අරුණි ශපීරෝ‍ වෙතින්

ඩොනල්ඩ් ට්‍රම්ප් WHO යවන ඇමෙරිකන් අරමුදල් නවතයි

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 14, 2020

කෝවිඩ්-19 වෛරසය ගැන තොරතුරු දැන්වීමේදී ලෝකයේ සෞඛ්‍ය ගැන නොතකා, එසේම විනිවිදතාවයෙන්ද කටයුතු නොකළා යැයි දෝෂාරෝපණය කරමින් ඇමෙරිකන් ජනාධිපතිවරයා ලෝක සෞඛ්‍ය සංවිධානයට දෙන ඇමෙරිකන් අරමුදල් වහාම ක්‍රියාත්මක වන පරිද්දෙන් නවතා දැමීය. ඒ ගැන පවත්වන විමර්ශන අවසන් වෙන තෙක් ඒ අරමුදල් නැවතෙනු ඇත. වෛරසය මර්ධනය සඳහා ඇමෙරිකාවේ සහාය ලබාදෙන්නට ඒ ඒ රට රටවල් සමඟ කෙළින්ම කටයුතු කරනවා යැයිද හේ කියා සිටියේය.

මෙම නිවේදනය එන්නෙ ඇමෙරිකන් රජය විසින් මෙහි බහුතර රටවැසියනට $1,200 බැගින් චෙක්පතක් යැවීමත් සමඟයි. ඒ කෝවිඩ්-19 නිසා අත්විඳින්නට සිද්ධ වූ කරදර වෙනුවෙනි.

ඩොනල්ඩ් ට්‍රම්ප් වෘත්තීය දේශපාලනඥයෙක් නොවෙන බව අමතක කරන අය බොහොමයකි. ඔහු පවත්වන මාධ්‍ය සංදර්ශන ඊට කදිම නිදසුන් වෙති.

ලෝක සංවිධානයකට යවන ඇමෙරිකන් ජනතාවගේ බදු මුදල් නතර කරන්නට අවශ්‍ය යැයි කියූ ඇමරිකන් ජනාධිපතිවරු මීට කළින් දකින්නට ලැබී තිබුණත් එවැන්නක් කළ අයෙක් මෙතෙක් සිටියාදැයි සැකයකි.

විදේශ සබඳතා පැවැත්වීමේ දී කාගේ පැත්ත ගන්නේද යන්න අනුව ඵලවිපාක අත්විඳින්නට සිද්ධ වේ. කාලයෙන් කාලයට හේත්තු වූ පැති වෙනස්වීමත් සිද්ධ වේ.

අතීතයකදී ඉන්දියාවේ පැත්ත ගත් ලංකාව, කොමියුනිස්ට් චීනය විසින් ටිබෙට් ආක්‍රමණය කරද්දී එය හෙළා දැක්කේය. පසු කාලයක දී චීනය හා විදේශ සබඳතා සුහද වෙද්දී දලෙයි ලාමාට ලංකාවේ පිහිටන දළදා මාලිගාව වැඳ පුදා ගැනීම පවා වළක්වන තත්වයකට පත්වුණි.

එක්සත් ජාතීන්ගෙ සංවිධානයට චීනය ඇතුල්වෙද්දී ලංකාව ඊට පක්ෂපාතී වූහ. ඩඩ්ලි සේනානායක, එවක ලංකාවේ වාමාංශික පක්ෂ තරහා කර නොගන්නට චීනයේ ඉල්ලීම පරිදි Association of South East Asian Nations (ASEAN) ආරම්භක සාමාජිකත්වය ඉල්ලුවේ නැත. පසු කාලයක බිහිවන Common Market සමඟ ASEAN නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් කරමින් කලාපයේ ප්‍රධාන ආර්ථික බලයක් අත්පත් කර ගති. ලංකාව එහි සාමාජිකත්වය 1981 වසරේ ඉල්ලද්දී ලංකාවේ අයැදුම් පත්‍රය ප්‍රතික්ෂේප විය.

ලංකාවේ කොමියුනිස්ට් අත්හදා බැලීම් ජයට සිද්ධ වූ පස් අවුරුදු වැඩ පිළිවෙත් සමයේ අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක යටතේ පාලකයන් ධනවාදී රටවල් වලින් විදේශ ආධාර ලබාගැනීමේ හපනුන් වූහ. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ඉදිකර දුන් කොමියුනිස්ට් චීනය සිටියදීම එදා කැනඩාව, ඩෙන්මාර්ක්, ඔස්ට්‍රේලියාව සහ ලෝක බැංකුව ලංකාවට විදේශාධාර සැපයීය.

1973 දී ලෝකෙට අණබෙර ගසා ආධාර නවත්වනවා යැයි ඇමෙරිකාව කිව්වත් බණ්ඩාරනායක පාලනය තුළ දී ලංකාවට වැඩිම විදේශ ණය දුන් රට ඇමෙරිකාව විය. ඩඩ්ලි සේනානායකට වඩා තුන් ගුණයකින් ප්‍රමාණයක් ආපහු ගෙවන්නට සිද්ධ නොවන ණය ලබාගන්නට සිරිමාවෝ බණ්ඩාරනායකගේ රජය සමත් විය. එදා ඒ විදේශ ආධාර නොලැබුනා නම් 1970 ගණන් මුල දී රටේ තත්වය වූවාටත් වැඩියෙන් කටුක වනු ඇත.

එදත් අදත් ලංකාවේ රාජ්‍ය මුල්‍ය කටයුතු ගැන පසසන්‍නට හැකි දෙයක්‍ හොයා ගන්නට නැත.

යුරෝපීය රටවල් කොරෝනා වෛරසයෙන් ගොඩ එද්දී එකිනෙකා බේරා ගන්නට වෙහෙස වෙනු ඇත. ජපානය දැනටමත් චීනයෙන් සිය නිෂ්පාදන කටයුතු ඉවත් කරගන්නට ලක ලැහැස්ති වෙයි. ට්‍රම්ප් චීනය සමඟ ඇමෙරිකාවට දැඩි වාසි ලැබෙන වෙළඳ ගිවිසුමක් අත්සන් කළා යැයි මහත් හඬක් නගමින් සිටියි. WHO වෙත යවන ඇමෙරිකන් අරමුදල් නැවැත්වීම තුළින් ලෝකයෙ විදේශ සබඳතා මෙතෙක් කාලයක් වූ ලෙසින් තව දුරටත් සිද්ධ නොවන බව පෙනී යයි.

තමන් පක්ෂපාතීත්වය දක්වන පාර්ශව වලින් පමණක් ලැබෙන විදේශ ආධාර වලට ප්‍රසිද්ධියේ ස්තූතිය දැක්වීමටත්, ඇමෙරිකාවෙන් ලැබුණ බවක් ගැන රටේ ජනතාවට පවාදැනගන්නට නොලැබෙන ලෙසින් එදත් අදත් කටයුතු කරන රටවලට ඩොනල්ඩ් ට්‍රම්ප් කුමන විදියකින් සලකාවිද?

විදේශ සබඳතා පිළිබඳව ඉතින් ලංකාව කෙසේ කටයුතු කරාවිද?!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )