අරුණි ශපීරෝ‍ වෙතින්

ආධාර ගන්නෝ සහ ආධාර දෙන්නෝ

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 9, 2020

ඔබ පසුපසින් අද හඹා එන ආර්ථික විපැත්තිය වෛරසය ගෙනාවක් නොවේ. එය, වෛරසය පාලනය කරගැනීම සඳහා කියමින් ගෙනෙන ලද රාජ්‍ය මැදිහත්වීමේ මෙහෙයුම් නිසා දිග හැරෙන ඛේදවාචකයයි.

ලෝකයේ බොහෝ උපදේශකවරුන් සහ ජනමාධ්‍යකරුවන් සිය දේශපාලකයන් වෙතින් ඇසුවේ රටවල් වහන්නේ (shutdown) කවදාදැයි කියායි. ඔවුන් දැන් එය එසේ සිදු නොවූ ලෙසකින් හැසිරෙති. පාලකයන් ලවා පුරවැසි ජීවිතයේ මේ මේ දේවල් තහනම් කළ යුතු යැයි නීති පනවන්නට ඉදිරිපත් වූ “විශේෂඥයන්” අතර වෛරසය ගැනත්, එය පැතිරෙන ආකාරය ගැනත් දැනුවත්ව සිටියේ අතලොස්සකි. එසේම, එයින් ඇතිවෙන ආර්ථික හානිය ගැන කතා කළේ එහෙමත් කෙනෙකි. ඔවුන් රටවල් පිටින් නිවාස අඩස්සියේ තැබීම නිර්දේශ කළා පමණක් නොව අවන්හල්, උද්‍යාන, සහ මුහුදු වෙරළ පවා වසා දැමූහ.

වෛරසය ගැන සැබෑ තොරතුරු වාර්තා නොකිරීම ඇරඹුනේ WHO විසින්මයි. බොරු බිය සහ බොරු පිළියම් සීඝ්‍රයෙන් ලොව පුරා පැතිරිණ. දේශපාලන පාක්ෂික භාවය අනුව එහි සංවාදය හැඩගැසිණ. හැමදාම ඊට ඉක්මණින් පෙළ ගැසෙන අය කළේ, සිද්ධ වෙන්නේ කුමක්දැයි සොයා බැලීම නොවේ. වෙනදා මෙන්ම දේශපාලන නැඹුරුව අනුව කටයුතු කිරීමයි.

සැබෑ තතු බැහැරලා, බටහිර රටවල අසාර්ථක යැයි උලුප්පා පෙන්වීම ජයටම සිද්ධ විය. චීනයේ සැබෑ තතු සඟවන හැදියාව ඔවුන් අතින් කිසිදු සැලකිල්ලට ලක් නොවුණි. චීන ජනාධිපතිවරයාට නුදුරු අනාගතයක දී තනතුර අහිමි වී ගියත්, චීනය විසින් කෝවිඩ්-19 අනාගැනීමේ ඇත්ත නැත්ත හෙළිදරව්ව මේ අය අතින් නම් කිසිදා සිද්ධ වෙන්නේ නැත.

ඉතින්, වෛරසය පාලනය කරගැනීම සඳහාත්, එයින් ඇතිවිය හැකි වෙනත් අතුරු ඵලවිපාක අවම කරගැනීම සඳහාත්, කළ යුත්ත කුමක්දැයි කියා දැනගැනීමේ හැකියාව ලෝකයේ සාමාන්‍ය පුරවැසියා වෙතින් ඉවත් කෙරිණ.

ලෝකය පුරා වාසය කරන සාමාන්‍ය පුරවැසියන් සිතන්නේ මෙය පාලනය කරත හැකි එකම ක්‍රමය රට මුළුමනින් වසා තැබීමෙන් කියායි. රටේ ඈත කොනක ජීවත්වන මිනිසෙකුට පවා නිවසින් පිටට යෑමේ තහනම බලපැවැත්විය යුතුයි කියායි.

තරුණ වයසේ සිටින, වෙනත් අතුරු ආබාධ නැති අයට රැකියාවේ නියැළීම, ගමන් බිමන් යෑම, හෝටල්වල නැවතීම වහාම තහනම් වූහ. ඒත් තරුණ වයසේ නොවන මෙන්ම වෙනත් අතුරු ආබාධ තිබුණද, තෝරාගත් “විශේෂඥයන්ට”, දේශපාලකයන්ට, රජය තීන්දු කළ අත්‍යාවශ්‍ය සේවකයන්ට, මාධ්‍යවේදීන්ට යනාදී වශයෙන් රැකියාවේ නියැළීමට, ගමන් බිමන් යෑමට සහ හෝටල්වල නැවතීමට අවසර ලැබුණි. වෛරසයට ඒ අය ගැන කවුරු හරි නිර්දේශයක් යැව්වාද?

මහළු වයසේ කිසිවෙක් ඇසුරු නොකරන, වෙනත් අතුරු ආබාධ නැති, තරුණ අයට රැකියාවේ යෙදීම තහනම් කරන්නට, පෙළ ගැසුනේ “අපිට නැත්නම් කාටත් ලැබෙන්න ඕන නැහැ,” යන හැදියාවෙනි.

කෝවිඩ්-19 වෛරසය ඉක්මණින් බෝවෙන්නකි. ඒත්, එයින් වැඩියෙන් පීඩා විඳින්නේ සහ මිය යන්නේ වයස 65 ට වැඩි මහළු වයසේ අය, සහ පෙනහළු ආශ්‍රිත ආබාධ වලින් පෙළෙන අය, ඇදුම, හෘදයාබාධ, රෝගී තත්වයන් නිසා ස්වභාවික ප්‍රතිශක්තිකරණ අඩු වී ගිය අය, දියවැඩියාවෙන් පෙළෙන අය, අක්මා සහ වකුගඩු රෝගීන් යනාදී වශයෙන් අතුරු ආබාධ ඇති අයයි.

වයස 65 ට අඩු, මෙතෙක් සොයාගත් කිසිදු අතුරු ආබාධයක් නොවූ අය කිහිප දෙනෙක් මෙම රෝගයෙන් මිය ගියා යැයි මෙහි දී අයෙක් කියනු ඇත. ඒත්, අනියමයක් (anomaly) පෙන්වා සමස්තයකගේ පරිහානියට පාර කැපෙන නීතියක් පැනවීම කළ යුත්තක්ද?

රෝගීන් විශාල සංඛ්‍යාවක් එකවර රෝහල් වෙත පැමිණීම නිසා වෛද්‍යවරුන් සහ රෝහල් සේවකයන් අපහසු තත්වයන්ට පත්වෙති. එසේ යැයි කියා රටක මුළු මහත් ජනතාවක් දීර්ඝ කාලයක් පුරා විඳින්නට සිද්ධ වෙන ආර්ථික අහේනියකට පත් කරනවාද?

වෛරසය පාලනය කරගැනීම සඳහා විවිධ රටවල් විවිධ ක්‍රමවේද ක්‍රියාත්මක කළහ.

තායිවානය ගෙන ගිය කාර්යක්ෂම ක්‍රමවේදය සාර්ථක වූවකි. ඔවුන් දෙසැම්බර් 31 දා සිට දිනපතා සිය ජනතාවට සැබෑ තොරතුරු සැපයූහ. චීනයෙන් පැමිණි අයව මායිම් වල දීම හඳුනාගෙන ඒ අය ගැන අවධානයෙන් සිටියහ. ඔවුන් චීනයට ගොස් එහි රෝගීව සිටි තායිවාන් වැසියන්ව ගෙන ආහ. ඒ තොරතුරු හුවමාරුවේ විනිවිදතාවය පෙරදැරිව රෝගය බෝවී ඇත්දැයි සොයා බැලීමේ ටෙස්ට් පැවැත්විණ. රෝගීන්ව සහ රෝගීන් ඇසුරු කළ අයව වෙන් කළහ. පාසැල් වාරය නැවත ඇරඹීම සති දෙකකින් කල් දැමිණ. ඒත් රට වසා දැමුවේ නැත.

රැකියා ස්ථාන වලට සිය සේවකයන් ගැන තීරණ ගන්නට හෝ ජනතාව නිවාස අඩස්සියේ සිටින්නට අවශ්‍ය දෑ එකතු කරගන්නට පෙර, ඉන්දියාව සහ ස්පාඤ්ඤය මෙන්, රටම වසා දැමුවේ නැත.

විකල්ප සොයා ගැනීමට තායිවාන් අයට අවස්ථාව ලැබුණි. ඒවා රජයේ බලාත්මක නිර්දේශයෙන් සිද්ධ වූයේ නැත. ඒත්, තායිවානයේ සිටින මිනිස් සත්වයා අනික් අය වගේ නොවේ යැයි කෙනෙකු කියන්නට ඉඩ ඇත!

ස්වීඩන් මොඩල් එක වූයේ රට විවෘතව තැබීමයි. මේ වෙද්දී ස්වීඩනයේ කෝවිඩ්-19 මරණ සංඛ්‍යාව මිලියනයක් ජනගහණයකට 68 කි. නෝර්ඩික් රටවල් සමාජවාදී යැයි පසසන අය ස්වීඩනය වෙළඳපොල වසා නොදැමීම හමුවේ නිහඬව සිටිති. චීනයට පාක්ෂික “ප්‍රයෝජනවත් මෝඩයන්” තායිවානය ගැන නිහඬව සිටිනවා වැනියි.

හවුල පටන් ගත්දා සිට, යුරෝපයේ දකුණු රටවල් නිතරම ණය ගැන වියවුල් ඇති කරගත්තේ ජර්මන් බස හසුරුවන උතුරු රටවල් සහ නෝර්ඩික් රටවල් සමඟයි. ජර්මනියට සහ ඔවුන්ගේ අසල්වැසි රටවල් වලට, මෙයින් ඇතිවෙන ආර්ථික හානිය අවම කරගන්නට හැකියාව ඇත.

ආර්ථික අහේනියෙන් පෙළෙන ජනතාව වැඩිවෙද්දී ඔවුන් ගැන ලෝකයා වෙතින් වසන් කර තැබුවත්, වැඩි කල් නොයද්දී සමාජවාදී ප්‍රතිපත්ති සැබැවින්ම වැඩියෙන් පැතිර පවතින්නේ කුමන රටවල්වලදැයි පැහැදිලි වෙනු ඇත.

ඇමෙරිකාවට කෙළ වූණා යැයි සතුටින් ඉපිළ ගිය මහත් ජනතාවක් වාසය කරන ලංකාවට දැනටමත් ඇමෙරිකන් ආධාර වශයෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 1.3 ක් (පුවත ඉංග්‍රීසියෙන්) තීන්දු වී ඇත. ඒත් බඩගින්නට හොරකම් කරන්නට සිද්ධ වූ Jean Valjeanලා හිරේ වැටෙනවා මිසෙක ඔවුන්ට නම් එයින් ඇබිත්තක්වත් නොලැබේවි!

2 Responses

Subscribe to comments with RSS.

  1. Dishan Wis said, on අප්‍රේල් 11, 2020 at 1:33 පෙ.ව.

    රට මුලූමනින්ම වසා දැමීම නිසා ආර්ථිකයට වන හානිය ඉතා බයනකය ඔබ තුමිය කියූ ධෙය සත්‍යයි නමුදු ලංකාව වෙනි අපේ රට නොවසා මිනිසුන්ට රිසි පරිදි කටයුතු කරන්න දුනහොත් අපේ රටේ දැනට ඇදිරිනීතිය අයින් කරන විට මිනිසුන් කිසිදු විනයක් නැතුව කටයුතු කරන විදිහට covid 19 අප රටේ පාලනය කර ගන්න බැරි තරමට වැඩිවනවා අපේ රටේ තියන medical capacity limit over flow වෙනවා එවිට වෙඩිවන රෝගීන් ගැන කුමන කතාද එවිට විව්වුර්ත වූ ආර්ථිකය මොකද වන්නේ ඇමරිකා ව ජර්මනිය කරන විදිහට ආර්ථිකය විවුර්තව තබමින් රෝගීන් පාලනය කිරීමට තරම් health capacity thibenavada ?

    • arunishapiro said, on අප්‍රේල් 14, 2020 at 8:47 පෙ.ව.

      Dishan Wis,

      ලංකාවේ එක මාසයක් ඇතුලත රිය අනතුරු වලින් මිය යන සංඛ්‍යාව අද ලංකාවේ කෝවිඩ්-19 නිසා මිය ගිය සංඛ්‍යාවට බෙහෙවින් වැඩියි. වෛරසය ගෙනියන්නෙ කවුදැයි දැනගන්න නොහැකි සේ ම, බීමතින් වාහනයක් පදවන රියැදුරෙක්දැයි කියාත් නිශ්චිතවම දැනගන්න බැරිව නොවේද ඔබ මහපාරේ යන්නේ?

      ඒත් රටේ රිය අනතුරු නිසා ඉතා ඉහළ මරණ සංඛ්‍යාවක් පැවතියදී පවා රටක් මහපාරේ මිනිස්සු යෑම තහනම් කළාද?

      ඔව්, වෛද්‍ය පහසුකම් ප්‍රමාණවත් මදි තමයි. ලෝකයේ කිසිම රටක් මෙවැන්නක් සඳහා සූදානමින් ඉන්නේ නැහැ. එසේ සූදානමින් සිටීමත් හිඟ සම්පත් නාස්තියක්. අවශ්‍ය වෙන්නේ ඉක්මණින් අවශ්‍ය පහසුකම් තාවකාලිකව සපයන්න ඉඩදීමයි. දැනටමත් නාවුක හමුදාව ඉතා ඉක්මණින් රෝහල් පහසුකම් සපයන්නට හැකි බව ඔප්පු කරල තියෙනව. ඒ වගේ වෙනත් පෞද්ගලික රෝහල් වලටත්, නීති ලිහිල් කරමින් ඊට ඉඩදෙනවා නම් ඒ හැකියාව වැඩිවෙනව.

      ඔළුව එළියට ගත්තොත් මැරේවි කියා බයට ඔළුව වතුරේ ඔබාගෙන කොපමණ කාලයක් ඉන්නවාද?


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: