අරුණි ශපීරෝ‍ වෙතින්

විභ්‍රමයන්හි සුඛාන්තය

Posted in Uncategorized by arunishapiro on ජනවාරි 10, 2020

විලියම් ශේක්ස්පියර් ලියූ නාට්‍යය අතරෙන් කෙටිම වූ නාට්‍යය ලෙස මෙය සැලකෙයි. එසේම මෙය ඔහු ලියූ මුල්ම නාට්‍යයකි.

නීතීඥයන් සඳහා වූ Gray’s Inn අවන්හලේ දී 1594 දෙසැම්බර් 28 වැනිදා මෙය මුලින්ම දර්ශනය විය. අවන්හලේ සටහන් දක්වන පරිදි එදින අවන්හලේ පැවති උත්සවශ්‍රීයෙන් උද්දාමව සිටි පිරිස නිසා හටගත් නොසන්සුන් වාතාවරණය හමුවේ සමහර විනෝදාස්වාදයන් අත්හිටුවන ලදි. පැමිණ සිටි කාන්තාවන් සමඟ නැටුම් ගැයුම් පමණක් පවත්වන්නට තීරණය කළත්, අනතුරුව රැස් වූවන් සඳහා ශේක්ස්පියර්ගේ මෙම නාට්‍යය රඟ දැක්වීය.

එය වික්ෂිප්තයන් පිරි සන්ධ්‍යාවක් වූයෙන්, ‘විභ්‍රමයන්හි රාත්‍රිය’ (The Night of Errors) යැයි ඔවුන් සටහන් කළහ. ඉතින් ඒ නමින් නාට්‍යය හැඳින්වෙන්නට ද පටන් ගැනිණ.

මෙහි කතා වස්තුව ශේක්ස්පියර් ලබාගන්නේ රෝම නාට්‍ය රචකයෙකු වූ ප්ලෝටස් (Plautus) ලියන ලද Menaechmi සහ Amphitruo යන සුඛාන්ත දෙකෙන්. එක දිගට සිදුවීම් දිග හැරෙන අයුරින්, සම්භව්‍ය රචනයෙන්, ඉතා විශිෂ්ට කෙටි නාට්‍යයක් ඉදිරිපත් කරන්නට ඔහු සමත් වෙයි.

නිවුන්නු යුගල දෙකක් නිසා ඇතිවන විනෝදජනක වූ පටලැවිල්ලක් සිනා උපදවන ලෙසින් වේදිකාවට ගෙනෙන ශේක්ස්පියර් මෙහි දෙබස් තුලින් සිය සුමට ලිවීමේ නිපුණත්වය මනාව දක්වයි.

කතාව දිග හැරෙන ස්ථානය, (අද තුර්කියේ පිහිටන නගරයක් වූ) එෆිසස් (Ephesus) රාජ්‍යයයි. සැබැවින් එය සම්භව්‍ය ග්‍රීක ආරම්භයකින් පසුව රෝම අධිරාජ්‍යයට අයිති වූ ඉතිහාසයකින් යුතුයි. පුරාතන ග්‍රීක නගරයක් ලෙසින් පවතිද්දී එහි ඉදි කරන ලද ආටිමීස් වන්දනාස්ථානය (Temple of Artemis) පුරාතන ලෝකයේ ආශ්චර්යයන් හතෙන් එකක් හැටියට සැලකුණි. එය මධ්‍යතරණී රටවල ප්‍රධානතම වෙළඳස්ථානයක් හැටියට ද පැවතුණකි.

ශේක්ස්පියර් එම නම එහි ස්ථානය වශයෙන් යොදා ගැනීම අතිශයෙන් උචිත වේ. ඒ, මෙම නාට්‍ය තුලින් ඉංග්‍රීසි නාට්‍යකරණයේ ප්‍රථම වරට දේපල අයිතිය, නිදහස් වෙළඳාම, සහ නීතිය පිළිබඳව අදහස් දකින්නට ලැබීම නිසයි.

සාම්ප්‍රදායික වැඩවසම් රදළ බලය සහ එවක ලෝකයට අමුත්තක් වූ වෙළඳ හුවමාරුව තුලින් පවතින නීතිය අලුතින් හැඩ ගැසෙන ආකාරය දැක්වීමෙන් විලියම් ශේක්ස්පියර් එවක ‘ග්‍රේ’ස් ඉන්’ හි විනෝදාස්වාදයෙන් පිරි නීතීඥයන් වෙතම අපූරු නාට්‍යයක් ඉදිරිපත් කර ඇති බව අපිට පෙනී යයි.

කතාව ඇරඹෙන්නේ ඊජීන් (Egeon) නැමැත්තා අත්අඩංගුවට ගැනීමෙනි. සිරකියුස් දේශයේ වෙළෙන්ඳන්ට එෆිසස් හි ද, එෆිසස් වෙළෙන්ඳන්ට සිරකියුස් දේශයේ ද, ව්‍යාපාර කටයුතුවල නියැළීම තහනම්. ඒ සඳහා ඔවුන් මාක් දාහක දඩයක් ගෙවිය යුතුය. දඩය ගෙවිය නොහැකි නම් දඬුවම මරණයයි.

එෆිසස් හි ඩ්‍යුක්වරයා වන සොලිනස් ඉදිරියේ ඊජීන් සිය “කිය නොහැකි තරම් ශෝචනීය වූ” කතාව දිග හරියි. සිරකියුස් දේශයේ වෙළෙන්ඳෙක් වූ තමා එෆිසස් වෙත පැමිණ සිටින්නේ සිය නැතිවුණ නිවුන් පුතුන් සොයන්නට යැයි ඔහු කියා සිටියි.

නිවුන් පිරිමි යුගල දෙකට එකම නම් දැමීමෙන් ශේක්ස්පියර් කතාව රසවත් කරයි. ඊජීන්ගේ නිවුන් පුතුන් උපත ලැබූ දිනයේ, ඒ නවාතැනේ දී ම, ඒ හෝරාවේ දී ම, දුප්පත් කාන්තාවක් නිවුන් පුතුන් දෙදෙනෙක් බිහිකර ඇත. ඊජීන් ඒ දුප්පත් කාන්තාව ගෙන් ඒ නිවුන් පුතුන් දෙදෙනාව තම පුතුන්ගේ සේවකයන් හැටියට මිල දී ගෙන ඇත. පුතුන් දෙදෙනාම ඇන්ටිෆලස් නමින් ද, ඔවුන් දෙදෙනාම ඩ්‍රෝමියෝ නමින් ද හැඳින්වේ.

දරුවන්ට වයස 7 ක් වෙද්දී ඔවුන් සියල්ල ගමන් ගත් නැව ගල්පරයක වැදී පුතෙක් සහ සේවකයෙක් පියා සමඟත් අනික් පුතා සහ සේවකයා මව සමඟත් වෙන් වී යති. පුරා වසර 5 ක් තිස්සේ ඊජීන් ඔවුන් සොයමින් ග්‍රීසියේ හැම අත ඇවිද ඇත. නැව් අකරතැබ්බයෙන් වසර 18 කට පසුව සිරකියුස් හි ඇන්ටිෆලස් නම් වූ නිවුන් පුතා, සහ සිරකියුස් හි ඩ්‍රෝමියෝ නම් වූ සේවකයා සමඟ ඊජීන් එෆිසස් බලා එන්නේ අනිත් පුතා සහ අනිත් සේවකයා සොයාගැනීම පිණිසයි.

විනෝදාස්වාදයෙන් පිරී යන රඟපෑම් පටන් ගැනෙන්නේ මෙතැන් සිටයි. සිරකියුස් හි ඇන්ටිෆලස් නගරයේ ඇවිදන විට ඔහු එෆිසස් හි ඇන්ටිෆලස් යැයි සිතන නගරවාසීන් පොරොන්දු වූ ගණුදෙනු පියවති.

එපමණක් නොව තමන්ගේ බිරින්ඳෑ යැයි කියන ඒඩ්‍රියානාගේ නිවසේ ආහර වේලකට, සිරකියුස් හි ඇන්ටිෆලස් සහභාගී වේ. ඒත් ඔහු තම බිරින්ඳෑ යැයි කියන කාන්තාවට නොව ඇයගේ ලුසියානා නමැති සොහොයුරියට කැමැත්ත දක්වයි. ඔහු සමඟ යන සිරකියුස් හි ඩ්‍රෝමියෝට එහි දී තමන්ට ආදර ඇඟුළුම්කම් දක්වන තරබාරු මුළුතැන්ගෙයි මෙහෙකාරිය වෙතින් බේරෙන්නට සිද්ධ වේ.

එම ජවනිකා විනෝදාස්වාදයෙන් පිරී පවතී. දුන් පොරොන්දු රකින, නොදුන් පොරොන්දු ගැන අයෙක් හිතන ආකාරය මෙන්ම, එක් පුද්ගලයෙක් කියන දැයක් තවත් අයෙක් වෙනත් අර්ථයකින් බාරගන්නා සුළු මිනිස් ස්වභාවය සිනහ උපදවන ආකාරයෙන් වේදිකාවේ දිග හැරේ.

කතාව ආරම්භයේ පටන් එහි අන්තිම තෙක් ඔවුන්ගේ පියා දඩය ගෙවාගත නොහැකිව දිගින් දිගටම අත්අඩංගුවේ පසුවෙයි. ඊජීනිගේ ඛේදවාචකය අසා දුක් වූවත් සොලිනස් ඩ්‍යුක්වරයා පළමු දර්ශනයේ පළමු ජවනිකාවේ දී කියා සිටින්නේ තමන් විසින් නොව සම්මේලනයක් විසින් පනවන ලද්දෙන් ඒ දඩය හා එය ගෙවීමට නොහැකි නම් මරණය අත්වීමේ නීතිය තමනට වෙනස් කළ නොහැකි බවයි.

“ගාම්භීර ලෙසින් සම්මේලනය එසේ දන්වා ඇත,
අපි වගේම සිරකියුස්හි වැසියන් විසින් ද,
අපේ එදිරිවාදී නගරවලට කිසිවෙක් ඇතුල්කර නොගැනීමට.”
It hath in solemn synods been decreed,
Both by the Syracusians and ourselves,
To admit no traffic to our adverse towns.

එය දේශයන් දෙක අතර වෙළඳ යුද්ධයකි. ඔවුන් පනවාගත් නීති අනුව වරදකරුවෙකු වෙන්නට කිසියම් වෙළඳ කටයුත්තක නියැළීම අවශ්‍ය නැත. එෆිසස් හි උපන්නෙක් සිරකියුස් හි වෙළඳහලක හෝ පොළක ගැවසෙන්නේ නම්, එසේම සිරකියුස් හි උපන්නෙක් එෆිසස් හි එසේ දකින්නට ලැබුනේ නම් ඔවුන් දඩය ගෙවිය යුතුයි නැත්නම් ඔවුනට මරණය අත්වේ. මෙය ඩ්‍යුක්වරයාගේ පාලනයෙන් පිටත වූ සම්මේලනයක් (synods) විසින් පනවන ලද නීතියකි. ඩ්‍යුක්වරයාගේ කාර්යය නීතිය ක්‍රියාත්මක කිරීම පමණකි. මෙය ශේක්ස්පියර් විසින් රාජාණ්ඩු ක්‍රමයෙන් පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයට වෙනස් වෙමින් පැවති එංගලන්තය ගැන ගෙනන ඉඟියක් හැටියට සැලකේ.

ස්වාමි පුත්‍රයන් දෙදෙනාට සේවකයන් දෙදෙනා මාරු වීම නිසා පටලැවිල්ල තවත් දිගින් දිගට යයි.

ඩ්‍රෝමියෝ දෙදෙනා වේදිකාවේ ගුටි කති. එකිනෙකා මඟහැරීම නිසා පවරන ලද කාර්යයන් ඉටු කිරීමත් මෙන්ම ඉටු නොකිරීමත් හේතුවෙන් “ස්වාමියා” වෙතින් ද නැත්නම් “භාර්යාව” වෙතින් දැයි පහර කෑ යුත්තේ කියා තෝරා ගන්නට සිද්ධ වෙන අවස්ථාවක් නාට්‍යයේ ඇත.

පැරණි වැඩවසම් නීති තුල සේවකයන්ට පහර දීම නීතියට පටහැනි නොවේ. ඒත් ශාරීරික පහරදීම වෙනුවට නීතිමය නඩු පැනවීම තෝරාගැනීම වෙළඳ ගණුදෙනු තුලින් පටන් ගැනෙන ආකාරය ශේක්ස්පියර් අනතුරුව දක්වයි.

නිවුන් සහෝදරයන්ව පටලැවීම නිසා, ඇන්ජලෝ නැමති වෙළෙන්ඳා එෆිසස් හි ඇන්ටිෆලස් වෙනුවෙන් නිමකළ රත්තරන් මාලය දෙන්නේ සිරකියුස් හි ඇන්ටිෆලස් වෙතටයි. දිග හැරෙන විගඩමේ ප්‍රේක්ෂකයා දකින්නේ චරිත සියල්ල විසින් සත්‍යය පවසන ආකාරයයි. රන් මාලය පැළඳගත් සිරකියුස් හි ඇන්ටිෆලස් නගරයේ ඇවිදමින් සිටිය දී, රන් මාලය නොලැබුණ එෆිසස් හි ඇන්ටිෆලස් ඒ සඳහා මුදල් දීම ප්‍රතික්ෂේප කරයි. ගුටි කෙළියක් වෙනුවට අපිට පිරිනැමෙන්නේ ඔවුන් ‘ශිෂ්ට’ අන්දමින් නඩුව විසඳාගන්නට යෑමයි. වැඩවසම් නීතිය යටතේ ගිවිසුම් උල්ලංඝණය සහ නිදහස් වෙළඳාම තුල ගිවිසුම් උල්ලංඝණය අතර වෙනස එසේ දැක්වෙයි.

සැබෑ සැමියාට නිවහනේ දොර ඇරෙන්නේ නැත. නැවෙන් බැස පැය දෙකක් පමණක් වුවත්, එෆිසස් හි නගරවාසීන් තමාට හිතමිතුරු විශ්වාසී ආකාරයෙන් සැලකීම ගැන සිරකියුස් හි ඇන්ටිෆලස් මවිත වේ. මෙහි වෙළඳ කටයුතු තුල ‘විශ්වාසය’ සඳහා කොතරම් වැදගත් තැනක් ලැබෙන්නේ ද යන්න ගෙනහැර පෑම සිද්ධ වේ.

දේශයන් දෙක අතර පවතින වෙළඳ යුද්ධයක් නිසා, වෙළෙන්ඳෙක් වූ පමණින්, වෙළඳාමේ නියැළුනේ නැතත්, වෙළඳ ස්ථානයක් අසල ගැවසීම නිසා පමණින්, මරණ දඬුවමක් නියම වෙන තැනට නීති සම්මතය, ශේක්ස්පියර් ගෙනෙන දැඩි සේ අවධානය යොමු විය යුතු කාරණයකි. ලොව බොහෝ රටවල් වර්තමානයේ දී ද, එකිනෙකා අතර වෙළඳාම අඩාල කරන මෙවැනි අනුවණ වෙළඳ නීති සම්මත කර ගනිති. නීති ගෙනෙන්නේ වෙළෙන්ඳන් නොවේ. නීති සම්මත කරන ‘සම්මේලන’ නොහොත් දේශපාලකයන් විසිනි.

නිවුන්නු මාරුවීම නිසා ඇන්ජලෝ නමැති වෙළෙන්ඳා මෙන්ම භාර්යාව සහ ඇයගේ සහෝදරිය ද හිතන්නේ ඔවුනට එක්කෝ පිස්සු හැදී නැත්නම් යකා වැසී ඇතැයි කියායි. ඔවුන් නීරෝගී කරගැනීම සඳහා වෙදෙක් සහ කට්ටඩියෙක් ද කතාවට එකතු වේ. ශේක්ස්පියර් නාට්‍යවල දකින්නට ලැබෙන සුපුරුදු පරිද්දෙන්, වෙදා වෛද්‍ය ක්‍රමවලට වැඩියෙන් ප්‍රිය කරන්නෙ කෙම් ක්‍රම වෙති. යකා එළවන කට්ටඩි වැඩේ බාරගෙන ඇත්තේ ඔවුන්ගේ මව යැයි අවසානයේ දී හෙළිවේ.

කතාව නිමා වෙන්නේ අතරමං වූ සියල්ලන්ම යළි හමුවීමෙන්, සියළු පටලැවිලි ලිහාගන්නටත්, පියාගේ දඩ මුදල් ගෙවා ඔහුව නිදහස් කරගන්නටත් හැකිවීමෙනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: