අරුණි ශපීරෝ‍ වෙතින්

ජාත්‍යන්තර සාක්ෂරතා දිනය වෙනුවෙන්

Posted in Uncategorized by arunishapiro on සැප්තැම්බර් 8, 2019

මිනිස් ඉතිහාසය ගනිද්දී කියැවීමට සහ ලිවීමට හැකියාව ඉතා සුළු කාලයක දී ලෝකයේ බොහෝ ජනතාවකට අත්කර ගත හැකි වූ කුසලතාවයක් බවට පත්වූවකි. මිනිස් ඉතිහාසයේ ඉතා කෙටි කාලයක දී අතිමහත් සංඛ්‍යාවක් අතර එය පැතිර ගියේ කෙසේද?

මිනිසා අදත් උප්පත්තිය ලබන්නෙ කියවන ජානයක් නොමැතිව.

සහශ්‍රවර්ෂ ගණනාවක් එසේ ඉපිද මිය ගිය මිනිස් සත්වයන් සිය ඉතිහාසයේ ප්‍රථම වතාවට ඊජිප්තු මිසර ශිෂ්ටාචාර යුගයේ දී සුමේරියන් කුනිෆෝම් යන රූපික අක්ෂර වලින් කියවන හැකියාව සොයා ගත්ත. ඒත් එයිනුත් තවත් අවුරුදු 2450 කාලයක් ගෙවී ගියාට පසුවයි ග්‍රීක හෝඩිය බිහිවෙන්නෙ. ඒ, ක්‍රි. පූ. 8 වැනි සියවස අග නැත්නම් ක්‍රි. පූ. 9 වැනි සියවස මුල දී. අනතුරුව ඉයුක්ලීඩියන් හෝඩිය, ඇල්ෆා සිට ඔමෙගා දක්වා අකුරු 24 කින් හැදෙන්නෙ ක්‍රි. පූ. 4 වැනි සියවසේ දී.

බ්‍රාහ්මී අක්ෂර වලින් එන සිංහලෙන් ලියා ඇති පැරණිතම ලේඛන දකින්නට ලැබෙන්නෙ ක්‍රි. පූ. 3 වන සියවසේ දී පමණ යැයි ‘සිංහල අකුරු පුරාණය’ ලියූ මහාචාර්ය සඳගෝමී කෝපරහේවා සඳහන් කරයි.

කියවීම සහ ලිවීම යන මිනිසා විසින් වර්ධනය කරගත යුතු වූ කුසලතාවයට ඉඩක් ලැබුනේ 16 වැනි සියවසේ සමාජයේ සුළු පිරිසකට පමණයි. ඒ අය අතර පවා පොතපත යනු විනෝදය සඳහා භාවිතා කළ දැයක් නොවේ. කියැවීම ආගමික විය. බටහිර වැසියන්ට කියවන්නට ලැබුනේ බයිබලය, ආගමික පත්‍රිකා සහ ගොවීන් සඳහා වූ ලිත් යනාදියයි. බොහෝ දෙනෙක් ඒවා එකට එකතු වී හඬ නඟා කියැවීමේ යෙදුනහ. වරක් කියවා විසි නොකරන ඒ පොතපත ඉතා සුරක්ෂිතව තබා ගැනුනේ නැවත නැවතත් කියැවීමටයි.

ඒ අනුව ඇතිවන හුරුව නිසා පසුව එන කාව්‍ය සංග්‍රහයන්, සඟරා සහ පොතපත පවා ඔවුන් නිවහන්වල දී පවුල හැටියට කියැවීම පමණක් නොව, වැඩ කරන ස්ථානවල දී සහ තැබෑරුම් වල දී පවා හඬනඟා කියැවීමේ යෙදුනහ.

මහනුවර යුගයේ දී ‘පන්සල් පොත්’ නමින් හැඳින්වෙන ලද පොත් පෙළ ලිවීමට සහ කියවීමට හැකි පිරිස බිහිකරන්නට හේතු වූ බව ඉහත කියූ පොතේම මහාචාර්ය සඳගෝමී කෝපරහේවා සඳහන් කරයි.

17 වැනි සියවසේ දී මිනිසා කියැවීමේ හැකියාව මහත් ජනගහණයක් අතරට ගෙනියන්න සමත් විය. එසේම 18 වැනි සියවස වෙද්දී හඬගා කියැවීමෙන් අයින්ව තනිවම පොත් කියවන හුරුව මිනිසා පටන් ගති. පුවත්පත් සහ සඟරා මෙන්ම දරුවන් සඳහා විශේෂ පොත්පත් ද ලොව ප්‍රථම වරට ලියැවෙන්නට පටන් ගැනුණි.

ඉතින් මේ අවුරුදු පන්දාහක කියවන ලියන ඉතිහාසය ගත්තම, මිනිසා විසින් තනිවම සහ විනෝදයට පොත් කියැවිල්ල ඉතා මෑතක දී පටන් ගත් ඒත් ඉතාමත් ඉතා කෙටි කාලයක දී සීඝ්‍රයෙන් පැතිර ගිය හුරුවක්.

මෙහි දී නිරීක්ෂණය කළ යුතු වැදගත් කාරණය මෙයයි: ඒ හුරුව මිනිසා තුල ජනිත කරවන ලද මෙහෙවර ඉටුකරන ලද්දේ කිසිදු රජයක් විසින් නොවේ. විවිධ විෂම වූ පුද්ගලයන් සිය කාලය සහ වත්කම් යොදවමින් විවිධ විෂම වූ කරුණු කාරණා ගැන ලිවීම නිසා තනිවම කියවන්නට හුරු කරගත් මොළයක් ප්‍රයෝජනයට ගෙන ඒවායෙන් වින්ඳයක් ලබාගන්නට මිනිසාට සමත් වූවා.

මිනිසාට කියැවීමෙන් විනෝදයක් ලබාගත හැකි තැනට එක සියවසකින් ආවේ එහි හැම අදියරකම නියැළුන සියල්ලන්ම යම්කිසි විදියකින් ලාබ උපයාගන්නට සමත්වීම නිසයි. එවක රාජ්‍ය මැදිහත්වීම් ඉතා අඩුවෙන් පැවතීම නිසයි.

නමුත් ඊට පසුව එන්නෙ ඒ සඳහාත් රාජ්‍ය මැදිහත්විය යුතුයි කියන විශ්වාසය ලොව හැම අත පැතිරිලා ගිය කාලයයි. බ්‍රිතාන්‍යයේ සම්මත කරගත් ‘දුප්පත් නීති’ සහ ලංකාව වැනි රටවල රජයේ අධ්‍යාපන ක්‍රමය හරහා මිනිසා තුල දැනුම වැඩිවීම කෙසේ සිදුවිය යුතුද වගේම මිනිසා පොතපතින් ලැබිය යුතු විනෝදය කුමක් විය යුතුද යන්නත් තීන්දු වෙන්නට පටන් ගැනිණ.

දෙවැනි සහශ්‍රවර්ෂය අග දී, එනම් විසිවැනි සියවසේ අග භාගයේ දී, 1966 වසරේ දී, යුනෙස්කෝ නමැති ලෝක සංවිධානය විසින් සාක්ෂරතාව සඳහා යැයි දිනයක් නම් කළහ. ඒ සැප්තැම්බර් 8 වැනිදායි.

ඒ අනුව සැප්තැම්බර් මාසය සාහිත්‍ය නඟාලීම සඳහා යැයි ලංකාවේ රජය තීරණය කළහ. ලංකාවේ පැවැත්වෙන ජාත්‍යන්තර පොත් සල්පිල එම තීරණයේ ප්‍රතිඵලයකි. කුටි 38 කින් ජාතික කලායතනයෙන් එය පටන් ගැනුනේ 1999 වසරේ දී ය. ජාතික කියැවීමේ මාසය ඔක්තෝබර් හැටියට රජය තීරණය කරමින් ඒ සඳහා ජාතික පාසැල්, පුස්තකාල යනාදිය හරහා ව්‍යාපෘති දියත් කිරීම පටන් ගැනෙන ලද්දේ 2004 වසරේ දී ය.

රටට ආනයනය කරන කඩදාසි, මුද්‍රණ යන්ත්‍ර, මුද්‍රණ තීන්ත සඳහා බදු ඉවත් කිරීම යනාදී වශයෙන් සාක්ෂරතාවයේ නංවාලීමට බාධා කරන අනේක විධ මැදිහත්වීම් සියල්ල ඉවත් කරගැනීමට රජයක් කැමති කරවා ගැනීම පහසු නැත. ජනතාවගේ බදු මුදල් යොදාගෙන, ඔවුන්ට වැඩි සහන ලැබෙන මාසයක් යැයි මවා පාමින් තෝරාගන්නා ලද සුලුතරයකට කැපී පෙනෙන්නට හැකි උත්සව සහ සල්පිල් පැවැත්වීම ඊට වඩා පහසු වූවයි.

කළින් ලියූ සටහන්: කියවන මොළයේ විපර්යාසය

කියවන්නට බැරි මොළය නිසා …

One Response

Subscribe to comments with RSS.

  1. mppgunasinghe said, on සැප්තැම්බර් 10, 2019 at 5:39 ප.ව.

    ඇත්තටම සිදුව ඇත්තෙ ලිපිය අවසානයේ පෙන්වා දෙන තත්ත්වයම බව පැහැදිලියි


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: