අරුණි ශපීරෝ‍ වෙතින්

අනල්ප වියරුව දිව්‍යමය සංවේදයකි – එමිලි ඩිකින්සන්

Posted in Uncategorized by arunishapiro on සැප්තැම්බර් 19, 2019


අනල්ප වියරුව අතිශය දිව්‍යමය සංවේදයකි
විපරම්කාරී ඇසකට
අනල්ප අවබෝධය – දැඩි වියරුවකි
බහුතරය එසේය
මෙය ද, සමස්තය මෙන්, පවතින්නයි
අනුමැතිය – ඉතින් ඔබ හොඳ සිහියෙන් සිටියි
අකමැත්ත – වහාම, ඔබ අවදානම් පුද්ගලයා වෙයි
යදමකින් හසුරුවන්නට සිදුවෙන

තම ජීවිත කාලය තුල දී නිර්මාණ 1800 ක් පමණ ගෙනෙන ලද එමිලි ඩිකින්සන්, එතෙක් නොවූ අලුත් ආකාරයකින් කවි ඉදිරිපත් කරන ලද්දෙක් හැටියට 21 වැනි සියවසේ ඇමෙරිකන් සාහිත්‍යය තුල වැදගත් තැනක් ගනියි. ඇයගේ නිර්මාණ බොහොමයක් සිදුවූයේ 1858-1862 කාලය තුල දී යැයි සැලකේ. වයස අවුරුදු 56 දී, ඇයගේ අභාවයෙන් පසුව ඇයගේ සහෝදරිය විසින් පොත් කිහිපයක් පිරෙන්නට ලියන ලද කවි සොයා ගැනීමෙන් පසුව ඒවා මුද්‍රණය කෙරිණ.

ඇයගේ කවි අතරින් සිය ගණනක් ඉතා කෙටි කවි වෙති. ඒත් ඒවා, ඉහත රළු ආකාරයෙන් මවිසින් සිංහල බසට පරිවර්තනය කරන ලද (1862 දී ලියන ලදැයි සැලකෙන) ‘Much Madness is Divinest Sense’, මෙන් බෙහෙවින් ගැඹුරු අර්ථ දක්වන කවි වෙති.

ඔබ තුල ඇති වියරුව යනු සැබෑ වියරුවක් නොවන බව මෙම කවියෙන් කියැවේ. අතිශය දිව්‍යමය හැඟීමක් (divinest sense) තුලින් පෙනී යන්නේ ඔබ තුල පවතින ‘අනල්ප වියරුව’ යනු ඔබ තුල සිටින සැබෑ ඔබ කවුදැයි කියා පෙන්වන්නයි. සමාජය විසින් ‘වියරුව’ යැයි කියා අර්ථ දැක්වීමක් කර ඇත්තේ, සමාජයට උවමනා විදියට නොව තමන්ට උවමනා හැටියට සිටීමට අවශ්‍ය පුද්ගලයන්ට බව පෙන්වීම මෙහි දී ඇයගේ වෑයමයි. අපෙන් බලාපොරොත්තු වෙන්න, සහ සැබෑ අපි, යන දෙකින්, අපේ කැමැත්ත වනුයේ කුමක්දැයි තෝරා ගැනීම ඇත්තේ අප අත බව ඇය පෙන්වා දෙන කාරණයයි.

අපේ සැබෑ තත්වය හෙළි කිරීම අපි තෝරාගනිද්දී, එම පරිසිද්ධිය දන්නේ ඔබ සහ යමක් තේරුම් බේරුම් කරගත හැකියාව ඇති ‘විපරම්කාරී ඇසක්’ (discerning eye) ඇති පුද්ගලයන් පමණි. ඒ අයට පමණක් සැබෑ විනිශ්චය හැකියාවක්, හරි වැරදි තෝරා බේරාගත හැකියාවක් පිහිටයි. සමාජයක් අපේක්ෂා කරන්නට පිටුපාන එවැනි අය ඉන්නේ සුලුතරයකි.

සමාජයක ජීවත්වන අප ගැන අනුන්ට ඇති අපේක්ෂාවන් මහත් රාශියකි. ඒත් අපි සැවොම එකම විදියක මිනිසුන් නොවෙමු. අන්‍යයන්ගේ නීති රීති අනුව හැම විටම ජීවත්වන්නට කැමති අය නොවෙමු. ඒ ඒ අය නිවැරදි යැයි සිතන නීති රීති සමාජයකට එකතු වෙයි. බහුතරය ඒවා විමසා බැලීමකින් තොරව පිළිපදිති. එය පවතින දැඩිම වූ වියරුව හැටියට ඇය පෙන්වයි.

සමාජයක් තුල පවතින පොදු සංවේදීතාවය, ඇය ‘දැඩි වියරුව’ සමඟ සංසන්දනය කරන්නීය. බහුතරය, එනම් අපි ජීවත්වන සමාජයේ වැඩි පිරිස, හොඳ සිහියෙන් ජීවත්වන්න යැයි අපිට කියද්දී, ඔවුනට උවමනා අපි ඔවුන්ගේ විදියට ජීවත්කරවීම පමණකි. අතාර්කික වූ විශ්වාස බාරගැනීම අප ලවා කරවීමයි. හොඳ සිහිය යනුවෙන් ඔවුන් අදහස් කරන්නේ ඔවුන් ප්‍රිය කරන ජීවන රටාවයි. ලෝකයා ඔබෙන් දකින්නට කැමත්තේ ඒ ආකාරයෙන් ඔබ ජීවත්වෙන ආකාරය පමණකි. අපි අයිති වෙන, අපි ජීවත්වෙන සමාජය අපෙන් ඉල්ලා සිටින්නේ එයයි. සමාජයේ පවතින අනෙක් උමතු සියල්ල මෙන්ම එය ද පවතින්නකි යන්න “එයත්, අනෙක් සියල්ල සේ ම, පවතියි,” යැයි කියා ඇය උලුප්පා දක්වයි.

සමාජයේ පවතින විශ්වාස එයාකාරයෙන්ම පිළිගන්නට අයෙක් එකඟවෙද්දී පමණක් සමාජයේ කොටස්කාරයෙක් යැයි ඒ අයව ද පිළිගැනීමට පාත්‍ර වෙයි. හොඳ සිහියෙන් සිටින අයෙක් හැටියට සමාජය සලකන්නේ එවැනි අයෙක්වයි.

ඒත්, ඊට විරුද්ධ වූවක් කරන්නට ඔබ ඉදිරිපත් වූවොත්, බහුතරය මතය, සමාජයේ උමතුව ගැන විරෝධයක් දක්වන්නට, ඔවුන් හා එකඟවීමට අදිමදි කරන්නට, තම අකමැත්ත යම් විදියකින් දැක්වුවහොත්, එවිට සමාජය ඔබ ප්‍රතික්ෂේප කරනවා පමණක් නොවේ. එවිට සමාජය, ඔබ උන්මත්තකයෙක් යැයි කියා හඳුන්වනවා පමණක් නොවේ.

එවිට, “වහාම” ඔබ “අනතුරුදායක පුද්ගලයෙක්” යැයි ප්‍රකාශ කරයි.

එපමණක් නොව දැන් ඔබ සමාජයට තර්ජනයක් නිසා ‘යදමකින් හසුරුවන්නට සිදුවෙන’ පුද්ගලයෙක් බවට පත්වෙයි. යදමකින් බැඳ තබන්නාට වෙනකෙක් කියන අන්දමට හැසිරෙන්නට සිද්ධ වෙයි. ඉතින් සමාජ බන්ධනයට ඔබ හසුවේ.

මෙය එවක ඇමෙරිකාවේ පැවති දරදඬු ආගමික සංස්ථාව ගැන යැයි කියාත්, එමෙන්ම එවක ලෝකයේ කාන්තාවන් සඳහා වූ සීමාබාධක ගැන කියාත්, අර්ථ කථන දක්වන අය සිටිති. ඒත් මෙය ඊට වඩා ප්‍රථුල ලෙසින් ලෝක සමාජයේ ඇති නිදහස ප්‍රශ්න කරන්නකි. එය යම් කාලයකට, දේශයකට හෝ කොට්ඨාශයක් ගැන නොවේ. මෙහි අවධානය එල්ල වනුයේ ඒකීය පුද්ගල මිනිස් ස්වභාවය සඳහා ඇති නිදහස වෙතටයි.

පාසැල් ළමුන්ට කියැවීමට සුදුසු පොතපත මොනවාදැයි අනුමැතිය තීන්දු කරන විද්වතුන්, ඇමෙරිකන් පාසැල් සඳහා නිර්දේශිත පොතපත් ලැයිස්තුවෙන් එමිලි ඩිකින්සන්ගේ නිර්මාණ ඉවත් කර ඇත. හෙන්රි වඩ්ස්වර්ත් ලෝන්ග්ෆෙලෝ, සහ රොබට් ලුවී ස්ටීවන්සන් යන අයත් එසේ අද ඇමෙරිකන් පාසැල් දරුවන්ට කියැවීමට නිර්දේශ වූ පොතපත් ලැයිස්තු වලින් ඉවත් වී ඇත. මෑත කාලයේ දී ලී හාපර් ලියූ ‘ටු කිල් අ මොකින්ග්බර්ඩ්’ හි කළු ඇමෙරිකන් අයව හෑල්ලු කරන ඒ කාලයේ ප්‍රකාශ නිසා එය ද ඉවත් කරන්නට ගත් වෑයමක් විය. අන්ධ කඳු නඟින්නෙක් ඩෙනාලි කන්ද (මැකින්ලි) තරණයට සමත්වීම ගැන නවකතාවක් පාසැල් ලැයිස්තුවෙන් අයින් කරන ලදි. ඒ කතාව කලාපීය සීමාවකට දරුවා හිරකරන්නේය යන තර්කයෙනි. ගස් බෙනයක ජීවත්වන ජීවින් ගැන ප්‍රබන්ධයක් ඉවත් වූයේ කතුවරයා ‘ඒ ජීවින්ට එය තට්ටු නිවසක්’ වූවා යැයි සඳහන් කිරීම නිසයි. ඔවුන් තර්ක කළේ ඉන් තට්ටුමහල් නිවාසවල ජීවත්වන දරුවන්ගේ හිත් කම්පාවට පත්වේ යැයි කියායි.

අනුමැතිය සහ අකමැත්ත එයාකාරයෙන් දක්වමින් අනුන්ට නිර්දේශ සම්පාදනය කරන සමාජයේ පවතින උමතුව, ඩිකින්සන් මෙම කවිය ලියා වසර 157 ක් ගෙවී යද්දී, තවමත් එසේම පවතියි. ඒත්, මෙවැනි පාසැල් දරුවන් සඳහා නිර්දේශ සමස්ත ඇමෙරිකාවට බලපාන ඒවා නොවන බව කිව යුතුයි. බහුතරයගේ අනුමැතිය නොතකමින් ලබාගත හැකි අධ්‍යාපනය සඳහා තවමත් නිදහස මෙරට පවතී.

එමිලි ඩිකින්සන් ලියූ කවි සඳහා ඇය සිරස්තල යොදා නැත. ඒ වෙනුවට අපිට අද දකින්නට ලැබෙන්නේ කවියක මුල් පදය ඒ සඳහා යොදා ගැනීමයි. සමහර අවස්ථාවල දී මුල් කාලයේ පටන් එම කවි ප්‍රකාශනය කරන ලද පිළිවෙල දක්වන අංකයක් කවියේ මුල් පදය අසලින් වරහන් තුලින් දකින්නට ලැබේ.

මිනිස් මොළය පුළුල්ය අහසටත් වැඩියෙන්,
මක් නිසාද යත්, එක ළඟින් එක තැබුවොත්,
එකක් අනෙක එකතු කරගනියි
පහසුවෙන්, සහ ඔබ එක්කම.

මිනිස් මොළය ගැඹුරුය මුහුදටත් වැඩියෙන්,
මක් නිසාද යත්, නිලට නිල සේ බදාගනියි,
එකක් අනෙක උරාගනියි
ඉස්පන් වගේ, බාල්දි වගේ.

මිනිස් මොළය දෙවියන්ගේ බර පමණකි
මක් නිසාද යත්, එය ඔසවයි, රාත්තලකින් රාත්තලකට ,
එසේම එකඟ නොවේවි, නමුත් එසේ වුවහොත්,
මාත්‍රාවකින් ධ්වනියක් වෙනස් වෙනවා සේ.

එමිලි ඩිකින්සන්, The Brain -is wider than the sky.

කළින් ලියූ සටහනක්:
ක්ලෝඩීන්ගේ පාසැල් ජීවිතය, ඔස්කා වයිල්ඩ් හා ඇලන් ටුරින්

One Response

Subscribe to comments with RSS.

  1. mppgunasinghe said, on සැප්තැම්බර් 19, 2019 at 8:25 ප.ව.

    සිංහල පමණක් දත් පාඨකයන් වෙත ඔබෙන් ඉටුවන මහඟු මෙහෙයට මෙයද කදිම නිදසුනක් ස්තුතියි අරුණි


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: