අරුණි ශපීරෝ‍ වෙතින්

කාලයේ කූටෝපාය යොදා ඉතිහාසය යැයි සැලකෙන ප්‍රබන්ධ ලිවීම: ගාබ්‍රියෙල් ගාසියා මාර්කේස්

Posted in Uncategorized by arunishapiro on සැප්තැම්බර් 12, 2019

කොලොම්බියාවේ ඉතිහාසය වෙනස් කර ලියන්නට “සියක් වසරක හුදෙකලාව” (1967) තුලින් ලේඛකයා සමත්වීමේ අපූරු සිද්ධිය ගැනයි මේ සටහන.

කාලයේ කූටෝපාය බොහෝ ප්‍රබන්ධ තුලින් දකින්නට ලැබෙන්නකි. 1967 ‘ද නිව්යෝකර්’ සඟරාවේ පළ වූ
The Night Face Up (සබැඳියෙන් එය ඉංග්‍රීසියෙන් කියවත හැකියි) නමින් කෙටිකතාවක් ලියන ලතින් ඇමෙරිකන් Julio Cortázar අපූරු අන්දරයක් ගෙනෙයි. මෝටර්සයිකල් අනතුරකට පාත්‍ර වී රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින කතානායකයා සිහිනැතිව යන අවස්ථාවල තමන්ව හිරු දෙවියන්ට බිලි දීම සඳහා හඹා එන ඇස්ටෙක් අය ගැන සිහින දකියි. කතාව අවසන් වෙන්නේ නොසිතූ විදියෙන්, ඒ මෝටර්සයිකලයත්, අනතුරත් සහ රෝහලත් යන සියල්ලම සිහිනයකි.

එය රචකයාගේ සිතේ උපන් හුදු ප්‍රබන්ධයක් බවට එය කියවන කිසිවෙකුටත් සැකයක් නැත.

ඉතිහාසය දිග හැරෙන සාමාන්‍ය කාලයට ඔබ්බෙහි පවතින ආකාරයෙන් ප්‍රබන්ධය ගොතන ගාබ්‍රියෙල් ගාසියා මාකේස් අදාල සහ අදාල නොවන මිශ්‍රණයකින් සෑබෑ ඉතිහාසයේ කරුණු වෙනස් කරමින් ඊට එකතු කරයි. සවිචාර සහ සවිතර්ක හැකියාවන් නොමැති පාඨකයා වෙත එය පිළිගන්නේ එහි සඳහන් “දින” සහ “පාදක වූ ඵෛතිහාසක සිද්ධීන්” හැමෝම දන්න, පහසුවෙන් සොයාගත හැකි සැබෑ දෑ හැටියටයි.

එකමත් එක කාලයක දී පටන් ගන්නා කතාවක් නොව මෙය ඉතිහාසය පසුබිම් කරගත් අනාගතයක් ගැන කතාවක් හැටියට හිතාගන්නට යැයි පාඨකයාට ආරාධනා කරන්නකි.

එය හුදු ප්‍රබන්ධයක් යැයි කියන මාකේස් එසේම එය යථාර්ථයේ පිළිබිඹුවක් යැයි ද කියයි.

සාහිත ලොව කුරුලු ඇසින් ලියූ මනෝරම වීරසිංහ සිය “නූතන විචාර සංකල්ප පිළිබඳ කෙටි හැඳින්වීමක්” නම් පරිච්ඡේදයේ මෙසේ සඳහන් කරයි:

එහෙත් මාර්කේස් ඉතා පැහැදිලිවම මෙසේ පවසයි.

“යථාර්ථය මත පදනම් නොවූ එකම වාක්‍යයක්වත් මගේ නවකථාවල නැත බොහෝ දෙනෙක් විශ්වාස කරනවා මම ෆැන්ටසිමය ලේඛකයෙක් කියලා.. ඇත්තටම මම යථාර්ථවාදී කෙනෙක්. මම ලියන්නේ සැබෑ සමාජවාදී යථාර්ථවාදය කියල මං විශ්වාස කරන දේ..” ලතින් ඇමෙරිකානු සාහිත්‍ය පිළිබඳ විශේෂඥයෙකු වූ මහාචාර්ය ජෝන් එස් බර්ෂේවුඩ් මෙසේ කියයි. “සියක් වසරක හුදෙකලාව නවකථාවේ (නිරූපිත) යථාර්ථය ඉතා අමුතු එකක් වුවද දුෂ්කර අඛ්‍යානමය ශිල්පක්‍රම මගින් ගොඩනගන ලද සීමාබාධක නොමැති නිසා එය පාඨකයාට සම්පූර්ණයෙන්ම තේරුම් ගත හැක්කකි.

තව දුරටත් මේ මායා යථාර්ථවාදය/ ඉන්ද්‍රජාලික යථාර්ථවාදය/ ආශ්චර්යාත්මක යථාර්ථවාදය පැහැදිලි කරන වීරසිංහ මෙසේ ලියයි: “කෙසේ වුවද මෙම සිදුවීම් මාලාව මගින් අවසානයේ සමාජයේ තථ්‍ය යථාර්ථය ඉස්මතු කරන්නට ආශ්චර්යාත්මක යථාර්ථවාදීහු සමත් වෙති.”

වැරැද්ද ඇත්තේ ප්‍රබන්ධයක් යනු ප්‍රබන්ධයක් යැයි පිළිගැනීම නැවතී එය ඉතිහාසය යැයි සැලකෙන්නට පටන් ගැනීමේ දී ය. වැරැද්ද ඇත්තේ “වෙනස් පැත්තකින් බලන” සහ “සැබෑ ඉතිහාසය දිග හැරුණු ආකාරය කියැවෙන” සහ “නැවත කියවීම” යන අවුල් ප්‍රකාශ ඒ ගැන සංවාදයට එකතුවෙද්දී ය.

වැරැද්ද ඇත්තේ එය සැබෑ ඉතිහාසය තමනට උවමනා පරිදි හදාගන්නා ලද හුදු ප්‍රබන්ධයක් පමණක් යැයි පැහැදිලි කළ විද්‍යාර්ථී අදහස් කිසිවක් පාඨකයාට පහසුවෙන් සොයා ගැනීම අසීරු වීමේ දී ය.

මකොන්ඩෝ ටවුමේ වස්සාන කාලය, මාස කිහිපයක් වෙනුවට වසර කිහිපයක් තිස්සේ ඇද හැලෙන්නට පුළුවනි. එහි වැසියන් පැය කිහිපයක් වෙනුවට සති ගණනක් හෝ මාස ගණනක් නින්දේ පසුවෙන්නට පුළුවනි. “මකොන්ඩෝ වල මුකුත් වෙන්නෑ” කියල ගම්වැසියන් කියනව නම් ඉතින් වැස්ස කොච්චර කාලයක් ද, නිදාගන්නේ කොච්චර කාලයක් ද කියන එකේ වෙනසක් ඇත්ද?

මාකේස් විසින් සාමාන්‍යයෙන් පිළිගැනෙන ඉතිහාසමය කාලයෙන් ඔහුගේ ප්‍රබන්ධය සඳහා යොදාගන්න කාලය වෙනස් යැයි පෙන්වන්නේ එහෙම. එය, ප්‍රබන්ධයේ දී සිද්ධ වෙන්න යන්නේ මොකක්දැයි යන කුතුහලය වඩන ආරම්භයකි.

රේමන්ඩ් ලෙස්ලි විලියම්ස් නම් සාහිත්‍ය විචාරකයා “එය වෙන්නැති කොලොම්බියාවේ හොඳම කාලානුරූප ඉතිහාසය හරි අපූරු විදියට විස්තර කරන ලද්ද” යැයි ලියයි.

ඉතින් අද සමහර සාහිත්‍ය විචාරකයන් පමණක් නොව සමහර ඉතිහාසඥයන් පවා 1928 දී කොලොම්බියාවේ ඇතිවූ වර්ජනය පිළිගෙන ඇත්තේ එය සැබෑවටම දිග හැරුණු ආකාරයෙන් නොවේ. ඔවුන් පිළිගන්නේ මාකේස් සිය ප්‍රබන්ධයේ ගෙතූ ආකාරයයි. මෙය අදත් කොලොම්බියාවේ නොමිලේ බෙදන පාසැල් අධ්‍යාපන හරහා දරුවන්ට සපයන දැනුමයි. සමහර විට මෙය ලංකාවේ විශ්වවිද්‍යාල මට්ටමින් නොමිලේ බෙදන දැනුම වෙන්නටත් පුළුවනි.

මාකේස් උපත ලැබූ ටවුම, ඔහුගේ නිර්මාණ 3 කින් දකින්නට හැකියි. Leaf Storm නමැති කෙටිකතාව, සහ In Evil Hour සහ සියක් වසරක හුදෙකලාව යන නොබෙල් සාහිත්‍ය සම්මානය දිනාගත් නවකතාව ඒවා වෙති. ඒත් මකොන්ඩෝ (Macondo) කියා හැඳින්වීමට පාදක කරගත් සැබෑ ටවුමේ නම අරකතාකා (Aracataca) නම් වෙයි. එහි වැසියන්ට මාකේස් ගැන ඇත්තේ දැඩි අප්‍රසාදයකි.

රාජ්‍ය නිලධාරීන් එහි දුම්රිය ස්ථානය අසල ලේඛකයා වෙනුවෙන් ස්මාරකයක් ඉදිකර ඇත්තේ එහි වැසියන්ගේ අකමැත්ත නොතකමින්. 2006 දී පළාතේ රාජ්‍ය නිලධාරීන් ටවුමේ නම පොතේ එන විදියට මකොන්ඩෝ යැයි වෙනස් කරන්නට අසාර්ථක වෑයමක් ගත්හ. චන්දය ප්‍රකාශයට වැසියන් ආවේ නැති නිසා එය අසාර්ථක වූවා යැයි පළාත් රජය කියන ලදි. ඒත් එම මහජන මත විමසුම පරාජය ලැබුවත් රජය වැසියන්ගේ අකැමැත්ත නොසලකා හරිමින් “අරකතාකා-මකොන්ඩෝ: නොබෙල් භූමිය” යැයි ප්‍රධාන මාවතේ විශාල බැනරයක් එල්ලූහ. එසේම ටවුමේ වීදි බොහොමයක් පොතේ චරිත අනුව නම් කළහ.

ලේඛකයා සිය පොතට පාදක කරගන්නා ටවුමේ ගෙවූ කාලය 1927 සිට 1936 දක්වා පමණි. මාකේස් එහි නැවතත් යන්නේ 2007 දී බස් රථයෙන් නොබහින සංචාරයකට පමණක් යැයි කියැවේ.

1960 ගණන් වල දී ක්‍රමයෙන් දිරාපත් වූ ඔහුගේ නිවහන පැවති වත්තේ ගොඩනැඟිලි ගින්නකට හසුවීමෙන් පසුව ඒවා සියල්ල ඉවත් කර රජය විසින් එහි ලේඛකයා වෙනුවෙන්, ඔහුගේ ප්‍රබන්ධයේ සඳහන් පරිද්දෙන් ගොඩනැඟිලි හදා ඇත. එය කෞතුකාගාරයකි. ලේඛකයාගේ ජීවිත කාලයේ තිබූ කිසිවක් එයාකාරයෙන් දැන් එම භූමියේ නැත. එය අද ඉන්ද්‍රජාලික යථාර්ථවාදය සහ ඉතිහාස මතකයන් අනුව හැදී ඇති එකිනෙකට පරස්පර ගොඩනැඟිලි එකතුවකි.

කෞතුකාගාරය සඳහා රජය වැය කරන ලද මුදල කොලොම්බියන් පේසෝ බිලියන 1.1 කි. බදු මුදල් වලින් අනුන්ට බෙදන්නට එක පයින් එකතුවෙන සියල්ලන් වගේම මාකේස් ඊට කිසිම පෞද්ගලික මුදලක් පරිත්‍යාග නොකළේය. අරකතාකා ටවුමේ අනෙක් සියළු ගොඩනැඟිලි වලට වඩා කැපී පෙනෙන ලෙසින් කෞතුකාගාරය හදා ඇති වුවත් මාකේස් කිසිවිටෙක එම කෞතුකාගාරය බැලීමට නොගියේය. එසේම ඔහු අරකතාකා ගමට පාසැලක්, මහජන ගොඩනැඟිල්ලක් හෝ සමාජසේවා සංවිධානයක් තෑගි කළේ ද නැත.

අදත් එම නගරයේ වතුර ප්‍රශ්නයක් ඇත. 1980 ගණන් වල දී පටන් ගෙන 2012 දක්වාම පීත්ත පටි කපමින් වරින් වර විවිධ ජල යෝජනා ව්‍යාපෘති රැසක් ඇරඹිණ. ඒත් ඇලක් කැපීම හෝ ජලාශයක් හැදීම හෝ අවම වශයෙන් ටවුමට වතුර ටැංකියක් හදා දීමක් රජයෙන් සිදුවී නැත. ඒ වෙනුවට රජයෙන් ගම් වැසියන්ට ලැබී ඇත්තේ මාකේස් සිහිකරන්නට කෞතුකාගාරයකි.

1928 යුනයිටඩ් පළතුරු කොම්පැණියේ වර්ජනය යටපත් කරන්නට 3,000 ක් සමූලඝාතනය කරන ලද්දේ යැයි සිය ඉන්ද්‍රජාලික යථාර්ථවාදී ප්‍රබන්ධයේ මාකේස් ලියයි. ඒත් 1990 දී චැනල් 4 සමඟ කරන ලද වැඩසටහනක දී මාකේස් විසින්ම වර්ජනයේ දී මිය ගියේ 3-5 ක් වැනි සංඛ්‍යාවක් යන්න පිළිගත්තේය.

“.. කෙසෙල් සිද්ධිය මගේ මුල්ම මතකයන් අතරින් එකක්. එය ජනප්‍රවාදයේ ලොකු තැනක් ගන්න නිසා මට උවමනා වුනා මම “සියක් වසරක හුදෙකලාව“ ලියද්දී ඒ ගැන සැබෑ පරිසිද්ධි සහ මිය ගිය සෑබෑ සංඛ්‍යාව දැනගන්න. … ඒත් ඒක මහා සමූලඝාතනයක් නොවන බව සෙයාගත්තම … ඒක මට ප්‍රශ්නයක් වුණා. සුවිසල් කරල සියල්ල ලියන “සියක් වසරක හුදෙකලාව” වැනි පොතක .. මට උවමනා වුනා මුළු රේල්පාරම මළ සිරුරු වලින් පුරවන්න. ඉතින් සැබෑ ඉතිහාසයට අනුව යන්න මට හැකියාවක් තිබුනේ නෑ. තුන් දෙනෙක්, හත් දෙනෙක්, නැත්නම් 17 ක් මිය ගිය අය හිටියා කිව්වම මදි. ඒකෙන් පුංචි වැගන් එකක්වත් පුරවන්න බෑ. ඉතින් මම තීරණය කළා තුන්දාහක් මිය ගිය බව. මොකද මම ලියන පොතේ පරිමානයට එය ගැලපෙනව. ඒ ජනප්‍රවාදය දැන් ඉතිහාසය හැටියට බාරගෙන.”

පාඨකයා දකින්නෙ මකොන්ඩෝ කියන සමෘද්ධිමත් ටවුම. ඒක සූරා කාලා, දුෂිත තැනක් කරලා විනාශ කරලා දාන්නේ ඒකට කඩා වදින ඇමෙරිකන් කෙසෙල් කොම්පැණිය. මහා වැඩ වර්ජනයක් හමුවේ දී එහි ශ්‍රමිකයන් තුන්දාහක් කොලොම්බියා හමුදාව විසින් ඝාතනය කිරීම සහ ඒ පිළිබඳව රජය නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය ඒ විනාශයේ උච්චස්ථානයයි.

නවකතාවක සඳහන් ජනප්‍රවාද ඇත්තටම තිබුණ බව අපි පිළිගන්නව. ඒත් ඒවාට පාදක වූ සැබෑ පරිසිද්ධි වෙනස් විදියකට ලිව්ව නිසා ඒවා සත්‍යය යැයි කීම අපි පිළිගන්නෙ නෑ.

පාඨකයෙක් සහ විචාරකයෙක් හැටියට කෙනෙකුට පුළුවන් සොයා බලන්න මේ ප්‍රබන්ධයේ එන ඒ සිද්ධියේ ඉතිහාසය එයාකාරයෙන් සිද්ධ වූවාදැයි කියාත්, එහි පසුකාලීන පිළිගැනීම කෙසේ වූවාදැයි කියාත් දැනගන්න.

මාකේස් 1968 දී කියන්නේ මිය ගිය සංඛ්‍යාව හරියටම ලිවීම ඔහුගේ මූලික අරමුණ නොවූවත් “නිල වශයෙන් දක්වන ඉතිහාසය” ප්‍රශ්න කිරීම මාර්ගයෙන් කොලොම්බියාවේ ඉතිහාසය ගැන “අලුත් කියැවීමක්” කරා යෑම ඔහුගේ අරමුණ බවයි.

ඉතින් බොහෝ සාහිත්‍ය විචාරකයන් එය ලතින් ඇමෙරිකාව ගැන සමාජවාදී කියැවීමක් හැටියට දක්වනව. එය පැහැදිලිවම ‘ඉතිහාසමය’ සිද්ධීන් දිගහැරෙන ප්‍රබන්ධයක් යැයි හඳුන්වන්නත් පෝලිම් ගැහෙනව. ස්ටීවන් මින්ටා කියන්නෙ ‘තොරතුරු ඕනකමින්ම අතිශයෝක්තියෙන් ඉදිරිපත් කළාට එය හැමෝම දන්න පරිසිද්ධි ගැන රළු සටහනක්’ බව! ගුස්ටාවෝ ඇල්ෆාරෝ සහ ලිසුලා ඉනේස් මීනා යන දෙදෙනා ඒ මදිවට එය ඉතිහාසයේ පරිසිද්ධි ඉතා අවංකව ඉදිරිපත් කරල තියෙනවා යැයි තර්ක කරන්නත් ඉදිරිපත් වෙනව.

සාහිත්‍ය විචාරකයන්ට එසේ අවුල් සහගතව ලියන්න පහසුවෙන් පුළුවන්. නමුත් කණගාටුවට කාරණය ඊට ඉතිහාසඥයන් පවා එකතුවීම. “කොලොම්බියාවේ ආර්ථික ඉතිහාසයේ හැඳින්වීමක්” යන පොත ලියන ඇල්වාරෝ ටිරාඩෝ මෙයියා, එක්සත් පළතුරු කොම්පැණිය ගැන කොටස සම්පූර්ණයෙන්ම ගාසියාගේ පොතේ එන මකොන්ඩෝ වර්ජනය හා සම්බන්ධ විස්තර වලින් පුරවන්නෙ. මේක කොලොම්බියාවේ පාසැල් ළමුන් සඳහා වූ අත්පොතක්. එය ලියූ ඉතිහාසඥයාගේ ප්‍රධාන මූලාශ්‍රය ප්‍රබන්ධයක්!

සැබෑ තොරතුරු සහ පරිසිද්ධි ගැන ලියූ සාහිත්‍ය විචාරකයන් සහ ඉතිහාසඥයන් කොලොම්බියාවේ නැතුවා නොවේ. ඒත් කළින් සඳහන් කරපු අරකතාකා ටවුමේ රජයේ සේවකයන් වගේ අය තමයි දැනුම හා තොරතුරු පැතිරවීම බාර ඉන්නෙ. වතුර නැති මිනිස්සුන්ට බිලියනයක මුදල් වැය කරලා කෞතුකාගාර හදල දෙන අය, ප්‍රබන්ධයක් මිස එහි සත්‍යයක් නැතැයි කියා ප්‍රසිද්ධියේ කියාවිද?!

කොලොම්බියන් ජනතාවගේ සිත් සතන් වලින් සත්‍යය වසන් කරන්නට කොලොම්බියාවේ එලීට් අය අතර වෑයමක් තිබුණා යැයි ද එය ඔවුන් කළේ ඒ ගැන නිහඬව සිටීමෙනි යැයි ද, කියමින් ඊට ‘නිහඬ කුමන්ත්‍රණය’ හැටියට නමක් වැටී ඇත්තේ ගාසියාගේ මෙම ප්‍රබන්ධයෙන් පසුව. එවැන්නක් ගැන කිසිදු ඉඟියක් සැබෑ තතු වලින් සොයාගන්නට නැත.

උදාහරණ හැටියට වර්ජනයේ නායකයෙක් වූ ඇල්බර්ටෝ කැස්ට්‍රියොන් (Alberto Castrillón), 1929 ජුලි 20 වැනිදා සිරගෙදර සිට වර්ජනය ගැන සම්පූර්ණ වාර්තාවක් කොංග්‍රසයට යැවීය. එය, 120 dias banjo el terror militar නමින් ඒ වසරේ දී ම පොතක් හැටියට එළිදැක්විණ. ජනරාල් කාලෝස් කෝර්ටෙස් වර්ගාස් විසින් ද පැහැදිලි කිරීම් සහ තම පැත්තෙන් කරුණු කියාපාන ලියැවිලි, Los sucesos de las bananeras නමින් 1929 දී ම සපයා ඇත. කොංග්‍රසයේ නඟන ලද චෝදනා සඳහා ඔහු පුවත්පතකට යැවූ පිළිතුරු මුද්‍රණය වී ඇත. වර්ගාස් විසින් චෝදනා කරනු ලැබූ වික්ටර් ෆුඑන්ටෙස්, මැග්ඩලේනා ආණ්ඩුකාරයා, හෝසෙ මරියා නුන්‍යෙස් රෝකා ඇතුළු අයත් ඔවුන්ගේ පැත්තෙන් විස්තර 1929 ජූලි මස දී ප්‍රකාශනය කර ඇත. 1931 දී මැග්ඩලේනා හි කවියෙක් වූ ග්‍රෙගෝරියෝ කැස්ටැනියෙඩා අරගොන් විසින්, ඔහු වර්ජනයේ දී හොබවන ලද නිල තත්වය ගැන වර්ගාස්ට චෝදනා කරමින් Papeles de la buelga del Magdalena en 1928 නමින් ප්‍රකාශනයක් නිකුත් කර ඇත.

1989 දී තමා ඵෛතිහාසික දත්ත සමඟ කටයුතු කර නැතැයි ගාසියා ප්‍රසිද්ධියේ පිළිගෙන ඇත. ඒත් තවමත් Gene Bell-Villada වැනි බොහෝ සාහිත්‍ය විචාරකයන් අපට “සියක් වසරක හුදෙකලාව“ හි දැක්වෙන්නේ “පරමසාරයෙන් යුතු වූ ලතින් ඇමෙරිකන් ඉතිහාසය” යැයි කියති.

ඉන්ද්‍රජාලික යථාර්ථවාදය යැයි හඳුන්වමින් සාහිත්‍ය ප්‍රබන්ධ ලිවීමේ වරදක් නැත. ඒත් එය ඉතිහාසය හෝ දේශපාලන සමාජ විද්‍යාව හැටියට හැඳින්වීම සම්පූර්ණයෙන් වැරදි ක්‍රියාවකි.

සිංහල බසින් කියවන අය අතර හොර්හෙ ලුවීස් බොර්හේස් (Jorge Luis Borges) නම දන්නේ කවුද?

ආර්ජන්ටීනාවේ උපන් බෝර්හේස් ස්පාඤ්ඤ සාහිත්‍ය සෙසු ලෝකයට ගෙනියන්න මුලින්ම සමත් වූවායි. ලතින් ඇමෙරිකන් සාහිත්‍ය බුබ්බුලය ද, 20 වැනි සියවසේ ඉන්ද්‍රජාලික යථාර්ථවාදී රැල්ල ද පටන් ගැනුනේ ඔහු වෙතිනි. එනම් මාකේස් අයත් වෙන්නේ බෝර්හේස් පටන් ගත් සම්ප්‍රදායයට. 1967 දී නොබෙල් සාහිත්‍ය සම්මානයට නම් කරන ලද තිදෙනා අතරට බොර්හේස් අයත් වුවත් එය දිනා ගැනීමට ඔහු සමත් වූයේ නැත.

මෙහි දී ඉස්මතුව පෙනෙන පරිසිද්ධියක් ඇත. ඔහු කොමියුනිස්ට්, සමාජවාදී අදහස් ප්‍රතික්ෂේප කරද්දී, සාර්වභෞමික වූ විලසකින් ලියද්දී, වමේ අය ඔහුව ප්‍රතික්ෂේප කිරීම පටන් ගැනිණ. 1971 කොලොම්බියා විශ්වවිද්‍යාලයේ සම්මන්ත්‍රණයක දී ඔහු මෙසේ කීවේය: “මම හිතන්නේ රචකයාගේ වගකීම රචකයෙක් වීමයි, ඉතින් එයා හොඳ රචකයෙක් නම්, එයා එයාගේ වගකීම ඉටු කරනව. මම හිතන්නෙ මගේ මත පිටතින් තියෙන්නක් කියල. උදාහරණයක් හැටියට, මම කොන්සර්වේටිව්, මම කොමියුනිස්ට්ල පිළිකුල් කරනව, මම නාට්සීන් පිළිකුල් කරනව, මම සෙමයිට්-විරෝධීන් පිළිකුල් කරනව, යනාදී වශයෙන්; ඒත් මම ඒ මත මගේ රචනයට ඇතුල් වෙන්න ඉඩදෙන්නෙ නැහැ, Six-Day War ගැන මම ඉතාමත් ප්‍රීතියට පත්වෙද්දී එය ව්‍යතිරේකයක්. … මම ලියන්නෙ ප්‍රබන්ධ, උපහැරණ නොවේ.”

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: