අරුණි ශපීරෝ‍ වෙතින්

ලන්ඩන් තියටර් දිස්ත්‍රික්කයේ තිබි වෙළඳපොල තරඟය

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 8, 2019

නිවුන් දරුවන්ගේ උපත්තියෙන් පසුව එනම් 1585 සිට 1592 දක්වා කාලය අපිට ශේක්ස්පියර් ගැන කිසිත් තොරතුරක් දැනගන්නට නොමැති කාලයයි. ඒ කාලයේ දී ඔහු ජීවිකාව උපයා ගන්නට කුමන රස්සාවක යෙදුනා ද, ඔහු ලන්ඩනයට ආවේ කවදාද, නළුවෙක් ලෙසින් රැකියාව මුලින්ම සොයා ගත්තේ කෙසේදැයි යනාදිය කොතැනකවත් සඳහන් නොවේ.

ඒ තොරතුරු සොයාගත නොහැකියාව නිසා, ඔහුගේ නාට්‍ය කුමන අනුපිළිවෙලකින් රඟ දැක්වූවා ද, ඔහු ලියන ලද නාට්‍යය කුමන අනුපිළිවෙලින් ලියුවේ ද, යනාදිය සම්බන්ධයෙන් විද්වතුන් අතර තවමත් වාද විවාද පවතී.

ශේක්ස්පියර්ට පෙර ක්‍රිස්ටෝෆර් මාර්ලෝ (Christopher Marlowe) නමැත්තා නාට්‍ය රචකයෙක් හැටියට මහත් ජනප්‍රියත්වයක් දිනාගත්තෙක් වූයේය. ශේක්ස්පියර් හා සමකාලීනයෙක් වූ බෙන් ජොන්සන් ශේක්ස්පියර් මිය යාමෙන් පසුව අතිශයින් ජනප්‍රිය වූවෙකි.

මහත් දෝෂ සහිත සහ නීරස සාහිත්‍ය වෑයමක් පෙන්වා එය වානිජකරණයේ ප්‍රතිඵලය යැයි දැක්වීම, සහ එය එසේ යැයි පිළිගැනීම අද ලොව දකින්නට ලැබෙන හුරුවකි.

වික්ටෝරියන් යුගයේ නවකතා 40,000 ක් පමණ බිහිවූවා යැයි ද, ඒවායෙන් බාගයකට වඩා සංඛ්‍යාවක් කාන්තාවන් විසින් ලියන ලදැයි ද, එයින් අපි අද කියවන්නේ 200 ක් පමණක් යැයි ද, අගය කරන්නේ 50 ක් පමණ යැයි ද දක්වා ඇත්තේ මහාචාර්ය පෝල් ඒ. කැන්ටර් විසිනි.

එයාකාරයෙන්, ශේක්ස්පියර් හා සමකාලීන වූ නාට්‍ය රචකයන් 300 ක් පමණ සිටියහ: ජෝන් ලයිලි (Lyly), තෝමස් ලොජ් (Lodge), තෝමස් නෑෂ් (Nashe) තෝමස් කිඩ් (Kyd), රොබට් ග්‍රීන්, හෙන්රි චෙට්ල් (Chettle) ජෝර්ජ් චැප්මන්, ජෝර්ජ් පීල් (Peele) ජෝන් මාර්ස්ටන් (Marston), ජෝන් ෆෝර්ඩ්, තෝමස් මිඩ්ල්ටන්, ජෝන් ෆ්ලෙචර්, ෆ්‍රැන්සිස් බෝමෝන්ට් (Beaumont).

ඒත්, වසර 400 ක් ඉක්ම යද්දී, ශේක්ස්පියර්ට කළින් සිටි මාර්ලෝට වඩා, ඔහුට පසුව සිටි ජොන්සන්ට වඩා, ඔහු හා සමකාලීනව සිටි නාට්‍ය රචකයන් 300 ක් පමණ සංඛ්‍යාවට වඩා අතිශයින් සුවිශේෂී තැනක් ශේක්ස්පියර්ට හිමිවිණ.

ඔහු නළුවෙක් ලෙසින් පටන් ගන්නා වෘත්තිය වෙනස් අතකට හැරිණ. ශේක්ස්පියර් නාට්‍ය රචකයෙක් ලෙසින් ආදායම් උපයන්නට සමත්විය. ආදායමක් උපයන්නට සමත්වීම යනු ඔහු ගෙනෙන ‘නිෂ්පාදනයට’ වෙළඳපොල ඇති කැමැත්ත පෙන්නුම් කරන්නයි. ඔහු, තමන් ලියන නාට්‍ය නරඹන්නට එන පාරිභෝගිකයන්ගේ කැමැත්ත අලුත් දිසාවකට ගෙන යන්නට සමත් දක්ෂයෙක් වූයේය.

ඔහුගේ පුතා, හැම්නෙට්, 1596 දී වයස අවුරුදු 11 දී මිය ගියේය. වැඩිමහල් දියණිය වූ සුසෑනා පසුකාලයක දී ස්ට්‍රැට්ෆර්ඩ් හි හොඳ ආදායමක් උපයන වෛද්‍යවරයෙක් වූ ජෝන් හෝල් සමඟ විවාහ වූවාය. සුසෑනා සහ ජෝන්ගේ දියණිය එළිසබෙත් උපදින්නේ 1608 දී ය. 1616 දී ශේක්ස්පියර් මිය යන්නට මාසයකට පෙර, ඔහුගේ බාල දියණිය වූ ජූඩිත්, ස්ට්‍රැට්ෆර්ඩ් හි වයින් හදන්නෙකු වූ තෝමස් කුයිනි (Quiney) හා විවාහ වූවාය. ශේක්ස්පියර් ඉහළ ආදායමක් උපයන්නට සමත් වෙන්නේ නළුවෙක් හැටියට නොව, නාට්‍ය රචනයෙන් නොව, ‘චේම්බර්ලන් සාමිගේ පිරිමි’ නාට්‍ය කණ්ඩායමේ සහ ග්ලෝබ් තියටර් හි කොටස් අයිතිකරුවෙක් හැටියටයි. 1597 දී සිය පවුල සඳහා ටවුමේ දෙවැනි විශාලතම නිවහන මිල දී ගන්නට සමත්වීම එහි දී වෙළඳපොල තුලින් ඔහු සිය ජීවිත කාලයේ දී ම ලැබූ ජයග්‍රහණය පෙන්නුම් කරයි.

ඉතින්, අතීත ශ්‍රේෂ්ඨ නිර්මාණයක් සමඟ පමණක් සංසන්දනය කරමින්, වර්තමානයේ කෙටි කලකට අතිශයින් ජනප්‍රිය වූවක් ගෙන එය ‘වානිජකරණය නිසා ලැබෙන මහ ජරාව’ යැයි කියන්නට පෙර සලකා බැලිය යුත්ත මෙයයි. අද ජනප්‍රිය කලා නිර්මාණයකට ‘කාලයේ විභාගයට මුහුණ දිය හැකියාව’ ඇත්ද?

යම් වසරක දී නිර්මාණය වෙන කලා කෘති තුලින් බහුතරය කිසිත් ලෙසකින් දීර්ඝ කාලීන ශ්‍රේෂ්ඨ නිර්මාණ බවට පත් වෙන්නේ නැත. කාලයේ විභාගයෙන් ජය ලබන්නේ සැබැවින් විශිෂ්ට නිර්මාණ පමණි.

ක්‍රමවත් සහ ඉහළ අධ්‍යාපනයක් සතු නිසා පමණක් අනෙකුත් නිර්මාණකරුවන් පහත් මට්ටමක සිටින අය ලෙසින් සැලකීම, තමන්ගේ පිරිස අනික් අයට වඩා තීක්ෂණ බුද්ධියකින් යුතු කණ්ඩායමක් යැයි පෙන්වන්නට වෑයම් කිරීම ද සාහිත්‍ය ලෝකයේ දකින්නට ලැබෙන තවත් හුරුවකි.

ඔක්ස්ෆර්ඩ්, කේම්බ්‍රිජ් යන විශ්වවිද්‍යාල වලින් අධ්‍යාපනය ලැබූ එවක වූ ඉංග්‍රීසි නාට්‍ය රචකයන් කණ්ඩායමක් හඳුන්වන්නට ‘විශ්වවිද්‍යාල වාග් විදග්ධයන්’ (University Wits) යන වහර යොදා ගෙන තිබුණි. විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් නොතිබූ ශේක්ස්පියර් ඔවුන් වෙතින් විවේචනයට සහ පාච්චලයට ලක්වූ අවස්ථා වූහ. එසේම ඒ සමහර උපාධිධාරියෙක් ප්‍රේක්ෂක ප්‍රතිචාර නොසලකා හැරීම නිසා ආදායම් උපයාගත නොහැකිව දුප්පතෙක් ලෙසින් මිය ගිය අවස්ථා ද තිබිණ.

ඉතිහාසය පිරික්සා බලද්දී බහුතර වශයෙන් කලාව නිෂ්පාදනය වූයේ වෙළඳපොල වෙනුවෙන් සහ සංස්කෘතියක් දියුණු වූයේ ඒ හේතුවෙන් බව පැහැදිලි වේ.

එංගලන්තයේ නාට්‍යශාලා දිස්ත්‍රික්ක ඉදිවෙන්නට පටන් ගැනෙනුයේ එතෙක් කාලයක් ප්‍රභූ රදළයන්ගේ දායකත්වයෙන් පැවති නාට්‍ය කණ්ඩායම් දක්වන රැඟුම් සඳහා ඇදී ගිය ජනතාව, ටිකට්පත් මිල දී ගෙන නාට්‍ය නරඹන පිරිස බවට හැරෙද්දීය.

ලන්ඩන් නගරයට ආසන්නව ඉදිකරන, වේදිකා නාට්‍ය වෙනුවෙන්ම යැයි අරමුණු කරගත් පළමු ශාලාව ‘රතු සිංහයා’ (The Red Lion) නමින් හැඳින්වූවයි. එය වැඩිකල් පැවතුනේ නැත.

ජේම්ස් බර්බේජ් (Burbage) වඩුවැඩ ශිල්පශ්‍රේණියේ නියුතු වූවෙකි. සිය මස්සිනා සමඟ වේදිකා නාට්‍ය සඳහා අවශ්‍ය වඩුවැඩ කරන්නට හේ පටන් ගත්තේය. අනතුරුව නාට්‍ය සඳහා ඔහු තුල වූ ඇල්ම හේතුවෙන් ඔහු රඟපෑමට එක්විය. 1572 වෙද්දී ඔහු ‘ලෙස්ටර්ගේ පිරිමි’ නාට්‍ය කණ්ඩායමේ ප්‍රධාන චරිත රඟපෑ නළුවෙක් බවට පත්විය.

‘ද තියටර්’ නමින් 1576 දී බර්බේජ් විසින් එලිසබෙතන් යුගයේ නාට්‍ය සඳහා ප්‍රථම ස්ථිර වේදිකාව නිර්මාණය කළේය. ඒ වෙද්දී ශේක්ස්පියර්ගේ වයස අවුරුදු 12 කි. වසරක් යද්දී, ‘තිරය’ නමින් නාට්‍ය ශාලාවක් ඉදිවිය. 1600 දී ‘වාසනාව’ (Fortune) සහ 1605 දී ‘රතු වෘෂභයා’ ඉදි කරන ලද්දෙන් ලන්ඩනයේ ප්‍රථම නාට්‍ය දිස්ත්‍රික්කය බිහිවිය.

තරඟය යනු නවෝත්පාදනයක් ගෙන ඒම නිසා ඇතිවන ලද ඉල්ලුමක් පෙනෙද්දී එය සපුරාලන්නට වෙළඳපොලක් තුල හනිකට සිද්ධ වෙන්නයි.

තේම්ස් නදියේ දකුණු වෙරළබඩ තවත් නාට්‍ය දිස්ත්‍රික්කයක් පටන් ගැනිණ. 1587 දී ‘රෝස මල’ (Rose), 1595 දී ‘හංසයා’ (Swan), පටන් ගැනුණි.

සමහර නාට්‍ය ශාලාවන්හි ඇතුලත භූමියට තුන්දහසක් ජනතාව රැස් කරත හැකියාව තිබුණි. ලන්ඩනයේ වැසියන් අතරින් 10% ක් එවක සෑම සති අන්තයක දී ම නාට්‍යයක් නරඹන්නට ගියහ. නාට්‍යශාලා දිස්ත්‍රික්කයේ පැවති තරඟය හමුවේ තම නාට්‍ය ශාලාවට වැඩි ප්‍රේක්ෂක පිරිසක් කැඳවා ගැනීම සඳහා හනිකට අලුත් නාට්‍ය ලියන්නට සිද්ධ වුණි. සමහර අලුත් නාට්‍යයක පිටපත නළුවන්ට ලැබුනේ සවස රංගනය පැවැත්වෙන දිනයේ උදෑසනයි. ශේක්ස්පියර් ලියූ කෙටිම නාට්‍යය ලෙස සැලකෙන ‘විභ්‍රමයන්හි සුඛාන්තය’ (The Comedy of Errors) හි පේලි 1,786 ක් තිබිණ. ඔහුගේ දිගම නාට්‍යය යැයි සැලකෙන හැම්ලට් හි පේලි 4,024 ක් ඇත. ඉතින්, නාට්‍ය ප්‍රදර්ශනය හා සම්බන්ධ වූ සියල්ලන්ටම ඒ දවස ඇතුලත දී සියල්ල පුහුණු වෙන්නට සිද්ධ වූ හැටි ගැන සිතන්න.

එවැනි වාතාවරණයකට පිවිසෙන ශේක්ස්පියර් නළුවෙක් හැටියට වේදිකාව සහ නාට්‍ය කලාව ගැන මනා වැටහීමක් ලබාගන්නට ඇත. ශේක්ස්පියර් ගැන කිසිත් දැනගන්නට නොමැති ඒ වසර කිහිපයේ දී ඔහු විසින් පැය දස දහසක රීතිය සපුරාලන ලද්දේ යැයි ද අනුමාන කළ හැකියි. එනම්, ඔහු හිටිහැටියේ වේදිකාවට ප්‍රාප්ත වූ සුපිරි තරුවක් නොවේ. කැපවීමකින් යුතුව කාලයක් ගෙවමින් ඔහු සිය ලේඛන හැකියාව වැඩි වර්ධනය කරගන්නට සමත් වූවෙකි.

‘ද තියටර්’ නාට්‍ය ශාලාව පිහිටි ඉඩමේ කල් බද්ද (ලීස් එක) පවුලේ නඩුවලට පෙනී සිටින්නට සිද්ධ වූ ජේම්ස්ගේ පුතුන් වූ රිචඩ් සහ කත්බර්ට් දෙදෙනාට අහිමි විය. තේම්ස් නදියේ දකුණු වෙරළබඩට යන රිචඩ් බර්බේජ් ග්ලෝබ් තියටර් නමින් අලුත් නාට්‍ය ශාලාව ඉදි කළේය. ඔහු සිය සහෝදරයා සහ තවත් නළුවන් 5 දෙනෙකු අතර හවුලක් හදාගෙන ඉඩමේ කල් බද්දේ වැය ගෙවීම ඔවුන් අතර බෙදා ගත්හ.

1599 දී ප්‍රේක්ෂකයන්ට විවෘත වන ග්ලෝබ් තියටර් එක ශේක්ස්පියර්ගේ නාට්‍ය ඉතා ඉක්මණින් ජනප්‍රිය වූ ස්ථානය බවට පත්වුණි. ශේක්ස්පියර් ලියූ නාට්‍යය එහි රඟ දැක්වෙන්නට පටන් ගැනෙන්නේ කවදාද යන්න අපි නොදනිමු. එහි වේදිකාව ආවරණය වුවද වේදිකාව ඉදිරිපිට සිටගත් අයගේ හිසට වහලක් තිබුණේ නැත. ‘පෙනී’ (Penny) කාසියක් ගෙවා සිටගෙන නරඹත හැකි වූ අතර හිසට ආවරණ ඇති සඳළුතල ආසනයක මිල ‘පෙනී’ දෙකක් විය.

1609 දී මුළුමනින් ආවරණය වූ නාට්‍ය ශාලාවකට අයිතිය කියන්නට රිචඩ් බර්බේජ්ට හැකිවිය. ඒවායේ ටිකට්පත් පටන් ගත්තේ පැන්ස හයකිනි. සඳළුතල ආසන සිලිම් දෙකක් (පැන්ස 24 ක්) වූහ. රිචඩ් බර්බේජ් වේදිකාව, ශාලාව සහ නාට්‍ය කලාව දියුණු කරලීම සඳහා මහත් කැපවීමකින් කටයුතු කළේය. ඒත්, ඔහු මුදලට යට වූවෙක් යැයි අවලාද කියූ අය ද සිටියහ.

1613 දී ශේක්ස්පියර්ගේ අටවැනි හෙන්රි නාට්‍ය රංගනයේ දී ග්ලෝබ් තියටර් හි වහල ගිනිගෙන මුළු ශාලාවම දැවී ගියේය. වසරකින් එතැනම නැවතත් ග්ලෝබ් තියටර් නමින්ම නාට්‍ය ශාලාවක් ඉදි කරන්නට ඔවුන් සමත් වූහ.

එවක ලන්ඩන් නගරයේ පාලකයන් අතර නිසිබලධාරීන් හැටියට පත්වූයේ පියුරිටන් සුචරිතවාදීන්ය. නළුවන් යනු දුශ්චරිත පුද්ගලයන් කියා ඔවුන් සැලකූහ. ඒත් 1579 සිට 1610 දක්වා තහනම් පැනවීම හා කපා හැරීම සඳහා බලය ලත් ‘විනෝදාස්වාදයේ මාස්ටර්’ (Master of Revels) තනතුර හොබවන ලද එඩ්වඩ් ටිල්නෙ (Tilney), මහජනතාව අතර නොසන්සුන් තත්වයන් ඇති කරන දැය පමණක්, එනම් ආගම සහ දේශපාලනය, වේදිකාවේ රඟ දැක්වීම තහනම් කළේය. බොහෝ විට රචකයාට නොව දඩ වැදුනේ සහ සිරගත වූයේ නාට්‍ය ශාලා හිමියායි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: