අරුණි ශපීරෝ‍ වෙතින්

‘අපේ ශේක්ස්පියර්’

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 22, 2019

විලියම් ශේක්ස්පියර් උපන් දිනයේ ත්‍රිශතක සංවත්සරය සමරන්නට යෙදුනේ 1864 අප්‍රේල් 23 වැනිදාටයි. ඒ සඳහා ස්ට්‍රැට්ෆර්ඩ් ගමේ පිහිටුවා ගත් ත්‍රිශතක කමිටුවට උවමනා වූයේ ලෝකයේ සියළු ශේක්ස්පියර් රසිකයන්ගේ අවධානය දිනාගන්නටයි.

ඒත් ලන්ඩනයේ විසූ පුවත්පත්කලාවේදී ඩබ්ලිව්. හෙප්වර්ත් ඩික්සන් (Hepworth Dixon), ඒ පිටිසර ගමේ පවත්වන උත්සවයකින් පමණක් ඒ අසමසම කිවිඳා සහ නාට්‍යකරුවා සිහිකරන්නට නොහැකි යැයි ද, එවැනි උත්සවයකට සුදුසු ස්ථානය රටේ අගනුවර වූ ලන්ඩනය යැයි ද, කියමින් දැවැන්ත ප්‍රචාරයක් ඇරඹීය. ඩික්සන් සංස්කරණය කළ ‘ඇතිනීයම්’ (Athenaeum) සඟරාව තුලින් උපන් දින උත්සවය ලන්ඩන් හි පැවැත්වීම සඳහා ‘ජාතික ශේක්ස්පියර් කමිටුවක්’ පිහිටුවා ගැනිණ.

ගමේ අයට උවමනා වූයේ එහි සතියක් පුරා මහජනතාව සඳහා උත්සව පැවැත්වීමටයි. එයින් ලැබෙන මුදල් වලින් කොටසක් ශේක්ස්පියර් අධ්‍යාපන ලැබූ පාසැලට පරිත්‍යාග කිරීමත්, අසමසම ලේඛකයාගේ ප්‍රතිමාවක් පිහිටුවීමටත්ය.

ශේක්ස්පියර් උපන් දින උත්සවය ලන්ඩනයේ පවත්වා, ශේක්ස්පියර් ප්‍රතිමාවක් ලන්ඩනයේ ඉදිකිරීමට ඩික්සන්ට අවශ්‍ය විය.

ඉතින්, ගමේ අය සහ ලන්ඩනයේ අය අතර සටනක් ඇරඹිණ.

ගමේ කමිටුවේ මුලසුන ගත්තේ එඩ්වඩ් ෆෝර්ඩම් ෆල්වර් (Edward Fordham Flower) නමැති බියර් පෙරුම්හලක අයිතිකාරයායි. නාට්‍ය ප්‍රදර්ශනය සඳහා වේදිකාව ඉදිකිරීමේ දී එහි වැය හිතුවාට වඩා හතර ගුණයකින් ඉහළ ගියේය.

එපමණක් නොව ඔවුන් ප්‍රදර්ශනය කරන්නට තීරණය කළ ‘හැම්ලට්’ නාට්‍යයේ චරිත, දැඩි ප්‍රතිවාදීන් වූ නළුවන් දෙදෙනෙකුට පොරොන්දු වී තිබිණ. සැමුඑල් ෆෙල්ෆ්ස් (Samuel Phelps) එවක මහත් පිළිගැනීමට පාත්‍රව සිටි ඉංග්‍රීසි නළුවා විය. චාල්ස් ෆෙච්ටර් (Fechter) කඩවසම් ප්‍රංශ ජාතික නළුවෙකි. ප්‍රතිවාදියා ගැන දැනගත් විගසින් සිත් අමනාප වූ ෆෙල්ෆ්ස් තමා එහි රඟපාන්නේ නැතැයි කියා ඉවත් විය. එහි රඟපෑමෙන් දේශප්‍රේමී බ්‍රිතාන්‍යයන් ඉදිරියේ තම ජනප්‍රියත්වය නැතිවී යාවි කියා සිතූ ෆෙච්ටර් ද ඉන් ඉවත් විය. අප්‍රේල් හි පැවැත්වෙන උත්සවය සඳහා මාර්තු මාසයේ දී ඔවුනට හැම්ලට් රඟපෑමට නළුවෙක් නොවීය.

මෙය බ්‍රිතාන්‍යයේ නවකතා, පුවත්පත් සහ වාරික සඟරා සීඝ්‍රයෙන් දියුණු වූ, චාල්ස් ඩිකන්ස්, ශාලට් බ්‍රොන්ටේ යනාදීන් ජනප්‍රිය වූ සමයයි. ‘දැනුම සඳහා පැනවූ බදු’ යැයි හැඳින්වෙන ලද ‘දැන්වීම් ගාස්තු’ 1853 දී ද, ‘පුවත්පත් මුද්දර ගාස්තු’ 1855 දී ද, ‘කඩදාසි බද්ද’ 1861 දී ද පාර්ලිමේන්තුව විසින් අහෝසි කර තිබිණ. ඒ 1849 දී පිහිටුවන ලද ‘දැනුමට වැදෙන බදු අවලංගු කිරීමේ සංවිධානය’ (Repeal of the Taxes on Knowledge) විසින් ගෙන යන ලද මහඟු කාර්ය භාරයේ ප්‍රතිඵලයයි. ඒ 1851 දී නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ (House of Commons) විශේෂ කමිටුවක් මේ දැනුම සඳහා පැනවූ බදු කොතරම් අහිතකරදැයි කියා පාර්ලිමේන්තුවට විශේෂ වාර්තාවක් සැපයීමේ ප්‍රතිඵලයයි.

වෙළඳපොලේ බහුල වූ පුවත්පත් සහ වාරික සඟරා වලින් ශේක්ස්පියර් ත්‍රිශතක උපන් දින උත්සවය ගැන සුප්‍රසිද්ධ ලේඛකයන්ගේ හා පුවත්පත් කලාවේදීන්ගේ වාද විවාද, උසුළු විසුළු සහ හාස්‍ය රසයෙන් පිරී ගිය ලිපි නොමඳව දකින්නට ලැබිණ.

එයින් සිද්ධ වූයේ නොසිතූ මහජන අවධානයක් ජාතික වීරයා වෙත එල්ලවීමයි. එංගලන්තයේ අනෙකුත් නගර ශේක්ස්පියර් සමරන උත්සව සංවිධානය කරන්නට පටන් ගත්හ. විවිධ ලෙසින් භාවිතා වූ ‘ත්‍රිශතකය’, විහිළු තහළු වැඩසටහන්වල ප්‍රමුඛස්ථානයක් ගත් වචනයක් බවට පත්විය.

ලිවර්පූල් හි ශේක්ස්පියර් සමයේ ඇඳුම් පැළඳුම් වලින් සැරසී ගත් 1,400 ක පිරිසක් බාල්නැටුමකට සහභාගී වූහ.

ක්‍රිස්ටල් පැලස් ඔවුන්ගේම වූ ත්‍රිශතක උත්සවයක් පවත්වමින් හෙන්ලි වීදියේ ශේක්ස්පියර් උපන් නිවස මෙන් ආකෘතියක් හදා එයින් මළවුන්ගෙන් නැඟිටින ශේක්ස්පියර් කෙනෙක්ව ප්‍රදර්ශනය කළේය.

‘වැඩකරන පිරිමින්ගේ ශේක්ස්පියර් කමිටුව’ නමින් කමිටුවක් හදාගත් වාමාංශික සංවිධානයක් ඒ අස්සේ ඕක් පැල හිටවන උත්සවයක් සංවිධානය කළහ. ඒත් ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වූයේ ඉතාලිය එක්සත් කරන වෑයමේ යෙදී සිටි ගරිබාල්ඩි ජනරාල්වරයාට පක්ෂපාතීත්වය දක්වන උද්ඝෝෂණයක් සඳහා ඒ අවස්ථාව යොදා ගැනීමයි. පැල සිටුවීමෙන් අනතුරුව ඔවුන් වෙනත් පැත්තකට ගමන් කළහ. පිරිස අසංවර ලෙසින් කලකෝලාහලයට යද්දී පොලීසිය පැන ඔවුන් විසුරුවා හරින ලදි.

හැම්ලට් වෙනුවට ස්ට්‍රැට්ෆර්ඩ් ගමේ ප්‍රදර්ශනය වූයේ දොළොස්වන රාත්‍රිය සහ රෝමියෝ සහ ජුලියට් නාට්‍ය වූහ.

වියදම් පියවාගන්නට ඔවුන් ‘සින්ඩරෙල්ලා මුද්දර’ යනුවෙන් හැඳින්වෙන පෙනී වටිනාකමකින් යුතු මුද්දර අලෙවි කළහ. ශේක්ස්පියර්ගේ පල්ලිය වූ හෝලි ට්‍රිනිටි දේවස්ථානය පසු කාලයේ දී කිහිප වතාවක් එවැනි මුද්දර නිකුත් කර ඇත. ඒවා පල්ලියෙන් තැපැල් කරද්දී පමණක් මුද්දරයක් හැටියට යොදාගත හැකියි. ලිපියේ අලවා ඇති ශේක්ස්පියර් මුද්දරය ළඟින් පල්ලියේ අය එරට ව්‍යවහාරයේ පවතින සැබෑ මුද්දරයක් අලවා තැපෑලට දමති.

ඩික්සන්ගේ කමිටුව නිල වශයෙන් සංවිධානය කළා යැයි කියූ ලන්ඩන් නගරයේ පැවති බොහෝ නාට්‍යය වෙන වෙන කණ්ඩායම් විසින් සංවිධානය කරන ලද ඒවා වූහ. ඩික්සන් ගත් වෑයම පරිහාසයට ලක් කරමින්, “ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ ශේක්ස්පියර්ව වැඩියෙන් අගය කිරීමක් සිද්ධ වූයේ නැහැ, එය ලබන අවුරුද්දේ සිද්ධ වෙන්නෙත් නෑ,” යැයි ‘ද ටයිම්ස්’ පුවත්පත කියා සිටියේය.

ත්‍රිශතක උපන් දින උත්සවයන්හි ප්‍රතිඵලයක් ලෙසින් ශේක්ස්පියර් සිහිවටනයක් එංගලන්තයේ කිසිතැනක ඉදිවූයේ නැත.

ත්‍රිශතක උපන් දින උත්සව බ්‍රිතාන්‍යයට සීමා වූයේ නැත. 1864 දී ලෝකයේ වෙනත් රටවල් ඒ අසමසම ලේඛකයා සිහිකරන්නට එකතු වූහ.

අවුලුවන ලද සිවිල් යුද්ධයක් මැද්දේ සිටිය ද, ත්‍රිශතක උපන් දිනය සමරනු වස් ඇමෙරිකාවේ නළුවන් කණ්ඩායමක් සහ නාට්‍ය ශාලා අයිතිකරුවන් පිරිසක් එකතු වී නිව් යෝර්ක් නගරයේ සෙන්ට්‍රල් පාර්ක් හි ශේක්ස්පියර් ප්‍රතිමාවක් ඉදිකරන්නට ඒ උද්‍යාන පාලක මණ්ඩලයෙන් අවසර ගෙන ඒ සඳහා මුල්ගලක් තබන්නට සමත් වූහ. ඔවුන් අතර කැපී පෙනෙන මෙහෙයක් ඉටුකර ඇත්තේ එඩ්වින් බූත් (Booth) විසිනි. ඔහු 19 වැනි සියවසේ විශිෂ්ටතම හැම්ලට් කුමරු චරිතය රඟපෑ ශේක්ස්පියර් නළුවා යැයි සැලකේ. ඔහු ඇමෙරිකාවේ සහ යුරෝපයේ විවිධ නගරවල රඟ දක්වා ඇත. බූත් නාට්‍යශාලව පටන් ගන්නා ලද්දේ ද ඔහු විසිනි.

හැප්වර්ත් ඩික්සන් විසින් ලන්ඩන් උත්සවයට සහභාගී වෙන්න යැයි එවූ ආරාධනාව වික්ටර් හියුගෝ ප්‍රතික්ෂේප කළේය. ඔහු ත්‍රිශතක උපන් දිනය වෙනුවෙන් ප්‍රංශයේ සිට විලියම් ශේක්ස්පියර් ගැන ලියූවේය. එය ලියන්නට ඔහු පටන් ගන්නා ලද්දේ හියුගෝගේ පුතා වූ ෆ්‍රැන්සුවා-වික්ටර් විසින් පරිවර්තනය කරන ලද ශේක්ස්පියර්ගේ සම්පූර්ණ කෘති පොත සඳහා පෙරවදනක් හැටියටයි. නමුත් සුපුරුදු පරිද්දෙන් හියුගෝගේ රචනය පිටු 300 ක් දක්වා දීර්ඝ විය. එය ඉංග්‍රීසියෙන් මෙතැනින් කියැවිය හැකියි.

චෙක් රිපබ්ලික් හි ප්‍රාග් අගනගරයේ ශේක්ස්පියර් නාට්‍ය චරිත 200 ක් සමන්විත සංදර්ශනයක් පැවැත්විණ. චෙක් සංගීත රචක බෙඩ්රික්ස් මෙතානා (Bedřich Smetana) ඒ සඳහා විශේෂ සංගීත නිර්මාණයක් ඉදිරිපත් කළේය. ලුවීස්-හෙක්ටර් බර්ලියෝස් (Berlioz) මෙහෙයවන ලද ගීතිකා කණ්ඩායමක් රෝමියෝ සහ ජුලියට් සංගීත ප්‍රබන්ධයක් පැවැත්වූහ.

ජර්මනිය එවක එක්සත් රාජ්‍යයක් නොවීය. ෆ්‍රැන්ක්ෆර්ට්, කොනිග්ස්බර්ග් (Königsberg), ඩුසල්ඩෝෆ් (Düsseldorf) යනාදී නගර වල දී දේශන, ප්‍රශස්ති, ප්‍රශංසා කරන එළිසම කවි, කොටස් උපුටමින් හඬනඟා කියැවීම් යනාදියෙන් පිරි ශේක්ස්පියර් සිහිකරවන සාහිත්‍ය උත්සව රාශියක් 1864 දී විවිධ සංවිධාන හරහා පැවැත්වූහ. පින්තූරයක දිස්වෙන ලෙසින් නිශ්චලව පෙනී සිටින, වේදිකා වස්ත්‍ර වලින් සැරසී ගත් නළුවන් සහභාගී වූ ‘ජීවමාන චිත්‍රාභින’ (tableau vivant) දර්ශන ද ඒ අතර වූහ.

වියානාවේ බර්ග්තියටර් හි ශේක්ස්පියර්ගේ ජීවිත කතාව දැවැන්ත සංදර්ශනයකින් ඉදිරිපත් කෙරිණ. එය අවසන් වූයේ එහා මෙහා සතුටින් නටන භූතයන් ලෙසින් දිස්වන නළුවන් අතර පළමු එළිසබෙත් රැජින ලෙසින් පෙනී සිටින්නියක් ශේක්ස්පියර්ගේ උඩුකය ප්‍රතිමාවකට කොළ ඔටුන්නක් (wreath) පැළඳවීමෙනි.

ත්‍රිශතක උපන් දිනය සමරන්නට ජර්මනියේ ශේක්ස්පියර් නාට්‍ය දර්ශන 90 කට වැඩි ගණනක් ප්‍රදර්ශනය විය. එසේම ජර්මන් ශේක්ස්පියර් සංගමය බිහිවිය. එය ලෝකයේ පළමු ශාස්ත්‍රීය ශේක්ස්පියර් රසික සමාජය යැයි සැලකේ.

යුරෝපා මහාද්වීපයේ සංස්කෘත භාෂාව සඳහා මුල්ම මහාචාර්යවරයා වූ ද, බගවත් ගීතාවේ සහ රාමායනයේ ලතින් පරිවර්තන සංස්කරණ කරන ලද්දා වූ ද, අව්ගුස්ට් විල්හෙල්ම් ෂ්ලීගල් (August Wilhelm Schlegel), ශේක්ස්පියර් නාට්‍යය ජර්මන් සම්භව්‍ය කෘති බවට පත්වෙන ලෙසින් පරිවර්තනය කරන්නට සමත් වූවෙකි. ශේක්ස්පියර් සම්පූර්ණයෙන්ම අපේ යැයි ඒ ජර්මන් මහාචාර්යවරයා කියන ලදි.

ස්ට්‍රැට්ෆර්ඩ් ගමේ ත්‍රිශතක උපන් දින උත්සවයට ජර්මනිය නියෝජනය කරමින් මහාචාර්ය මැක්ස් මුලර් (Müller) සහභාගී වී ඇත. ඔහුගේ පැවැත්වූ මෙම කතාව පුවත්පතක පළවිය: “ගර්ටෙ සහ ෂිලර් ළඟට අපි සැබැවින් ආදරය කරන වෙනත් කවියෙක් නැත, ඔබේ ශේක්ස්පියර් වගේම ඔහු සම්පූර්ණයෙන්ම අපේම ද වෙයි. ඔහු අපිට අමුත්තෙක් නොවේ, හෝමර්, නැත්නම් වර්ජිල්, නැත්නම් ඩාන්ටේ, නැත්නම් කොර්නෙයිල් වැනි කියවා අවසන් වෙද්දී අමතක වී යන සම්භාව්‍ය රචකයෙක් පමණක් නොවේ. ඔහු අප අතරින් අපේම වූවෙක් බවට පත්ව ඇත, අපේ සාහිත්‍ය ඉතිහාසයේ ඔහුගේම වූ ස්ථානයක් දිනාගත්තෙක් බවට පත්ව ඇත, අපේ නාට්‍ය ශාලා වල දී අත්පොළසන් ලබන, අපේ ගෙවල්වල දී කියැවෙන, අධ්‍යයනය කරන, ජර්මන් දිවට සරිලන ලෙසින් හඬ හොඳින් දන්නා හඳුනන, අපේ ආදරයට පත් වූවෙකි.”

උන්සර් ශේක්ස්පියර් unser Shakespeare (අපේ ශේක්ස්පියර්) යන ජර්මන් පද වහර පටන් ගෙන ඔහු ජර්මන් කරගැනීමට නාට්සි ජර්මනිය කාලය තුල ඊට ගත් දැඩි වෑයමක් දකින්නට ලැබිණ.

මෙම පොත රසවත් තොරතුරු රැසකින් පිරී ඇත:
Worlds Elsewhere, Journeys around Shakespeare’s GLOBE, Andrew Dickson, Henry Holt and Company, LLC, New York, 2015

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: