අරුණි ශපීරෝ‍ වෙතින්

ශතකයට වරක් දකින සාක්ෂි පිළිබඳ බොරුවක්ද විය හැකියි

Posted in Uncategorized by arunishapiro on මාර්තු 27, 2020

මෙතෙක් කලක් ලොව නොවූ විරූ පෙර සූදානමක් ඇති සමයක අප ජීවත්වෙන්නෙමු. ඒත් බියෙන් තැති ගන්වන තොරතුරු ඉතා සීඝ්‍රයෙන් පැතිර යැවීමේ මිනිස් ස්වභාවය හේතුවෙන් සැබෑ තතු සොයා ගැනීම නිති අසීරු වූවකි.

ජනතාවත් ඔවුන්ගේ පාලකයන්වත් බියෙන් තැති ගන්වන වාර්තාවක් ඉදිරිපත් කළේ බ්‍රිතාන්‍යයේ ඉම්පීරියල් කොලෙජ් හි මහාචාර්ය නීල් ෆර්ගසන් විසිනි. ඔහු බෝවෙන රෝග පාලනය පිළිබඳ දත්ත විශ්ලේෂණයේ යෙදෙන විශේෂඥයෙකි.

මේ වෛරසය නිසා ඇමෙරිකාවේ මිලියන 2.2 ක සංඛ්‍යාවක් මිය යන බවත්, බ්‍රිතාන්‍යයේ ලක්ෂ පහක් මිය යනු ඇතැයි ඔහු ප්‍රමුඛත්වයෙන් ගෙනෙන ලද වාර්තාවෙන් කියැවිණ. ඒ අනුව තම තම රටවල් වෙනුවෙන් සැලසුම් ක්‍රියාත්මක කළ යුතු යැයි කියමින් ‘ඉම්පීරියල් කොලෙජ් ලන්ඩන් කොරෝනා වෛරස් මොඩල්’ නම් වාර්තාව බොහෝ බලතණ්හාධිකයන් පතුරුවා හැරියහ.

ඇමෙරිකාවේ නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත ද එම දත්ත ප්‍රකාශනය කළහ. ඇමෙරිකන් රජයේ කොරෝනා වෛරසයට ප්‍රතිචාර දක්වන නිල කණ්ඩායමේ සම්බන්ධීකරණ නිලධාරිනිය වන වෛද්‍ය ඩෙබොරා බ්‍රික්ස් ද ෆර්ගසන් වාර්තාවේ විය හැකි මරණ සංඛ්‍යාවන් ගැන සඳහන් කළාය.

ඒ අනුව රාජ්‍ය බලය වැඩි කරගන්නා පියවර ගෙනන ලදි. බ්‍රිතාන්‍ය රජය විසින්, තමන්ගේ ජීවිතය බේරාගන්නට නම් එංගලන්තයේ මිනිසුන්ට ගෙදරට වී ඉන්න යැයි දැඩි නීති පැනවූහ. ගම්බද පළාත්වල එකම ගෙයි වාසය කරන අය පවා නිවාස අඩස්සි නීති නොතකා, (පැත්ත පළාතක කිසිවෙක් පෙනෙන්නට නැති වැලි පාරවල්වල) එකට ළංවී යනවාදැයි බලන්නට පොලීසිය විසින් ඩ්‍රෝන් යවන්නට ද පටන් ගෙන ඇතැයි ස්කයි ප්‍රවෘත්ති සේවය වාර්තා කළහ. ඒ නීති කඩකරන අයගෙන් රජයට දඩ එකතු කළ හැකියි.

ඒත් එංගලන්තය ලොක්ඩවුන් වී දවසක් යද්දී, මිය යන සංඛ්‍යාව කළින් කියූ අනාවැකියට වැඩියෙන් විසිපස් ගුණයකින් අඩු වේයැයි දැන් මහාචාර්යවරයා කියා සිටියි. එනම්, ඔහු මුලින් කියා සිටියේ ලක්ෂ 5 ක පිරිසක් මිය යා හැකි බවත්, දැන් යළිත් දත්ත විමසා බලා කියන්නේ, විසිදාහක් පමණ මිය යා හැකි බවයි. නමුත් ඒ ප්‍රවෘත්තිය කළින් වාර්තාව තරම් ප්‍රථුල ලෙසින් පැතිර ගියේ නැත.

රජය විසින් ගෙනන ලද හදිසි නීති සහ නිවාස අඩස්සිය බ්‍රිතාන්‍යයේ පටන් ගෙන දවසක් ගෙවී යද්දී, ඔහු මුලින් ඉදිරිපත් කළ දත්ත සහ ගෙනෙන ලද නිර්දේශ අනුව වෛරසය පැතිර යාම වළක්වමින් මිය යන සංඛ්‍යාව අඩුවෙන්නට නොහැකියි. එය සිද්ධ වෙන්නට තිබුනේ තව සති දෙක තුනක් එසේ වසා දැමීමෙන් පසුවයි.

ඔහුගේ වාර්තාව පිටවූ පසු එම මොඩලය ගණන් හදා ඇත්තේ අවශ්‍ය තොරතුරු සියල්ල පිරික්සා බැලීමෙන් නොවේ යැයි මුලින්ම චෝදනා කළේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ බෝවෙන රෝග පාලනය පිළිබඳ විශේෂඥවරියක් වූ සුනේත්‍රා ගුප්තා විසිනි. ඇය ඒ වන විටත් බ්‍රිතාන්‍යයෙන් බාගයකට පමණ එය වැළඳී ඇතැයි කියා සිටියාය. ඇයගේ වාර්තාව ඔක්ස්ෆර්ඩ් මොඩල් නමින් හැඳින්විණ. මහාචාර්ය නීල් ෆර්ගසන් ඔවුන්ගේ වාර්තාව වෙනස් කළේ ඉන් පසුවයි.

මෙය ලියද්දී worldometers.info අනුව සමස්ත ලෝකයේම මේ වෛරසයෙන් පෙළෙනවා යැයි හඳුනාගත් පිරිස 549,576 කි. එයින් මිය ගිය මුළු සංඛ්‍යාව 24,887 කි. 128,701 ක පිරිසක් රෝගයෙන් සුවවී සිටිති. ඒ හඳුනාගෙන ඇති සංඛ්‍යාවන් වෙති. රෝගය වැළඳී සුවවී, කිසිත් ලෙසකින් හඳුනාගැනීමට ලක් නොවූ සංඛ්‍යාව ගැන දැනගන්නට කිසිත් ක්‍රමයක් නැත.

worldometers අනුව මේ වසරේ දී පමණක් ලෝකයේම seasonal flu වලින් මිය ගිය මුළු සංඛ්‍යාව 114,946 කි.

ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ බෝවෙන රෝග ගැන විශ්ලේෂණයේ යෙදෙන, මහාචාර්ය වෛද්‍යවරයෙක් මෙන්ම බෝවෙන රෝග පාලනය සහ ජනගහණ සෞඛ්‍යය ගැන මහාචාර්යවරයෙක්ද වන John P. A. Ioannidis විසින් STAT සඟරාවට මාර්තු 17 වැනිදා ලියූ ලිපියකින් කියා සිටියේ විශ්වාස කළ නොහැකි දත්ත ආශ්‍රයෙන් සැලසුම් හදන බවයි. ඔහුගේ වචනයෙන් කිව්වොත්, “The current coronavirus disease, Covid-19, has been called a once-in-a-century pandemic. But it may also be a once-in-a-century evidence fiasco.” අද පවතින කොරෝනා වෛරස් රෝගය, කොවිඩ්-19, ශතකයට වරක් දකින උග්‍ර වසංගතයක් යැයි හඳුන්වා ඇත. ඒත් එය ශතකයට වරක් දකින සාක්ෂි පිළිබඳ බොරුවක්ද වියහැකියි.

රෝගය වැළඳෙන සංඛ්‍යාව දිහා නොව එයින් මිය යන සංඛ්‍යාව සමඟ සසඳා දිහා බලන්න යැයි කීමෙන් දැන් ඵලක් සිද්ධ නොවේ. හානිය සිද්ධ වී හමාරයි. දියුණු රටවල් මෙයින් ගැලවෙන ලෙහෙසියෙන් හැමදාම දියුණුවෙමින් පවතින රටවල් ගැලවෙන්නේ නැත. කොමියුනිස්ට් සියවසක් ඉක්මවීමෙන් පසු සමස්ත ලෝකයේම දුප්පතුන් අඩුවී ගිය කාලයක සිටි ලෝකයේ, මේ කොරෝනා දත්ත දිහා විපරම්කාරීව බලන්නට සාමාන්‍ය මිනිසාට අවස්ථාවක් නොලැබුණ නිසා, මෙය ඉදිරි සියවසේ දී දුප්පතුන්ට මුහුණ දෙන්නට සිද්ධ වෙන අවාසනාවන්තම කාලයයි. මන්ද, ලෝකයේ දුප්පතුන් දැඩි සේ අසරණ වනුයේ බෝවෙන රෝගය නිසා නොව පනවන ලද අයහපත් නීති නිසා වීමයි.

අද ජීවත්වන මනුෂ්‍යයා මෙයට පෙර ලොව කිසිදිනෙක නොවූ විරූ පෙර සූදානමකින් මේ වෛරසයට මුහුණ දෙයි.

තාක්ෂණික පැත්තෙන් අපූරු සූදානමක් පැවති බව තහවුරු වෙන සාධක ලෝකයේ හැම පැත්තකින්ම පාහේ දැනගනන්ට ලැබේ.

අවශ්‍ය පහසුකම් ලැබී නැතැයි පොළවේ හැපී වැළපෙන කුඩා දරුවෙක් මෙන් හැසිරෙන දේශපාලනඥයන් ඇමෙරිකාවේ පවා සිටියද, සිහිනුවණින් කල්පනා කරන්නෙකුට වර්තමානය මෙවැන්නකට කොතරම් සූදානමකින් සිටියාදැයි පහදාගන්නට වැඩි වෑයමක් ගන්නට අවශ්‍ය නොවේ.

වෛරසය ගැන මුලින්ම අවදානමක් දන්වන ලද්දේ Artificial Intelligence භාවිතයෙන් බෝවෙන රෝග ගැන විපරමින් සිටින පද්ධතියකි. දෙසැම්බර් 31 වැනිදා BlueDot නමැති AI තාක්ෂණයෙන් දිවෙන බෝවෙන රෝග ගැන අවධානයෙන් සිටින පද්ධතිය ඒ ගැන සිය පාරිභෝගිකයන් දැනුවත් කරන ලදි. විදේශ භාෂා වලින් එන ප්‍රවෘත්ති සහ නිල නිවේදන නිති පිරික්සා බලන්නට සකස්කර ඇති එය වූහාන් වැනි ප්‍රදේශ වලින් අයින් වී සිටින්න යැයි සිය පාරිභෝගිකයන්ට දන්වා තිබිණ. එහි නිර්මාතෘ සහ CEO වන කම්රාන් ඛාන් කියන්නේ ඔවුන් සෝෂල් මීඩියා සඳහන් සිය ගණනයට යොදා නොගනිති. ඒත් ගුවන්ගමන් ටිකට්පත් වැනි දත්ත යොදාගෙන වූහාන් වලින් බැන්කොක් වෙතත්, එයින් සෝල්, තයිපේ, සහ ටෝකියෝ දක්වා එය මුලින්ම පැතිර යන බවට අනාවැකි කියන්නට සමත් විය.

ටොරොන්ටෝ හි බෝවෙන රෝග විශේෂඥයෙන් ලෙසින් සේවය කළ ඛාන්, 2003 දී SARS වසංගතය කාලයේ එය පැතිර යාම ගැන ඊට වඩා හොඳින් කළ හැක්කේ කෙසේදැයි සොයන්නට වෙහෙසුණි. එම වෛරසය චීනයෙන් පටන් ගෙන හොංකොං වෙත පැතිර ගොස් අවසානයේ ටොරොන්ටෝ වෙත පැමිණ එහි වැසියන් 44 ක් මරුමුවට පත් කළේය.

2014 දී සිය BlueDot ව්‍යාපාරය අරඹන්නට, ඔහු ඇමෙරිකන් ඩොලර් මිලියන 9.4 ක අලුත් ව්‍යාපාර ප්‍රාග්ධන මූලධනයක් සොයාගන්නට සමත්විය.

ඔවුන්ගේ කොම්පැණියේ අද 40 දෙනෙක් සේවය කරති. වෛද්‍යවරුන් සේ ම, ප්‍රෝගෑමර්ස්ලා ද, භාෂා 65 කින් පමණ එන ප්‍රවෘත්ති වාර්තා machine learning techniques යොදා තෝරාබේරා ගැනීමත්, එසේම ගුවන්ගමන් දත්ත, සත්ව රෝග පැතිර යාම් ගැන නිති පිරික්සීමේ විශ්ලේෂණ ප්‍රෝගෑම් වර්ධනයේ යෙදෙති.

තාක්ෂණයෙන් එකතු කරන දත්ත අනතුරුව මිනිසා විසින් කරන විශ්ලේෂණයට බඳුන් කරනු ලබයි. බෝවෙන රෝග ගැන හදාරන විශේෂඥයන් ඒ නිගමන වලින් විද්‍යාත්මක නිගමනයක් කරනු ලබයි. අනතුරුව ඒවා ආණ්ඩුවලට, ව්‍යාපාර වලට සහ මහජන සෞඛ්‍ය පාරිභෝගිකයන්ට යවනු ලබයි.

මේ වාර්තා ඇමෙරිකාව, කැනඩාව ඇතුළු රටවල් 12 කටත්, ගුවන්ගමන් ආයතන වලටත්, ඒ බෝවෙන රෝග වැළඳුන ජනතාව යන්නට නියමිත රෝහල් වෙතත් යවනු ලැබේ.

BlueDot සිය දත්ත මහජනතාවට නිකුත් කරන්නේ නැත. ඒත් ඒ ගැන පියවර ගනිමින් සිටින බව ඛාන් කියයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: