අරුණි ශපීරෝ‍ වෙතින්

දැන් හොංකොං ගැන වැඩියෙන් අහන්න ලැබේවිද?

Posted in Uncategorized by arunishapiro on මැයි 29, 2020

චීනය මට්ටු කරන්නට හොංකොං වෙත මුල්‍ය ගණුදෙනු කටයුතු ගැන සම්බාධක ගෙනෙන බව අද සවස මාධ්‍ය හමුවේ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේය.

ඒ, ලෝක සෞඛ්‍ය සංවිධානයට යවන ඇමෙරිකන් අරමුදල් අද සිට සම්පූර්ණයෙන්ම නවතා දැමෙන බව දැනුම් දීමත් සමඟයි.

ඒ, චීනය හා පවත්වන සබඳතා කිහිපයක් වෙනස් කරන ආකාරය ගැන අදහස් දැක්වීමත් සමඟයි.

ඒ, ඇමෙරිකන් විශ්වවිද්‍යාල වල ඉගෙනුම ලබන සමහර චීන ජාතික ශිෂ්‍යයන්ව පිටමං කරවන බව කීමත් සමඟයි.

චීන ජාතික ශිෂ්‍යයන් ඇමෙරිකන් විශ්වවිද්‍යාල බොහොමයක ඉගෙන ගනිති. ඉන්දීය මෙන්ම චීන අයට ද, පශ්චාත් උපාධි අවසන් කිරීමෙන් අනතුරුව වසර 10 ක කාලයක් පුරා ඇමෙරිකාවේ රැකියා කිරීමටත් එසේම, අනික් සියල්ලන්ම ගෙවන ආදායම් බදු නොගෙවා සිටින්නට අවසරය ලැබුණ කාලයක් 1990 ගණන් මුල දී තිබිණ. අද ට්‍රම්ප් කියන්නේ චීනයේ හමුදාව සමඟ සබඳතා පවත්වන අධ්‍යාපන ආයතන වලින් එන ලද චීන සිසුන්ගේ වීසා අහෝසි කර ඔවුන්ව රටෙන් පිට කරන බවයි. ඔවුන්ට ආපසු යන්නට සිද්ධ වුවහොත්, යම් තරමක අවාසිදායක තත්වයක් රටවැසියන් වෙතින් චීන ජනාධිපතිවරයා වෙත එල්ල විය හැකියි.

චීනය සමඟ බොහෝ වෙළඳ පළහිලව් වල දී චීනය මෙන්ම ඇමෙරිකාව ද හොංකොං හරහා වෙළඳාම කරගෙන යති. ඒ තත්වයට බාධක වැටීම යනු දෙපැත්තේම ජනතාවට ආර්ථික අයහපත් කාලයක් උදාවීමකි.

ඇමෙරිකාවේ වෝල් ස්ට්‍රීට් විරෝධතා ගැන ලෝකයේ විවිධ මාධ්‍ය හරහා පැතිර ගිය ලෙසින්, හොංකොං ජනතාව නැඟී සිටීම ගැන, අද වෙද්දී 9,000 කට ආසන්න විරෝධතාවාදීන් අත් අඩංගුවට ගැනීම ගැන, එතරම් දැඩි ප්‍රචාරයක් සිද්ධ වූයේ නැත. ඔවුන්ගේ අවාසනාවට කෝවිඩ්-19 වසංගතය ද පැමිණියේය.

බ්‍රිතාන්‍යයේ පිහිටන ඇඩම් ස්මිත් ඉන්ස්ටියුට් වෙතින් හොංකොං සම්බන්ධව කදිම විසඳුමක් ඉදිරිපත්ව තිබුණි. එය ඔවුන් 1983 පමණ ඈත කාලයක දී ද ඉදිරිපත් කරන ලද්දකි. බ්‍රිතාන්‍ය දූපත් වල ඉඩ ඇති තැනක් සොයා හොංකොං ජනතාවට එහි අවුත් පදිංචියට ඉඩ සලසා දීම එම විසඳුමයි. එය කැමති අයෙකුට මෙතැනින් ඉංග්‍රීසියෙන් කියැවිය හැකියි.

‘පිටදේශයේ සිටින බ්‍රිතාන්‍ය ජාතික’ (BNO යැයි කියැවෙන) ගමන්බලපත්‍ර ඇති හොංකොං වැසියන්ට බ්‍රිතාන්‍යයේ පුරවැසිකම ලබාගත හැකි මාර්ගයක් සලසන්නට කටයුතු කිරීමට අදහස් කරන බව විදේශ ලේකම් ඩොමිනික් රාබ් කියා සිටියේය. ඒත් එසේ කළ හොත් ඒ ගැන “ප්‍රති-මෙහෙයුම්” කරනවා යැයි චීනය අනතුරු අඟවයි.

චීනය සහ බ්‍රිතාන්‍යය මෙතෙක් එකඟ වී සිටින්නේ BNO ගමන්බලපත්‍ර ඇති අය බ්‍රිතාන්‍යයේ පදිංචියට ඉඩ නොලබන අය හැටියටයි.

ගමන් බලපත්‍ර සඳහා සුදුසුකම් ඇති හොංකොං වැසියන් මිලියන 2.9 කි. මාස හයක් සඳහා වීසා නොමැතිව එංගලන්තයට යෑම සඳහා දැනටමත් ගමන් බලපත්‍ර අතැති හොංකොං වැසියන් සංඛ්‍යාව ලක්ෂ තුනකි.

ඇමෙරිකාව, ඔස්ට්‍රේලියාව, බ්‍රිතාන්‍ය යන රටවල් තුනම චීනය විසින් පනවන්නට යන ආරක්ෂක නීතිය තරයේ හෙළා දැක ඇත. ‘එක රටක්, ක්‍රම දෙකක්” යන්නට චීනය එකඟ වූවා යැයි ඔවුන් කියති.

ඇමෙරිකන් ජනාධිපතිවරයා චීන සිසුන්ව රටෙන් පිටමං කරන්නට යද්දී, චීන ජනාධිපතිවරයා තම රටවැසියන්ට වෙන රටකට පිටමං වීම තහනම් කළ යුතු යැයි කියයි.

හොංකොං විරෝධතා ගැන ලියැවුණ එක සිංහල සටහනක් අවසන් වූයේ කාල් මාක්ස් උපුටා දැක්වීමකිනි. “බ්‍රෘමියේර් දහ අට වැනිදා ලුවි නැපෝලියන්” (1852) රචනාවේ පළමු නැපෝලියන් ලෙසම ඔහුගේ ඥාති පුත්‍රයා වූ ලුවි නැපෝලියන් ද කටයුතු කරන්නේ යැයි දැක්වීමට මාක්ස් මෙසේ ලිවීය: “ඉතිහාසය යළිත් එසේම දිග හැරෙයි… වරක් ශෝකාන්තයක් ලෙසට, අනතුරුව ප්‍රහසනයක් හැටියට.”

වෝල් ස්ට්‍රීට් විරෝධතා සිද්ධ වූයේ 99% අයගේ අයිතීන් දිනාගන්නට යැයි කියූ අයටම හොංකොං විරෝධතා ප්‍රහසනයක් ලෙසින් පෙනීම, අද අප ඉදිරියේ දිග හැරී ඇති ප්‍රහසනය ද?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: