අරුණි ශපීරෝ‍ වෙතින්

ජර්මනිය බලා ගිය මාස්ක් සහ ජර්මනියෙන් පිට නොයන මාස්ක්

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 5, 2020

විපත්තියක් මෙන්ම අසාධාරණයක් ගැන ඇහෙන පළමු ආරංචිය, විශේෂයෙන්ම එයින් ඇමෙරිකාවට අපකීර්තිය ලැබෙන්නක් නම්, සැබෑ තොරතුරු සොයා නොබලන “ප්‍රයෝජනවත් මෝඩයන්” හරහා මහත් ඉක්මණින් පැතිර යයි.

ස්ව උත්සාහයෙන් සැබෑ තොරතුරු සොයා ගන්නා අය සිටිති. ඒත් ඒවා බෙදාගන්නේ එහෙමත් කෙනෙකි. ඊට හේතු දෙකකි. පළමුවැන්න, මං මොකටද අනුන්ගේ හරි වැරදි හදන්න ගිහින් ඕන නැති කතා අහගන්නේ කියා පැත්තකට වීමයි. පොදු මතයට පටහැනිව ලියන අයට අපූරු සිංහල වදන් අහන්නට ලැබෙන බව මම පෞද්ගලිකවම දනිමි. දෙවැන්න, තම ආදායම් අඩුවීමට හෝ වේතන ලැබෙන තනතුරෙන් ඉවත් කිරීමකටද එය බලපාන නිසයි.

ජර්මනිය බලා යන මුඛ ආවරණ තොගයක් තායිලන්ත ගුවන්තොටුපළේ දී ඇමෙරිකාව විසින් රාජසන්තක කරගන්නා ලදැයි කතාව ලුණු ඇඹුල් ඇතිව රස කරමින් බෙදා ගැනීම මහ ජයටම සිද්ධ විය.

ඒත් 3M කොම්පැණිය දන්වන්නේ බර්ලින් නගරය වෙත යමින් පැවතියදී මුඛ ආවරණ තොගයක් තායිලන්තයේ දී නැවත්වීමක් සිද්ධ වූයේ නැතැයි කියායි. බර්ලින් යන මුඛ ආවරණ තොගයක් ගැන ඔවුන්ට කිසිත්ම ලියකියැවිලි නැති බව ඔවුන් කියා සිටිති.

දේශපාලනඥයන් අතේ පැලෙන බොරු කියන බව අපි දනිමු. මේ “අසාධාරණය” ගැන බර්ලිනයේ පළාත් අභ්‍යන්තර කටයුතු ඇමතිවරයා, Andreas Geisel විසින් “වයිල්ඩ් වෙස්ට්” විදියට හැසිරෙන ඇමෙරිකාව “නූතන මුහුදු කොල්ලකාරයෙක් ”යැයි අවලාද කියනු ලැබීය. ඒත් 3M විසින් බර්ලිනයට යැවූ ඕඩරයක් තිබුනේ නැතැයි කියූ පසුව, (මෙතැනින් සහ මෙතැනින් ඉංග්‍රීසියෙන් කියවත හැකියි) අප්‍රේල් 3 වැනි සිකුරාදා වෙද්දී ඒ ගැන මතයක් දක්වන්නට බර්ලින් අධිකාරියෙක් ඉදිරියට ආවේ නැත.

ඒ මුල් ප්‍රවෘත්තිය ලංකාවේ අය බහුතරය බෙදාගන්නේ ඉරිදා වෙද්දීය.

ඒත්, 3M ප්‍රකාශය හෝ පසුව එන ජර්මන් නිල ප්‍රකාශයක් වේ නම් එය කුමන ආකාරයෙන් “ප්‍රයෝජනවත් මෝඩයන්” අතින් බෙදා ගැනෙනුයේදැයි මම බලා සිටිමි.

දේශපාලනඥයන් අතේ පැලෙන බොරු කිව්වත්, පෞද්ගලික ව්‍යාපාරයන්හි නියැළෙන සමාගම් වලට එසේ බොරු කියා ගැලවෙන්නට නොහැක. හේතු ගණනාවකි. ඉන් ප්‍රධාන වූව නම් කොටස් වෙළඳපොලේ කොම්පැණි කොටස් විකිණෙන සමාගමක් කියන ඕනෑම ලොකු කුඩා බොරුවක් නිසා ඔවුන් දැඩි දඩ සහ හිරබත් කන්නටත් මුහුණ දීමට සිද්ධ වීමයි. ඔවුන් බොරු කියන්නේ නම් ඔවුන්ගේ ව්‍යාපාරයේ කොටස්, කොටස් වෙළඳපොලේ දී කිසිවෙක් මිල දී නොගැනීම සිද්ධ වේ. බර්නි මෑඩෝෆ්ලා, එන්රෝන්, සහ ටයිකෝ ඉන්ටර්නැෂනල් වැනි ව්‍යාපාරික ප්‍රෝඩා දකින්නට නොලැබෙනවා යැයි මෙහි දී නොකියන බව වටහා ගන්න. ඒත් 1902 දී පටන් පැවත එන, පාරිභෝගික ප්‍රසාදය වෙනුවෙන් විශිෂ්ට ලකුණු ලබාගත් ව්‍යාපාරයක්, බොරු කියාවි යැයි විශ්වාස කිරීමට ඉතා අසීරුයි.

අසල්වැසි රටවල් වූ ස්විට්ස්සර්ලන්තය සහ ඔස්ට්‍රියාව විසින් ජර්මනියට චෝදනා කළ බව මාර්තු 9 වැනිදා ප්‍රවෘත්තියකින් දැනගන්නට ලැබුණි. මුඛ ආවරණ 240,000 ක් රැගත් ස්විස් ට්‍රක් රථයක් රට මායිමේ නැවැත්වූවා යැයි ද, එය නිදහස් කරන්න යැයි ද ස්විට්ස්සර්ලන්තයේ ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම්වරයා ඉල්ලා සිටියේය. එසේම ඔස්ට්‍රියාව සඳහා වූ නිෂ්පාදන, ඒ තොග ජර්මනියේ පවතින බැවින් පමණක්, ඔවුනට එවන්නේ නැතැයි කියා ඔස්ට්‍රියන් ආර්ථික ඇමතිවරිය, Margarete Schramboeck වියානාවේ දී කියා ඇත. මෙතැනින් ඉංග්‍රීසියෙන් කියවත හැකියි.

ඇමෙරිකන් නාවුක හමුදාවේ USS Theodore Roosevelt නැවේ පැතිර ගිය කෝවිඩ්-19 නිසා ඔවුන්ව නැවෙන් ඉවත් කරන්න යැයි නැවේ කමාන්ඩින් නිලධාරියා හැටියට කැප්ටන් බ්‍රෙට් ක්‍රොසීර් (Capt. Brett Crozier) කළ ඉල්ලීම මාධ්‍ය හරහා පැතිර ගිය බැවින් ඔහුව නාවුක හමුදාවෙන් අස් කරන ලද්දේය. පෞද්ගලික අංශයේ මෙන්ම රජයේ ද සැබෑ වැරදි ගැන විසිල් ගසන අය ගැන නිදහස අගයන අපිට නම් ඇත්තේ අතිශය ආදරයකි.

දේශපාලනඥයන් හරහා තමන්ගේ ආරක්ෂාව සැලසෙන ලෙසින් බලා සිටින මිනිසුන් අතරෙන්, අහිංසකයන්මයි හැමදාම තැලෙන්නේ, යැයි අපි කිව්වාට පිළිනොගන්නා අය ඒත් තවමත් බහුතරයයි.

වයිල්ඩ් නොවූ වයිල්ඩ් වෙස්ට්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: