අරුණි ශපීරෝ‍ වෙතින්

මැතිවරණයකට යන ඔබට හෝමර් ලියූ ඔඩසි වෙතින් පාඩමක්

Posted in Uncategorized by arunishapiro on අගෝස්තු 19, 2019

ස්වේච්ඡාවෙන් වහල් සේවයේ යෙදීමට අවසර ඉල්ලීමක් ගැන ලෝකයේ සම්භාවනීය යැයි සැලකෙන කාව්‍ය සංග්‍රහයකින් දකින්නට ලැබෙනවා යැයි කිව්වොත් ඔබ පිළිගනීවිද?

සියළු බදු ගෙවන රටවැසියන් බහුතරය වෙනුවෙන් තීරණ ගන්නට පාලකයන් සුලුතරයකට බලය ලැබී ඇත්තේ කෙසේද? ඒ සුලුතරය අතරින් කැපී පෙනෙන දක්ෂයෙක් සෙවීම කොතරම් පැරණි හැදියාවක්ද?

ආඥාදායකයන්ට විරුද්ධව, “ස්වේච්ඡාවෙන් යෙදෙන වහල් සේවය ගැන සංවාදයක්” නමින් ලොව සුපතල රචනාවක් 1548 වසරේ දී ලියන ලද්දේ එටියෙන් ඩ ලා බෝටි (Étienne de la Boétie) නැමැති ප්‍රංශ ජාතිකයායි.

“සාමිවරයන් කිහිපයක් සිටීමේ හොඳක් මම දකින්නෙ නෑ;
එක්කෙනෙකුට පමණක් මාස්ටර් වෙන්න ඉඩදෙන්න, එක්කෙනෙකුට පමණක් තනිවම රජෙක් වෙන්න ඉඩදෙන්න.”

ජනතාව අමතන යුලිසීස්ගේ ඉහත උපුටනය බෝටි ලියූ එම රචනාවේ ආරම්භයයි. යුලිසීස් යනු ඔඩසි යන ග්‍රීක කාව්‍යයේ එන වීරයා. යුලිසීස් කියන්නෙ ඔඩීසියුස් යන නමේ ලතින් ව්‍යවහාරයයි. රෝමානුවන් මේ ග්‍රීක වීරයාව හඳුන්වන්නේ යුලිසීස් නමින්. යුලිසීස් නොහොත් ඔඩීසියුස්, ඉතිකා නමැති අයෝනියන් මුහුදේ පිහිටන පුංචි දිවයිනේ රජු. ඔහුගේ භාර්යාව පෙනෙලපි.

සම්භව්‍ය සාහිත්‍යයේ අතිවිශිෂ්ට නිර්මාණයක් හැටියට සැලකෙන, ග්‍රීක බසින් ලියැවුන ඔඩසි කාව්‍යය, 1616 දී ඉංග්‍රීසියට පරිවර්තනය වූවා. ඔඩසි කාව්‍යය හෝමර් තනිවම ලියුවාදැයි යන්න විවාදයට ලක්වෙන්නක්. ඔඩසි වගේම ඔහු ලියුවා යැයි සැලකෙන ඉලියඩ් කාව්‍යයත්, කර්තෘවරුන් කිහිප දෙනෙක් එකතුවෙලා සකස් කරන ලද්දක් යැයි යන්න විමසීම “හෝමර් ප්‍රශ්නය” නමින් හැඳින්වෙනව. කෙසේ වෙතත්, එහි මූලිකත්වය ගත්තේ හෝමර් යැයි ඒ ගැන හදාරන සියල්ලන්ම පිළිගන්නව.

ක්‍රි. පූ. 700 දී පමණ ඔඩසි ලියා ඇතැයි පිළිගැනෙනව. මෙය මතකයෙන් හඬ නඟා කියැවීම පිණිස ලියන ලද්දක්. එහි එන චරිත ගැන සහ එහි සඳහන් දේවල් ගැන පොඩි විස්තර වාක්‍යය දාලා තියන්නෙ ඒ සඳහා.

මෙම කාව්‍යය ලියා ඇති ශෛලිය හැඳින්වෙන්නේ dactylic hexameter කියලයි. ඒ හැමෝටම පොත් පරිහරණය කරන්න නොලැබුණ, කියැවීමේ හැකියාව පවා සුලුතරයකට සීමා වූ යුගයක, අහන්නට ලැබීමෙන් පමණක් මතකයේ තබා ගැනීමේ පහසුව සඳහා යොදා ගැනුණු ක්‍රමයක්.

ඉන්දියාවෙන් බිහිවෙන වේදාන්තයේ සහ පසුව එන සංස්කෘතික සාහිත්‍යයේ ද එවැනි ක්‍රම අනුගමනය වෙනව. උදාහරණයක් හැටියට මහාභාරතයේ වැඩියෙන්ම දකින්න ලැබෙන්නේ Anuṣṭubh (अनुष्टुभ्) ශෛලිය. අපි ශ්ලෝක නැත්නම් මන්ත්‍ර හැටියට හඳුන්වන්නෙත් එවැනි කටවචනයෙන් ව්‍යවහාරයට ගැනුණ සහ ඒ නිසාම පරම්පරාවෙන් පරම්පරාවට බෙදාහරින ලද නිර්මාණ.

ඔඩීසියුස්ගෙ පුතා තෙලෙමකස් තමන්ගෙ පෞද්ගලික අවශ්‍යතාවය ඉදිරිපත් කරන තැනක් තියනව. “මුලින්ම මගේ ගෞරවනීය පියා නැතිවුණා. එයා ඔබගේ රජු, පියෙක් වගේ කරුණාවන්ත. ඊ ළඟට ඊටත් වඩා විනාශයක් පාත්වුණා. මගේ වත්කම් සියල්ල කොල්ලකන ආදරවන්තයන් පිරිසක් මගේ මව වටා රොක්වුණා. හැමදාම ගෙදෙට්ට ඇවිත් අපේ හරක්, බැටළුවන් සහ එළුවන් මරල උත්සව පවත්වනව. අපේ වයින් බීල ඉවර වෙන්න ළඟයි. මේ අපේ නිවහනට කඩාවැදිච්ච විනාශය නවත්වන්න ඔඩීසියුස් වගේ දක්ෂයෙක් නැහැ. අපි ශක්තිමත් නෑ: අපිට පෙනී යන්නෙ අපි කොතරම් දුර්වල ද කියලයි. සටන් කරන්න දන්නෙ නැහැ කියලයි. මට බලයක් තිබුණ නම් මම මගේ දේවල් ආරක්ෂා කරනව: තව දුරටත් විඳින්න බැරි තැනකට ඇවිත්. මගේ නිවහනට කර ඇති ඒ විනාශය පෙන්වන්නෙ අයුක්තියක්.”

ඔඩසි කාව්‍යය යුද්ධ වලින් පිරුණු ග්‍රීක ඉතිහාසය පසුබිම් කරගෙන පිරිනැමෙන නිර්මාණයක්. ඒත් එහි කියැවෙන මිනිස් ස්වභාවයන් වෙනස් වෙලා නැහැ කියල හිතෙන තැන් එමටයි.

පොත් අංක 13 හි ඔඩීසියුස් තම රාජධානිය බලා පිටත්ව යන්න අවසර දෙන්න කියා ඇල්සිනොස් වෙතින් ආයාචනා කරද්දී අපිට මෙහෙම කතාවක් අහන්න ලැබෙනව. ඒ ඔවුන් සමඟ වයින් බීලා සිංදු අහපු හැමෝටම ඇල්සිනොස් දුන්න නියෝගයක් ගැන. තියේෂියන් සෙනෙට් සභිකයන් විසින් ගෙනෙන ලද රත්තරන් දාලා මහපු වස්ත්‍ර සහ අනිකුත් තෑගි ඔඩීසියුස් යන්න හදන නැවේ පොලිෂ් කරපු පෙට්ටගමක දැනටමත් දාල තියන බව. ඒ තෑගි වලට ගිය වැය පියව ගන්න අපි ජනතාවට බද්දක් ගහනවා කියල ඇල්සිනොස් කියනව. මොකද, මිනිහෙකුට ඒ වගේ ත්‍යාගශීලිව දෙන්න බෑ ආපසු ගතමනාවක් ලැබෙන්නෙ නැත්නම් යැයි ඔහු කියනව.

තමන් කැමති අයට තෑගි දෙන්නත්, ඒ තෑගි වලට යන වැය බදු ලෙසින් අය කරගන්නත්, පාලකයාට බලය දෙන්නෙ කවුද?

බෝටි අහන්නෙ ඒ ප්‍රශ්නය.

අවුල් සහගත දේශපාලන වාතාවරණයක දී, රටේ මිනිස්සු හොයන්නේ ඒ අවුලෙන් තමන්ව ගලවා ගන්න සමතෙක්. තමන්ව ආරක්ෂා කරන්නට හැකි පුද්ගලයෙක්. ඇතැන්ස් නගරයේ ආඥාදායකයන් 30 දෙනා ගැන හෝමර් දැන සිටියත්, එවැනිම අවුල් සහගත දේශපාලන වාතාවරණයක දී හිට්ලර් වෙත එතරම් බලයක් ජර්මන් ජනතාව පවරාවි යැයි බෝටි දැන සිටියෙත් නැහැ! අද වෙනිසියුලාවේ මධූරෝ ඒ ආකාරයේම ආඥාදායකත්වයක් හොබවන ආකාරය හෝමර් සහ බෝටි කියෙව්ව අයට නම් පුදුමයක් නොවේ.

තමන් ගැන නොතකන දේශපාලකයන් සමූහයක් පාලන බලය අල්ලාගෙන සිටීම ගැන කළකිරුණ ජනතාවක් සොයන්නෙ දේශපාලනය නිසි මඟට ගෙන යා හැකි දක්ෂයෙක්. එයාට මහත් බලතල දෙන්න ඉදිරිපත්වීම නිසා එම රටත් එහි ජනතාවත් පත්වෙන්නෙ මහත් විනාශයකට.

ඉතිහාසය යළි යළිත් ඔප්පු කරල පෙන්නුවාට, ඒ ගැන සම්භාවනීය කාව්‍ය ලියැවුණාට, ඒවායෙන් ඉදිරිපත් කරන සත්‍යය අවබෝධ කරගන්න කීයෙන් කී දෙනාට ද පුළුවන්!

ඉතින් අපි කළ යුත්තේ කුමක්ද? මැතිවරණයක් හමුවේ මුල් පුටුවේ වාඩිවෙන්න අයෙක් පත්කර ගත යුතුයි. ඒත් බෝටි සිය රචනාවෙන් පැහැදිලි කරන ලද්ද, අපි යළිත් සිහි කරගැනීම වැදගත්. ඒ තමයි තමන් පත් කරගත්ත පාලකයාගේ බලතල හැකි තරම් අවම කිරීම මිසක් ඒවා වැඩි කිරීමට කිසිසේත්ම දායක නොවෙන්න පුරවැසියා වගබලා ගත යුතුයි යන්න.

හොංකොං වල අද දකින්නට ලැබෙන්නෙ එවැනි අති ප්‍රශංසනීය වෑයමක්. දැඩි බලතල පවරන්න පුළුවන් පාලකයෙක් හොයන්න එපා යැයි කිව්වොත්, හැමදාම දියුණු වෙමින් පවතින රටවල කීයෙන් කී දෙනෙක් ඒකට කැමති වෙයිද?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: