අරුණි ශපීරෝ‍ වෙතින්

ශේක්ස්පියර් නම් අසමසම ලේඛකයාගේ ග්‍රන්ථ නාමාවලිය

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 18, 2019

පුද්ගලයෙක් ඔහුගේ ජීවිත කාලයේ දී ම, ඔහු නියැළුන ක්ෂේත්‍රයේ අසමසම තැනක් සහ ආර්ථික ජය යන දෙකම අත්පත් කරගන්නට සමත් වූවා නම්, ලොව සිටින එවැනි පිරිස අල්පයකි.

ඒ අල්පය අතර, යම් අයෙක් ඔහු හා තරඟයේ සිටින ක්ෂේත්‍රයේ අනෙකුත් ප්‍රවීණයන් වෙතින් ගෞරවයට සහ ප්‍රශංසාවට පාත්‍ර වූවා නම්, එවැනි අය තවත් අඩු පිරිසකි.

ඔවුන් අතරින් දිගින් දිගටම ඉදිරිපත් කළ නිර්මාණ තුලින් පාරිභෝගික/ප්‍රේක්ෂක ප්‍රසාදය දිනාගන්නට සමත් වූ අය කවුදැයි සොයා බැලුවොත්, අපිට හමුවෙන්නේ ඉතාමත් සුළු දෙනෙක් පමණකි.

ඉතින්, ඒ ඉතාමත් සුළු දෙනා අතරින්, තවත් සුවිශේෂී වූ අංගයක් සපුරාලන්නට හැකිවූවන් කවුරුන්ද? එනම්, නිර්මාණය කළ දැයෙන් ඒ පුද්ගලයාගේ ජීවිත කාලයේ දී මෙන්ම, තවත් කාලාන්තරයක් තුල, ඈත එපිට දුරු රටවලින් පවා ඒ ඇසුරෙන් වෙනත් නිර්මාණ බිහිකරන්නට, ජීවිකාවක නියැළෙන්නට සහ ජනප්‍රසාදය දිනාගන්නට ක්‍රමවේදයක් ඉතිරි කර මියගිය අය කවුරුන්ද?

විලියම් ශේක්ස්පියර්ට පසුව ලොව අපිට දකින්නට ලැබෙන එවැනි විශිෂ්ට පුද්ගලයා ස්ටීව් ජොබ්ස් බව නිසැකය.

1592-93 වසර දෙක තුල ලන්ඩනයේ වසංගතයක් පැතිරිණ. ලන්ඩන් නගර සභාව ඇතුලත 15,000 ක් ඒ නිසා මිය යන ලදැයි ද, ඒ අවට ප්‍රදේශයන්හි පන්දාහකට ආසන්න සංඛ්‍යාවක් මිය ගිය වග ද සඳහන්. වසංගතය නිසා නාට්‍ය ශාලා වසා දැමිණ. ශේක්ස්පියර් ඇතුළු බොහෝ නළුවන් ලන්ඩනය හැර දා ගම් පළාත් බලා ගියහ.

ආපසු ගමට ගිය ශේක්ස්පියර් කවි ලිවීමට යොමුවුනේ ඒ කාලයේ දී යැයි අනුමාන වේ. වේදිකාව තුල දැක්වෙන කඩු හරඹ සහ ගණිකාවන් ගැන උසුළු විසුළු අඩු කරමින් මිනිස් ස්වභාවයන් ගැන ගැඹුරු ලෙසකින් එබී බලන නාට්‍ය ලියන්නට ද පටන් ගැනෙන්නේ ඉන් පසුවයි.

ශේක්ස්පියර් නාට්‍ය රංගනයට වඩා වැඩි නිපුණත්වයක් නාට්‍ය රචනයට දැක්වූවා යැයි වාර්තා කියා පායි. නාට්‍ය ලියද්දී පවා ඔහු රංගනයෙන් ඉවත්වී නැත.

එවක දී නාට්‍ය කොම්පැණියේ අයිතිකරුවන් විසින් කවුරු කුමන චරිතයක් රඟපානවාදැයි තීරණය කළා යැයි සැලකේ. ප්‍රධාන චරිත රඟපෑමට ශේක්ස්පියර්ට ලැබී නැති බව එවක වේදිකා නිවේදක පෙන්වයි. හැම්ලට් නාට්‍යයේ ඔහු රඟපා ඇත්තේ ඩෙන්මාර්ක් රජුගේ ‘අවතාරය’ දක්වන චරිතයයි. එය පෙනී නොපෙනී යන, හැම්ලට්ගේ හොඳම යාළුවා වූ හොරේෂියෝ විසින් කතා කරන්නට යැයි අණ කළ ද කතා නොකරන, හැම්ලට් සමඟ පමණක් කතා කරන අවතාරයකි, නාට්‍යයට වැදගත් එහෙත් ඉතා කෙටි කාලයක් පමණක් වේදිකාවේ පෙනී සිටින චරිතයකි.

තමන් ලියූ නාට්‍ය වල පමණක් නොව ඔහු අනුන්ගේ නාට්‍ය වල ද රඟපෑවේය. බෙන් ජොන්සන් ලියන ලද නාට්‍ය දෙකක, එනම්, 1598 දී ‘සෑම මිනිසෙක්ම ඔහු උපදවන හාස්‍යයේ දී’ (Every Man in His Humor) සහ 1603 දී ‘සජේනස්’ (Sejanus) හි රඟපා ඇති බවට වේදිකා නිවේදක පෙන්වයි.

තවත් වසර කිහිපයක් යද්දී ඔවුන්ට යළිත් නාට්‍ය ශාලා වසා දමන්නට සිදුවිණ. ඒ 1606 දී කළු වසංගතය නොහොත් මහමාරිය පැතිර යාම නිසයි. එයින් අවම වශයෙන් ලන්ඩන් වැසියන් 33,000 ක් මරණයට පත් වූහ. නාට්‍ය රඟ දැක්වීම් නැතිව වේතන නොලැබෙන නිසා ‘රජුගේ පිරිමි’ නාට්‍ය කණ්ඩායම ප්‍රදර්ශන පැවැත්වීමට දුර බැහැර පළාත් වෙත ගිය බවට වාර්තා ඇත.

ඉන්දුනීසියාවේ ජාවා නගරය බලා ගිය ‘රතු මකරා’ (Red Dragon) නමැති ඊස්ට් ඉන්දියා කොම්පැණියේ නෞකාවක් ගමන් වැරදී බ්‍රසීලය දක්වා ගොස් නැවත හරවාගෙන අවුත් 1607 අගෝස්තු මුල දී සියෙරා ලෙයෝන් හි පැවති පෘතුගීසි වෙළඳ කඳවුරක නැංගුරම් ලා ඇත. එහි නැව් කප්පිත්තා වූ තරුණ විලියම් කීලින් (Keeling) සිය දිනපොතේ ලියන සටහන් අතර ඔවුන්, එනම් නැවියන් විසින් ශේක්ස්පියර්ගේ හැම්ලට් නාට්‍ය රඟ දක්වා ඇත. ඒ සැප්තැම්බරයේ දී දෙවැනි රිචඩ් නාට්‍යය ද, තවත් සති තුනකට පසුව ඒඩන් මුහුදු බොක්ක (Gulf of Aden) පිහිටන නැගෙනහිර අප්‍රිකාවේ වෙරළබඩක දී (අද යෙමෙන්) ඔවුන් නැවතත් හැම්ලට් රඟ දක්වා ඇත. නැවියන් විසින් එකිනෙකා අතර බෙදා හදාගන්නා ලද මෙම තොරතුරු, ශේක්ස්පියර්ගේ ජීවිත කාලයේ දී ම ඔහුගේ නාට්‍ය වෙනත් දේශයක දී රඟ දැක්වූ බව පෙන්වන්නකි.

1607 දී ‘රජුගේ පිරිමි’ නාට්‍ය කණ්ඩායම 9 වතාවක් පළමු ජේම්ස් රජුගේ රජවාසල තුල නාට්‍ය රඟ දක්වා ඇත. ඒත් ලන්ඩනයේ මහාමාරිය වසංගතයෙන් මිනිසුන් මිය යෑම නැවතී නොතිබි නිසා නාට්‍ය ශාලා මහජනතාවට විවෘත වී නොතිබිණ. ඒවා යළි විවෘත වූයේ 1608 ගිම්හානයේ දී ය.

1609 දී ‘රජුගේ පිරිමි’ නාට්‍ය කණ්ඩායමට රජු ඉදිරියේ ශේක්ස්පියර් නාට්‍ය 12 ක් රංගනය සඳහා ගෙවීම් කරන ලදි. අනෙකුත් සියළු නාට්‍ය කණ්ඩායම් වලට වැඩියෙන් රජුගේ ප්‍රසාදය දිනාගන්නට සමත්ව සිටියේ ශේක්ස්පියර්ගේ නාට්‍ය කණ්ඩායමයි.

පළමුවැනි ජේම්ස් රජු වෙතින් ලැබෙන රාජ්‍ය අනුග්‍රහය මෙසේ විස්තර කළ හැකියි: ශේක්ස්පියර්ගේ නාට්‍ය කණ්ඩායම අනෙකුත් සියළු නාට්‍ය කණ්ඩායම් වලට වැඩියෙන් වාර ගණනක් රජමාලිගයේ නාට්‍ය රඟදැක්වීම සඳහා ගෙන්වීම. ඒ සඳහා ඔවුනට ගෙවීම. ඒ කණ්ඩායම ‘චේම්බලන් සාමිගේ පිරිමි’ යැයි හැඳින්වෙන ලද කාලයේ නගර පාලකයන් වෙතින් ප්‍රදර්ශන සඳහා අවසර ලබාගැනීම දුෂ්කර වෙද්දී රජු විසින් නාට්‍ය ප්‍රදර්ශනය සඳහා අවසරයක් ප්‍රදානය කිරීම. නාට්‍ය කණ්ඩායම ඒ ගැන සතුට පෙන්වූයේ කණාඩායමේ නම ‘රජුගේ පිරිමි’ (King’s Men) යැයි වෙනස් කිරීමෙනි.

වසංගත නිසා ගමේ වාසය කරන්නට සිද්ධ වූ කාලයේ දී ශේක්ස්පියර් සිය කවි රචනා නිර්මාණ සඳහා යොමු වූවා යැයි සැලකේ. ඔහු බොහෝ කවි ලියා ඇත්තේ හිතවතුන්ට කියවන්නටයි. ෆ්‍රැන්සිස් මෙරේ (Meres) නමැති පූජකවරයා 1598 ගණන් සිට “ඔහුගේ පෞද්ගලික මිතුරන් අතර පැණි වෑහෙන සොනට්” හුවමාරු කරගත්තා යැයි ශේක්ස්පියර් ගැන ලියා ඇත.

ආඛ්‍යාන කවි (narrative poems) 4 ක් ඔහු නිර්මාණය කළේය. 1593 දී පේලි 6 ක් බැගින් යොදමින් ගොතන ලද ‘වීනස් සහ ඇඩොනිස්’ (Venus and Adonis) ස්ට්‍රැට්ෆර්ඩ් හි රොබට් ෆීල්ඩ් නැමැත්තා මුද්‍රණය කරන ලදි. එය කුවාටෝස් (quartos) ක්‍රමයෙන් මුද්‍රණය වූ අතර ජනප්‍රියත්වයෙන් අඩුවක් නොවීය. ශේක්ස්පියර් මිය යන්නට පෙර 9 වතාවක් පමණ එය නැවත මුද්‍රණය වූවා යැයි සැලකේ.

1594 දී පේලි 7 ක් බැගින් යොදමින් ගොතන ලද ‘ලුක්‍රීසේ දූෂණය කිරීම’ (The Rape of Lucrece) ෆීල්ඩ් වෙතින්ම මුද්‍රණය විය. ‘ලුක්‍රීසේ දූෂණය කිරීම’ තුලින් අපිට දැනගන්නට ලැබෙන්නේ ඇයගේ සැමියාගේ හිතවතෙක් වෙතින් ගැහැණියක් දූෂණය වූ කතාවයි. ශාංගාර රසයෙන් පිරි එය අතිශය පෞද්ගලික වූ ස්වභාවයකින් ලියන ලද්දකි. කවිය ලන්ඩන් වැසියන් අතර බෙහෙවින් ජනප්‍රිය විය.

මෙම කවි දෙක ලබාගත් අලෙවියත් සමඟ ශේක්ස්පියර් නම් තරුණයා, දක්ෂ කවියෙක් ද වේ යැයි එංගලන්තයේ සමාජය පිළිගත්හ.

1601 දී ප්‍රකාශනය වෙන, පේලි 3 ක් බැගින් යොදමින් ගොතන ලද ‘ෆීනික්ස් සහ ඉබ්බා’ (The Phoenix and the Turtle) ශේක්ස්පියර් ගැන කිසිත් දැනගන්නට නොමැති සමයේ ඔහු ලියන ලද්දක් යැයි එක මතයකි. ඒ කවිය මුලින්ම පළවෙන්නේ රොබට් චෙස්ටර් සම්පාදනය කරන “ප්‍රේමයේ ප්‍රාණත්‍යාගියා” (Love’s Martyr) නමැති කෘතියේය. සිය අනුග්‍රාහකයා වූ සර් ජෝන් සල්ස්බෙරි (Salusbury) සහ උර්සුලා ස්ටැන්ලි අතර විවාහයේ දී තෑග්ගක් හැටියට දීම සඳහා චෙස්ටර් විසින් බෙන් ජොන්ස්න්, ශේක්ස්පියර්, ජෝන් මාර්ස්ටන්, සහ ජෝර්ජ් චැප්මන් යනාදීන්ගේ නිර්මාණ එකතුවකින් එය සම්පාදනය විය.

උග්‍ර වූ වසංගත නිසා නැවතත් නාට්‍ය ශාලා වැසී යද්දී, ඔහු පේලි 7 ක් බැගින් යොදමින් ‘ආදරවන්තයින්ගේ පැමිණිල්ලක්’ (A Lover’s Complaint) කවිය ගොතන ලදි.

තුදුස් පද සැහැල්ලක් හෙවත් ‘සොනට්’ යනු “පුංචි සිංදුවකි”. වෙනස්වන සුළු එළිසමයෙන් (rhyme scheme) යුතු පේලි 14 කින් හැදෙන කෙටි කවි ඉතාලියෙන් එංගලන්තයට ගෙනෙන ලද්දේ සර් තෝමස් වයට් (Wyatt) සහ සරේ හි අර්ල්වරයා වූ හෙන්රි හවර්ඩ් (Howard) යන දෙදෙනාය. එක මනෝභාවයක් ගැන අවධානය යොමු කරන සම්ප්‍රදායකින් යුතු සොනට් පහදා දීමක් හෝ ‘හැරී බලන’ සිතුවිල්ලකින් අවසන් වෙයි.

ඉතාලි භාෂාවේ එන sonetto යන වචනයෙන් සොනට්ස් යන වචනය ඉංග්‍රීසි භාෂාවට හදාගන්නා ලදි. ඩාන්ටේ ඇලිගියේරි (Dante Alighieri) විසින් 1292-93 කාලයේ සොනට්ස් ගෙතූ බව කියැවේ. තවත් වසර 50 ක් ගෙවෙද්දී ඉතාලි ජාතික ෆ්‍රැන්චේස්කෝ ප්‍රෙට්රාර්කා (Frencesco Petrarca) සොනට්ස් 317 ක් එකතු කර, කවි 366 කින් යුතු ‘සිංදු පොත’ (Canzoniere) නිර්මාණය කළේය. ඔහුව ඉංග්‍රීසි පොත පත දක්වන්නේ ප්‍රෙට්රාර්ක් (Petrarch) නමිනි. ඒ ශෛලිය හැඳින්වෙන්නේ ප්‍රෙට්රාර්චන් සොනට් (Petrarchan sonnet) කියායි.

සරේ හි අර්ල්වරයා වූ හෙන්රි හවර්ඩ් 16 වැනි සියවසේ දී ඒ ඉතාලි පුංචි සිංදු පරිවර්තනය කරමින් ඉංග්‍රීසි භාෂාවට සරිලන ලෙසින් හැඩ ගස්වන ලදි. 1580 සිට 1590 කාලයේ දී බොහෝ ඉංග්‍රීසි කවියන් හෙන්රි හවර්ඩ් අනුව යමින් ඉංග්‍රීසි සොනට්ස් ගොතන්නට පටන් ගත්හ. එළිසබෙතන් යුගයේ සොනට්ස් ලියැවිල්ල අතිශයෙන් ජනප්‍රිය වූවකි. 1590 වසරේ දී පමණක් මුද්‍රිත වූ සොනට්ස් වලින් අදටත් සොයාගත හැකි සංඛ්‍යාව 1,200 ක් පමණ වේ.

ඉතින් සරේ හි අර්ල්වරයා ඉංග්‍රීසියෙන් පටන් ගත් ශෛලිය වැඩියෙන්ම දියුණු කළ තැනැත්තා විලියම් ශේක්ස්පියර් වූ බැවින් අද ඒවා හැඳින්වෙන්නේ ‘ශේක්ස්පියර් සොනට්’ කියායි.

ඒවා බොහොමය ගෙතෙන්නේ ‘පැමිණිල්ලක්’ ගැනයි. ශේක්ස්පියර් ගෙතූ ‘ආදරවන්තයින්ගේ පැමිණිල්ලක්’ යන්න ඒ විලාසිතාව අනුගමනය කරන ලද්දකි.

තුදුස් පද සැහැලි (Sonnets) 145 ක් විලියම් ශේක්ස්පියර් අතින් නිර්මාණය විය. නාට්‍ය රචනය කුලවත් අයට නියැළීමට සුදුසු වෘත්තියක් යැයි පළමුවැනි එළිසබෙත් රැජින වෙතින් ලැබෙන අනුග්‍රහයෙන් පසුව, ශේක්ස්පියර්ගේ තුදුස් පද සැහැලි ඔහු ලියන ‘රෝමියෝ සහ ජුලියට්’, ‘ආදරයේ වෑයම් අහිමිය’, යනාදී නාට්‍ය ඇතුලේ දකින්නට ලැබේ. නාට්‍ය තුල දැක්වෙන තුදුස් පද සැහැලි තුල, ඊට අවුරුදු තුන හතරකට උඩ දී සිද්ධ වූ දෑ ගැන ව්‍යංගයෙන් පැවසෙන නිසා, ඔහු නාට්‍ය ලියද්දී තමන් විසින් කලින් දවසක ලියන ලද ඒ තුදුස් පද සැහැලි ගෙන ඒවායේ අඩුපාඩු හදා අඩංගු කරන ලදැයි පෙනී යයි.

1609 දී “ශේක්-ස්පියර්ගේ තුදුස් පද සැහැලි, මීට කළින් කිසිදා ප්‍රකාශනය නොවූ” (Shake-speare’s Sonnets, Neuer before Published) නමින් කවි එකතුව ප්‍රකාශනය විය.

ඒ තුදුස් පද සැහැලි පමණක් හදාරමින්, ඒවා කුමන පිළිවෙලකින් ලියැවුණාදැයි යැයි තීරණය කරන්නටත්, ඒවායෙන් ශේක්ස්පියර්ගේ පෞද්ගලික ජීවිතය දැක්වෙනවා දැයි යන්න ගැනත් පර්යේෂණ පවත්වන විද්‍යාර්ථීන් ලොව සිටිති.

ශේක්ස්පියර්ගේ යැයි සැක නැතිව සැලකෙන නාට්‍යය 39 අද ඵෛතිහාසික, සුඛාන්ත, ශෝකාන්ත, ආදර වෘත්තාන්ත යැයි වර්ගීකරණය වී දැක්වේ. මේ වර්ගීකරණය තුල ‘ගැටළු’ සහගත නාට්‍යය ඇත. උදාහරණයක් හැටියට ‘මිම්මට මිම්ම’ යන්න සුඛාන්ත යටතේ වූවත් එහි එන ඩ්‍යුක් හැරෙන්නට අනිත් සියල්ලන්ටම අත්වෙන්නේ ඛේදනීය වූ තත්වයන්ය.

ඔහු ලියන ලදැයි වෙනත් තැන්වල කියැවෙන, ඒත් කිසිදු මුද්‍රිත හෝ අත්පිටපතක් සොයාගත නොහැකි නාට්‍යය අහිමි වූ නාට්‍යය යන වර්ගීකරණයට වැටේ. “ආදරයේ වෑයම් අහිමිය” ලියුවාට පසුව ශේක්ස්පියර් “ආදරයේ වෑයම් ජයග්‍රහණය” (Love’s Labour’s Won) නමින් නාට්‍යයක් ලියා තිබේ. එසේම, 1604 දී ‘රජුගේ පිරිමි’ නාට්‍ය කණ්ඩායම රජවාසලේ අප්‍රසාදයට පත්වූ නාට්‍යයක් රඟ දක්වා ඇති බව වාර්තා වේ. එය ගෞරී (Gowrie) කුමන්ත්‍රණය සම්බන්ධයෙන් ලියන ලද්දකි. ගෞවරී කුමන්ත්‍රණය නම්, පළමුවැනි ජේම්ස් ස්කොට්ලන්තයේ රජු ලෙසින් සිටිය දී ඔහුව මරා දමන්නට ගත් කුමන්ත්‍රණයක් වැරදීම නිසා ඇලෙක්සැන්ඩර් රිව්වෙන් සහ ජෝන් රිව්වෙන් (Ruthven) යන සහෝදරයන් දෙදෙනා අබිරහස් ලෙසින් මිය යෑමයි. මේ නාට්‍ය දෙකම ලොවට අහිමි වූ නාට්‍ය ගැන නිදසුන් වෙති.

ඵෛතිහාසික නාට්‍යය:
හයවැනි හෙන්රි පළමු කොටස
හයවැනි හෙන්රි දෙවැනි කොටස
හයවැනි හෙන්රි තෙවැනි කොටස
තෙවැනි රිචඩ්
ජෝන් රජු
තෙවැනි එඩ්වඩ්
දෙවැනි රිචඩ්
හතරවැනි හෙන්රි පළමු කොටස
හතරවැනි හෙන්රි දෙවැනි කොටස
පස්වැනි හෙන්රි
අටවැනි හෙන්රි

සුඛාන්ත නාට්‍යය:
විභ්‍රමයන්හි සුඛාන්තය (The Comedy of Errors)
එරිස්සාවිය මෙල්ල කිරීම (Taming of the Shrew)
වෙරෝනාවේ කුලවත් පිරිමි දෙදෙනෙක් (The Two Gentlemen of Verona)
ආදරයේ වෑයම් අහිමිය (Love’s Labour’s Lost)
ගිම්හාන නිවෘත්තියේ රැයක සිහිනය (A Midsummer Night’s Dream)
වැනීසියේ වෙළෙන්ඳා (The Merchant of Venice)
වින්ඩ්සර් හි ප්‍රීතිමත් භාර්යාවන් (The Merry Wives of Windsor)
වැදගැම්මක් නැත්ත ගැන මහත් ආන්දෝලනය (Much Ado About Nothing)
ඔබ කැමති පරිදි (As You Like It)
දොළොස් වන රාත්‍රිය (Twelfth Night)
ට්‍රොයිලස් සහ ක්‍රෙසිඩා (Troilus and Cressida)
හොඳින් අවසන් වෙන සියල්ල හොඳයි (All’s Well That End’s Well)
මිම්මට මිම්ම (Measure for Measure)

ශෝකාන්ත නාට්‍යය:
ටයිටස් ඇන්ඩ්‍රොනිකස් (Titus Andronicus)
රෝමියෝ සහ ජුලියට් (Romeo and Juliet)
ජූලියස් සීසර් (Julius Caesar)
හැම්ලට් (Hamlet)
ඔතෙලෝ (Othello)
ලියර් රජු (King Lear)
මැක්බෙත් (Macbeth)
ඇන්තනි සහ ක්ලියෝපැට්‍රා (Antony and Cleopatra)
කෝරියෝලේනස් (Coriolanus)
ඇතැන්ස්හි ටිමන් (Timon of Athens)

ආදර වෘත්තාන්ත:
පෙරික්ලීස් (Pericles)
සිම්බලින් (Cymbeline)
හේමන්තයේ වෘත්තාන්තයක් (The Winter’s Tale)
චණ්ඩ මාරුතය (The Tempest)
වංශවත් ඥාතීන් දෙදෙනා (The Two Noble Kinsmen)

අනාගතයේ දිනයක ලොව කොතැනකින් හෝ පැරණි පොත් එකතුවකින් ශේක්ස්පියර්ගේ ඒ අහිමි වූ නිර්මාණයක් සොයා ගන්නට හැකියාව පෑදුනොත් මේ ග්‍රන්ථ නාමාවලිය සංශෝධනය කරන්නට සිද්ධ වේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: