදා ගැනීමට වෑයමක් ගන්න.

යුග පෙරළිය, චාල්ස් ඩිකන්ස් සහ තුර්කියෙ ඒප්‍රිකොට්

එය හොඳම කාලය විය, එය නරකම කාලය විය

පොලීස් පරීක්ෂකයෙක් ඇවිත්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: