අරුණි ශපීරෝ‍ වෙතින්

නුහුරු පැත්තකින් කලාව විචාරය කිරීම

Posted in Uncategorized by arunishapiro on අගෝස්තු 26, 2019

රමී මලෙක් පසුගිය වසරේ නිකුත් වූ “බොහීමියන් රැප්සඩි” සිනමා කෘතියෙන් ලෝකයේ බොහෝ දෙනෙක් දැන හඳුනාගත් නළුවෙක් වූයේය. ඊට පෙර ඔහු “මිස්ටර් රෝබොට්” ටෙලිනාට්‍ය වෙතින් මහත් ජනප්‍රියත්වයක් දිනාගත්තෙකි. එම ටෙලිනාට්‍යයේ දිග හැරෙන්නේ දුෂ්ට සමාගමට අයිති (ඔව්, එය හැඳින්වෙන්නේම Evil නොහොත් E Corporation කියායි) මහජනතාවගේ සියළු ණයබර මකා දමන්නට හොර රහසේ කටයුතු කරන සයිබර් හැකර් පිරිසකගේ ක්‍රියාවලියයි.

ලෝකයේ ‘හැකින්’ ගැන උනන්දුවක් වැඩිවෙමින් පැවති කාලයක දී ප්‍රේක්ෂකයන් මහත් රාශියක් එක්රැස් කරගන්නට එම ටෙලිනාට්‍ය සමත් විය.

සමාගම් දුෂ්ටයි යන සංකල්පය අද බහුතර දැක්ම වෙයි. එය සැබෑ විමර්ශනයකට භාජනය වූවා නම් ස්වාධීනව පවතින සමාගම් සහ රජයට හේත්තු වූ සමාගම් අතර වෙනස පැහැදිලි කරගන්නට ජනතාවට හැකියි. නමුත් මහජනතාවට තතු පැහැදිලි කිරීම සඳහා ආදායම් උපයන වෘත්තීයවේදීන් (ගුරු, ජනමාධ්‍ය, දේශපාලන) බහුතරය එය අපූරු ලෙසකින් මඟ හරිති. ඉඩෝරයක් පැවතීම නිසා ලැව් ගින්නක් පැතිර යාම ගැන හනිකට යමක් කියන්නට සමත් වෙන ඔවුන් දශකයකට ආසන්න කාලයක් පුරා මිනිස් ජීවිත අහිමිවෙන අර්බූදය එන්න එන්නම දරුණු වෙමින් පවතින අල්ලපු රට ගැන දැඩි සේ නිහඬයි.

කුතුහලය අවුස්සමින් පිරිනැමෙන ප්‍රබන්ධයක, කොතැනක දී හෝ තමන්ගේ ජීවිතයට යම් සුළු ආකාරයකින් හෝ සම්බන්ධයක් ඇතැයි දැකීම නිසා කලා නිර්මාණයක් මහජනතාවගේ හිත් දිනාගන්නට සමත් වේ.

කලා කෘතිය තුලින් තමන්ගේ ජීවිතයට බලපාන ලෙසින් දුටු සම්බන්ධය ගැන ඇති වැටහීම සහමුලින් වැරදි යැයි අයෙකුට පෙන්වා දෙන්නට ලෝකයේ සිටින්නේ ඉතා අල්ප පිරිසකි. කලා කෘතියක් ගැන විමර්ශනයට අයෙක් පෙළඹෙන්නේ කලාතුරකිනි. බහුතරයට අවශ්‍ය ඉන් ලැබෙන රසාස්වාදයෙන් තෘප්තිමත් වීම පමණි. එහි වැරැද්දක් නැත. ඒත් විචාරය නිසා ලැබෙන තෘප්තිය රසාස්වාදයටත් වඩා අනගි අපූරු වූවකි.

තතු විමසා බලන්නට නුහුරු සිත්වලට කිසිත් ලෙසකින් එහි ඇති දෝෂ සහිත දැක්ම හසු නොවේ. මහජනතාවට තතු පැහැදිලි කරන වෘත්තීන්හි නියැළෙන අය ඔවුන්ගේ වගකීම පැහැර හරිද්දී, ප්‍රේක්ෂකයන් දිගින් දිගටම විචාරයෙන් තොර වූ කලාත්මක ආශ්වාදයෙන් පමණක් තෘප්තිමත්වී සිටීම දකින්නට හැකියි.

උදාහරණයක් ලෙස, ක්‍රෙඩිට් කාඩ් ණයබර සමාජයේ ඉහළ මට්ටමකින් පවතිද්දී, එය මකා දැමිය හැකි සයිබර් හැකර් කල්ලියක් නරඹන්නට සිත ඇදී යාම, මෙහි දී ‘හැකින් සංස්කෘතිය’ ගැන කිසිත් නොදන්නා වුවද ක්‍රෙඩිට් ණයබර උසුලන්නාගේ තෘප්තියට හේතු වේ. ක්‍රෙඩිට් කාඩ් ණයබර යනු ඔහු විසින්ම ‘තෝරාගත්’ තීරණයක් යැයි කිසිවෙක් ඔහුට පැහැදිලි කර දී නැත. ඒ වගකීම් පැහැර හරින වෘත්තීයවේදීන් තව දුරටත් ‘දුෂ්ට සමාගම්’ යැයි කරන සඳහන, ඔහුගේ සිත පිනවයි.

තමන් කැමැත්තෙන් ‘තෝරාගත්’ තීරණයක් නොවන, එන්න එන්නම වැඩිවෙන ‘මහජන බදු’ ගෙවීම, තමනට පැහැර හරිනු නොහැකි ලෙසකින් උරුම වී ඇතැයි යන්න ගැනත් ඒ වගකීම් පැහැර හරින ලද වෘත්තීයවේදීන් දැඩිසේ නිහඬව සිටිති.

තවත් සාහිත්‍ය මාසයක් පටන් ගන්නට යද්දී, තවත් ජනාධිපති මැතිවරණයක් පැවැත්වෙන්නට යද්දී, මෙතෙක් නොදුටු, නුහුරු පැත්තකින් විචාරයක් ඇරඹෙන්නේ නම්, මේ තාක් කාලයක් ඒ නුහුරු පැත්ත ගැන කිසිත් ලෙසකින් දැනුමක්, සම්බන්ධයක් නොමැති වූවෙකට ඒ ගැන සමීප හැඟීමක් ඇති කරවන්නේ කෙසේද?

මා ඉදිරියේ පවතින අති දුෂ්කර වෑයම එයයි. එනම්, පසුබිම විකෘති කර පිළිගන්වා ඇති, තව දුරටත් ඒ සාවද්‍ය තොරතුරු පමණක් ඇත්ත යැයි විශ්වාස කරන සමාජයක් සඳහා ලියන්නේ කෙසේදැයි යන්නයි.

ජනප්‍රිය කලා නිර්මාණ යනු ජනතාව විසින් කැමැත්තෙන් තෝරාගන්නා ලද්දයි. ජනප්‍රිය දේශපාලනය ද එසේම ජනතාව විසින් කැමැත්තෙන්ම ඇදී යන්නයි. සියවස් ගණන් පසුවෙද්දී, වැඩියෙන්ම ජනප්‍රිය වූ කලා නිර්මාණ මොනවාදැයි දැනගන්නට ලැබේ. සියවස් ගණන් පසුවෙද්දී වැඩියෙන්ම ජනප්‍රිය දේශපාලනය කුමක්දැයි කියාත් දැනගන්නට ලැබේ.

කාලයේ විභාගයට ලක්වී දිගින් දිගටම ජනතාවගේ සිත් දිනාගන්නට සමත් වූ කලා නිර්මාණ ලොව ඇත්තේ අල්පයකි.

ඉතිහාසය දිහා බලද්දී ඒ ඒ කාලයන් තුල අතිශය ජනප්‍රිය වූ දේශපාලන මතවාද සහ ඒවා කරපින්නා ගත් දේශපාලනඥයන් මහත් සංඛ්‍යාවක් දකින්නට හැකියි. කාලයාගේ ඇවෑමෙන් ඔවුන් කවුදැයි හරිහැටියට හඳුනාගන්නට බහුතර ජනතාව සමත් වූහ. වර්තමානයේ දී වැඩිකල් නොයා දේශපාලකයාගේ කැරැට්ටුව කුමක්දැයි පෙනී යාම සිද්ධ වේ. ඒත් ඔහුගේ මතවාදය ගැන වැටහීමක් ලැබීමට හැකි මාර්ගයක් තවමත් හරි හැටියකට පෑදී නැත.

සිංහලෙන් කියවන පාඨක ඉතිහාසයේ කිසිදිනෙක ප්‍රසිද්ධ ප්‍රකාශන මාධ්‍යයකින් දැනගන්නට නොලැබුණු දේශපාලන දැක්ම මෙම බ්ලොග් අඩවියෙන් ඉදිරිපත් කෙරුණි. ඒත් තවමත් සිංහල බසට පමණක් සීමා වූ අයෙකු සඳහා කලා නිර්මාණ පැත්තෙන් එවැනි සංවාදයක් ඇරඹී නැත. ආදායම් උපයන වෘත්තීයවේදීන් නිහඬවත රකින පසුබිම පවා සපයමින් මෙම බ්ලොග් සටහන් තුලින් මම මෙතෙක් සිංහල බසින් පමණක් කියවන්නාට නොලැබුණු සාහිත්‍ය සහ කලාව ගැන විචාරයකට වෑයම් කරන්නෙමි.

මෙතෙක් සිංහලෙන් ලියන ලද කෘතියක් විවිධ භාෂා වලට පරිවර්තනය වෙමින් කෝටි ගණනින් ලොව පුරා පිටපත් අලෙවි නොවූයේ ඇයිදැයි කියා එවිට සැබෑ විමර්ශනයට රිසි වූවෙකුට පැහැදිලි වෙනු ඇත. සමහර විට නුදුරු අනාගතයක දී එවැනි නිර්මාණයක් බිහිවෙන්නටත් මෙයින් කිසියම් රුකුලක් ලැබේවි යන්න මගෙ ප්‍රාර්ථනයයි.

3 Responses

Subscribe to comments with RSS.

  1. krishna ramanayaka said, on අගෝස්තු 28, 2019 at 3:11 පෙ.ව.

    කලාව හි මූලිකම ෙද් රසාස්වාදයනයම තමා !! . කලාව තුලින් යථාර්තය දකින්න යාම තරමක පරිස්සමින් කල යුතු දෙයක්.විශේෂයෙන් සමාජ ආර්ථික ප්‍රශ්ණ කෘති වලට වස්තු වන විට එම කෘතින්හි කතෘන්ගේ මතවාදයන් තුලින් ගමා ගමන් කරන්ෙන. වාමාංශික හුරුවක් ඇති අයගෙ කෘති එවිට සදොස්ව යථාර්තය ග්‍රහණය කරගන්නව. ෙකෙස් නමුත් විද්‍යාව ෙස්ම කලාවද ඒ් ඒ් විෂයට අදාළයි. යථාර්ථය දකින්න නම් කලාව ෙවනුවට භාවිත කල යුතු වන්ෙන් ඊට අධාල විෂයන්මයි – ස්තූතියි


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: