අරුණි ශපීරෝ‍ වෙතින්

සිහිනුවණින් කටයුතු කළ නොහැකියාවට මිනිසා හුරුව සිටින්නේ ඇයි?

Posted in Uncategorized by arunishapiro on මාර්තු 24, 2020

රටවැසියා තම තම සිහිනුවණින් කටයුතු නොකරන්නේ යැයි ද, ඒ නිසා රාජ්‍ය මැදිහත්වීමෙන් රටේ සමස්ත ජනතාව මෙහෙයවිය යුතු යැයි ද ප්‍රත්‍යක්ෂ සත්‍යයක් සේ සලකමින්, රාජ්‍ය නියෝග අනුව මිනිසුන්ව නිවෙස්වල රඳවා තැබීම ගෝලීය මෙහෙයුමක් ලෙසින් දිග හැරුනේ මෙයාකාරයෙනි.

2019 දෙසැම්බර් 26 වැනිදා චීනයේ HICWM රෝහලේ වෛද්‍යවරියක් වූ Zhang Jixian දුටුවේ එකම පවුලක තිදෙනෙක් සහ තවත් අයෙක් අමුතු නිව්මෝනියා ලක්ෂණ පෙන්නුම් කරන රෝගීන් බවයි. 27 වැනිදා ඇය තම නිරීක්ෂණ ඒ පළාතේ ‘බෝවෙන රෝග පාලන’ මධ්‍යස්ථානයට වාර්තා කළාය. 28 සහ 29 දින වෙද්දී රෝහලේ තවත් එයින්ම පෙළෙන අය තිදෙනෙක් (මුළු සංඛ්‍යාව 7 ක්) සිටින බව පෙනී ගියේය.

ඒ අමුතු නිව්මෝනියාව ගැනත්, එය වැළඳී ඇති හත්දෙනාම මුහුදු මාළු තොග වෙළඳපොලක් (Huanan Seafood Wholesale Market) ආශ්‍රයෙන් රෝගීන් වූවා යැයි කියාත්, 34 වියැති Li Wenliang නැමති අක්ෂිවෛද්‍යවරයා චීන සෝෂල් මීඩියාවක් වූ WeChat හරහා සිය වෛද්‍ය මිතුරන් සමඟ බෙදාගෙන තිබේ. “තම තමන්ගේ පවුලේ අයට සහ ආදරණීයයන්ට මේ ගැන දන්වා අවධානයෙන් ඉන්න” යැයි ඔහු එහි ලියුවේය. ඊ ළඟ දිනයේ එම සටහන චීන ඉන්ටනෙට් සමාජ අතර වේගයෙන් පැතිර ගියේය.

සමාජයේ ක්‍රමවත් බව කඩාකප්පල් කරන්නේ යැයි චීන පොලීසිය ඔහුට තර්ජනය කරන ලදි. රජයේ ටෙලිවිෂන් නාලිකා වලින් ඔහු ඇතුළු වෛද්‍යවරුන් 8 දෙනෙක්ම බොරු බිය පතුරනවා යැයි දන්වා සිටියහ. බොරු බිය පතුරුවන්නේ නැතැයි පොරොන්දු ප්‍රකාශනයක් සඳහා පොලීසිය ඔහු වෙතින් ඇඟිලි අත්සන්ද ලබා ගති.

“සුපවයිසර්ලා” වෙත දන්වා තිබුණද, සෙසු චීන ජනතාවට මේ ගැන දැනගන්නට අවස්ථාව පෑදු Li Wenliang එයින් මිය ගියේය. ඒත් චීනය මෙන්ම සෙසු ලෝකය පුරා ද, එයින් මිය ගිය අයගෙන් ලැබෙන දත්ත පැහැදිලි කරන්නේ, වෙනත් අතුරු ආබාධ රෝග වලින් පෙළෙන්නේ නැත්නම් සහ තරුණ වයසේ නම්, මෙම රෝගය වැළඳුනාට අයෙක් මිය යන්නේ නැතැයි කියායි. ඔහු මිය යෑම ගැන ප්‍රසිද්ධ වීමත් සමඟ චීනය තුල අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ඉල්ලා චීන ඉන්ටනෙට් සමාජ අතර නැඟී ගිය රැල්ල ආ පිටින්ම යටපත් කර දමන්නට චීන රජය සමත්විය.

2020 ජනවාරි 18 වැනිදා වෙද්දී, මේ mutate ව පැමිණි වෛරසය මුලින්ම නිරීක්ෂණය කළ තිබුණ චීන වෛද්‍යවරුන් විසින් අදාල ‘සුපවයිසර්ලා’ දැනුවත් කර සති 6 ක් ඉක්ම වී තිබිණ. ‘සුපවයිසර්ලා’ නිහඬව සිටියදී තම තමන් දැනුවත් වෙන්න යැයි සහ ආරක්ෂා වෙන්න යැයි පැවසූ වෛද්‍යවරයා බොරු පතුරුවන්නෙක් හැටියට නිල වශයෙන් ප්‍රචාරය වී තිබුණ නිසා රටේ මිනිසුන්ට තම තමන් ආරක්ෂා වෙන්නට උවමනාවක් සහ ක්‍රමයෙන් රෝගීන් සංඛ්‍යාව ඉහළ යන බව දැනගන්නට හැකියාවක් නොලැබිණ.

ජනවාරි 18 වැනිදා, වූහාන් හි Baibuting දිස්ත්‍රික්කයේ වාර්ෂික සාමූහික ආහාර බුදීමක් පැවැත්විණ. ඒ එම උත්සවයේ 20 වැනි සංවත්සරයයි. සංවිධායකයන්ට අවශ්‍ය වූයේ වැඩියෙන්ම කෑම ජාති ගණනාවක් ඉදිරිපත් කිරීම ගැන ලෝක වාර්තාවක් තියන්නටයි.

ස්ථාන 10 ක දිග මේස හැර, ඔවුන් කෑම වර්ග 13,986 ක් ඉදිරිපත් කළහ. “මාතෘභූමිය සහ මගේ හදවත” යන දේශප්‍රේමි නමින් වූයේ පිපිඤ්ඤා සහ හැම් (ඌරු මස්) විය. “එක පටියක් එකක් එක මාවතක්” නමින් වූයේ එළවළු සැලඩ් එකකි. ඒ ආහාර පිඟන් පිළියෙල කරන්නට පවුල් 40,000 ක් සහභාගී වූහ. බොහෝ දෙනෙක් ඒවා බුදින ඡායාරූප වලට පෙනී සිටින්නට එහි පැමිණියහ.

වූහාන් තුල 565 ක් මිනිසුන් මිය යෑමේත්, 28,000 ක් රෝගී වීමෙත්, එමෙන්ම වෙනත් රටවල් කරා පැතිර යාමේත් සංකේතය වනුයේ මේ භෝජන සංග්‍රහයයි.

ඒ වෛරසය පැතිරීම පාලනය කරගන්නට ෂී ජින්පින් හෝ කොමියුනිස්ට් පක්ෂයේ දැක්ම හෝ අසමත් වූවා කියන්නට ඇත්තේ ලොව ඉතාමත් අල්පයකි. මන්ද, Li Wenliang ට මුඛවාඩම් බැඳ තැබූ ලෙසින්ම සාමූහිකත්වයේ බලයට සදා පෙම්කරන “ප්‍රයෝජනවත් මෝඩයින්” එම තොරතුරු යටපත් කරමින් ඔවුන් ක්ෂණික රෝහල් හැදූ බව ගැන පමණක් කියති.

එම වෛරසයෙන් රෝග වූ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යද්දී තව දුරටත් තත්වය සඟවා ගත නොහැකි බවට අනාවරණය වෙද්දී ජනවාරි 23 වෙනිදා චීන රජය විසින් වූහාන් නගරය වසා දැමීය. ඒ වෙද්දී වූහාන් නගරයෙන් වෙන පළාත් බලා සහ වෙන රටවල් බලා පිටත් වී ගිය මහත් සංඛ්‍යාවක් වූහ. ඉතින් ඊ ළග දිනයේ ඔවුන් තවත් නගර 15 ක් වසා දැමූහ. මේ වෙද්දී ලොව සියළුම රටවල් පාහේ තම දේශ සීමාවන් වසා රට තුල ජනතාවට එහා මෙහා යා නොහැකි ප්‍රතිපත්ති දියත් කර තිබේ.

ලෝකයේ සෞඛ්‍ය ගැන අවධානයෙන් සිටිනවා යැයි කියන, ලෝක ජනතාවගේ බදු මුදල් වලින් විය හියදම් පියවා ගන්නා, ලෝක සෞඛ්‍ය සංවිධානය ජනවාරි 30 වැනිදා තෙක්ම මේ ගැන කිසිත් නිල ප්‍රකාශයක් නිකුත් කරන්නට පියවරක් ගත්තේ නැත.

අද වෙද්දී, චීනයේ කොරෝනා වෛරසයෙන් පෙළෙන රෝගීන් සංඛ්‍යාව 81,171 ක් ද, මිය ගිය සංඛ්‍යාව 3,277 ක් ද වේයැයි worldometers.info අඩවිය සඳහන් කරයි.

චීනයේ මිය ගිය සංඛ්‍යාවෙන් 50% කට වැඩි පිරිස වයස 70ට වැඩියෙන් වයස්ගත වූ අය හැටියට බෲකින්ස් ඉන්ස්ටිටියුට් වාර්තා කරයි. එම වාර්තාවටම අනුව කොරෝනා නැතිව, සාමාන්‍යයෙන් චීනයේ මේ වසර තුල දී මිය යා හැකි සංඛ්‍යාව කියා අපේක්ෂා වෙනුයේ මිලියන 10.5 කි. ඒ අනුව කොරෝනා වෛරසය නිසා මිය ගිය සංඛ්‍යාව මේ වෙද්දී 0.03 කට අඩුයි. පෙබරවාරි සහ මාර්තු මාස දිහා බලද්දී, කොරෝනා නිසා මිය ගිය සංඛ්‍යාව චීනයේ වැඩියෙන්ම සිටි කාලය තුල දී ද, එය එහි මරණ හේතූන් අතර සිටියේ 49 වැනි ස්ථානයේය.

මෙම තොරතුරු ගැන සිහිනුවණින් කල්පනා කරන්නෙකුට ඒ Li Wenliang වෛද්‍යවරයාට සෝෂල් මීඩියා හරහා ජනතාව දැනුවත් කිරීමට ඉඩ දුන්නා නම්, චීන රජයේ මාධ්‍ය හරහා ඔහු බොරුකාරයෙක් යැයි නොකියා සිටියා නම්, වෛරසයක් අලුත් මුහුණුවරකින් පැමිණ ඇතැයි කියා ජනතාව තම තමන් විසින් ආරක්ෂා වෙන පියවර ගනු ඇත. විශේෂයෙන්ම ඔහු මුහුදු මාළු තොග වෙළඳපොල ආශ්‍රිතව වෛරසය හටගත් බව ගැන කළ සඳහන අහන්නට ලැබෙද්දී භෝජන සංග්‍රහයට සහභාගී වූ පවුල් 40,000 ඒ සම්බන්ධයෙන් සිහිනුවණින් කටයුතු කරනු ඇත.

වූහාන් ජනතාවට පහසුවෙන් සොයාගත හැකි දැනුම වූයේ චීන රජය නිකුත් කළ නිවේදනය වූ Li Wenliang වෛද්‍යවරයා බොරු බිය පැතිරවූවා යන්නයි. වූහාන් ජනතාවට සොයා ගැනීමට අපහසු දැනුම වූයේ එය අලුත් මුහුණුවරකින් ආ වෛරසයක් බවත්, එය මුහුදු මාළු තොග වෙළඳපොල ආශ්‍රිතව හටගත් බවත්ය. චීන රජය විසින් ඒ ගැන ‘සුපවයිසර්ලාට’ දැනුම් දුන් Zhang Jixian වෛද්‍යවරියට සම්මානයක් පිරිනැමීය. චීන රජය විසින් Li Wenliang සිද්ධිය එරට ජනතාවට තව දුරටත් සොයාගත නොහැකිවන පරිදි සියළු චීන මාධ්‍ය වලින් ඉවත්කර ඇත.

චීන ජනතාව රජය තමන්ට බොරු කියනවා යැයි දනිති. ඒත් සියවසකට ආසන්න කාලයක් පුරා, ඒ ගැන කිසිත් කරකියාගත නොහැකි වූ තත්වයක, ඔවුන් රටේ නීතියෙන් හිරවී සිටිති.

සාමූහිකත්වයේ බලයට සදා පෙම්කරන “ප්‍රයෝජනවත් මෝඩයින්” රාජ්‍ය බලය වැඩිකිරීම සඳහා මෙය කදිම අවස්ථාවක් කරගෙන ඇත. ඉතින්, පහසුවෙන් සොයාගත හැකි දැනුම මෙන්ම සොයා ගැනීමට අපහසු දැනුම මධ්‍යයේ, 2020 වසරේ ජීවත්වන මිනිසා, තම ‘සිහිනුවණින්’ නිවැරදි තීරණ ගත නොහැකිව අතරමංව සිටියි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: