අරුණි ශපීරෝ‍ වෙතින්

රජුගේ බලාත්මක බව අඩු වැඩි වෙන හැටි ලියූ ශේක්ස්පියර්

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 14, 2019

කවි ලිවීම වංශවත් පවුල්වල අයට සුදුසු වූවකි. ඒත් නාට්‍ය රචනා කිරීම ඒ හා සමාන නොවීය. නාට්‍ය ශාලාව පිරෙන්නට සෙනඟ ඇදී එන ලෙසින් ලිවීම නාට්‍ය රචකයාගේ කාර්ය භාරය වීම නිසා එය වංශවත් අයට අශිෂ්ට යැයි සැලකිණ. ඒත් පළමුවැනි එළිසබෙත් රැජින නාට්‍ය සඳහා කැමැත්ත දැක්වීම තුලින් ඔවුනට එහි නියැළෙන්නට හැකියාව පෑදිණ.

ජේම්ස් බර්බේජ් මූලිකත්වයෙන් ගොඩනැඟෙන ලන්ඩනයේ තියටර් දිස්ත්‍රික්කය නිසා නළුවන්ට, නාට්‍ය රචකයන්ට, වඩුවැඩ ශිල්පීන්ට, යනාදී ඒ හා සම්බන්ධ මහත් පිරිසකට තම ආර්ථික සරුසාර කරගන්නට හැකියාව පෑදිණ.

1215 දී ඉංග්‍රීසි බැරන්වරු ජෝන් රජු සමඟ ගැසූ මැග්නා කාටා (Magna Carta) නමැති ගිවිසුම අනුව රජවරුන්ට බදු මාර්ගයෙන් රාජ්‍ය වැය සඳහා මුදල් එකතු කරන්නට අවසර තිබුණත්, ඒ සඳහා පාර්ලිමේන්තුවෙන් ද අවසර ගත යුතුව තිබිණ. හිතන්න, බදු වැඩි කරන්නට රජතුමාට අවසර නොදුන් පාර්ලිමේන්තුවක් ගැන.

පළමුවැනි එළිසබෙත් රැජින සමයේ අයර්ලන්තයේ සහ ස්පාඤ්ඤයේ පැවති යුද්ධ සඳහා ගිය වියදම් නිසා රටේ ආර්ථිකය දුර්වල තත්වයකට හැරිණ. ඇයගේ එංගලන්ත සභාවේ ආගමික ස්ථාවරයත්, දරුවන් නැති ඇය විසින් ඊ ළඟ පදවි ප්‍රාප්තිකයා නම්කර නොතිබීමත්, නාවුක මාර්ග ඔස්සේ ඇති වූ වෙළඳ යුද්ධ යනාදියත් රටේ අස්ථාවර තත්වයක් ඇති කළේය.

ශේක්ස්පියර් විසින් ලියන ලද රිචඩ් රජ නාට්‍ය සහ හේන්රි රජ නාට්‍ය ඉංග්‍රීසි ඉතිහාසය සහ දේශපාලනය ගැන බොහෝ අදහස් ඉදිරිපත් කරන ඒවා වෙති. ‘දෙවැනි රිචඩ්’ නමින් වූ නාට්‍යය ප්‍රදර්ශනයට එසෙක්ස්හි අර්ල්වරයා අනුග්‍රහය දැක්වූයේ එයින් පළමුවැනි එළිසබෙත් රැජිනට විරුද්ධව ජනප්‍රිය කැරැල්ලක් ඇති කරන්නටයි. කැරැල්ල සාර්ථක නොවීය.

1597 දී ශේක්ස්පියර් විසින් සිලිම් 5 ක බද්දක් ගෙවා නැතැයි බදු වාර්තාවක් දක්වයි. එසේම 1598 දී ද ඔහු සිලිම් 13 ක බද්දක් ගෙවා නැත. ඒත් ඉන්පසුව ඒ ගැන කිසිත් සඳහනක් සොයාගන්නට නැත. ඒ ඔහු එම බදු ගෙවන ලද නිසාදැයි ද, නැතහොත් ඒ ගැන කිසිවෙක් ඔහුව නඩු මඟට නොගෙන ගිය නිසාදැයි ද, කියා දැනගන්නට නැත. ඒ කාලයේ දී ම රිචඩ් කුයිනි (Quiney) නමැති ශේක්ස්පියර්ගේ ගම වූ ස්ට්‍රැට්ෆර්ඩ් හි පළාත් ආණ්ඩුවේ අයෙක්, එහි බදු අඩු කරගන්නට ලන්ඩනය බලා අවුත් සිටියේය. කුයිනි මාස කිහිපයක් තිස්සේ විවිධ රාජ්‍ය කවුන්සිල් වලින් බදු සහන ලබා දෙන්න යැයි ඉල්ලා සිටියේය. ඔහුට කිසිවෙකු වෙතින් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණි. ගමෙන් දුන් මුදල් ඉවර වෙද්දී, වෙනත් ගම්වාසියෙක් වූ ඒබ්‍රහැම් ස්ටර්ලි (Sturley) ශේක්ස්පියර් හමුවන්නට යන්නැයි කුයිනිට කියා සිටියේය.

සිය ගමේ පිහිටන ලද දෙවැනි විශාලතම නිවස මිලට ගන්නට ශේක්ස්පියර් විසින් පවුම් 60 ක් ගෙවා තිබුණි. ශේක්ස්පියර්ට ලිපියක් යවන කුයිනි පවුම් 30 ක ණයක් ඉල්ලා සිටියේය. එම ණය ශේක්ස්පියර් දුන් බව ස්ටර්ලි ලියන ලද පසු ලිපියකින් පෙනී යයි. කුයිනිට ඒ නිසා යළිත් පාර්ලිමේන්තුවෙන් බදු සහන ඉල්ලා සිටින කටයුතු කරන්නට හැකියාව පෑදිණ. අනතුරුව පාර්ලිමේන්තුව ස්ට්‍රැට්ෆර්ඩ් ගමට බදු සහන මෙන්ම කුයිනිගේ ලන්ඩන් වියදම් පියවන්නටත් නීති සම්මත කළහ.

1603 දී පළමුවැනි එළිසබෙත් රැජින මිය යද්දී ස්කොට්ලන්තයේ හයවැනි ජේම්ස් එංගලන්තයේ පළමුවැනි ජේම්ස් හැටියට කිරුළු පැළඳීය.

පළමුවැනි ජේම්ස් ඉක්මණින් ස්පාඤ්ඤය සමඟ සාමකාමී වූවත් පැන නැඟී තිබුණ ආර්ථික අර්බූදය හමුවේ ගැටළු සහගත පාලන සමයකට මුහුණ දුන්නේය. එවක එංගලන්ත පාර්ලිමේන්තුව පළමුවැනි ජේම්ස් රජු විසින් යෝජනා කළ අලුත් බදු පැනවීම ප්‍රතික්ෂේප කළහ.

ශේක්ස්පියර් සිය දේශපාලන නාට්‍ය තුලින් බදු ප්‍රතිපත්තිය සහ එය සමඟ රජුගේ අධිකාරිය ප්‍රසාදයට හෝ අප්‍රසාදයට ලක්වෙන ආකාරය දක්වයි. දෙවැනි රිචඩ් නාට්‍ය තුලින් දැක්වෙන්නේ වැරදි ක්‍රමවේදයක් හරහා බදු ප්‍රතිපත්තියක් දියත් කිරීම නිසා රජුගේ බලාත්මක බව අඩුවෙන හැටියි. අටවැනි හෙන්රි නාට්‍ය තුලින් පෙන්වන්නේ බදු ප්‍රතිපත්තියක් හොඳින් ක්‍රියාත්මක කරන්නට සමත්වීම නිසා ඔහුගේ බලාත්මක බව වැඩි වූ හැටියි.

දෙවියන් හා ඍජු නෑඳෑකම් කියන්නෙක් ලෙස ඔටුන්නට හිමිකම් කියන රජ සැලකූ එවක දී ශේක්ස්පියර් එසේ කියා පෑම අපූරු අදහසක් විය.

මෙහි දී සිහිකළ යුත්තක් ඇත. නිකලෝ මැකියාවෙලි ලියූ ‘රජ කුමරා’ වැනි ලියැවිලි ඒ වෙද්දී මුද්‍රණය වී තිබුණත්, ඒවා සාමාන්‍ය ජනතාවට කියවන්නට තරම් පහසු වූ ලේඛන නොවීය. ශේක්ස්පියර් නාට්‍යයක ඇති සියළු වදන් සහ කාව්‍ය කියවන්නට නොදන්නා අයට වුවත් නාට්‍යානුසාරයෙන් රඟදක්වන අදහස් වටහා ගැනීම ඔවුනට පහසු වූහ.

ඉතින්, දේශපාලකයා සතු බලය යනු ඒ උරුමය, උප්පත්තිය හෝ නිලතලය අනුව නොව දේශපාලකයෙක් හැසිරෙන ආකාරය අනුව තීන්දු වෙන්නක් යැයි එදා ශේක්ස්පියර් වේදිකාවේ දකින්නට ලැබිණ.

වසර 400 ක් ගෙවී ගිහින් තිබුණත් තවමත් රටවැසියන් සිය රටේ පාලන බලය ඉල්ලන දේශපාලකයාගේ හැසිරීම ගැන කොතරම් උනන්දුවක් දක්වනවා ද? ඒ ගැන එකිනෙකා සමඟ කතාබහට කොතරම් කාලයක් වැය කරනවා ද?

ඒත් දේශපාලන වේදිකාවේ තරඟ කරන කීයෙන් කී දෙනෙක් අද ශේක්ස්පියර්ගේ රිචඩ් සහ හෙන්රි රජ නාට්‍ය නරඹා ඇත්ද?

Shakespeare’s Guide to Tax Policy: ‘Know you of This Taxation?’ By Michael W. Evans

Shakespeare the tax evader

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: