අරුණි ශපීරෝ‍ වෙතින්

එදා ටෙම්පල් ඔෆ් ද මියුසස්, අද ග්‍රන්ථ.lk

Posted in Uncategorized by arunishapiro on සැප්තැම්බර් 2, 2019

ග්‍රීක සහ රෝම මිථ්‍යා ප්‍රබන්ධ වල එන දෙවියන්ගේ රජු වූ සියුස් සහ ස්මරණයේ දිව්‍යාංගනාව වූ නෙමෝසිනී යන දෙදෙනාගේ දියණියන් වූ ඒ ඒ කලා ක්ෂේත්‍රයට ‘මියුස්’ හැටියට පෙනී සිටින දිව්‍යාංගනාවන්, එනම් ‘මියුසස්’ 9 කි. එයින් පැවත එන හුරුවක් අනුව කලා කෘතියක් නිර්මාණයට කලාකරුවාට පෞද්ගලික වූ ජවයක් ගෙනෙන්නාව වර්තමානයේ දී ද ‘මියුස්’ නමින් හැඳින්වේ.

ටෙම්පල් ඔෆ් ද මියුසස් නමින් කුඩාවට පටන් ගත් පොත්කඩයේ අයිතිකාරයා වූයේ ජේම්ස් ලැකින්ග්ටන් නැමැත්තාය. ඔහු ගමින් ගමට ගොස් සපත්තු වෙළඳාමේ සහ අලුත්වැඩියාවේ මෙන්ම කපුකැටීමේ ද යෙදුණ අයෙකුගේ පුතුන් 11 දෙනා අතරින් එක්කෙනෙකි. පියාගේ බීමත්කම නිසා ඔවුන් දුර්භාග්‍යයට පත්වූහ. ඔහුගේ පාසැල් අධ්‍යාපනය නැවතිණ. ඔහුට තමන්ගේ බාල සහෝදර සහෝදරියන් රැක බලා ගන්නට සිද්ධ විය. සමහර අවස්ථාවක වීල්බැරෝ එකක් මත දාගෙන ‘ඇපල් පයි’ විකුණන්නට ද, තවත් අවස්ථාවක පොල දවසට තාත්තා සමඟ ගොස් ලිත් විකිණීම සඳහා උදව් කරන්නට ද ඔහුට සිදුවිය. සපතේරුවෙක් යටතේ ආධුනික ශිල්පියෙකු ලෙස කටයුතු කළ ඔහු එයින් ලැබූ වේතනයෙන් කියැවීම ඉගෙන ගන්නට ඔහු සේවය සැපයූ සපතේරුවාගේ භාර්යාවට සහ පුතාට ගෙවූ බව කියැවේ. වයස 22 වෙද්දී කියවන්නට හැකි වූවාට ඔහුට එවිට ද ලියන්නට දැනුමක් නොවීය.

ජේම්ස් ලැකින්ග්ටන් වෘත්තිය පටන් ගන්නේ සපතේරුවෙක් හැටියටයි. ඒත් කියැවීමට ලොල් වූ හේ 1774 දී ලන්ඩනයේ කඩකාමරයක් කුලියට ගෙන සපත්තු සමඟ පොත් ද විකුණන්නට පටන් ගති. ආගමික, සම්භව්‍ය කෘති සහ විද්‍යාත්මක පොත් පමණක් නොව තමන්ගේ ජීවිතයට වැදගත් යමක් එකතු කරගත හැකි යැයි සිතෙන ඕනෑම පොතක් විකුණන්නට ඔහු ඉදිරිපත් විය.

1774 දී වෙනත් පොත්කඩවල හෙමිහිට විකිණෙන පොත් සඳහා විකුණුම් මිලෙන් බාගයක් හෝ කාලක් ගෙවා තොග ගන්නට හේ සමත් විය. ඔහුගේ පොත් ගැනුම්කරුවන් බහුතරය වූයේ ඔහු මෙන්ම මෙතෝදිස්ත ආගම ඇදහූ අය වූහ. විකිණෙන්නේ නැති පොත්වල පිටු එවක පාන් තැටි ලයිනින් කිරීම සඳහා බේකරි කඩහිමියන්ට ද, කඩචෝරු දමන කඩදාසි බෑග් හදන අයට ද කඩදාසි පිටු ගණනට විකුණන ලදි. ලැකින්ග්ටන් ඒ පොත් කඩදාසි බරට මිල දී ගෙන, ඒත් පොත් හැටියට අඩු මිලට විකිණීම පටන් ගත්තේය.

පොත් කවරයේ සඳහන් මිලට නොව ඊට වඩා අඩු මිලට පොත්!

පොත් කියවන ආසාවෙන් නළියන, ඒත් පොතක වැය දරන්නට නොහැකි වූ පාඨකයන් ඔහුගේ පොත් කඩයට ඇදී එන්නට පටන් ගත්හ. තොග හැටියට අඩු මිලට ගෙනෙන පොත් අතරට ඔහු අලුත් පොත් ද මිල දී ගෙන මෙතෙක් ගෙන ගිය ප්‍රතිපත්තිය අනුව ඒ අලුත් පොත් ද ඩිස්කවුන්ට් මිලට විකුණන්නට පටන් ගත්තේය. සමහර අවස්ථාවල දී ඔහු තමන්ගේ පොත් කඩයේ ඇති පොත් තොග ගැන බොරු කියනවා යැයි සෙසු කඩ හිමියන් අවලාද කියූහ.

මෙතෙක් තමනට විකුණාගත නොහැකි පොත් තොග වශයෙන් මිල දී ගෙන යෑම ගැන එතෙක් සතුටු වූ කඩහිමියන් අලුත් පොත් අඩු මිලකට එ්ත් ඉක්මණින් විකිණීම දකිද්දී ඒ ගැන දැඩි සේ උරණ වූහ.

ජේම්ස් ලැකින්ග්ටන් දැන් ඔවුන්ගේ පුස්කන පොත් ගබඩාව තොග වශයෙන් මිල දී ගෙන යන්නෙක් නොව ඔවුන්ගේ පොත් අලෙවිය සමඟ ඔට්ටුවෙන තරඟකාරයෙකි.

1791 සිට 1792 දක්වා වසර ඇතුලත පමණක් ඔහු බ්‍රිතාන්‍ය පවුම් පන්දාහකට ආසන්න ආදායමක් තම පොත්කඩෙන් ලැබූ බව කියැවේ.

ඔහුගේ පොත් කඩයෙන් කිසිම පොතක් ණය මුදලට ගත හැකි වූයේ නැත. එහි එන අයට තව දුරටත් පොත් මිල කේවල් කරන්නට ඉඩක් නොවීය. ඔහු තම ව්‍යාපාරය හැඳින්වූයේ “මුළු ලෝකයේම පවතින අඩුම මිල පොත්කඩේ” කියායි. කඩේ ආදර්ශ පාඨය වූයේ “පුංචි ලාබ විශිෂ්ට දේ කරයි” යන්නයි.

නව සංකල්පය ගැන දිගින් දිගටම උරණ වූ පොත් වෙළෙන්ඳන් ඔහුගේ පොත් එකතුව ගැන අනේක කයිකතන්දර ගෙතූහ. ලැකින්ග්ටන් නමැති පොත් විකුණන්නා යැයි කියන මෙම කාටූනය ඔහුගේ විරුද්ධකාරයන් ගෙන ගිය ප්‍රචාර අතර වූවකි.

ඒ 18 වැනි සියවස. මේ 2019 වසර.

ප්‍රකාශන ආයතනය 40% ක් වට්ටම් කියද්දී, එයාලගෙන් අරන් ගිහින් විකුණන අය 35% ක් යැයි පැවසීම වැරැද්දක් යැයි කියන අය දුටුවෙමි. ඒ ලංකාවේ සාහිත්‍ය මාසය පටන් ගනිද්දීම. පොත් මිල දී ගන්නා අය සඳහා සපයන වට්ටම් වැඩි කිරීම ගැන පොත් විකුණන අය සමඟ සමහර පොත් ප්‍රකාශකයන් උරණවී සිටිති. ඔවුන් අඩුවට පොත් මිලට ගන්නට ක්‍රමවේද ගෙනෙන ව්‍යවසායකයනට පරිභව සහ නින්දා අපහාස කිරීමට පවා පෙළඹී සිටිති.

අඩු ලාබයක් තබාගෙන වෙළඳාමේ යෙදෙන්නට ක්‍රමවේදයක් පාදා ගැනීම නිසා පාරිභෝගිකයාට වාසියක් සැලසෙන බවත්, ඒ නිසාම එම වෙළඳපොල තුල පාරිභෝගිකයන් වැඩිවෙන බවත්, ඒ නිසාම එම වෙළඳපොලට තව තව අලුත් නිෂ්පාදන ගෙන එන්නට වැඩි පිරිසක් පෙළඹෙන බවත් එවැනි මුග්ධයෙකුට නොපෙනේ.

සීමිත වූ පිරිසකට පමණක් කියැවීමේ භාග්‍යය හිමි වූ යුගයකින් කියැවීම සහ ලිවීම බහුතරයගේ හැකියාවක් බවට පත්වූයේ රජයේ මැදිහත්වීම් නිසා යැයි සිතන අය තවමත් සිටිති. ඊට අවස්ථාව බහුතරයකට පාදා දුන්නේ ලැකින්ග්ටන් වැනි නව ක්‍රමවේද සොයාගත් වෙළඳපොල ව්‍යවසායකයන් විසිනි.

රජය ලවා මැදිහත්වීම් ගෙනෙන්නට ආවඩන්නේ, පස්වැනි හේන්රි හි එන අවවාද අනුශාසනා කරන්නන් වැනි කොට්ඨාශයකි. ඔවුන් පාඨකයාගේ රුචිය මෙහෙයවන්නට කැමතියි. තමන්ට මුහුණ දෙන්නට සිද්ධ වෙන තරඟයෙන් ජයගන්නට හැකි නව ක්‍රමවේද සොයා යෑම වෙනුවට තරඟකාරයාව මට්ටු කරන්නට කැමතියි. ලේඛකයා වෙනුවෙන් සහ පාඨකයා වෙනුවෙන් පෙනී සිටිනවා යැයි කියූවද ඔවුන් ලේඛකයාට වැඩි වෙළඳපොලක් පෑදෙන මාර්ගය අවහිර කරමින් පාඨකයාට අඩු මිලක් ලැබීම ද වළක්වන්නට වෙහෙසෙති.

එවැනි එද්දලයන්ට රැවටෙන අය, “රජය පාලන මිලක් දෙන්නේ මිල වැඩිවෙන එක වළක්වන්න” යන මුලාවට රැවටී තව තවත් මැදිහත්වීම් අවශ්‍ය යැයි තරයේ විශ්වාස කරති.

කියැවීමේ ආශාවෙන් නළියන ලංකාවෙන් ඈතක සිටින අප හට අනගි සේවාවක් සපයන Grantha.lk ආයතනයට ජයෙන් ජය පතමි.

2 Responses

Subscribe to comments with RSS.

  1. Kosala Handapangoda said, on සැප්තැම්බර් 3, 2019 at 10:01 පෙ.ව.

    aruni shafiro mahathmiya obage mea articles ithama watina ewa mama boho kaalayak thisse mewa balanawa.dogatma karagena yanna. danuma bedanna oba darana waayamata isthuthi


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: