අරුණි ශපීරෝ‍ වෙතින්

ප්‍රතිකාර සහ ප්‍රතිචාර

Posted in Uncategorized by arunishapiro on මාර්තු 26, 2020

ලෝකය පුරා නිවාස අඩස්සියේ සිටින අය ගෙන් දැන් කඩදොර සහ රැකියා ස්ථාන විවෘත කරන්න යැයි ඉල්ලීමක්, හෙමින් හෙමින් ඇහෙන්නට පටන් ගෙන. වෛරසය පැතිරයාම මර්ධනය කරන්නට හැකි එකම ක්‍රමය වනුයේ නිවාස අඩස්සිය නම්, ඒ නිසා ඇතිවන ආර්ථික අලාබ මෙන්ම එයින් ඇතිවන අනෙකුත් අයහපත් සෞඛ්‍ය තත්වයන් නිසා මරණ සංඛ්‍යාවේ ඉහළ යාමක් සිද්ධවිය හැකියාවත් ගැන කතාබහ පටන්ගෙන ඇති බව දකින්නට හැකියි.

ප්‍රතිකාර සහ ප්‍රතිචාර සම්බන්ධයෙන් මිනිසා සිතන්නට හුරුවෙන්නේ කෙසේදැයි (මිනිස් ස්වභාවය) ගැන ලියන සටහනකි මේ.

රෝගයක් සුවකරන්නට අනුගමනය කළ යුතු දෑ පිළියම් නැත්නම් ප්‍රතිකාර ලෙසින් දැක්වෙයි. බෙහෙත් මෙන්ම ඒවා ගන්නට පෙර ආහාරයක් අනුභව කළ යුතුද, ඒවා ගැනීමෙන් පසු රිය පැදවිය නොයුතුද යනාදී වශයෙන් ප්‍රතිකාරය සඳහා තවත් පිළිපැදිය යුතු උපදෙස් ලැබේ.

ප්‍රතිචාරයක් යනු කුමක්ද? යමකට ප්‍රතිචාරයක් (reaction) දැක්වීම යන්න අයෙක් වටහා ගන්නේ කුමක්ද?

මිනිස් සත්වයාට තමන් මුහුණ පාන නුහුරු සිද්ධියක් හමුවේ ඒ ගැන යම් පියවරක් ගන්නට සිද්ධ වෙයි. එය සතුටුදායක සිද්ධියක් හෝ ඛේදනීය සිද්ධියක් විය හැකියි. ඒ දෙකේදීම අවශ්‍ය නිසියාකාර ප්‍රතිචාරයක් දැක්වීමයි. සිද්ධිය සහ ඉන් ඇතිවන ඵලවිපාක ගැන ඉක්මණින් සොයා බලා, එයින් ලබාගත හැකි අවසන් ඉලක්කය කුමක්දැයි තීරණය කරගත යුතුයි. අනතුරුව ඒ ඉලක්කය කරා යන්නට හොඳම ක්‍රමය කුමක්දැයි ගණනය කරයි.

පාසැලේ තැන් තැන්වල කට්ටි පනිමින් සිටියදී ගුරුවරුන්ට අසුවෙන්නට යන කළ, ඔවුන්ට පෙනී සිට ගැලවෙන්නටත්, ඔවුන්ට නොපෙනෙන සේ මාරුවී යන්නටත් දක්වන ප්‍රතිචාරය මේ ආකාරයෙන්, වහාම තෝරා ගැනීමේ කල්පනා ශක්තිය සහ හැකියාව ඔබට තිබුණා නොවේදැයි කල්පනා කර බලන්න. ඒ ප්‍රතිචාරය ගැනීමට, කළින් අවස්ථා හා ඒ නිසා ලැබුණු ඵලවිපාක හේතු වූවා නේදැයි කියාත් සිහි කරන්න.

මත්පැන් පානයෙන් වැළකීමෙන් මේ මේ රෝගාබාධ වලින් ආරක්ෂා විය හැකි යැයි ගැන දැනුම ලොව තිබුණත්, අනාගතයේ විය හැකි තත්වය නොසලකා හැර අද සතුට පිණිස මත්පැන් සහ සිගරට් පානය තෝරාගන්නා අය ලොව සිටිති.

තෝරාගැනීම් පැහැදිලි කරන්නට ඇරිස්ටෝටල් යොදාගත් වචනයක් වූයේ prohairesis යන්නයි. බොහෝවිට එය ඉංග්‍රීසියෙන් පරිවර්තනය වෙන්නේ “choice” කියායි. pro යන්නෙන් කළින් (before) නැත්නම් පක්ෂපාතීව (in favor of) යන්නත්, hairesis යන්නෙන් ගන්න, නැත්නම් අල්ලාගන්න, හෙවත් තෝරාගන්න (choose) යැයි කියැවේ. ඉතින්, prohairesis යනු පුද්ගලයෙකුට නිදහස් තෝරාගැනීම් අතරින් සිහිනුවණින් කල්පනා කර යම් ක්‍රියාවක නියැළෙන්නට හැකියාවයි.

මුහුණ දෙන සිද්ධීන් ගැන තෝරාගැනීම් නොකර සිටීමට කිසිවෙකුට නොහැකියි. කුමන සමාජයීය පසුබිමක, කුමන දේශපාලන ක්‍රමයක ජීවත් වුවත්, පුද්ගලයා තමන් හමුවේ දිගහැරෙන සිද්ධියේ දී තමන් විසින් තෝරාගැනීමක් කළ යුතුයි.

තමන් කරන තෝරාගැනීම සඳහා පුද්ගලයා තොරතුරු ලබාගන්නේ කොතැනින්ද?

යල්පැන ගිය සහ ඔප්පු නොකරන ලද මතවාද තමන් පිළිපැදිය යුතු සත්‍යය ලෙසින් බාරගෙන තම ‘තෝරාගැනීම’ කරන්නේද, ඒ පුද්ගලයාගේ ජීවිතයට සහ ඒ නිසා ඔහු ජීවත්වන සමාජයට එයින් යහපතක් සිද්ධ නොවේ.

පැතිර පවතින තොරතුරු අතරින් සත්‍යය කුමක්ද යැයි කියා තෝරාගන්නට, එනම් එයට පක්ෂපාතීව එය අල්ලාගන්නට (prohairesis), මිනිසා තුල ස්වභාවයෙන්ම පවතින හැකියාවක් ඇත. අසත්‍ය මතවාද වැඩියෙන් පැතිර පවතින පරිසරයේ දී මිනිසා එයට දැඩි වෙහෙසක් ගත යුතුවේ.

සැබෑ තතු වසන් කරමින් නීති ක්‍රියාත්මක වෙන ප්‍රදේශයකින් හටගෙන පැතිර යන අවාසනාවන්ත තත්වයක් මැඬලීම දුෂ්කර වූවකි.

එසේම සියල්ලන්ගේම සිත් සැනසීම පිණිස ඕනෑවට වඩා වැඩියෙන් ප්‍රතිචාර දක්වන නීති ක්‍රියාත්මක කිරීමෙන්ද ඇතිවෙන්නේ අවසානාවන්ත තත්වයකි. ඇමෙරිකාවේ දේශපාලනඥයන් තමන් යමක් කළා යැයි පෙන්වන්නට අනුන්ගේ සල්ලි නැවත බෙදාහරින ගිවිසුමකට අත්සන් කර අද ‘වීරයන්’ වී සිටිති.

සිහිනුවණින් කටයුතු කිරීමට මිනිසා නොදන්නේය යන්න සියල්ලන් සඳහා සැලසුම් ගෙනෙන්නට රිසිවූ අයගේ මතයයි.

ඒත්, අද කදිම ලෙසින් පෙනී යන්නේ සියල්ලන් සඳහා සැලසුම් වැඩිවූ වාතාවරණයක හැදෙන වැඩෙන මිනිසා තම හිතසුව පිණිස තීරණ ගැනීමේ හැකියාවක් නොදක්වන බවයි. උතුරු කොරියාව වෙඩිතබා මරන්නටත්, රුසියාව වසර පහක් සිර දඬුවමක් නියම කරන්නේ නිදහස් රටවල මිනිස්සු රජය කියන්නටත් පෙර ගෙවල්වලට වැදී දොරවල් වසාගනිද්දීය.

දැඩි නීති වැඩියෙන් දකින්නට ලැබෙන්නේ සාමූහිකත්වයේ බලය ගැන ප්‍රශංසා කරන බහුතර රටවැසියන් සහ ඒ සඳහා පෙනී සිටින පාලකයන් බලයේ සිටින රටවල්වලින් වීම අරුමයක් නොවේ.

සැබෑ තතු සැඟවීමත් එමෙන්ම ඕනෑවට වඩා වැඩියෙන් ප්‍රතිචාර දැක්වීමත් දෙකම නුසුදුසු වෙන්නේ ඇයි?

තත්වයට හටගෙන එතැනින් ලෝකය පුරා පැතිර ගිය ආකාරය අද උවමනාවක් ඇති අයෙකුට පහසුවෙන් සොයාගැනීමට හැකියි. ඒත්, එයින් තමන්ට පෞද්ගලිකව සිද්ධ වෙන හදිය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම තවමත් අපහසුයි.

යම් සිද්ධීන් දිග හැරෙද්දී ඒ ගැන “යමක් නොකිරීමත්”, මෙන්ම “උවමනාවට වැඩියෙන් යමක් කිරීමත්” යන දෙකේම ඵලවිපාක ගැන අයෙක් සිහිනුවණින් බලන්නේ කෙසේද?

වෛරසය වැළඳීම ගැන බියවෙන පුද්ගලයා ඒ ගමන්ම මේ තත්වය නිසා තමන්ගේ ජීවිතය උඩ යටිකුරු වී තිබීම ගැනත් බියව සිටියි.

දන්නා කියන හැමෝම මේ දිනවල වසංගත පාලනය විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි ගත්තවුන් මෙන් හැසිරීම, (ඒවා සැබැවින්ම විශ්වාස කරන අය අඩු නිසා), මෙහි දී අපි බැහැරකට දමමු. ඒත්, රටේ දේශපාලනඥයන්, වෛද්‍යවරුන්, මහාචාර්යවරු, පමණක් නොව මහජන සෞඛ්‍ය නිලධාරීන් විසින් ද, විවිධ අදහස්, ප්‍රතිවිරුද්ධ අදහස් සහ ‘මෝඩ තකතීරු’ නිර්දේශ ගෙන ඒම නිසා ඒ ගැන තම සිහිනුවණ අනුව තීරණයක් ගන්න කැමති පුද්ගලයා තව දුරටත් පඹ ගාලක පැටලේ.

ඉහළින් එන නිවේදන සහ තමන් අවට අනිකුත් අයගේ හැසිරීම් අනුව ජීවිතයේ මුහුණ දෙන සිද්ධියකට ප්‍රතිචාර දක්වන්නට මිනිසා හුරුවී සිටියි. නමුත් මිනිසා හැම විටෙකම ඒ ප්‍රතිචාර දක්වන්නේ තමන්ගේ සුවසෙත වෙනුවෙනි.

සියල්ලන්ට එක නීතිය පවතින රටක බහුතරය පෝලිම් නොකඩා ඉන්න හැදියාවත්, නීතිය විවිධ ලෙසින් ක්‍රියාත්මක වන රටවල්වල බහුතරය පෝලිම් කඩාගෙන යන හැදියාවත් මිනිසා ස්වාර්ථය වෙනුවෙන් අනිකුත් අයගේ හැසිරීම් අනුව යමින් දක්වන ප්‍රතිචාරයයි.

අපි දන්නවාට වැඩියෙන් යමක් අපි දන්නවා යැයි සිතාගෙන සිටීම මිනිස් හැදියාවකි. එලෙස සිටියදී හිටිහැටියේ ඇතිවූ නොදන්නා තත්වයක් හමුවේ කටයුතු කරන්නේ කෙසේදැයි කියා මිනිසාට සිතාගත නොහැකියි. ඒ තත්වය තවත් බරපතල වනුයේ අපිට සිහිනුවණින් කටයුතු කිරීමට ඉඩක් නොලැබී යද්දී ය. එක්කෝ ඒ ගැන ඊට කළින් අත්දැකීම් නැත. නැත්නම් ප්‍රමාණවත් තොරතුරු නැත. තමන්ගේ රජය නිතරම බොරු කියනවාය යන්න 2020 වසරේ ජීවත්වන සෑම පුරවැසියෙක්ම යම් තරමකට හෝ විශ්වාස කරයි.

නුහුරු තත්වයක් පැන නැඟී ඇති විට, “පමණට වඩා වැඩියෙන් ප්‍රතිචාර දැක්වීම, පමණට වඩා අඩුවෙන් ප්‍රතිචාර දැක්වීමට වැඩියෙන් සුදුසු” යැයි අහන්නට ලැබේ. පමණට වඩා වැඩියෙන් ප්‍රතිචාර දැක්වීම හොඳ යැයි කීම මතුපිටින් නිවැරදි යැයි පෙනෙන්නකි. අඩුවෙන් ප්‍රතිචාර දැක්වීම නිසා, හදිසි අවස්ථාවක දී සිද්ධ වෙන අවසන් ප්‍රතිඵලය මරණය වේ නම්, එම ඛේදනීය තත්වය එයින් මඟ හරවා ගත හැකියාව ලැබේ යැයි එයින් හැඟවේ. අඩුවෙන් ප්‍රතිචාර දැක්වීම නිසා ඇතිවන තත්වය ගැන දැනගත හැකියාවක් අපිට නොලැබෙන නිසා, “පමණට වඩා වැඩියෙන් ප්‍රතිචාර දැක්වීම සුදුසුයි” කියන අය වැරදි යැයි කියා පෙන්වන්නට ඉඩක් ලැබෙන්නේම නැත.

දේශපාලන බලතණ්හාධිකයන් විසින් හටගෙන තිබෙන තත්වය ගැන ජනතාව දැනුවත් කර ඔවුන් විසින් ඔවුන්ගේ සෞඛ්‍යය රැකගන්නට සිහිනුවණින් කටයුතු කරන්න යැයි දැනුම් දීම වෙනුවට අද දිග හැරෙන්නේ හැමදාම ඔවුන් යත්න දැරූ සියල්ලන්ටම නීති හදන්නට හැකි ඒත් විවිධ අයට විවිධ ලෙසින් නීති මෙහෙයවන වෑයම් සඳහා කදිම අවස්ථාවක් පෑදී තිබීමයි.

පුද්ගලයෙක් විසින් තමන්ට ගන්නා තීරණයක දී, පමණට වඩා වැඩියෙන් ප්‍රතිචාර දැක්වූයේ නම් එහි දී ඇතිවෙන ඵලවිපාකය ඔහු සහ ඔහුගේ සමීපතයන්ට පමණක් බලපායි. එක් පුද්ගලයෙක් ගත් තීරණයක්, සමස්ත සමාජයකට බලපාන්නේ ඉතා අඩු ප්‍රමාණයකිනි.

ඒත් එක් පුද්ගලයෙක් ආණ්ඩුවේ බලය සියතට ගෙන ප්‍රතිචාර දක්වන්නේ නම් එහි දී සමස්ත සමාජයට දැඩි බලපෑමක් කළ හැකියි. ‘සාමූහික බලය’ යැයි අයෙක් රවටන බලය හැම විටම සියල්ලන්ගේ බලය නොව ‘එක පුද්ගලයෙක්’ නැත්නම් ‘පුද්ගලයන් කිහිපදෙනෙක්’ අත පවතින බලයයි. ඉතින් ඒ එක පුද්ගලයා හෝ පුද්ගලයන් කිහිපදෙනා විසින්, නොහොත් ආණ්ඩුවක් විසින් පමණට වඩා වැඩියෙන් ප්‍රතිචාර දැක්වීමේ දී එයින් එම සමාජයේ සියල්ලන්ටම ඵලවිපාක විඳින්නට සිද්ධ වේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: