අරුණි ශපීරෝ‍ වෙතින්

සිංහල පණ්ඩිතයන්ට අනුව ලංකාවේ අය වෙනස්

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 6, 2020

සිංහල ගැමි වහරේ පණ්ඩිතයන් ගණනාවකි. බක පණ්ඩිතයා, අති පණ්ඩිතයා, මෝල් පණ්ඩිතයා යනාදී වශයෙන් පණ්ඩිතයන් හැඳින්වෙන අපූරු නම් ඇත. උම්මග්ග ජාතකය, රජු පිනවීමට පොරකන පණ්ඩිතයන් ගැන නමින් සඳහන් කරයි.

“ලූලා නැති වලට කණයා පණ්ඩිතයා,” සහ “පණ්ඩිතයාට ඒදණ්ඩේ යන්නත් බැරිලු” වැනි ජනප්‍රවාදයේ එන වහර පණ්ඩිතයන් ගැන ගැමියන් සිතූ ආකාරය මනාවට පැහැදිලි කරයි.

වර්තමානයේ ෆේස්බුක් පණ්ඩිතයන් යන්න ද සිංහල බස් වහරට එකතු වී තිබේ. මේ අය බහුතරයකට අනුව, ලංකාවේ වාසය කරන අයට වෙනස් විදියකට යමක් ඉදිරිපත් කළ යුතුයි. ලංකාවේ ඉන්නේ වෙනස්ම වූ මිනිස් සත්වයෙක් යැයි තරයේ විශ්වාස කරන මේ පණ්ඩිතයන් එය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරති.

මිනිස් සත්වයාගේ හැදියාව සහ හුරුව ගැන, පිටරට සිට එන ලාංකිකයා ලංකාවේ දී හැසිරෙන හැටි ගැන, අලුත් හැදියාවක් හුරුවෙන්නට කොපමණ කාලයක් යනවාද ගැනත් ඔවුන් මහා පණ්ඩිත සංවාද ගෙන යති. උතුරු කොරියාවේ මිනිස් සත්වයාට එක විදියකටත්, රුසියාවේ මිනිස් සත්වයාට තව විදියකටත්, ලංකාවේ මිනිස් සත්වයාට වෙනත් විදියකටත් නීතිය ක්‍රියාත්මක කළ යුතු යැයි තරයේ විශ්වාස කරන මොවුන්, මිනිස් ස්වභාවය තඹ සතේකට ගණන් නොගෙන හදන ප්‍රතිපත්ති වෙනුවෙන් සදා පෙනී සිටිති.

බලය බෙදී පවතිනවාට ඒ පණ්ඩිතයන් අකැමතියි. තමන්ගේ දේශපාලන පක්ෂයට රට පාලන කරන බලය නොලැබුණා වුවත්, කවදා හෝ ඒ බලය අල්ලා ගැනීමට ලැබේවි යන චේතනාවෙන් සිටින නිසා, බලය බෙදාහැරීම යන සංකල්පය ඔවුන් ප්‍රතික්ෂේප කරති.

ජනතාවගේ හිත සුව පිණිස කටයුතු කරන හැකියාව රජයට ඇතැයි මෙවැනි පණ්ඩිතයන් තවමත් තරයේ විශ්වාස කරති.

ඒත්, ලෝකයේ නන් දෙසින් සාක්ෂි ඇතිව, සැබෑ මිනිස් ස්වභාවය හෙළි කරන්නේ සහ කළේ වෙනකකි.

මරණ බිය නිසා මිනිස් සත්වයා තමා වෙනුවෙන් ගත යුතු නිවැරදි තීරණ තෝරාගත්හ.

කෝවිඩ්-19 වලට ගොදුරු වෙන්නට කළින් හාමතෙන් මිය යාවි යන මරණ බියෙන් ක්‍රියා කළ අය දකින්නට ලැබිණ. එය නිවැරදි බියක් විය.

හැකියාව ඇති අයවළුන් බඩුභාණ්ඩ ගෙවල් වලටම ගෙන්නා ගන්නට ඉක්මණින් කටයුතු කළහ. ඔවුන්ගේ ඒ ක්‍රියා කලාපය නොවුනා නම්, කඩමණ්ඩියට යන්නටම සිද්ධ වූවන්ට මුහුණ පාන්නට තිබූ අවහිර මීට වඩා වැඩිවෙන්නට තිබිණ. සුද්දන් මෙන්ම ලංකාවේ අයත් එසේම කටයුතු කළහ.

පණ්ඩිතයන් අතින් නිති ගැරහෙන වෙළඳපොල යාන්ත්‍රණය, කිසිම “සදාදරණීය නායකයෙක්” හෝ “ජාතියේ පියෙක්” මූලික නොවී ආහාරපාන මිල දී ගන්නට කැමති පාරිභෝගිකයන් සොයා ගොස් ඔවුනට ඒවා සපයන්නට දවසින් දෙකෙන් ක්‍රමවේද ආරම්භ කළහ.

අත්‍යාවශ්‍ය නොවේ යැයි කියා රජය නියම නොකළා නම්, පොත්පත් ඇතුළු ඕනෑම වෙළඳපොල භාණ්ඩයක් ගෙදරටම සපයන ක්‍රමවේද වෙළඳපොල විසින් ඉක්මණින් පාදා ගනු ඇත. ඇමසොන් සේවා නිසා ඇමෙරිකාවේ අතිශයෙන් ජනප්‍රියව ඇති මෙය, මේ කාලයෙන් පසුව, අපූරු ක්‍රමවේද වලින් ලොව පුරා තවත් ජනප්‍රිය වෙනු ඇත.

ඒත් එය මෙයට ඉඩක් පෑදීමෙන් ලත් අත්දැකීම නිසා පාරිභෝගිකයා වෙනස් වීමක් නොවේ. තෝරාගැනීම් වල දී තමන්ගේ වාසිය මුල් කරගැනීමේ මිනිස් ස්වභාවය කිසිදු ලෙසකින් නොවෙනස් වීමයි.

මිනිස් ස්වභාවය යටපත් කරන්නට, ඒ නිසාම මිනිස් ස්වභාවය සමඟ ඕපපාතිකව ක්‍රියාකරන වෙළඳපොල යාන්ත්‍රණය මුළුමනින් අවහිර කරන්නට මොන පණ්ඩිත කතා කිව්වත් ඒ පණ්ඩිතයන්ට නොහැකියි.

රාජ්‍ය බලය බෙදී පවතින රටවල ජනතාව දැඩි ආර්ථික අවපාතයකට මුහුණ නොදෙනු ඇත. රාජ්‍ය බලය යොදා වැඩි තීරණ ගැනෙන රටක්, ආර්ථික වැටීමෙන් ගොඩ එන්නට ඔවුන් විසින් හැමදාම ගරහන රටවල සහාය ලබාගනු ඇත.

රාජ්‍ය බලය බෙදී පවතින රටවල ජනතාවගේ නිදහස කප්පාදු කරන නීති දැඩි සේ වැඩි නොවෙනු ඇත. ඒත් රාජ්‍ය බලය යොදා වැඩි තීරණ ගැනෙන රටක, ජනතාවගේ නිදහස මේ මුවාවෙන් තවත් කප්පාදුවට ලක්වෙනු ඇත.

බෙදී පවතින ප්‍රජාතන්ත්‍රවාදී පොලිස් බලය ගැන කදිම උදාහරණයක් මේ.

පළාතේ ෂෙරිෆ් (Sheriff) තනතුරට, වැඩි චන්දයෙන් අයෙක් තෝරා පත් කරගැනීම ඇමෙරිකාවේ සිද්ධ වේ. එම නිල තනතුර එංගලන්ත පාලන ක්‍රමයෙන් දායාද වූවකි. රොබින් හුඩ් ජනප්‍රවාදයේ නොටිග්හැම්ෂර් ජනතාවගේ ප්‍රධාන හතුරා, ඔවුන්ගෙන් බදු එකතු කරන්නට යන නොටින්හැම්හි ෂෙරිෆ් වෙයි. එංගලන්තයේ එම තනතුරට පත්වූයේ ප්‍රදේශවාසී ජනතාව තෝරා පත් කළ අයෙක් නොවේ.

ඇමෙරිකන් නගර සභා යටතේ මෙහෙයවන පොලිස් වසම් කටයුතු වලට මඟහැරෙන දේ සහ ඒවා අතර කෙරෙන මෙහෙයුම් සඳහා දායකත්වය දීම ෂෙරිෆ් කෙනෙකුගේ කාර්ය භාරය වෙයි. ලොකු කුඩා සෑම නගරයකටම පොලීසියක් ඇති අතර, නගර කිහිපයකින් හැදෙන කවුන්ටිය (county/parish) සඳහා චන්දයෙන් තෝරා පත්කරන ෂෙරිෆ් මුලසුන හොබවන ෂෙරිෆ් කාර්යාලයක් ඇත. ප්‍රාන්තයක කවුන්ටි කිහිපයක් තිබේ. ඒ අනුව ඒ ඒ ප්‍රාන්තයේ කවුන්ටි සංඛ්‍යාව අනුව ෂෙරිෆ්ලා ද කිහිප දෙනෙක් සිටිති. ඇමෙරිකාවේ පොලිස් බලය ජනතාව අතේ පවතින්නේ එසේය.

මේන් ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරිය වන ජැනට් මිල්ස් පසුගියදා එහි ජනතාව අප්‍රේල් 2 සිට 30 වැනිදා දක්වා නිවාස අඩස්සියේ තැබීය. ඒ නියෝගය පිළිපදින්නේ නැති අයට පොලීසියෙන් දඬුවම් දෙනු ඇතැයි ද ඇය තර්ජනය කළාය. එම ප්‍රාන්තයේ ඇති කවුන්ටි 16 න් එකක් වූ ෆ්‍රෑන්ක්ලින් කවුන්ටියේ ෂෙරිෆ් ස්කොට් නිකල්ස්, ඒ අනුව ඉක්මණින් ප්‍රකාශයක් නිකුත් කළේය.

“අපි පොලිස් රාජ්‍යයක් ගෙනෙන්නේ නැහැ, එකාන්තයෙන්ම. ෂෙරිෆ් කාර්යාලය උවමනාවෙන්ම ගිහින් පාරේ යන රථ වාහන නවත්වන්නෙ නැහැ හෝ මිනිස්සු නවත්තල කොහෙද යන්නෙ කියල අහන්නෙ නැහැ. එහෙම කරද්දී අපේ නිලධාරීන්ව අවදානමට බඳුන් කරනව. මේ නාට්සි ජර්මනිය හෝ සෝවියට් රුසියාව නෙමේ කෙනෙක්ගේ ලියැකියැවිලි ඉල්ලන්න!” -ෂෙරිෆ් ස්කොට් නිකල්ස්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: