අරුණි ශපීරෝ‍ වෙතින්

වෙන ඕනෑම නමකින් කිව්වත්, සුවඳ ඒ තරම්ම මිහිරි වේවි

Posted in Uncategorized by arunishapiro on දෙසැම්බර් 13, 2019

විලියම් ශේක්ස්පියර් ඒ අනුසාරයෙන් නාට්‍යයක් ලියන්නට පෙර රෝමියෝ සහ ජුලියට් ආදර අන්දරය ඉතාලියේ සුප්‍රසිද්ධ වූවකි. 1535 දී මුද්‍රණය සඳහා එය මුලින්ම ලේඛනගත කළේ ලුයිජි ඩා පොර්ටෝ (Luigi da Porto) විසිනි. ඉතාලි ජාතික මතෙයෝ බන්ඩෙලො (Matteo Bandello) ඒ කතා වස්තුව තවත් රසවත් ලෙසකින් ඉදිරිපත් කළේය. බොන්ඩෙලෝ ලියූ කතාවෙහි ප්‍රංශ අනුවර්තනයක් ගෙනෙන්නේ ප්‍රංශ ජාතික පියෙර් බොයෙස්ටු (Pierre Boaistuau) විසිනි.

බොයෙස්ටුගේ නිර්මාණය එංගලන්තයට පැමිණීමෙන් පසුව විලියම් පේන්ටර් (Painter/Paynter) නැමැත්තා එයින් ගද්‍ය නිර්මාණයක් කළේය. බොයෙස්ටුගේ නිර්මාණයෙන්ම 1562 දී “රෝමියස් සහ ජුලියට්ගේ ශෝකාන්ත ඉතිහාසය” (The Tragicall History of Romeus and Juliet) නමින් ගද්‍ය නිර්මාණයක් ආතර් බ්‍රොක් (Arthur Brooke) නැමති ඉංග්‍රීසි කවියා විසින් ඉදිරිපත් කර ඇත. එම බ්‍රොක් ඉදිරිපත් කළ නිර්මාණය ප්‍රධාන මූලාශ්‍රය හැටියට ගෙන 1594-96 කාලයේ දී ශේක්ස්පියර් විසින් ‘රෝමියෝ සහ ජුලියට්’ නාට්‍යය ලියන ලදැයි සැලකේ.

එහි පළමු ජවනිකාවේ, පළමු දර්ශනයේ අපිට කතාව දිගහැරෙන්නේ කොතැනක දී ද යන්න දැනගන්නට හැකියි. රෝමියෝගේ මවට, එනම් මොන්ටේගු ආර්යාවට, මහපාරේ දී සිය ඥාති පුත්‍රයෙක් වූ බෙන්වෝලියෝ මුණ ගැසේ. ඔහු රෝමියෝගේ හොඳම මිතුරා ද වෙයි. තම පුත්‍රයා ඉන්නේ කොතැනකදැයි කියා ඇය ඔහු වෙතින් විමසයි. ඊට පිළිතුරු ලැබෙන්නේ මෙලෙසිනි:

“මැඩම්, වන්දනා කරන සූර්යයාට පැයකට පෙර,
නැගෙනහිර රත්තරන් කවුළුවෙන් එබී බලද්දී,
නොසන්සුන් මනසක් පෙළඹුවා මාව ඇවිදින්නට යන්න,
එහි දී, නගරයේ බටහිර පැත්තේ මුල් දරා ඇති,
සිකමෝ වදුලක් යට,
හිමිදිරියේ ඇවිදින ඔබේ පුතා මම දුටුවෙමි.”

ඉතාලි ජාතික පොර්ටෝ සටහන් කළ රෝමියෝ ජුලියට් කතාවේ සිකමෝ ගස් ගැන සඳහන් නොවීය. බන්ඩෙලෝ ලියුවෙහි ද සිකමෝ ගස් සඳහන් නැත. ශේක්ස්පියර් ඒ ගස් ගැන සඳහන් කරන තෙක් වෙරෝනාවෙන් ආ ඒ කතාවේ වෙරෝනාවේ සියවස් ගණනාවක් පුරා වීදි සරසන ලද, අදත් එසේම දකින්නට ලැබෙන ඒ සිකමෝ (sycamore) ගස් වදුල ගැන කිසිවෙක් ලියුවේ නැත.

මූලික කතා වස්තුව එසේම තිබිය දී, ශේක්ස්පියර් කරන්නේ එහි චරිත සදා කාලීනව ආදරයේ සංකේත බවට පත්වන ලෙසකින් හැරවීමයි. ආදර වෘත්තාන්තයක් වුවද, රස වෑහෙන දෙබස් දකින්නට හැකි වුවද, මෙම නාට්‍යය ශේක්ස්පියර්ගේ රොමෑන්සස් එකතුවට නොව වැටෙන්නේ ශෝකාන්ත එකතුවටයි.

මොන්ටේගු සහ කැපියුලට් පවුල් අතර ආරවුල මන්දැයි කියා ඔහු සිය නාට්‍යයේ පැහැදිලි නොකරයි. පරම්පරාවෙන් පරම්පරාවට අරන් යන එදිරිවාදිකම් අදත් පවුල් අතර පවතී. ඒවා ඇති වූයේ මන්ද, ඒවා පවත්වාගෙන යන්නේ මන්දැයි කියා විමසන්නට කිසිත් උත්සාහයක් නොගන්නා අය ඒවායෙන් ගැලවෙන්නට ද වෑයමක් නොගනිති. එසේම, අනුන්ගේ හබයක් නිසා තමන් ප්‍රියකරන, දැඩි ආදරයෙන් ඇසුරු කරන, අයෙක් හෝ පිරිසක් අත්හරින්නට වීම, එනම් තමනට පෞද්ගලිකව පාඩු සිද්ධ වෙන ආකාරය ගැනත් බොහෝ අය අවධානයක් යොමු නොකරති.

අත්වැල් ගායනයෙන් (chorus) ප්‍රේක්ෂකයන් ඍජුව අමතා කතාවේ විෂය, “පුරාතනයේ පටන් පැවතෙන ආරවුලක්” ඇති පවුල් දෙකක දරුවන් ආදරයෙන් වෙළී ඔවුන්ගේ ජීවිත අහිමි කරගැනීමෙන් ඒ හබය අවසන් වේ යැයි කීම නාට්‍යයේ ආරම්භයයි.

බොහෝ අය දැන සිටි කතා පුවතක් ගෙන, එහි ආදරවන්තයන් දෙදෙනාගේ ඉරණම තීන්දු වෙන්නේ කෙසේදැයි කියා පටන් ගැනෙන්නේ නම් නාට්‍යයේ අවසානය දක්වා ප්‍රේක්ෂකයන් සභාවේ රඳවා ගන්නට රසබර වූ ආකාරයකින් එය දිග හැරීමේ අවශ්‍යතාවය ශේක්ස්පියර් විසින් මනා ලෙසින් ඉටු කර ඇත. ඒ, තමනට හැකි විශිෂ්ටතම වූ ගද්‍ය සම්පාදනයෙනි.

“ඇය කතා කරනවා,” රෝමියෝ කියයි, “ඕ, ඇය නැවතත් කතා කරනවා, දීප්තිමත් සුරංගනාවිය.” එතෙක් වේදිකාවේ දකින්නට නොලැබුණු තොඳොල් ආදර බස් වහරක් ශේක්ස්පියර් ලියුවේය. සාමාන්‍යයෙන් සිය චරිත සඳහා වයසක් ගැන සඳහන් නොකරන ශේක්ස්පියර් මෙහි දී ජුලියට්ගේ වයස අවුරුදු 13 ක් යැයි සඳහන් කරයි. බ්‍රොක් ලියූ ගද්‍යයේ ජුලියට්ගේ වයස අවුරුදු 16 කි. ඇය සහ රෝමියෝ දෙදෙනාම එකම වයසේ ආදරවන්තයන් හැටියට බ්‍රොක් දක්වයි. බ්‍රොක් ලියූ ගද්‍යයෙන් සිය නාට්‍යය ලියන ශේක්ස්පියර්, රෝමියෝ වයස අවුරුදු 16 පසුවන ලෙසම දක්වමින් ඒත් ජුලියට්ගේ වයස අඩු කළේය. කැපියුලට් ආර්යාව වෙතින්, “ජුලියට් තාම දාහතරක් වෙලා නෑ,” යැයි පැවසීමෙන් ජුලියට් සහ රෝමියෝ ඔවුන්ගේ මංගල රාත්‍රියේ යහන්ගත වීම ගැන බරපතල බවක් ඇඟවේ.

ලොව සුපතල සඳළුතලයේ දර්ශනය ශේක්ස්පියර් අතින් ලියැවෙද්දී ජුලියට් ජනේලයක් අසල සිටින්නේ යැයි සඳහන් විය. එලිසබෙතන් යුගයේ එංගලන්තයේ සඳළුතල නොවිණ. පසුකාලයක දී තෝමස් ඔට්වේ (Otway) නැමැත්තා The History and Fall of Caius Marius නමින් කතාව 1679 දී ලියද්දී එතැනට සඳළුතලයක් ඇතුලත් කරන ලදි. ඔහුගේ නිර්මාණයෙන් පසුව ශේක්ස්පියර් නාට්‍යය සඳහා ද සඳළුතලයක් එකතු විණ.

ශේක්ස්පියර් සිය නාට්‍යය තුල පූජකවරු ගැන සඳහන් කිරීම බහුලව කළ ද, ඒ පූජක චරිත ගෞරවයට පාත්‍ර විය යුතු වූවන් ලෙසින් හෝ බුද්ධිමත් අය හැටියට නිරූපනය නොකරයි. මෙහි එන ෆ්‍රැන්සිස්කන් කතෝලික පූජකවරයෙක් වන ශ්‍රමණ ලෝරන්ස් (Friar Laurence) එවැනි චරිතයකි.

ඔහු රෝමියෝ මොන්ටේගු.

ඒත්, මොන්ටේගු යන වාසගම සහිත පුද්ගලයන් ඇසුරු කිරීම ජුලියට්ට තහනම්.

ඔවුන් දෙදෙනාගේ ප්‍රේම සබඳතාවයට බාධාව ඒ මොන්ටේගූ යන නම යැයි ජුලියට් කියයි.

“රෝමියෝ, රෝමියෝ, ඔබ ඇයි රෝමියෝ වූයේ?” යැයි නාට්‍යයේ එන සුප්‍රසිද්ධ වහරකි. (Romeo, Romeo, wherefore art thou Romeo?) මෙහි wherefore යන්නෙන් කියැවෙන්නේ ‘කොහෙද’ කියා නොව ‘ඇයි’ කියායි. නමුත් ඛේදවාචකයට තුඩුදෙන නම ‘රෝමියෝ’ නොවේ. එය ‘මොන්ටේගු’ යන ඔහුගේ වාසගමයි.

විලියම් ශේක්ස්පියර්ගේ රෝමියෝ සහ ජුලියට් හි 2 වැනි ජවනිකාවේ 2 වැනි දර්ශනයේ ජුලියට් විසින් මෙසේ එ් නම ගැන ලොව සුපතල ඒකල භාෂණය ඉදිරිපත් කරයි:

“ඔබේ නම පමණයි මගේ හතුරා;
ඔබ ඔබ වේ, ඒත් මොන්ටේගූ කෙනෙක් නොවේ.
මොන්ටේගූ කියන්නේ කුමක්ද? එය අතක් නොවේ, පයක් නොවේ,
බාහුවක් නොවේ, මූණක් නොවේ, වෙනත් කිසිත් අංගයක් නොවේ
මිනිසෙකුට අයිති. අහෝ, වෙන නමක් තිබුණා නම්!
නමකින් දැක්වෙන්නේ කුමක්ද? රෝසමලක් යැයි හඳුන්වන්න
වෙන ඕනෑම නමකින් කිව්වත්, සුවඳ ඒ තරම්ම මිහිරි වේවි”

රෝමියෝ ජුලියට් නාට්‍යයේ දෙබස් අතර දැන් ලොව සුපතල කියමනක් බවට පත්ව තිබෙන “රෝසමලක් යැයි හඳුන්වන්න, වෙන ඕනෑම නමකින් කිව්වත් සුවඳ ඒ තරම්ම මිහිරි වේවි” යන අදහස විලියම් ශේක්ස්පියර් එය නාට්‍යයට ඇතුලත් කරන්නට පෙර පටන් ජනවහරේ පැවතියකි. ඒත් සිකමෝ ගස් වදුල ගැන පවසමින් කතාව දිග හැරෙන්නේ කුමන දේශයකදැයි ඉදිරිපත් කරන ලෙසින්ම, එතෙක් පැවති ජනවහරේ කියමනක් තිබුණාට වඩා ආකර්ශනීය බස් වහරකින් ගෙනෙන්නට ශේක්ස්පියර් සමත් වූයේය.

නම කුමක්දැයි යන්න වැදගත් ඇයි? අපිව හඳුන්වන නම් ගැන අපේ අවධානය ඇදී යන්නේ ඇයි?

තමාගේ යැයි හැඳින්වෙන නම ඒ පුද්ගලයා උපදින්නටත් පෙර තීරණය වීම සාමාන්‍යයයි. දෙමව්පියන් තෝරාගත් නමක් ලැබෙන පුද්ගලයා එය තම නම යැයි හඳුන්වමින් බොහෝ විට නමට අනුව හැඩ ගැසේ. මේ ගැන Steven D. Levitt සහ Stephen J. Dubner යන දෙදෙනා විසින් කරන ලද කදිම අධ්‍යයනයක් Freakonomics නම් පොතේ ඇත.

උප්පැන්න සහතිකයේ ඇති නම කුමක්දැයි කියා දැන දැනත් සමහර පවුලක අයෙකුගේ ජීවිත කාලය පුරාම ඔහුව සුරතල් නාමයෙන් පමණක්ම ඇමතීම සාමාන්‍යයකි.

මිතුරු මිතුරියන් අතර අමුතු නම් පාවිච්චිය පමණක් සිද්ධ වීම නිසා, (පාසැලේ හෝ වෙනත් අධ්‍යාපන ආයතනයක දී) පසුකාලයක දී එයාගේ නම සහ වාසගම කුමක්දැයි නොදැන පුද්ගලයා යළි සොයාගත නොහැකි තත්වයකට ද පත්වේ.

ජනප්‍රියත්වය සඳහා නම් වෙනස් කරගන්නා අය සිටිති. පොත් ප්‍රකාශනය සඳහා අතීතයේ කාන්තාවන් විසින් පිරිමි නම් ද, මෑත කාලයේ පිරිමි විසින් කාන්තා නම් ද භාවිතා කර ඇත. අන්වර්ථ නාම වලින් පෙනී සිටීම මෙන්ම තම වෘත්තීය කටයුතු පිණිස අලුතින්ම නම් හදාගන්නා අය ද සිටිති.

ඉතින්, “රෝසමලක් යැයි හඳුන්වන්න වෙන ඕනෑම නමකින් කිව්වත්, සුවඳ ඒ තරම්ම මිහිරි වේවි” යැයි ශේක්ස්පියර් ලියුවේ නමක කිසිදු විශේෂත්වයක් නැතැයි කියන්නට ද? නැත්නම්, නම පමණින් අයෙකුට වෙනස් විදියට සැලකීම නුසුදුසු යැයි කියන්නට ද?

One Response

Subscribe to comments with RSS.

  1. Indranatha Thenuwara said, on දෙසැම්බර් 13, 2019 at 10:33 පෙ.ව.

    රෝමියෝ ජුලියට් ගැන නොදන්නා බොහෝ දේ දැන ගත්තා.
    බොහොම ස්තූතියි..!


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: