අරුණි ශපීරෝ‍ වෙතින්

ශේක්ස්පියර්ගේ ප්‍රේක්ෂකයන්

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 10, 2019

එලිසබෙතන් යුගයේ වේදිකා නාට්‍ය තුල දේශපාලනය සහ ආගම ගැන අදහස් දැක්වීම එංගලන්තයේ නිසිබලධාරීන් වෙතින් තහනම් වූවත්, ඒ ගැන ලියන්නට ශේක්ස්පියර් සමත් වූයේය. ඒ ආගම සහ දේශපාලනය පමණක් නොව, එදත් අදත් පවතින දැඩි විවාදයට තුඩු දෙන, ඒත් සංවාදයට ලක්විය යුතු වූ මාතෘකා ගැන කිසිදු පැත්තකට පක්ෂපාතීත්වයක් නොදක්වමින් ලිවීමෙනි.

එයින්, සමාජයේ යම් කොට්ඨාශයක් බලයේ සිටින අයට එරෙහිව නැඟී ඒම සඳහා ඔහු උසිගන්වන්නේය යැයි කියන්නට නිසිබලධාරීන්ට හැකියාවක් නොමැති විය. කිසිත් ප්‍රජාතන්ත්‍රවාදයක් නොමැති වූ එවක දී වේදිකාව පමණක් ප්‍රජාතන්ත්‍රවාදී වූවා යැයි නෑශ් (Nashe) ලියා ඇත.

දෙපැත්තෙන්ම අදහස් දක්වමින් විචාරය සඳහා අවශ්‍ය බුද්ධිය නාට්‍යානුසාරයෙන් සැපයීම ශේක්ස්පියර් කාලයේ නවතම අදහසක් වූයේය. 2020 වසර ළංවෙද්දී පවා පාර්ශ්වයක් නොගත් සාහිත්‍ය ලෝකයේ අතිශය විරල යැයි පෙන්වා දෙන්නට පුළුවනි.

11 වැනි සියවසේ සිට නාට්‍යානුසාරයෙන් දකින්නට පැවතියේ පල්ලිය විසින් අගයන ලද්ද පමණි. එනම්, ඒ ඒ පල්ලිය අනුව ඒ ඒ සාන්තුවරයෙකුගේ ජීවිතය ගැන කියාපාන ‘පෙළහර නාට්‍යය’ (miracle play) ඔවුන් රඟ දැක්වූහ.

13 වැනි සියවසේ දී කුරුසයට තබා ඇණ ගැසීම, ඇඩම් සහ ඊව් නිර්මාණය කළ හැටි, ඒබල් ඝාතනය, වැනි බයිබලයේ සඳහන් කතා අනුසාරයෙන් නාට්‍ය බිහි වූහ. පල්ලියෙන් පිටත වූ ස්ථානවල රඟ දැක්වෙන්නට පටන් ගනිද්දී, ඒ නාට්‍ය වලින් පූජකවරුන්, විනිසුරුවන්, සොල්දාදුවන් සහ වෛද්‍යවරුන් විවිධාකාර ලෙසින් හාස්‍යයට ලක් කෙරිණ. ඒවා ‘ගුප්ත නාට්‍යය’ (mystery play) නමින් හැඳින්වේ.

15 වැනි සියවසේ ගුණ ධර්ම ගැන කියාදෙන ‘සුසිරිත නාට්‍යය’ (morality play) දකින්නට ලැබුණි. මුලින්ම රංගනය තුලින් ජීවිකාව උපයන්නට වෑයම් කරන, ඒවායේ බරපැන පියවීම මහජන අනුග්‍රහයෙන් පමණක් ලබාගන්නා වූ නාට්‍යය බිහිවෙන්නට පටන් ගැනෙන්නේ එවක දී ය. සුසිරිත නාට්‍යයක් ලෙසින් සැලකෙන ‘උට්ඨාන වීර්යයේ මාලිගාව’ (The Castle of Perseverance) නාට්‍යයේ ලොව ඉතිරි වී ඇති එකම අත්පිටපත අද ඇමෙරිකාවේ වොෂිංටන් අගනුවර පිහිටන ෆෝල්ජර් ශේක්ස්පියර් පුස්තකාලයේ සුරක්ෂිතව පවතී.

නාට්‍ය රචනය සඳහා හැකියාව සමඟ ලන්ඩනයට පැමිණි සිටි ශේක්ස්පියර් ඉදිරියේ ඒ අනුව විවෘත වෙන වතාවරණය ඉතා සුවිශේෂී වූවකි.

බර්බේජ් ඉදි කරන ලද ස්ථිර නාට්‍ය ශාලා සංකල්පයෙන් බිහි වූ තරඟකාරී නාට්‍ය ශාලා දිස්ත්‍රික්ක මෙන්ම දුර බැහැර රටවල් සමඟ ඇරඹෙන තරඟකාරී වෙළඳාම නිසාත්, ලන්ඩන් පාලම ඉදිකිරීමට පැමිණි මේසන් බාස්ලා සහ වඩුවැඩ ශිල්පීන් නිසාත්, ලන්ඩනයේ වැසියන් අත මුදල් ගැවසීම හේතුවෙන් ඔවුනට පවුල් පිටින් ගොස් නාට්‍ය නරඹන්නට හැකියාව පෑදීම ශේක්ස්පියර්ගේ වාසනාවයි.

ආහාර පාන, වස්ත්‍ර සහ කාමරය උණුසුම් කරන ඉන්ධන සඳහා දවසේ පඩියක ආදායමෙන් සෑහෙන කොටසක් වැය වූ කාලයක දී නාට්‍යයක් නැරඹීම සඳහා ‘ග්‍රවුන්ඩ්ලින්ග්ස්’ හෙවත් හිටගෙන නාට්‍ය බැලූ අය ගෙවන ලද ‘පෙනී’ එකක මිල යනු ඔවුන් තවත් බියර් පයින්ට් එකක් බොනවා වෙනුවට තෝරා ගන්නා ලද්දයි. පෙනී එකක් ගෙවා පැය 2-3 ක් රසවිඳිය හැකි නාට්‍යයක් නැරඹීමට ඔවුන් දැඩි කැමැත්තක් දැක්වූ බව පෙනී යයි.

ශේක්ස්පියර්ගේ නාට්‍ය රඟ දක්වන ලද්දේ ‘ද රෝස්’, ‘ද තියටර්’, ‘ද කර්ටන්’ සහ ‘ද ග්ලෝබ්’ යන ස්ථානයන්හි දී ය. ‘රජුගේ පිරිමි’ (The King’s Men) ඔහු ද හවුල් අයිතියකින් යුතු නාට්‍ය කොම්පැණිය විය.

නළුවෙක් ලෙසින් ලන්ඩනයේ සිටි කාලය තුල දී ඔහුට ප්‍රභූ වංශවතුන්ව ළඟින් ඇසුරු කරන්නට හැකියාව ලැබුණා යැයි ඔවුන් ගැන ඔහුගේ නාට්‍ය තුලින් දැක්වෙන තොරතුරු වලින් අනුමාන වේ. එසේම, සෙසු නළුවන් සමඟ නගරයේ තැබෑරුම් සහ අවන්හල් ඇතුලත ගෙවූ කාලය නිසා, නැවියන්, වෙළෙන්ඳන් යනාදී විවිධ පුද්ගලයන් ආශ්‍රයට ඉඩකඩ පෑදුනේ යැයි සැලකේ.

මිනිස් ස්වභාවයන් මනා ලෙස අධ්‍යයනයට ශේක්ස්පියර්ට පෑදුන ඉඩකඩ ඔහු ඉතා විශිෂ්ට ලෙසින් ප්‍රයෝජනයට ගත් බව ඔහුගේ නාට්‍යයයන් ඔප්පු කර පෙන්වති.

ශේක්ස්පියර් නාට්‍යයන් තුල සමාජයක වාසය කරන සියළු පිරිස් දැක්වෙති. ප්‍රභූන් සහ සාමාන්‍ය වැසියන් ඉදිරියේ දර්ශනය කෙරෙන නාට්‍යය තුල ප්‍රභූන් සහ සාමාන්‍ය වැසියන් එකම වේදිකාවක දී දකින්නට ලැබෙන ප්‍රථම අවස්ථාව ශේක්ස්පියර් වේදිකාව යැයි සැලකේ. එපමණක් නොව එංගලන්ත ඉතිහාසයේ ප්‍රථම වතාවට වේදිකාවක් මත, දෙවියන් වෙතින් ඍජුවම පැවත එන යැයි සම්මත ‘රජ’ නිරුවත් කරන්නටත් සමත් වූයේ ශේක්ස්පියර් නම් අසහාය නාට්‍ය රචකයායි.

අධ්‍යක්ෂකවරුන් නොමැති යුගයක, නාට්‍ය රචනය තමන් කැමති අන්දමින් නිරූපනය කරන්නට නළුවන්ට හැකියාව තිබිණ. නිදි යහනින් නැඟිටින නළුවා වස්ත්‍ර හැඳ සිටින්නේ ද නැද්ද යන්න තීරණය කළේය. දෙවැනි රිචඩ් නාට්‍යයේ රජෙකුගේ ස්වභාවය කෙසේ විය යුතු දැයි ගැන කතාබහක් වේදිකාවේ සිද්ධ වේ. දෙවියන් හා සමාන වූවෙක් නොව එහි දී අනෙකුත් මිනිසුන් හා සමාන වූ අඩුපාඩුකම් සහිත තමන් තවත් මිනිසෙක් පමණක් යැයි රජු විසින් වටහා ගන්නා අවස්ථාව දැක්වෙයි.

ශේක්ස්පියර් මිය ගොස් වසර 33 ක් යද්දී කෲර ආඥාදායකයෙක් වූ පළමු චාල්ස් රජු සිරබාරයට ගැනීමත්, පාර්ලිමේන්තු ඉහළ උසාවියේ නඩුව විභාග වී අනතුරුව හිස ගසා දැමීමත් සැබැවින් සිද්ධ වූවකි. පාලකයන්ගේ කෲර ක්‍රියාපටිපාටි යනු දෙවියන්ගේ කැමැත්ත යැයි මහජනතාව විචාරයෙන් තොරව බාරගත් යුගය නිමා විය.

වේදිකාවට අවශ්‍ය රජෙක් හෝ ප්‍රභූ නිලතලයක් නිරූපනය කරන ඇඳුම් පැළඳුම් මිල ඉතා අධික වූ බැවින් ඔවුන් බොහෝ විට වංශවතෙක් විසින් තෑගි කරන ලද, පාවිච්චි කළ ඇඳුම්, ඉවත දමන ලද ඇඳුම්, ඒ සඳහා භාවිතා කළහ.

වේදිකාවේ මැද්දට වෙන්න සිවිලිමේ පිහිටන ලද ලී පාලම, (පසු කාලයේ දී වේදිකාවේ ලයිට් එල්ලන්නට යොදා ගැනෙන්න) නළුවන්ට වැස්සෙන් බේරෙන්නට හැදූ ආවරණයක් නොවේ. ඒ අධික මිලෙන් යුතු වේදිකා ඇඳුම් වැස්සෙන් බේරාගැනීම සඳහා හදන ලද්දකි.

එවක වේදිකාවේ, ජවනිකාව කොතැනක සිද්ධ වෙන්නක් යැයි කියා දක්වන්නට වෙනස් වෙනස් පසුතල නිර්මාණයක් ද නොවීය. නාට්‍යය දිග හැරෙද්දී රංගනයේ යෙදෙන අය විසින් ජවනිකාව දිග හැරෙන ස්ථානය කොතැනක දැයි කියා සිටියහ.

එකම නළුවෙක් චරිත දෙකක් රඟපාද්දී, එවර වේදිකාවේ පෙනී ඉන්නේ කුමන චරිතය සඳහා කීමත් නාට්‍යයට එකතු කරනු ලැබිණ. නැත්නම් ඒ කවුදැයි වෙන චරිතයක් මඟින් අහනු ලබන අතර එයට පිළිතුරු දෙමින් තමන් කවුදැයි හෙළිකරනු ලබන ආකාරය දැක්වුණි.

නාට්‍ය ශාලා පිරී යද්දී පල්ලි හිස් වූහ. රටේ විවිධ පැති වලින් ගලා ආ මහජනතාව එකිනෙකාගේ ඇඟට ‘ඇලී’ සිටි බව කියැවේ. එලිසබෙතන් යුගයේ පුද්ගලයෙක් ඔහුගේ ජීවිත කාලයේ දී ම ඒ හා ජන සම්භාරයක් එකවර වෙන කිසිදු ස්ථානයක දී දැක නොතිබුණි.

දුර්වල නාට්‍ය කොම්පැණි සෙනඟ නැතිව ඉක්මණින් බංකොළොත් වූහ. නාට්‍ය ශාලා භූමියේ සෙනඟ අඩුවෙද්දී, මුල්‍ය අනුග්‍රාහයකයන් සිටි නාට්‍ය කණ්ඩායම් යළිත් තැනින් තැන ගොස් දර්ශන පවත්වන්නට මහමගට බැස්සහ. ඉතින් ලන්ඩන් තියටර් දිස්ත්‍රික්කයේ ඉතිරි වූයේ හොඳම නාට්‍යයන් පමණකි.

තියටර් දිස්ත්‍රික්කය තුල දිනපතා එවැනි මහා ජනකායක් ඇදී එන ප්‍රේක්ෂක සහභාගීත්වයක් පැවතීම ශේක්ස්පියර්ගේ වාසනාවකි. නාට්‍ය 37 ක් ලියන්නටත්, තවත් ගණනාවකට සහාය වන්නටත් අවස්ථාව ලැබුනේ ඔවුන් නිසයි.

එකළ නාට්‍ය දිස්ත්‍රික්ක ගැන සමාජයේ පැවති දැක්ම යහපත් නොවීය. දහවල් කාලයේ සූදු කෙළියේ යෙදෙන තැබෑරුම්වල නිති ගැවසෙන නළුවන් සහ නාට්‍ය රචකයන් මෙන්ම නාට්‍ය නරඹන්නට ආ ගණිකාවන් සහ පික් පොකැට්කරුවන් නිසාත් ඒ අවට වාසස්ථානය පවා ‘ශිෂ්ට සම්පන්න’ අයට නුසුදුසු යැයි සැලකුණි.

ඇල්ෆ්‍රඩ් හාබේජ් ලියූ “ශේක්ස්පියර්ගේ ප්‍රේක්ෂකයන්” (Shakespeare’s Audience, 1941) පොත එවක නාට්‍ය නරඹන්නට පැමිණි අය ගැන තොරතුරු එකතුවකි. එහි, ශේක්ස්පියර් නාට්‍ය නරඹන්නට පැමිණි ‘පැහැපත්’ කාන්තාවන් බොහොමයක් ගැලරියේ සිටියා යැයි ඈශ්ලි එච්. තෝර්න්ඩයික් විසින් සඳහන් කර ඇත. එසේම එහි, සර් එඩ්වඩ් චේම්බර්ස් සඳහන් කරන ලද පරිදි ඉහළ සමාජයේ කාන්තාවන් පෞද්ගලික ආසන ඇති කුටි තුල වෙස්මූණු වලින් තමන් කවුදැයි හඳුනාගත නොහැකි පරිදි මුහුණු වසන් කරගෙන සිටියහ. එදා ලන්ඩනයේ කාන්තාවන් තැබෑරුම් තුලට නොගියත් නාට්‍ය ශාලා වෙත ඇදී ගිය බව පෙනී යයි.

ඒ ඒ නාට්‍යය සඳහා නිකුත් කරන නළුවන්ගේ නම් සහ කතාව සඳහන් මුද්‍රිත නාට්‍ය නිවේදකයේ (playbill) පිටු එකතුවක් විකිණුනේ පැන්ස හයක් වැනි මුදලකටයි. එහි වූ තරම් මුද්‍රිත පිටු ප්‍රමාණයක් ඇති ‘සාහිත්‍ය’ යැයි සැලකෙන පිටු එකතුවක මිල එවක දී සිලිමක් වූයේය.

මෙහි දී සලකා බැලිය යුත්ත මෙයයි. එදා ඒ ‘සාහිත්‍ය’ හැටියට සැලකෙන ලද නිර්මාණ වලින් කීයක් ගැන අද ලෝකයේ ජනතාව දන්නවා ද? එදා ඔවුන් නාට්‍ය නරඹා ඒවා විසිකර දමා ගියහ. ඒත්, ෆෝල්ජර් ශේක්ස්පියර් පුස්තකාලය විසින් ශේක්ස්පියර් නාට්‍යය නිවේදකයන් ලක්ෂ දෙකකට අධික සංඛ්‍යාවක් ඔවුන්ගේ එකතුවට මිල දී ගෙන ඇත.

ග්ලෝබ් තියටර් වේදිකාවේ රඟ දැක්වූ නාට්‍ය බලන්නට රජ පවුල එහි ගියේ නැති වුවත්, රජමාලිගාවේ පැවැත්වූ පෞද්ගලික දර්ශන සඳහා නළුවන් ගෙන්වාගත්හ. පළමු එළිසබෙත් රැජින 3 වතාවක් ශේක්ස්පියර් නළුවන් රජ මාලිගයට ගෙන්වා ගත්තා යැයි කියැවේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: