අරුණි ශපීරෝ‍ වෙතින්

බොල්ෂෙවික් මුල්‍ය අර්බූදය

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 24, 2020

ලෝකයේ බහුතර ආණ්ඩු විසින් ස්ථාපිත කර ඇති “වර්තමාන සමාජවාදයට” මාස ගණනක්වත් යන්නට පෙර, කොමියුනිස්ට්වාදයෙන් රට පාලනය කළ යුතු යැයි කියන අය යළිත් හිස ඔසවා සිටිති. ලංකාවේ පමණක් නොව ඇමෙරිකාවේ ද ඒ අය සිය නිවෙස් තුළ සිට බොරුවෙන් මුලා වූවන්ව උසි ගන්වති. ආර්ථිකයක් වැඩ කරන්නේ කෙසේදැයි කියා නොදන්නා ජනතාවක් එසේ උසිගැන්වීම ඉතා පහසුයි.

පහත සටහන කළින් දවසක වෙනත් තැනක ලියන ලද්දකි.
—-

ඔස්ට්‍රියන්-ජර්මන් අධිරාජ්‍ය විසින් 1917 දී රුසියාවට බලපෑම් එල්ල කරමින් යුක්රේනයේ සම්පූර්ණ මිලිටරි පාලනය ගිවිසුමකින් අත් කරගති. ඒ යුක්රේනයේ ස්වභාවික සම්පත් අල්ලා ගන්නට ය. එවක ඔස්ට්‍රියන් ආණ්ඩුවේ සුළු සේවකයෙක් වූ ලුඩ්විග් වොන් මීසස් ලියූ “වෙළඳ ප්‍රතිපත්තියක ඉලක්කය” නමින් වූ ලිපියකින් හේ කියා සිටියේ සම්පත් සඳහා ආර්ථික පාලනයක් සතු කරගන්නට නම් දේශපාලන පාලනයකින් තොරව කිරීම වඩා යහපත් බවයි. සම්පූර්ණ යුක්රේනයේ මිලිටරි අධිවාසයකින් (occupation) තොරව වෙළඳ මාර්ග වලින් සම්පත් ගණුදෙනු කිරීම වඩා යහපත් බවයි.

යුක්රේනයේ අධිවාසයෙන් කියා නිම කළ නොහැකි තරම් වස්තු සම්පත් වලට අයිතිය කියන්නට රටේ පාලන පංතියේ කිහිප දෙනෙකුට උදාවිය. Ostsyndikat නම් ඔස්ට්‍රියන් සම්මේලනවාදී කාර්තෙල් විසල් කර්මාන්තකරුවන්ට සහ ආණ්ඩුවේ පාලකයන්ට හවුල් වී සිටි විසල් බැංකු වලට ඒ අල්ලා ගත් යුක්රේනයේ ධන වස්තූන් වලට අයිතිය කියන්නට අවස්ථාව පෑදිණ.

1918 දී බර්ලිනයේ රැස්වීමක දී මේ යුක්රේන සම්පත් බෙදාගන්නට කැමති වෙළඳ කණ්ඩායම් වල රැස්වීමක් පැවතිණ.

එහෙත් බර්ලිනයේ රැස්වීමේ දී නිරාකරණය කර නොගත් කරුණක් වූයේ යුක්රේනයේ අනාගත මුදල් ව්‍යවස්ථාව (monetary constitution) ගැන කුමක් කළ යුතු ද කියාය. ඔස්ට්‍රියන් අයට ඒ ගැන දැනගන්නට ජර්මානුවන්ට වඩා වැඩි උවමනාවක් තිබිණ. ඔස්ට්‍රියන් යුද්ධ නිසා උද්ධමනයෙන් ඔවුන්ගේ ක්‍රෝන මුදල් නෝට්ටු සෑහෙන ප්‍රමාණයක් යුක්රේනයට පිවිස තිබුණි. යුක්රේන මුදල් ගැන ගන්නා තීරණ වලින් ක්‍රෝණ නෝට්ටු වල ඇණැවුම් හුවමාරු අනුපාතිකය (fiat exchange rate) තීරණය වෙයි.

ගැටළුව වූයේ ඔස්ට්‍රියා-හංගේරියාව ද අනෙක් යුද වැදුන ජර්මන් රාජ්‍යයන් සේ ම තම මුදල් සෑහෙන උද්ධමනයකට මේ වන විටත් පාත්‍ර කර තිබීමයි. එය නිරකරණයට හැකියාව ලැබෙන්නේ තව අමතර ක්‍රෝන නෝට්ටු නිර්මාණ කිරීමෙන් වැළකී සිටීම වුවත් ආණ්ඩුවාදී අය එයට අකමැති වූහ. ජර්මන් බලධාරීන් තම මාර්ක් හි අගය ගැන වැඩිපුර සැලකීම නිසා මාර්ක්-ක්‍රෝන හුවමාරු අනුපාතිකයන් ස්ථාවර කරන කතාබහට එක්වූයේ නැත.

1918 ජූනි මාසයේ දී යුනියන් බැංකුවේ අධ්‍යක්ෂක ඔටෝ කාට්ස්, ලුඩ්විග් වොන් මීසස් සොයා ආවේය. මීසස් එවක අනිවාර්යෙන් සේවය කළ යුතු වූ ඔස්ට්‍රියන් හමුදාවේ කැප්ටන්වරයෙකි. වයස අවුරුදු 36 කි. අර්ථ ශාස්ත්‍රය සහ මුදල් ගැන ලිපි ලියා නමක් ඇතිකරගත් විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් පමණක් වූයේය. කාට්ස් යුක්රේනයේ මුදල් ගැටළුව විසඳන්නට මීසස්ට ආරාධනා කර සිටියේය.

එය තනතුරෙන් ඉහළට නඟින්නට හැකියාව ඇති අවස්ථාවක් වුවත් මීසස් කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කළේය. යුක්රේනයේ මුදල් ප්‍රතිපත්තිය පිළිබඳ සම්පූර්ණ තීරණ ගැනීමේ බලය තමනට පැවරෙන්නේ නම් පමණක් එය කරන්නට එකඟ වෙන බව ඔහු කියා සිටියේය.

මීසස් ගේ කොන්දේසි විමසා බැලූ වියානාවේ ලුතිනන් කර්නල් මැක්සිමිලියන් එඩ්ලර් වොන බෙචර් කියා සිටියේ කීයෙව් වෙත සති දෙකකට ගොස් තතු හදාරා බලා තමනට වාර්තාවක් සපයන්න, අනතුරුව කොන්දේසි වලට අනුකූලව කටයුතු කරනවා දැයි දන්වන්නම් කියාය.

එහෙත් බෙචර් විසින් රහසිගතව මීසස් එතෙක් සේවය කළ හමුදා තනතුරෙන් පහ කරන්නට කටයුතු යොදන ලදි. කොන්දේසි රහිතව යුක්රේන රස්සාව බාර ගැනීමට සිද්ධ වෙන සේ පසුබිම සකසා මීසස්ව කියෙව් වෙත පිටත් කර හරින ලදි.

1819 සැප්තැම්බරයේ යුක්රේනයට එන මීසස් ජර්මන් අය විසින් යුක්රේනයේ භාගික සංචිත මහා බැංකුවක් (fractional-reserve central bank) පිහිටුවන්නට කටයුතු කරන බව දුටුවේය. එහි වූ ඔස්ට්‍රියන් සම පාලකයන් එම සැලසුමට විරුද්ධත්වයෙන් සිටියහ.

පුද්ගලික ව්‍යපාර විසඳුමක් මඟින් ඔස්ට්‍රියන් කොටස් හා ණය විදේශීය මුදල් හැටියට තබාගත හැකිවන සේ සැලසුම් කළ යුතු යැයි පෙන්වා දුන් මීසස් රුසියන් අධිරාජ්‍යයේ බැංකුව අනුසාරයෙන් අනාගත මහා බැංකුව නිර්මාණය කළ යුතු යැයි පෙන්වා දුන්නේය. එය පරිපූර්ණයෙන්ම ආණ්ඩුවේ ආයතනයක් විය යුතු යැයි ද, එහි අනුරක්ෂණ (endowment) වලින් භාගයක් මුදල් සචිතයන් හැටියට තිබිය යුතු යැයි ද, එහි ආයෝජක ප්‍රතිපත්ති පුද්ගලික බැංකු වල මූල ධර්ම විය යුතු යැයි ද, දීර්ඝ කාලීන ගිවිසුම් හෝ අවදානම් ආයෝජන නොකළ යුතු යැයි ද මීසස් විසින් පෙන්වා දුන්නේ ය.

සංචිත අනුපාතිකයන් යනු බැංකු නෝට්ටු වලට විශ්වාසයක් ලබා දෙන සහ ණය දීමේ හැකියාවක් ඇතැයි පෙන්වන “ඉතා වැදගත්” අංගයක් බව මීසස් විසින් තරයේ කියන ලදි. එසේම සංචිතයන් මුදල් (cash) වලින් තිබිය යුතු යැයි ද හේ කියා සිටියේය.

එසේ මීසස් යෝජනා කළේ භාගික සංචිත මහා බැංකු ක්‍රමයක් හෙවත් රන් විනිමය මිනුමකි. සසරණ මුදල් නෝට්ටු සියල්ලම සඳහා තුනෙන් එකක සංචිත බැංකුව තුල තිබිය යුතු යැයි ඔහු කියා සිටියේය. මේ සංචිත මුදල් (රත්තරන්, රිදී) හෝ විදේශීය මුදල් වලින් හෝ විදේශ මුදල් හුවමාරු බිල්පත් වලින් තබාගත යුතු වේ.

මීසස්ගේ යෝජනා කිසිවක් යොදා ගැනුනේ නැත. ඔහු වියානාවට ආපසු පැමිණ සතියක් ගෙවී යද්දී ඔස්ට්‍රියා-හංගේරියා සහ ජර්මන් යුද්ධ අසාර්ථක වී මහා අධිරාජ්‍යයක් හදිසියේ ම අවසන් වුණි.

ඔස්ට්‍රියන් ආණ්ඩුව මැදිහත්වීම් වලින් රටේ ප්‍රශ්න වැඩි කරන බව මීසස් පෙන්වා දුන්නත් ඔහු කියන ආර්ථික සත්‍යයන් හා එකඟ වූයේ ඉතා සුළු පිරිසකි. සමාජවාදීකරණයට ලක් වූ ඔස්ට්‍රියාව ගෙනෙන ප්‍රතිපත්ති නිසා ඔස්ට්‍රියන් ව්‍යවසායකයන්ට ණය බර පැටවෙන හැටි බව මීසස් කියා සිටියේය. වෙළඳපොල ව්‍යවසායකයන්ට රටේ මුදල් ධනවාදීන් මත යැපෙන්නට සිද්ධ වෙන ආකාරය කල් ඇතුව පෙන්වා දුන්නේය. ලාබ බෙදා හැරීම ගැන පමණක් කතා කරන සමාජවාදීන් ව්‍යාපාරක සත්‍ය සැකැස්ම ගැන කතා නොකරන හැටි කියා සිටියේය.

එහෙත් ඔහු කියූ කිසිවක් පාලකයන් ගණනකට ගත්තේ නැත.

වියානා රජයට අන්තිමේ දී සල්ලි අච්චු ගහන මුද්‍රණාලය හැරෙන්නට වෙනත් කිසිම වස්තු සම්පත් නැති තැනට පැමිණියේය.

රුසියන් බොල්ෂෙවික් ලා යුක්රේනයේ කළ අයුරෙන් ඔස්ට්‍රියාවේ වැසියන් බලහත්කාරයෙන් නම්වා ගන්නට වියානාවේ සමාජවාදීන් අකමැති වූහ.

1919 දෙසැම්බර් 2 වැනි දා ඔස්ට්‍රියන් ආර්ථික සංගමයේ දේශනයක් පවත්වන මීසස් ඔස්ට්‍රියාවේ අස්වැන්න ඔස්ට්‍රියාවේ ජනතාවට කන්න දෙන මදි යැයි පෙන්වා දුනි. අපනයන කළ හැකි ස්වභාවික සම්පත් නැති රටක් නිසා කර්මාන්ත අපනයන මඟින් පමණක් විදේශීය ආහාර සැපයුම් ඔස්ට්‍රියාවට ගෙන්වා ගත හැකි යැයි පෙන්වා දුනි. මහජන දේශකයෙක් ලෙසින් හේ ප්‍රසිද්ධියේ කියා සිටියේ “අපේ රටේ මුදල් බංකොළොත් බවට පත්වෙන්නට ඉතා ආසන්න තත්වයකට අපි පැමිණ සිටිනවා,” කියාය.

1912 දී මීසස් ලියූ “මුදල් සහ ණය පිළිබඳ න්‍යාය” (Theory of Money and Credit) පොතට අනුව ආණ්ඩුව විසින් සියළු මහජන මුදල් සිද්ධාන්ත වලට පටහැනිව කටයුතු කරන ආකාරය ඔහු පෙන්වා දුන්නේ ය. ඔහුගේ වදන් වලට සවන් දුන්නේ වියානාවේ උගතුන් සුළු පිරිසකි. ඔහු ලියූ සමහර ලිපි පළ වූයේ නිර්නාමිකව ය. එහෙත් ඒ හැම ලිපියක ම සෝදුපතේ සිය අත්සන තබන්නට ඔහු ඉදිරිපත් විය. නීතිඥයන්ට සහ ව්‍යාපාරිකයන්ට ඔහු විශේෂ දේශන පැවැත්වීය. ඒවාට දේශපාලනඥයන් සහභාගී කර ගැනීමෙන් වැළකී සිටියේය. මිල පාලනයන් නිසා කළුකඩ බිහි වී දේශීය මිල තත්වයන්ට පාඩු සිද්ධ වෙන හැටි ඔහු පෙන්වා දුන්නේ ය.

වැඩ වර්ජන රට පුරා දියත් කළ සමාජවාදී කම්කරුවන් නිසා නිෂ්පාදනයන් අඩු වෙද්දී ඔස්ට්‍රියාව බටහිර රටවල් වලින් ආහාර මිල දී ගන්නට ණය ආධාර ලබාගත්තේය. බටහිර රටවල් හැමදාම ණය සපයනු ඇතැයි කියා රැවටෙන්නට එපා යැයි මීසස් කියා සිටියේය.

ආණ්ඩුවක් විසින් උද්ධමනයක් ඇති කර, ඉහල යන මිල පෙන්වා මිල පාලනයක් ඇති කළ යුතු යැයි කියා තවත් මැදිහත්වීම් කරමින් ආණ්ඩුව විසින් මේ මහා අවුල කර ඇතැයි ද, තව වැඩි කාලයක් යන්නට පෙර ක්‍රෝනයේ කිසිත් අගයක් නොමැති වේ යයි මීසස් ප්‍රසිද්ධියේ කියා සිටියේය.

මුළු යුරෝපයම සමාජවාදී වූ කාලයේ දී මීසස් විසින් සම්භව්‍ය-ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති වෙනුවෙන් නොබියව පෙනී සිටියේය.

1919 සිසිරයේ දී ඔස්ට්‍රියාවේ තත්වය ඉතා දුක්ඛිත විය. වියානාවේ එය වඩාත් දැඩි විය. අහාර හිඟයක් පැතිර යාමෙන් සහ කාමර උණුසුම් කරන්නට ඉන්ධන නොමැති වීමෙන් ජනතාව සීතලේ ගැහුණහ.

ඔහු “සමාජවාදී සමූහාණ්ඩුවේ ආර්ථික ගණනය,” යන ලිපිය ලියා පෙන්වා දෙන්නේ සමාජවාදී සමාජයක ආර්ථික ගණනයක් වෙළඳපොල ආර්ථිකය දී මෙන් කරත නොහැකි බවයි. ව්‍යවසායකයාගේ ගණනයන් පදනම් වන්නේ නිෂ්පාදන සාධක වලට යන මුදල් මිල ගණන් මත ය. සමාජවාදී සමාජයක එවැනි මිල ගණන් දකින්නට නොහැකියි. මන්ද, එවැනි මිල ගණන් ඇති වන්නේ හුවමාරුවට ඉඩ ඇති වෙළඳපොලක පමණි. හුවමාරුවක් කරන්නට නම් අඩු ගණනේ අයිතිකරුවන් දෙදෙනෙක් හෝ සිටිය යුතුයි. සමාජවාදී ක්‍රමයේ නිෂ්පාදන සාධක පාලනය වෙද්දී එවැනි මිල ගණන් දැන ගැනීමේ හැකියාව නොමැති වේ. ඉතින් ආර්ථික ගණනයන් හදන්නට වෙනත් ක්‍රමයක් නොමැති නිසා සමාජවාදී ක්‍රමය නෛසර්ගික වශයෙන් අවිචාර යැයි ඔහු පෙන්වා දුන්නේය.

1921 මාර්තු මාසයේ දී විප්ලවීය රුසියාවේ පාලකයා වූ වී. අයි. ලෙනින් බොල්ෂෙවික් පක්ෂයේ 10 වැනි කොංග්‍රසය ඉදිරිපිට කියා සිටියේ විප්ලවයේ යම් දෝෂයක් ඇති බවයි. බොල්ෂෙවික් විප්ලවයෙන් රුසියාව “අගාධයකට වැටෙන්න යන අද්දරකට,” (“very edge of the abyss”) පැමිණ ඇති බවයි. වෙළඳපොල ආර්ථිකය උදුරා දමන්නට ගත් වසර හතර හමාරක වෑයම සාර්ථක වුවත්, බොල්ෂෙවික් අයට රුසියාවේ සම්පූර්ණ පාලන බලය තිබුණත්, හාමත වලින්, මරණ වලින් හා ස්වභාව ධර්මයා ගෙනෙන ලද විනාශ වලින් ගොඩ එන්නට ක්‍රමයක් නොතිබුණි. ඉතින් කොංග්‍රසය ඉදිරියේ දී ලෙනින් විසින් ලාබයක් නැතිව ව්‍යාපාරයක් කරත නොහැකි Khozrachyot සංකල්පයට ඉඩ දී නව ආර්ථික පනත NEP (Novaya Eknomonicheskaya Politika) පිහිටුවනු ලැබීය. ඒත් සමාජවාදී මුහුණුවරකින් ධනවාදී සංකල්ප වැඩි කාලයක් ගෙන යන්නට බැරි බව ඔප්පු කරමින් සහ ධනවාදී ඇමෙරිකාවේ සහනාධාර වලින් පමණක් ජීවත්වෙන්නට බැරි බව ඔප්පු කරමින්, 1991 දී රුසියාවේ ආර්ථිකය සම්පූර්ණයෙන් කඩා වැටුණි.

දිනපතා පුවත්පත් වලට සැපයූ ලිපි, මහජන දේශන හා විශ්ව විද්‍යාල මට්ටමේ විවාදයන්ට සහභාගී වූ මීසස් පොත් කිහිපයක් ම මුද්‍රණයට ද සමත් විය. මුදල් හා ණය පිළිබඳ න්‍යාය (The Theory of Money and Credit) 1912; ජාතිය, රාජ්‍යය සහ ආර්ථිකය (Nation, State, and Economy) 1919; සමාජවාදී සමූහාණ්ඩුවේ ආර්ථික ගණනය (Economic Calculation in the Socialist Commonwealth) 1920; සමාජවාදය: ආර්ථික හා සමාජයීය විශ්ලේෂණයක් (Socialism: An Economic and Sociological Analysis (1922) යනාදී ග්‍රන්ථ සෝවියට් රුසියාවේ ආර්ථිකය බංකොළොත් වූ අවස්ථාවේ දී ගැලවූ නැගෙනහිර යුරෝපීය රටවල් වල මහත් පිළිගැනීමට අද පාත්‍ර වී ඇත. වර්තමාන සමාජවාදී මගක යමින් ඉන්නා ඇමෙරිකාවේ ද ඒවා නැවතත් ජනප්‍රියත්වයක් ලබන්නට සමත් වෙති.

ඔස්ට්‍රියන්-හංගේරියන් බැංකුවේ ආණ්ඩුකාරයා වූ ඇලෙක්සැන්ඩර් ස්පිට්ස්මුලර් විසින් ගෙනෙන ලද යෝජනා සියල්ල ප්‍රතික්ෂේප කළ මීසස් තම යෝජනාවන් වඩා සුදුසු යැයි පෙන්වා දෙන්නට සමත් වී 1922 සිසිරයේ දී මීසස්ගේ යෝජනවාන් මුදල් ප්‍රතිසංස්කරණය සඳහා යොදා ගැණුනි. පසුව ස්පිට්ස්මුලර් විසින් ඔස්ට්‍රියන් මුදල් ප්‍රතිපත්ති වල වැදගත්ම දේශපාලනඥයා හැටියට මීසස්ට ගෞරව නාම පුද කළේය. එහෙත් මීසස් තරයේ ම කියා සිටියේ තමන් දේශපාලනඥයෙකු නොවන බවත් මහජන දේශන හා ආර්ථික විද්‍යා ගත්කතුවරයෙක් ලෙසින් පමණක් බලපෑම් කරන්නට සමත් වූ බවත් ය. 1922 මුදල් ස්ථායිකරණය පමණක් ඔස්ට්‍රියාවේ නිල ප්‍රතිපත්තියක් හැටියට මීසස් එකඟ වූ එකම ප්‍රතිපත්තිය විය.

කළින් ලියූ තවත් සටහනක්: ඔස්ට්‍රියාවට මීසස් සිටිය දී රුසියාවට සිටියේ ලුනචාර්ස්කි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

<span>%d</span> bloggers like this: