අරුණි ශපීරෝ‍ වෙතින්

ආධුනිකයන් ජයගැනීම මෑත ප්‍රවණතාවයකි

Posted in Uncategorized by arunishapiro on සැප්තැම්බර් 11, 2019

ලෝක පොත් ප්‍රකාශන ඉතිහාසය සලකා බලද්දී, ඉතා මෑත කාලයක් දක්වා, ජේ. කේ. රෝලින්ස් සහ ඊ. එල්. ජේම්ස් වැනි ආධුනික ලේඛකයන් වෙළඳපොල ජයගත් අවස්ථා දකින්නට නැති තරම් යැයි කිව හැකියි. ජේ. කේ. රෝලින්ස් ප්‍රසිද්ධ වූයේ හැරී පොටර් පොත් වලින්. ඊ. එල්. ජේම්ස් ප්‍රසිද්ධියට පත්වූයේ ‘ෆිෆ්ටි ෂේඩ්ස්’ වෙතින්.

ඔවුන් දෙදෙනාම කාන්තාවන් වෙති. ඒත් එහි විශේෂත්වයක් නැත. මන්ද, 19 වැනි සියවසේ, එනම් විනෝදයට පොත් කියැවීම මිනිසුන් අතර පැතිර යන හුරුවක් වෙන්නට පටන් ගනිද්දීම, ඒ සඳහා වූ වෙළඳපොල නිර්බාධව පැවතිය දී බ්‍රිතාන්‍ය පොත් ප්‍රකාශනයේ නවකතා වලින් හරි අඩක් ලියන ලද්දේ කාන්තාවන් විසිනි. ඒවා සියල්ල අනගි කෘති නොවූහ. ඒවා අතරින් අද අපි කියවන්නේ අල්පයක් පමණි.

වික්ටෝරියන් සාහිත්‍යය තුල කාන්තාවට ලිවීමෙන් ජීවිකාව උපයාගන්නට හැකියාව තිබිණ. මුල් කාලයේ දී ඔවුන් පිරිමි ආරූඪ නම් වලින් සිය නිර්මාණ වෙළඳපොලට ඉදිරිපත් කළහ. උදාහරණ වශයෙන් ශාලට්, එමිලි, ඈන් යන බ්‍රොන්ටෙ සහෝදරියන් කරර් බෙල්, එලිස් බෙල් සහ ඇක්ටන් බෙල් යන නම් වලින් ද, මේරි ඈන් එවන්ස් සිය නම ජෝර්ජ් එලියට් යැයි ද භාවිතයෙන් පටන් ගත්ත ද, ඔවුන්ගේ ජීවිත කාලයේ දී ම ඔවුන්ට සිය කාන්තා නම් භාවිතයට හැකියාව පෑදිණ. පිරිමි සමඟ ඔට්ටු අල්ලන තරඟකාරී වෙළඳපොලක සිය සාහිත්‍ය නිර්මාණ අලෙවිකර ජයගන්නට හැකියාව ඔවුනට ලැබුණි.

19 වැනි සියවස යනු එදා වේල සොයා ගැනීමේ වෙහෙසෙන් අයින්ව, ලෝකයේ ප්‍රථම වරට සිය කුසලතා මොනවාදැයි සොයා බැලීම සඳහා කාලය යොදවන්නට, ඒ සඳහා කැපවෙන්නට, මිනිස් සත්වයාට ඉඩක් ලැබී තිබුණ යුගයයි. ඉඩම් අයිතිය තිබුණු අයගේ පවුල්වල දරුවන්ට පවා ගොවිතැන් සඳහා ශ්‍රමය වෙහෙසීමෙන් ගැලවෙන්නට නොහැකි වූ කාලය අවසන්ව, පෞද්ගලික ප්‍රාග්ධනය බිහිවීම පටන් ගැනිණ. සම්ප්‍රදායී ශිල්පශාස්ත්‍රයන්හි යෙදුන අය වෙනුවට, නැතහොත් රජු වෙතින් අවසර ලැබූ හෙයින් කලා නිර්මාණවල යෙදෙනවා වෙනුවට, එතෙක් කිසිත් ලෙසකින් පාරම්පරිකව දායාද වෙන වෘත්තියක නොවූ අයෙකුට ජීවිකාව උපයාගත හැකි කලා හැකියාවක් ඇත්දැයි විමසා බලන්නට අවස්ථාව මුල් වතාවට ලොව පෑදී තිබුණි.

ඒත් බටහිර නොවන රටවල ජනතාවට අත් වූයේ වෙනකකි. රජුන්, එම්ප්‍රදෝරුවන් සහ අනතුරුව පාලන බලය අල්ලා ගත් යටත්විජිත පාලකයන්ගෙන් ගැලවෙද්දී එම අපූරු නිර්බාධ වෙළඳපොල වාතාවරණය භුක්ති විඳින්නට ඔවුන් වාසනාව නොලද්දහ. ඒ වෙනුවට ඔවුන් කැඳවා ගෙන සිටියේ රාජ්‍ය මැදිහත්වීම් බහුල ක්‍රමවේදයයි.

පුවත්පත්කලාවේදී හෝ මාධ්‍යවේදී නොවන, විශ්වවිද්‍යාලයක් හා සම්බන්ධ කථිකාචාර්ය හෝ මහාචාර්යවරයෙක් නොවන, දේශපාලන හෝ ආගමික නායකත්වයක් උසුලන පදවියක් නොදරන අයෙක්, පහසුවෙන් තම නිර්මාණය සාහිත්‍ය ලෝකයට ගෙනියන්නට සමත් වූයේ නැත. එය වෙළඳපොලට යමක් ඉදිරිපත් කරද්දී මුහුණ දෙන පෞද්ගලික ප්‍රාග්ධනය යෙදවීමේ දී ඇති අවදානම කියා පෑමයි.

දවසේ වේතනය පොතක මිල ඉක්මවා ගිය යුගයක දී නොදන්නා නමක් ලියන, ‘හාඩ් බයින්ඩින්’ කවරයෙන් එන, විනෝදයට කියවන නවකතාවක් මිල දී ගන්නට කී දෙනෙක් ඉදිරිපත් වේවිද? ඒත් තේ කෝප්පයක මිල හා සමාන මුදලකින් ගත හැකි ප්‍රකාශන පිංචක් සඳහා මුදලක් වැය කිරීම බොහෝ අයට එදත් අදත් කළ හැකියි.

මුද්‍රණ අක්ෂර දියුණුව නිසා මුද්‍රිත පොත් වෙළඳපොලට ඒම වැඩිවූවත්, නොදන්නා අයෙකුගේ පොතක් මුද්‍රණයට පෙර වෙළඳපොල විමසා බලන ක්‍රමයක් හැටියට පුවත්පත් සමඟ නිකුත් කරන අතිරේක (fascicle) බිහි වූහ. පිටු 20 ක් පමණින් හැදෙන ඒවායේ කවර සහ කඩදාසි අඩු මිලෙන් යුතු නිසා අතිරේකය සඳහා අයෙකුට ගෙවන්නට සිද්ධ වූ මිල ‘සිලිමක්’ තරම් අඩුයි.

අතිරේක හැටියට පුවත්පත හෝ සඟරාව සමඟ (සතිපතා, මාස්පතා, කිසිත් ඉඟියක් නොදී විටින් විට යනාදී වශයෙන්) එන පොත් පිංච ජනප්‍රිය වෙන්නේ නම් එහි හාඩ් කවර් පොතේ අලෙවිය ගැන ඔවුනට ඉඟියක් ලැබේ. වික්ටෝරියන් යුගයේ කොටස් වශයෙන් පළ කරන ලද අතිරේක ජනප්‍රිය වීම නිසා සමාජයේ සාක්ෂරතාවය ඉහළ යෑම මෙන්ම මුද්‍රණ තාක්ෂණයේ සහ බෙදාහැරීම් ක්‍රමවේදයන් තුල මහත් දියුණුවක් ඇති විය.

ඉතින් එවක දී සාර්ථක පොත් ලියන්නන් අතර වැඩියෙන් දකින්නට ඉන්නේ චාල්ස් ඩිකන්ස් වැනි අයයි. එනම් යම් ආකාරයකින් පුවත්පත් සඟරා සමඟ සම්බන්ධයක් පවත්වා ගනිමින් ඒ හරහා කොටස් වශයෙන් කතන්දර ලියමින් ජනප්‍රිය වෙන්නට සමත් වූ අයයි.

ඇමෙරිකාවේ ‘හාපර්’ස්’ සහ අත්ලාන්තික මාසිකය හොරේෂියෝ ඇල්ගර් ජූනියර් සහ රැල්ෆ් වොල්ඩෝ එමර්සන් වැනි පසුකාලීන සුප්‍රසිද්ධ ලේඛකයන් බිහිකරන්නට දායක වූවයි.

ප්‍රංශයේ ඇලෙක්සැන්ඩර් ඩූමාස් ඔහුගේ ‘ත්‍රී මස්කටියර්ස්’ සහ ‘ද කවුන්ට් ඔෆ් මොන්ටෙ ක්‍රිස්ටෝ’ නවකතා ද එවැනි අතිරේක ක්‍රමයට කොටස් වශයෙන් පළ කරන ලද ඒවාට අයිතියි. ඉයුජීන් සු (Eugène Sue) කොටස් වශයෙන් ලියූ Le Juif (The Wandering Jew/ සැරිසරන යුදෙව්වා) නිසා Le Constitutionnel පත්‍රයේ පිටපත් අලෙවිය 3,600 සිට 25,000 දක්වා ඉහළ ගියේය.

ජර්මන් භාෂාවෙන් යුතු රටවල කොටස් වශයෙන් පළවන නවකතා ගියේ Die Gartenlaube යන සතිපතා සඟරාවේ. 1875 දී එහි පිටපත් අලෙවිය තුන් ලක්ෂ අසූදාහක් ඉක්මවා ගිය බව කියැවේ.

‘ද රුසියන් මැසෙන්ජර්’ විසින් 1873 සිට 1877 දක්වා ලෙව් තොල්ස්තෝයි ලියූ ඇනා කැරනීනා ද, 1879 සිට 1880 දක්වා ෆියඩර් දොස්තොයිවෙස්කි ලියූ ‘ද බ්‍රදර්ස් කරමසෝෆ්’ ද කොටස් වශයෙන් පළ කළහ.

‘ලක්මිණි පහන’ නම් පුවත්පතේ ඩබ්ල්යු. ඒ. සිල්වාගේ ලිපි පළ විය. ඔහු වයස 16 දී ‘සිරියලතා’ ලියූව ද, තවත් කාලයක් යනතුරු ඔහු ගැන පොත්කඩ හිමියන් නොදත්හ. ඒ පොත් විකිණීමට බාර ගැනීම පවා ප්‍රතික්ෂේප වූ ආකාරය ගැන අපට අද දැනගන්නට ලැබේ. ඔහු 1919 දී ‘සිරිසර’ සඟරාව පටන් ගත්තේය. එසේම ‘නුවණ’ සහ ‘ලංකා සාමය’ යන සඟරාවල කර්තෘ ලෙසින් කටයුතු කළේය. ඔහුගේ නම ඒවායෙන් දකින්නට ලැබෙද්දී ඔහුගේ පොත් මිල දී ගන්නා පාඨකයන් ද වැඩි වූවා යැයි සිතිය හැකියි.

එවැනි පොත් පිංචක් හැටියට වරකට පිටපත් 40,000 ක් දක්වා අලෙවි කළ ඩිකන්ස්ගේ ‘පික්වික් පේපර්ස්’ කතන්දරයේ චරිත අනුව නිමැවූ බෝනික්කන් වෙළඳපොලේ වූහ. එසේම 1837 මාර්තු මාසයේ දී Habolt K. Brown අඳින චිත්‍රයේ වෙළඳපොලේ ඇති භාණ්ඩයක් කතාවට රිංගා ඇති ආකාරය දකින්නට හැකියි. පිම්බුන බඩගෙඩියක් ඇති දුම් පයිප්පයක් අතැති ටෝනි වෙලර් පිටුපසින් උදුන උඩ ‘ගිනස් ස්ටවුට්’ ලියා ඇති බව පෙනේ.

‘ද මූන්ස්ටෝන්’ නම් රහස් පරීක්ෂක නවකතාව එසේ කොටස් වශයෙන් එකතු කර ජනප්‍රියත්වයක් ලැබුවේ විල්කී කොලින්ස් ය. 1891 ජූලි මාසයේ සිට 1892 දෙසැම්බර් දක්වා ආතර් කොනන් ඩොයිල් විසින් ‘ද ස්ට්‍රෑන්ඩ්’ නැමති බ්‍රිතාන්‍ය සඟරාවට ශර්ලොක් හෝම්ස් හඳුන්වා දෙන්නේ ද කොටස් වශයෙන් රහස් පරීක්ෂක කතන්දර ගෙනෙමිනි. බොහීමියාවේ ලෝකාපවාදය (Scandal in Bohemia) නම් ඒ මුල්ම කතාවක, වොට්සන් විසින් පාඨකයාට ශර්ලොක් හඳුන්වා දීම සිදුවේ. “එයාගෙ වැඩ ගැන අපහැදිලි විස්තර මට කාලයෙන් කාලයට අහන්න ලැබුණ: ට්‍රිපොෆ් අබිරහස් මරණයේ දී ඔහුව ඔඩෙස්සා වලට කැඳවීම ගැන, ත්‍රිකුණාමලයේ දී ඇට්කින්සන් සහෝදරයන්ව ඒ අපූර්ව ඛේදවාචකයෙන් නිදහස් කරපු හැටි, අන්තිමට ඕලන්දයේ බලයේ ඉන්න රජ පවුල වෙනුවෙන් සාර්ථකව සහ සූක්ෂමව මෙහෙවරක් ඉටු කරපු හැටි.” ඔව්, ලංකාව ගැන සඳහනක් මුල්ම ශර්ලොක් හෝම්ස් කතන්දරයකට එකතුවෙලා තියන බව ඔබ දැන සිටියාද?!

එවක කලා නිර්මාණයක යෙදෙන්නෙකුට තම ප්‍රයෝජනය සඳහා ගන්නා කඩදාසි තමන්ටම කපා ගන්නට සිද්ධ විය. පිහාටු පෑන් උල් කරගන්නට සිද්ධ විය. තීන්ත දිය කරගන්නට සිද්ධ විය. ලියන ලද කොටස වැලි දමා වියලා ගන්නට සිද්ධ විය. අත්පිටපත් සමඟ ගමන්බිමන් යෑම අනතුරුදායක වූ අතර කාවන් වේයන් වෙතින් බේරාගෙන නිවහන තුල සුරක්ෂිතව තබාගැනීමත් පහසු කාර්යයක් නොවූ බව පෙනී යයි.

කොටස් වශයෙන් නවකතාවක් අතිරේක හැටියට විකිණීම සඳහා පුවත්පතක් හෝ සඟරාවකට යවද්දී ලේඛකයන් මුහුණ පෑ තව අභියෝග වූහ. ඊ ළඟ කොටස එනතෙක් පුල පුලා බලා සිටින පාඨකයන් කතාව ගැන පුවත්පතට සිය විචාරාත්මක අදහස් ලියා යැවීම ඒ අතර මුල් තැනක් ගත්තකි.

‘පික්වික් පේපර්ස්’ යනු ඉතා සුළු කාලයකින් ‘එක රැයකින්’ ජනප්‍රියත්වයක් ලැබුණු චාල්ස් ඩිකන්ස් කොටස් වශයෙන් ගෙනෙන ලද නවකතාවයි. ඩිකන්ස්ට වයස අවුරුදු 24 වෙද්දී ඔහු 19 වැනි සියවසේ ප්‍රකාශන ක්ෂේත්‍රයේ දැවැන්තයෙක් බවට හැරී අවසන්. නිකලස් නිකල්බි ප්‍රථම මුද්‍රණයේ පිටපත් පනස්දාහක් මුද්‍රණය නිකුත් වූ දිනයේම අලෙවි විය. ‘ද ඕල්ඩ් කියුරියෝසිටි ෂොප්’ අතිරේකයේ ප්‍රථම මුද්‍රණයේ පිටපත් 70,000 ක් මුල් දිනයේ දී ම අලෙවි විය. ඩිකන්ස් ග්‍රන්ථකරණයට පිවිසෙන්නට පෙර, 19 වැනි සියවස මුල් කාලයේ දී, හුදකලාව සිටින රොමැන්තික දිනීයස් පුද්ගලයෙකු විසින් පමණක් අනගි කලාත්මක නිර්මාණයක් බිහි කරන්නේය යන්න සමාජයේ ආකල්පයක් වූ කාලයකි. ‘ද ඕල්ඩ් කියුරියෝසිටි ෂොප්’ ලියද්දී ඩිකන්ස් ‘ලිට්ල් නෙල්’ චරිතය ගෙනෙන්නේ එයට එතරම් වැදගත්කමක් නොදී. ඒත් පාඨක ප්‍රතිචාර වලින් ඉල්ලා සිටියේ ඒ චරිතය ගැන තව අහන්නට ඔවුන් කැමති යැයි කියායි. ලිට්ල් නෙල් චරිතය වර්ධනය කරමින් කතාව ලියද්දී ලක්ෂයක් පිටපත් විකිණෙන්නට පටන් ගැනිණ.

ජේ. කේ. රෝලින්ස් ලියූ ඉන්ද්‍රජාලික හැකියාවන් ඇති පාසැල් වයසේ දරුවන්ගේ නවකතාව බොහෝ ප්‍රකාශකයන් ප්‍රතික්ෂේප කළහ. නමුත් අවශ්‍ය අවදානමක් ගන්නට කැමති එක ප්‍රකාශකයෙක් පමණි. ඊට වෙනස් අයුරකින් ජනප්‍රිය වූයේ ඊ. එල්. ජේම්ස්. ඇය මුලින්ම සිය නිර්මාණය කොටස් වශයෙන් ලියන්නේ අනුන්ගේ තැනක. ජනප්‍රියත්වය සමඟ ඇය තමන්ගේම තැනක් හදාගෙන ලියා අනතුරුව පොත් මාලාවක්ම බිහිකරන්නට සමත්වේ.

ලංකාවේ බ්ලොග් මාර්ගයෙන් සිය නිර්මාණ ඉදිරිපත් කර අනතුරුව මෑත කාලයේ පොත් ප්‍රකාශනයට පිවිසි පිරිස විශාල සංඛ්‍යාවකි. ආධුනිකයන්ට ඉතා පහසුවෙන් පොතක් ප්‍රකාශනය සඳහා පිවිසිය හැකි මාර්ග අද පෑදී ඇත. එනමුත්, පිළිගත් ලේඛකයන්ට මෙන්ම ආධුනිකයන්ට ද වර්තමානයේ දී මිල නොගෙවා කියවන්නට හැකි අතිමහත් සංඛ්‍යාවකින් එන සාහිත්‍ය නිර්මාණ සමඟ තරඟ වදින්නට සිද්ධ වේ. නැවතත් සාහිත්‍ය දියුණුව සීඝ්‍රයෙන් වර්ධනය වෙන අවධියකට අපි පිවිස සිටිනවාද?!

කළින් ලියූ සටහන්:

ජේන් අයර් ලියූ ශාලට් බ්‍රොන්ටෙ සහ ඒකීය පුද්ගලවාදය

17 වැනි සියවසේ චිත්‍ර ශිල්පිණියක් ලෙසින් ජීවිකාව උපයන්නට සමත් වූ කාන්තාව, ආර්ටෙමීසියා ජෙන්ටිලේෂ්කි .

සිංහල කියවන්නාට ලිවීම

පාඨකයා හැමවිටම නිවැරදියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: