අරුණි ශපීරෝ‍ වෙතින්

ෆස්ට් ෆෝලියෝ” (First Folio)

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 16, 2019

විලියම් ශේක්ස්පියර් මිය ගොස් වසර හයක් ගෙවෙද්දී, එනම් 1623 දී, ඔහු ලියූ දේ ඉතිහාසයට එකතු කළ යුතු යැයි ඔහුගේ මිත්‍රයන් සහ ඔහු හා රඟපෑ නළුවන් වූවා මෙන්ම, ‘රජුගේ පිරිමි’ නාට්‍ය කණ්ඩායමේ හවුල් අයිතිකරුවන් ද වූ ජෝන් හෙමින්ග්ස්, සහ හෙන්රි කොන්ඩෙල් තීරණය කළහ.

“මිස්ටර් විලියම් ශේක්ස්පියර්ගේ සුඛාන්ත, ඉතිහාස කතා සහ ශෝකාන්ත” (Mr. William Shakespeares Comedies, Histories, & Tragedies) යන නමින් නාට්‍ය 36 ක් එකතු කරමින් ඔවුන් සිහිවටනයක් සම්පාදනය කළහ. එයට, “මගේ දයාබර ඒ කතුවරයා, මිස්ටර් විලියම් ශේක්ස්පියර් සිහිකරනු වස්,” (To the Memory of My Beloved the Author, Mr. William Shakespeare) යන සිරස්තලයෙන් කෙටි කවි පෙළක් සපයන ලද්දේ ශේක්ස්පියර්ව අතිශයින් අගයන ලද බෙන් ජොන්සන් නමැති සමකාලීන නළුවා විසිනි. එහි මෙසේ ද කියැවේ:
“ඔබ සොහොනක් නැති ස්මාරකයකි,
ඔබේ පොත පවතින තාක් කල් කලාව පැවතේවි
අපිට එය කියවන්නට බුද්ධිය ඇත, සහ අගයන්නට.”

“ෆස්ට් ෆෝලියෝ” (First Folio) ප්‍රකාශනය කරන ලද්දේ එඩ්වඩ් බ්ලන්ට් (Blount) සහ අයිසෙක් ජැගාඩ් (Issac Jaggard) විසිනි. අයිසෙක්ගේ පියා වූ විලියම් ජැගාඩ්ට ලන්ඩනයේ මුද්‍රණාලයක් තිබිණ. ඒත් පොත සම්පූර්ණ කරන්නට පෙර පියා මිය ගිය බැවින් අයිසෙක් ජැගාඩ් මුද්‍රණාලයේ කටයුතු බාරගෙන පොත නිමා කළ බැව් කියැවේ.

ෆෝල්ජර් ශේක්ස්පියර් පුස්තකාලයේ ඇති ෆෝලියෝ අංක 1 යන්න වින්සන්ට් පිටපත නමින් ද හැඳින්වේ. එය විලියම් ජැගාඩ් විසින් ඔහුගේ මිත්‍රයෙක් සහ පාරිභෝගිකයෙක් වූ ඔගස්ටීන් වින්සන්ට් (Augustine Vincent) සඳහා වෙන් කරන ලද්දකි. එහි සිරස්තලය දැක්වෙන පිටුවේ ලතින් අකුරු වලින් එය මුද්‍රණය කරන ලද 1623 වසරේ දී තමනට තෑග්ගක් ලෙසින් ලැබුණා යැයි වින්සන්ට් විසින් සටහනක් ගසා ඇත.

17 වැනි සියවසේ දැමූ ඝන කවරයේ කොටසක්, වින්සන්ට්ගේ ලාංඡනයක් ද සමඟින් තවමත් එහි කොටසක් හැටියට පවතී. 1700 ගණන් අග, නැත්නම් 1800 ගණන් මුල දී සිබ්තෝර්ප් (Sibthorp) පවුලේ අය මේ වින්සන්ට් කොපිය ලබාගෙන ඇත. පරම්පරා ගණනාවක් තිස්සේ ඒ පවුල සතුව තිබූ එය 1891 දී ලන්ඩනයේ දුර්ලභ පොත් කඩයකට පොත් සපයන ඇලෙක්සැන්ඩර් රේල්ටන් (Railton) නමැති ඒජන්ත විසින් එකතු කරගන්නා ලදි.

කවි නිසා වැඩක් නැතැයි කියා දුහුවිලි වැදෙමින් කඩයේ පැත්තකට දමා තිබි ඒ පිටපත රේල්ටන් වෙතින් 1903 දී මිල දී ගන්නේ හෙන්රි සහ එමිලි ෆෝල්ජර් විසිනි. එය මුද්‍රණකරු වූ ජැගාඩ් වෙතින් ප්‍රදානය වූ තෑග්ගක් හැටියට හඳුනාගැනීම නිසා ශේක්ස්පියර් අගය කළ හෙන්රි ෆෝල්ජර් එය “ලෝකයේ ඇති අතිශයන්ම වටිනා පොත” යැයි කියන ලදි. ෆෝල්ජර් ශේක්ස්පියර් පුස්තකාලය ඉදි කිරීමට අඩිතාලම වැටෙන්නේ එම පොත අයිති කරගැනීමට හැකිවීමත් සමඟයි.

මෙය එංගලන්තයේ නාට්‍ය පමණකින් මුද්‍රණය වූ පළමුවැන්නයි. එතෙක් එම ෆෝලියෝ ක්‍රමයට මුද්‍රණය වී තිබුනේ ආගම, ඉතිහාසය සහ දර්ශනය වැනි විෂයයන්ට අදාළ පොතපත පමණකි.

ශේක්ස්පියර් නාට්‍යවල රඟ පෑ අය සහ ශේක්ස්පියර්ගේ හිතවතුන් ඔවුන් සතු නාට්‍ය අත්පිටපත් මේ ෆස්ට් ෆෝලියෝ හදන්නට බාර දුන්නා යැයි සැලකේ.

එම නිසා ෆස්ට් ෆෝලියෝ හි මුද්‍රණය වූ නාට්‍ය 36 ට එතෙක් කිසිත් ලෙසකින් මුද්‍රණය නොවී තිබුණ නාට්‍ය 18 ක් එකතු විය. ඇන්ටනි සහ ක්ලියෝපැට්‍රා, මැක්බත්, දොළොස්වන රාත්‍රිය, යනාදිය ඒ අතර වෙති. ෆස්ට් ෆෝලියෝ මුද්‍රණයක් බිහිවූයේ නැතිනම් ඒ නාට්‍ය සදහටම ලොවට අහිමි වෙනු නිසැකයි.

ශේක්ස්පියර් ලියූ ‘පෙරික්ලීස්’, ඔහු ජෝන් ෆ්ලෙචර් සමඟ එක්ව ලියූ ‘වංශවත් ඥාතීන් දෙදෙනා’ (The Two Noble Kinsmen) සහ නැති වූ නාට්‍යයක් යැයි සැලකෙන ‘කාර්ඩේනියෝ’ (Cardenio) එහි අඩංගු නැත.

වසරක් තිස්සේ එහි මුද්‍රණ කටයුතු සිද්ධ විණ. එනම් අකුරු ඇමිණීම සහ පිටු මුද්‍රණය කොටස් වශයෙන් සිද්ධ වූවකි. ඉතින්, පිටුවේ ප්‍රමාණය, මුද්‍රණ අක්ෂර වෙනස්වීම යනාදියත් ඒවායේ අඩංගු සුවිශේෂ ලක්ෂණ හැටියට සැලකේ.

ෆස්ට් ෆෝලියෝ පිටපත් 235 ක් අද ලොව පවතී. එයින් 82 ක අයිතිය ඇමෙරිකාවේ වොෂිංටන් ඩීසී හි පිහිටන ෆෝල්ජර් ශේක්ස්පියර් පුස්තකාලය සතුයි. ඊ ළඟ විශාලතම ෆස්ට් ෆෝලියෝ එකතුව ඇත්තේ ජපානයේය.

2008 දී රේමන්ඩ් ස්කොට් නැමැත්තෙක් ෆස්ට් ෆෝලියෝ පිටපතක් අතැතිව ෆෝල්ජර් ශේක්ස්පියර් පුස්තකාලයට ගොඩ වැදී ඇත. එහි ආරක්ෂක නිලධාරිනියට තමන් සතුව ඇති එය ෆිඩෙල් කැස්ත්‍රෝගේ ආරක්ෂක නිලධාරීන් වෙතින් ලැබුණක් යැයි ද, තමන් කියුබාවෙන් පලා ආ අයෙක් යැයි ද ඔහු පවසා ඇත.

ෆෝල්ජර් ශේක්ස්පියර් පුස්තකාලයේ සංරක්ෂක තනතුර දරන්නියක් එහි මුල් පිටුවක් ඉරී තිබුණත් එය අව්‍යාජ පිටපතක් යැයි දැක එ් ගැන තව සොයා බලන්නට ඔවුන්ට පවරන්නට යැයි ඉල්ලා සිටියාය. ඒ අනුව ස්කොට් එය ඔවුන් අතට පැවරීය.

මිලියන 3 ක් පමණ වටිනාකමක් ඇතැයි සැලකෙන නිසා, ඔවුන්ගේ තීරණය දන්වන්නට එන්න කියූ විට, ස්කොට් පැමිණ ඇත්තේ ටක්සීඩෝ ඇඳුම් පැළඳුම් වලින් සැරසීගෙනයි. ඔහු එන්නේ ලිමෝසීන් රථයකිනි.

ඒත් ෆස්ට් ෆෝලියෝ ගැන හොයන්නට දන්නා ඔවුන් එය එංගලන්තයේ ඩර්හම් විශ්වවිද්‍යාලයෙන් සොරාගන්නා ලද පිටපතක් බව හඳුනාගෙන තිබිණ. එපමණක් නොව ස්කොට් එම විශ්වවිද්‍යාලයට නුදුරින් වාසය කරන ලද්දෙක් බවත් සොයාගෙන තිබිණ. ඔහුව අත්අඩංගුවට ගැනිණ. එංගලන්තය ඔහුට විරුද්ධව නඩු පවරා, සිරගෙදරට යැවිණ. එහි දී ඔහු සියදිවිනසා ගත්තේය.

ෆස්ට් ෆෝලියෝ පිටපතක් 2014 දී ප්‍රංශයේ පුස්තකාලයකින් සොයා ගැනුණි. එය වසා දමන ලද ජෙසුයිට් පාසැලකින් ලැබී පුස්තකාලයේ රාක්කයක 1790 ගණන් සිට තිබෙන ලද අව්‍යාජ පිටපතක් හැටියට පිළිගැනිණ. අද එය ප්‍රංශය සතු එකම පිටපතයි.

2016 දී ස්කොට්ලන්තයේ ‘අයිල් ඔෆ් බියුට්’ නමැති දූපතේ පිහිටි ‘මවුන්ට් ස්ටුවර්ට් හවුස්’ නමැති මහා මන්දිරයේ දී, වෙළුම් තුනකින් යුතු ෆස්ට් ෆෝලියෝ පිටපතක් ඇතිබව සොයා ගැනිණ. 18 වැනි සියවසේ අයිසැක් රීඩ් (Issac Read) නමැති සාහිත්‍ය කතුවරයා සතුව තිබි පිටපතයි. එය පසුව එම මන්දිරයේ පුස්තකාලයට 1896 දී එකතු වී ඇත. එය මිල දී ගන්නා ලද්දේ බියුට්හි මාර්කෙස් (Marquess of Bute) වරිය විසින් යැයි සැලකේ. එම මන්දිරය ගොතික් ප්‍රත්‍යානයනය (gothic revival) වෙනුවෙන් වෙන්වූ පදනමක් යටතේ පවත්වාගෙන යන්නකි.

තවත් එකක් සොයා ගැනෙන තෙක්, දැනට සොයාගන්නා ලද සෑම පිටපතක්ම වර්තමානයේ තිබෙන්නේ කොතැනකදැයි කියාත්, එහි අයිතිය කාගේදැයි කියාත්, ඒ ඒ පොතේ පිටුවල ප්‍රමාණයන් ගැනත්, මුද්‍රිත අකුරු ගැනත්, පිටු අයිනේ ඇති සටහන් සහ ඒ පිටුවල අඳින ලද පින්තූර ගැනත් යනාදී වශයෙන් සියළු තොරතුරු විද්‍යාර්ථීන් අතින් ලේඛනගතව ඇත.

මුද්‍රිත නාට්‍ය නිවේදක (playbill) පිටු එකතුවලට අමතරව ශේක්ස්පියර් ලියූ නාට්‍යය කුවාටෝස් (quartos) නමින් හැඳින්වෙන කුඩා පොතක් ලෙසින් මුද්‍රණය වී තිබිණ. එවැනි එක පොතක එක නාට්‍යයක් අඩංගු විය. ඒවා නිර්මාණය වූයේ පිටු මුද්‍රිත ලොකු කඩදාසියක් දෙවරක් නවා, එක කඩදාසියකින් පිටු 8 ක් බැගින් හැදීමෙනි.

ෆස්ට් ෆෝලියෝ (First Folio) යනුවෙන් හැඳින්වෙන්න පිටු හතරක් විශාල කඩදාසියක මුද්‍රණය කර, ඒ කඩදාසිය දෙකට නවා හදන ලද පොතකි. එසේ පිටු සිය ගණනකට වඩා ප්‍රමාණයක් එකතු කර, ඝන කවරයකින් පොත බැඳීම ද සිද්ධ විය.

ඝන කවරයක් නොමැති පළමු ෆෝලියෝ පිටපතක් සිලිම් 15 ක් සහ වස්සෙකුගේ හමින් බයින්ඩින් දමා හැදූ පොතක් සිලිම් 20 කට අලෙවි වූවා යැයි පීටර් බ්ලෙනේයි (Blayney) නමැති විද්‍යාර්ථියා මත දක්වයි.

ඒබල් බර්ලැන්ඩ් (Abel Burland) සතුව තිබි ෆස්ට් ෆෝලියෝ පිටපත 2000 වසරේ දී නිව් යෝර්ක් හි ක්‍රිස්ටී වෙන්දේසිකරුවන් විසින් ඇමෙරිකන් ඩොලර් 6.2 කට විකුණන ලද බව ෆෝල්ජර් ශේක්ස්පියර් පුස්තකාල තොරතුරු කියයි.

එහි අඩංගු තවත් ලොව විරල දැයක් නම් ශේක්ස්පියර්ගේ ඡායාරූපයයි. මාටින් ඩෲශ්ට් (Droeshout) විසින් එය මුල් කාලීන කෙටුම් තහඩුවකින් (engrave) හදන ලද්දකි. එය ශේක්ස්පියර් දැන හඳුනන අය විසින් අනුමත කරන ලද නිසා ශේක්ස්පියර්ගේ හැඩරුව එසේ යැයි පිළිගැනේ. කෙටුම් තහඩුව වසරක් පුරා කළ මුද්‍රණයේ දී සුළු වෙනස්වීම් වලට භාජනය වී ඇත.

දකුණත පිටුවේ ශේක්ස්පියර්ගේ පින්තූරය දිස්වෙද්දී, වමත පිටුවේ ‘පාඨකයා වෙත’, යැයි කියමින් බෙන් ජොන්සන් ඒ ගැන කෙටි කවියක් ලියා ඇත. ඡායාරූපය ශේක්ස්පියර්ගේ හැඩරුව දක්වන්නක් පමණකි. ඔහුගේ බුද්ධිය දකින්නට නම් මේ පින්තූරය දිහා නොබලා පොත කියවන්න යැයි එහි සඳහන් වෙයි.

ෆෝල්ජර් ශේක්ස්පියර් පුස්තකාලය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: