අරුණි ශපීරෝ‍ වෙතින්

ශ්‍රමබලය පිටමං කිරීමේ ඝෝර වියවුල

Posted in Uncategorized by arunishapiro on මැයි 31, 2020

ලංකාවේ හැදෙන වැඩෙන දරුවෙකුට, ඉතා මෑත කාලයක් තෙක් වාර්ෂිකව ට්‍රොට්ස්කි, ලෙනින්, ස්ටාලින් යන අයගේ දැවැන්ත ඡායාරූප ඔසවාගෙන ගිය විප්ලවීය සටන්කාමීන්ව, දකින්න ලැබුණි. ඉන්ටනෙට් යුගයේ සත්‍ය තොරතුරු ඇඟිලි තුඩු අසලට එද්දී ඒවාට ප්‍රසිද්ධියේ වන්දනා කිරීම හිමිහිට නැවතිණ.

ඒත් ඔවුන් පෙනී සිටි මතවාදයේ සාරය තවමත් බොහෝ ජනතාවකගේ හද පත්ලේ කිඳා බැස පවතින්නකි. ඒ නිසා, අර කියූ ඡායාරූප වලට ප්‍රසිද්ධියේ වන්දනා කළ අයට විරුද්ධ මතවාදයක තමන් සිටිනවා යැයි කීම, අද දකින්නට ලැබෙන අතිශය අපූරු ප්‍රතිඵලයයි.

ස්ටාලින් නපුරෙක් වූවා යැයි දකිද්දී ඔවුන් ලෙනින් වෙතට ද, ලෙනින් ද නපුරෙක් වූවා යැයි පෙනෙද්දී, ට්‍රොට්ස්කි වෙතට ද, ට්‍රොට්ස්කි ද අනිත් දෙදෙනාට වැඩි වෙනසක් නැතැයි පෙනී යද්දී ඔහුවත් අත් හැරියත්, දේශපාලන පක්ෂ භේදයක් නැතිව රටේ බහුතරය ඔවුන් පෙනී සිටි මතවාදය දිගින් දිගටම අල්ලා ගෙන සිටිති.

ට්‍රොට්ස්කි, ලෙනින්, ස්ටාලින් ගෙනෙන ලද මතවාදය කුමක්දැයි කියා හරිහැටියට නොදන්නා බහුතරයක් රටේ සිටීම පුදුමයක් නොවේ. නොමිලේ බෙදන අධ්‍යාපනය කෙසේ විය යුතු යැයි ද සහ ඒ අධ්‍යාපනය බෙදන්නට සුදුසු කවුරුන්දැයි කියා රජය (අද ජනාධිපතිවරයා පවා) තීරණය කරන රටක ඒ ගැන කිසිදු පුදුමයක් ඇති නොවේ.

හතුරන් මවා පාමින්, මාධ්‍ය යොදවා ඒ හතුරන්ට අපහාස කිරීම් වැඩි කරමින්, අනතුරුව ඔවුන් මර්ධනය සඳහා යැයි කියා තමන්ගේ ආණ්ඩුවට සියළු ජනතාවගේ ජීවිතයට බලපෑම් කළ හැකි බලය වැඩි කර ගැනීම අදත් වාමාංශික හැදියාවයි. සැබෑ දත්ත බැහැරලා, (කළු ඇමෙරිකන් පිරිමියෙක් පොලීසිය නිසා අනතුරට ලක්වෙනවාට වඩා කළු ඇමෙරිකන් පිරිමි නිසා පොලීසිය අනතුරට ලක්වීම වැඩි බව: එනම් පසුගිය දශකය තුල අවි නොගත් කළු ඇමෙරිකන් පිරිමියෙක් නිසා පොලිස් නිලධාරියෙක් මරුමුවට පත්වීම 18.5 ගුණයකින් ඉහළ ගොස් ඇති බව), කරන සංවාදය නිසා යම් පක්ෂයක් යම් පුරවැසියන් කණ්ඩායමකට විශේෂ ආදරයක් දක්වන්නේය යන්න බොරුවට මවා පෑම සිද්ධ වේ. “ඔබ ට්‍රම්ප්ට ද මටද චන්දය දෙන්නේ කියා පහදාගන්න ගැටළුවක ඉන්නේ නම්, ඔබ කළු නොවේ,” යැයි 2020 ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් උප ජනාධිපතිවරයා කියුවේ එබැවිනි.

එසේම, සියල්ලන්ටම එක නීතියක් වෙනුවට පොලිස් නිලධාරීන් වැනි සමහර වෘත්තීන්හි අයව සේවයේ යෙදී සිටිය දී සිදුකරන අක්‍රමිකතා සඳහා නඩුමඟට ගෙන යා නොහැකි අතුරු නීති පැනවීම නිසාද නපුරු අයට එවැනි වෘත්තීන් වල නියැළෙමින් සිය පරපීඩක ආශා මුදුන්පත් කරගන්නට අවස්ථාව ලැබේ. එහි දී එය යම් ජනතා කොට්ඨාශයක් වෙත තවත් ජන කොට්ඨාශයක් විසින් දක්වන වෙනස් සැලකීමක් යැයි දේශපාලනඥයා මවා පායි. අද මිනියෑපලිස් නගරයේ කුපිතව සිටින කළු ඇමෙරිකන් අය කළු ඇමෙරිකන් අයගේම ව්‍යාපාර කොල්ලකෑවේ සහ ඒවාට ගිනි තැබ්බේ ඇයි කියා විමසන්නට මෙය කළු-සුදු භේදයක් යැයි දකින අය නොකරති.

GPU වෙතට සමාජයේ පහත්ම මට්ටමින් බඳවා ගන්න යැයි ලෙනින් උපදෙස් දුන්නේය. ඉතින්, හිතන්න ඊට එකතු වූ සියල්ලන්ම පාහේ ඩෙරික් චෝවින් වැනි අය වෙද්දී, බොල්ෂෙවික්වාදීන් හතුරන් යැයි නම් කළ අයට එදා කෙසේ සැලකිලි ලැබුණාද කියා. අද ඇමෙරිකන් ජනතාව එකා මෙන් චෝවින් වෙත දක්වන විරෝධය (කොල්ලකෑම් හෝ ගිනිතැබීම් නොව) එදා හෝ අද පවා කියන්නට (රුසියාවට, චීනයට හෝ හොංකොං පවා,) වාමාංශික රටක පුරවැසියෙකුට ඉඩ ලැබේද කියා.

ඕනෑම මතවාදයක් ගැන සොයා බලද්දී එහි ඉතිහාසයේ අඳුරු තැන්, බියකුරු අවධි ඇතැයි හැඟවීම තුලින් ජනතාව රැවටීම ඉතා පහසුයි. සවිස්තර ලෙසින් ඒවා ඇති වූයේ, පැතිර ගියේ සහ නිමා වූයේ කෙසේදැයි සොයා බලන්නට සහ සොයා බලන ලද්දන් විසින් ඉදිරිපත් කරන්නක් ගැන මොළයෙන් කල්පනා කර බලන්නට වෑයමක් ගන්නේ එහෙමත් කෙනෙකි.

වාමාංශික පාලකයන් තම පුරවැසියන්ට නීති දැඩි කරන්නට යද්දී නිතර නියැළෙන ක්‍රමයක් ඇත. ඒ ඕනෑම ව්‍යවසනයක් වෙළඳපොල නිදහස නිසා ඇති වූවා යැයි කියමින් ඔවුන්ගේ ජනමාධ්‍ය අතකොළු හරහා ඇමෙරිකන් සිවිල් අයිතීන්, ඇමෙරිකාවේ වහල් ක්‍රමය, ස්වදේශී ඇමෙරිකන් ඛේදවාචක, යනාදිය සිහි කිරීමයි. රජයේ බලාත්මක බලය යෙදවීමෙන් ඒවා සිද්ධ වූ හැටි සඟවා, ඔවුන් එය පොදුවේ අසාධාරණය සහ යුක්තිය තුලින් ධනවාදයේ දී පොහොසතුන් බිහිවෙන ක්‍රමයක් හැටියට තතු නොවිමසා පිළිගන්වති.

ඒ ගමන්ම, මේ ජනමාධ්‍ය අතකොළු නියැළෙන්නේ ඒවා පමණක්ම ලෝකයේ දැඩිම ලෙසින් පැවතෙන බියකුරු අවධි බව හැඟවීමයි. සාධාරණය සහ යුක්තිය ඉටුකරන මතවාදය යැයි ඔවුන් පිළිගත් මතවාදය ඊට වඩා මහත් ගුණයකින් සිද්ධ කරන ලද අපරාධ ගැන මුනිවත රකිති. නැත්නම් එයා, අරයා, වැරදි විදියට කළා, යනාදියෙන් සාධාරණය කරමින් නමුත් පිළිකුල් කළ යුතු, එයට පාර කැපූ මතවාදය, තව දුරටත් අල්ලාගෙන සිටිති.

ස්වදේශී ඇමෙරිකන් වැසියන් ඔවුන්ට නුහුරු දේශයකට පිටමං කර යැවීමේ දේශපාලන ක්‍රියාවලිය ගැනත්, එහි ඍජු ප්‍රතිඵලයක් හැටියට ජනවාර්ගික සංහාරයක් සිද්ධ වීමත්, ගැන ඇති තරම් කියවන්නට තොරතුරු, ඒ ඇසුරින් ලියන ලද ප්‍රබන්ධ සහ නාට්‍ය, සිනමා වෑයම් ද නිතරම දකින්නට ලැබේ.

රුසියාවේ කුලාක් “පංතියක් හැටියට තුරන් කර දමන” අරමුණෙන් ට්‍රොට්ස්කි, ලෙනින්, ස්ටාලින් පිළිවෙලින් කටයුතු කළ ආකාරය ගැන කියවන්නට හැකි තොරතුරු අද ඇත. ප්‍රංශයේ විද්‍යාර්ථීන් පිරිසක් (සමාජවාදී අය ද ඇතුළුව) පර්යේෂණ සොයා ගැනීම් වලින් පසුව ගෙනෙන ලද මෙම ශාස්ත්‍රීය මට්ටමේ නිර්මාණය ‘කොමියුනිස්ට්වාදයේ කළු පොත’ වෙයි. අලුතින් එකතු කළ පරිච්ඡේද 6,7, සහ 8
මෙතැනින්.

කුලාක්හරණය ගැන සිංහලෙන් ලියැවී ඇති සත් සමුදුර ලිපි, සහ අද එකතු කළ පරිච්ඡේද මෙතැනට එන මඟේ සිද්ධ වූ හරියයි:
සයිබීරියාවට නිදහස දෙනු‘ බ්ලොග් සටහන් ඒ ඒ සබැඳි වලින් කියවන්නට පුළුවනි.

ඇමෙරිකන් සිවිල් අයිතීන්, ඇමෙරිකාවේ වහල් ක්‍රමය, සහ ස්වදේශී ඇමෙරිකන් ඛේදවාචක ගැන දැන ගන්නට සහ ඉගෙන ගන්නට අවස්ථාව විශ්වවිද්‍යාල මට්ටම් වලින් පවා පවතී. ඒත්, ලංකාවේ සෝෂල් මීඩියා සහ බ්ලොග් සොච්චමකින් හැරෙන්නට, රුසියාවේ කොසැක්හරණ, කුලාක්හරණ, බලාත්කාරයෙන් සාමූහිකකරණය සම්බන්ධව ක්‍රමවත් හැදෑරීමකට හැකියාවක් නැති බව මට සහතිකයි.

“අපි මූලාශ්‍ර හැටියට සලකන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ආයතන සපයන තොරතුරු පමණයි,” යැයි ඉංග්‍රීසි විකිපීඩියාව තුලින් කරුණු සොයාගත හැකිවීම ගැන මා හා කළ කතාබහක දී වරක් ලංකාවේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක් කීය.

ඉතින් ජනතා හදවත් තුලට කිඳා බැස ඇති කුරිරු මතවාදය දිගින් දිගටම පවත්වාගෙන යන්නට හැකියාව ලැබේ.

ඇමෙරිකාවේ ස්වදේශීන් වූ චෙරකී, ක්‍රීක් සෙමිනොල්, චික්සෝ, චොක්ටව්, පොන්කා ජනවර්ග හැටියට ආසන්න වශයෙන් 60,000 ක් බටහිරට පිටමං කිරීම “1830 ඉන්දියානුවන් ඉවත් කිරීමේ පනත” ඇන්ඩෲ ජැක්සන් ප්‍රධානත්වය ගත්, සහ මාටින් වැන් බියුරන් යන ජනාධිපතිවරු යටතේ සිද්ධ වූ නපුරු මෙහෙයුමකි. එය “කඳුළින් පිරි අඩිපාර” (Trail of Tears) නමින් ඇමෙරිකන් ඉතිහාසය ඉගෙන ගන්නා සෑම දරුවෙක්ම හදාරන්නකි. එහි දී වැඩිම වශයෙන් 20,200 ක් ස්වදේශී ජනතාවක් මරුමුවට පත්වූහ.

හැමෝගෙම කිල්ලෝටවල හුණු ඇතැයි කියා සියළු අපරාධ එක තරම් දරුණු බවක් පෙන්වීම ලෙහෙසි කාර්යයකි. නපුරු මෙහෙයුම සිද්ධ වූයේ වෙළඳාමට නිදහස ඉල්ලා සිටින අයගේ උසි ගැන්වීමකින් ද, නැත්නම් වෙළඳාමට මැදිහත්වීම් රිසි වූ බල ලෝභී දේශපාලකයෙක් විසින් ද කියා සංසන්ඳනය කරන්නට එන්න යැයි කියූ විට, එසේම ලෝකේ හැම දෙයක්ම සාපේක්ෂයි කියා, වාමාංශිකයා සහ වාමාංශික හිතවාදියා පළා යයි.

ඒ ඒ නපුරු මෙහෙයුම් කළේ කවුරුන්ද, ඇති වූයේ, පැතිර ගියේ සහ නිමා වූයේ (නිමා නොවී ඇත්ද) කෙසේදැයි කියා සොයා බැලීම අද නිදහස් රටවල සිටින අයට පහසු වූවකි.

ඒ ඒ අනුව කෲර පාලකයන් කවුරුන්ද, කෲර පාලන පිළිවෙත් මොනවාද, ඒ පිළිවෙත් අයින් කරගත් විට, (නැතිනම් ලෙනින් මිය ගිය පසුව බොල්ෂෙවික් පොලිටිබියුරෝ බල අරගලය නිසා නපුරු ප්‍රතිපත්ති නැවතී ගිය වැනි අවස්ථාවල) සමාජය ටික කාලයකට නැවතත් ඉක්මණින් පිළිසකර වූ ආකාරය සොයා ගත හැකියි.

ඇමෙරිකාවේ පැවති වහල් ක්‍රමය, සිවිල් අයිතීන් සඳහා වූ අරගලය, ස්වදේශී ඇමෙරිකන් ඛේදවාචක සඳහා කෞතුකාගාර, පුරාලේඛනාගාර, පොතපත, ප්‍රබන්ධ සහ සිනමා වෑයම් එමට ඇත. ඒවා හටගත් කාල වකවාණු වල දී ම, ස්වදේශී ජනතාව බටහිර පෙදෙස් වලට පිටමං කර යැවීමේ දී පටන්, මිය ගිය අයගේ වගතුග, සංඛ්‍යාව පමණක් නොව ඔවුන් වෙනුවෙන් පෙනී සිටිමින් ආණ්ඩුවේ නපුරු මෙහෙයුම් සඳහා එවක දී ම විරෝධය පාන ලද අනෙකුත් සිවිල් වැසියන් ගැනද අපිට දැනගන්නට හැකියි.

ඩොන් නදියේ කොසැක්හරණයට (එනම් ජනවාර්ගියක් ලෙසින් ඔවුන්ව මුලිනුපුටා දමන්නට) ගෙන ගිය මෙහෙයුම් නිසා ලක්ෂ 3 සහ ලක්ෂ 5 අතර සංඛ්‍යාවක් මිය ගියහ. ඒ කෘෂිකර්මයේ යෙදී සිටි ජනවර්ගයක් තුරන් කරන ට්‍රොට්ස්කි සහ ලෙනින් මූලිකත්වය ගත් මෙහෙයුම් නිසාවෙනි. එයින් හටගත් සාගතයෙන් මිය ගිය සංඛ්‍යාව මිලියන 5 කි.

එම නපුරු මෙහෙයුමෙන් පසුව ස්ටාලින් ප්‍රමුඛත්වයෙන් බොල්ෂෙවික් ආණ්ඩුව අත ගහන්නේ කුලාක්හරණයටයි. එහි දී මිය ගිය සංඛ්‍යාව ලක්ෂ 53 ක සිට මිලියන පහක් දක්වා වූහ. යුක්රේනයේ ධාන්‍ය නිෂ්පාදනයේ යෙදුන ජනතාව කුලාක්හරණයේ හතුරන් වූ හෙයින් හටගත් හොලඩමෝ සාගතයෙන් පමණක් මිලියන 3.5 ක් පමණ මිය ගියහ.

එපමණක් නොව, පරණ කෝන්තර පිරිමසා ගන්නට අවශ්‍ය වූවන්ට, සංඛ්‍යා ඉහළ යැයි දක්වන්නට අවශ්‍ය වූ විට, කුලාක් යැයි කියා ඕනෑම කෙනෙක්ට ලේබලයක් අලවා පිටමං කරත හැකියාව පෑදිණ.

එපමණක් නොව, ගමේ එක පැත්තක කුලාක් පිටමං කරන කණ්ඩායමක් විසින් ගමේ අනෙක් පැත්තේ කුලාක් පිටමං කරන කණ්ඩායමක නියැළෙන පුද්ගලයෙක්ව කුලාක් යැයි අල්ලා පිටමං කර යැවීය. ඒ සාමාන්‍යයෙන් ඕනෑම ආණ්ඩු මෙහෙයුමක දකින්නට ලැබෙන ‘වැරදීම්’ වෙති.

ඒ සඳහා ඔවුන් යොදා ගත්තේ “කන්න, බොන්න, සහ සතුටුවෙන්න, මන්ද ඒ සියල්ල අපට අයිති නිසා,” යන වාමාංශිකයන් සහ වාමාංශික හිතවාදීන් අදත් උත්කෘෂ්ට යැයි සලකන මතවාදයයි.

1930 සහ 1931 වසර වල දී නිල වශයෙන් පමණක් පෙන්වන දත්ත වලට අනුව ධනසම්පත් හිමියන්ගේ වස්තු සම්පත් ඔවුන් වෙතින් අයින් කර, ඔවුන් ජීවිකාව උපයන ලද ගම්මාන වලින් පිටමං කර යවා, ඒ වස්තු සම්පත් දුප්පතුන් අතර බෙදා දීම නොහොත් ‘කුලාක්හරණය’ සඳහා පිටමං කරනු ලැබූවන් සංඛ්‍යාව 1,803.392 ක් වූහ.

ටොම්ස්ක් වෙත පිටමං කර යවන ලද 6,100 ක පිරිසෙන් (එයට පසුව තවත් 500-700 ක් එකතු කරන ලදි) 1933 අගෝස්තු 20 වැනිදා වෙද්දී ජීවතුන් අතර සිටියේ 2,200 ක් පමණි. ඒ වතුරේ දිය කළ පාන් පිටි ඩිංගක් පමණක් ආහාරයටත්, වළක් හාර අතු කොළ වලින් වසාගන්නට සමත් අල්ප පිරිසක්, සහ මිනීමස් කන්නට පවා සිද්ධ වූවන්ය.

1930 දී රජයට පවරාගත් කුලාක් අත තිබූ වස්තු සම්පත්වල සමස්ත අගය එක ගොවිපොළකට රූබල් 564 ක් බැගින් යැයි බොල්ෂෙවික් පාලකයන්ට අවසානයේ ගණන් හදද්දී දැන ගන්නට ලැබිණ. එනම් එය සාමාන්‍ය කම්කරුවෙකුට මාස 15 ක් සඳහා ගෙවන වේතනයට සමාන ප්‍රමාණයකි. කුලාක් පවුලක් පිටමං කරන්නට ගිය වැය එක් පවුලකට රූබල් 1,000 කට වැඩි විය.

කුලාක් වර්ගීකරණයෙන් පටන් ගැනෙන පිටමං කිරීම් පසුව රජයේ නිෂ්පාදනයට ශ්‍රම බලකාය එක්කාසුව සඳහා හැරෙයි. “විශේෂයෙන් පිටමං කරන අය” වැනි අපූරු වර්ගීකරණ දකින්නට ලැබේ. ගල් අඟුරු පතල්, දැව කැපීම, වානේ කර්මාන්ත යනාදියට බර වැඩ කරන ශ්‍රමිකයන් වේතන නොමැතිව යවත හැකි ක්‍රමයක් වීම ගැන සවිස්තර තොරතුරු රැගත් පරිච්ඡේදය ඔබට මෙතැනින් කියැවිය හැකියි.

ධනය නිර්මාණය වෙන්නේ කෙසේදැයි නොදන්නා අය අදත් සිටිති. ධනවතුන්ගේ පෞද්ගලික දේපල වලින් කොටසක් හෝ “ලැබිය යුතු යැයි තීන්දු කරත හැකි” දුප්පතුන්ට දෙන්න ඕනෑ යන්න ආචාර ධාර්මික යැයි දකින අය සිටිති. නමුත් කුලාක්හරණයේ දී ස්ටාලින් ඇතුළු බොල්ෂෙවික්වාදීන්ට අවසානයේ දී ප්‍රත්‍යක්ෂ වූ ලෙසින් “ධනේෂ්වරයේ සියළු දේපල,” බෙදා දුන්නද දුප්පතාගේ තත්වයේ වෙනසක් නොවන්නේය යැයි කියාත්, බෙදීම සඳහා යන වැය “ධනේෂ්වරයේ සියළු දේපල,” වලට වැඩි වෙන්නේය කියාත් තේරුම් ගන්නට කිසිත් උවමනාවක් නැත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: