අරුණි ශපීරෝ‍ වෙතින්

මොකක්ද සිද්ධ වූ විප්ලවය?

Posted in Uncategorized by arunishapiro on ජූනි 18, 2020

වෙනසක් ඉල්ලා උද්ඝෝෂණයක යෙදුන ජනතාවකට ලැබුණ වෙනස කුමක් වූයේද?

අපේ ජීවිත කාලයේ දකින්නට ලැබුණු උද්ඝෝෂණ වලින් පසුව වෙනස් කරන ලද නීති රෙගුලාසි වලින් ඉල්ලා සිටි යහපත සමාජයට ලැබුණා ද?

ඒවාට සහභාගී වූ නායකයන්ගේ සහ සාමාන්‍ය ජනතාවගේ සමාජ තත්වයන් කුමන ආකාර වලින් වෙනස් වූවාද?

හිතට අවංක වෙමින් සොයා බලන අයෙකුට තත්වයන් සැබැවින්ම යහපත් අතට වෙනස් වී ඇත්තේ සමාජයක් වෙත පනවා තිබුණ දරදඬු නීති රෙගුලාසි ලිහිල් කරලීමෙන් පසුව බව ඉතාමත් පහසුවෙන් සොයා ගත හැකි යුගයක අද අපි සිටිමු.

ඒත් සොයා බැලීමක් කරනවාට වඩා, නිමේශයෙන් සිත පුරවන හැඟීමකින් වින්ඳනය ලැබීම මිනිස් ස්වභාවයයි.

“සාධාරණත්වය ඉටු කරනු!”

එය නිමේශයෙන් සිත පුරවන සටන් පාඨයයි.

ඒත් සාධාරණත්වය සියල්ලන් සඳහාම ඉටුවෙන ආකාරය පැහැදිලි කරන ඕනෑම වෑයමක් කියැවීම වෙහෙසකර වූවකි. නීරස වූවකි. සිත නිමේශයකින් සතුටින් පුරවන සටන් පාඨ නැති වූවකි.

තමන් වෙනුවෙන් වෙහෙසෙන මිනිසුන් වැඩියෙන් සිටින තාක් කල්, එසේ වෙහෙසෙන මිනිසුන්ට සියල්ලන්ටම එක සේ පැනවෙන නීති රෙගුලාසි ඇති වාතාවරණයක ඔවුන්ගේ කටයුතු කරගෙන යෑම සඳහා නිදහසක් ලැබෙන තාක් කල්, ඕනෑම සමාජයක සැබෑ ප්‍රගතිය හෙමිහිට හෝ සිද්ධ වෙයි.

සටන් පාඨ වලට පමණක් තම ක්‍රියාකාරීත්වය සීමා වූ බහුතරය වාසය කරන පරිසරයේ ජීවන මට්ටම් පහළ යමින් වියවුල්කාරී සමාජ තත්වයන් රජයති.

නාට්සි වධකාගාර ගැන අසා ඇති කීයෙන් කී දෙනෙක් සෝවියට් රැඳවුම් කඳවුරු අධිරාජ්‍යය ගැන දන්නේද? දැන දැනත් මුනිවත රකින්නේද?

1930 සිට 1954 දක්වා කාලය තුළ සෝවියට් දේශයේ අධිරාජ්‍යවාදය ගැන අසා ඇත්තේ කවුද?

ඔව් එය යුද බලයෙන්, අවි බලයෙන් අල්ලා ගන්නා ලද භුමි ප්‍රදේශයන් වූහ. අල්ලා ගැනීමෙන් පසුව ඒවායේ බහුතර ජනතාව ඔවුන් දුම්රිය ගැව පෙට්ටි වලින් පිටමං කළේ නාට්සීන් විසින් යුදෙව්වන්ව, සමලිංගිකයන්ව, සහ අහිගුණ්ඨිකයන්ව පිටමං කළ යැවූ ආකාරයෙන්මයි. ඒත් ඊට වඩා ඉමහත් සංඛ්‍යා වලිනි.

වහල් සේවය කියද්දී ඕනෑම අයෙක් 17 වැනි සියවස ඇමෙරිකාව යැයි කියනු ඇත. ඒත් මිලියන හතක් පමණ වහලුන් 1954 දී සෝවියට් දේශයේ සිටියාය කියා දන්නේ කවුද?

සෝවියට් දේශය අල්ලා ගත් භූමි ප්‍රදේශ වලින් පිටමං කළ මුළු ජනතාව අතරේ වයස 16 ට අඩු බාල වයස්කාරයන් බාගයකට ආසන්න ප්‍රමාණයක් පමණ සිටියා යැයි ගැන ලෝක විරෝධතාවයක් කවදා හෝ ඇසී ඇත්දැයි කියා කල්පනා කර බලන්න.

ජනවාර්ගිකත්වය නිසා පමණින් පිටමං වෙන්නට සිද්ධ වූ කාන්තාවන් සිටි කඳවුරු තුළ දී වයස අවුරුදු හතරට අඩු දරුවන් සංඛ්‍යාව ඉහළ යාම නිසා “ළදරු නිවාස” හදන්නට සිද්ධ වූ ආකාරය ගැන ස්ත්‍රීවාදය කතා කරන අයගෙන් හෝ ඇසී ඇත්දැයි කියා කල්පනා කර බලන්න.

නැහැ, සාධාරණත්වය ඉටු කරනු කියද්දී අපට ඇහෙන්නේ ඇමෙරිකාවේ උද්ඝෝෂණ සහ කැරලි ගැන පමණි.

මේ “කොමියුනිස්ට්වාදයේ කළු පොත” කියවද්දී ඒ උද්ඝෝෂණ සහ කැරලි කරත හැකි නිදහස සදා රැකගත යුතු ඇයි යන්න ඔබට පැහැදිලි වෙනු ඇතැයි සිතමි.

“1944 මැයි 18-20 දී ක්‍රයිමියන් ටාටාර් එක්කාසු කරන ලදි. පළමු දවසේ සන්ධ්‍යාවේ කොබුලොව් සහ සෙරොව්, මේ මෙහෙයුම් බාරව සිටි දෙදෙනා, බෙරියා වෙත ටෙලිග්‍රෑමයක් යැවූහ: “අද ප.ව. 8:00 ට, 90,000 ක පිරිසක් දුම්රිය ස්ථානයට ගෙන යන ලදි. මුර රැකවල් ඇති කණ්ඩායම් දාහතකින් දැනටමත් 48,400 ක ජනතාවක් ඔවුන්ගේ ගමනාන්ත බලා රැගෙන ගොස් ඇත. මුර රැකවල් ඇති කණ්ඩායම් විසිපහක් දැනට පටවමින් සිටිති. මෙහෙයුම ඉතා සුමට ලෙසින් සිද්ධ වේ. එය දිගටම කරගෙන යනු ලැබේ.” ක්‍රයිමියන් ටාටාර් ජනතාව සෝවියට් දේශයේ වාසයට නුසුදුසු කොට්ඨාශයක් යැයි එල්ල වූ අවනම්බුව යළි කිසිත් දිනයෙක ඉවත් නොවීය.

සෝවියට් දේශය විසින් ජනවාර්ගික කණ්ඩායම් කොපමණ සංඛ්‍යාවක් තුරන් කර දැමුවාද?

1970 ගණන් අග දී දිවිගලවා ගන්නට සමත් වූවන් කිහිප දෙනෙකු වෙතින් අත්දැකීම් එකතු කරගැනුණි. අයෙක් මෙසේ සිහි කළේය: “සමර්කන්ද් (Samarkand) ප්‍රදේශයේ සෙරාබුලක් (Zerabulak) ගමනාන්තය තෙක් ගිය ගමනට දවස් විසි හතරක් ගතවිය. එතැනින් අපිව පාව්ඩා සාමූහික ගොවිපොළ වෙත යන ලදි. අපේ රස්සාව, අශ්ව කරත්ත අලුත්වැඩියා කිරීමයි… අපි ගොඩක් වෙහෙස වූවා, සහ අපි හැම විටම කුසගින්නේ හිටියෙ. අප අතර බොහෝ දෙනෙකුට හිටගන්නත් අමාරුයි. අපේ ගමෙන් ඔවුන් පවුල් තිහක් පිටමං කරල තිබුණ. පවුල් පහකින් එක්කෙනෙක් හෝ දෙන්නෙක් දිවි ගලවා ගන්නට සමත් වුණා. අනික් හැමෝම කුසගින්න නිසා නැත්නම් වසංගත නිසා මිය ගියා.”

තවත් දිවි ගලවා ගත්තෙක් මෙසේ සිහි කළේය.

“කිටි කිටියේ වසා දමා තිබූ පෙට්ටිවල, මිනිස්සු බඩගින්න නිසා සහ ඔක්සිජන් නැති නිසා මැස්සො වගේ මිනිස්සු මැරුණ. අනෙක අපිට කන්න හෝ බොන්න කවුරුත් කිසිවක් දුන්නෙ නැහැ. අපි ගම් හරහා යද්දී ඒ මිනිස්සුන්ව අපිට එරෙහි කරවල තිබුණ. අපි සියල්ලන්ම ද්‍රෝහීන් කියල. ඉතින් නොනැවතී එන ගල් වරුසා අපේ පෙට්ටිවල පැත්තටත් දොරවල් වලටත් වැදුන. කසකස්තාන් ස්ටෙප් බිම් වල මැද්දේ ඔවුන් අපේ දොරවල් අරිද්දී, අපිට හමුදා සලාක දුන්න කන්න, ඒත් බොන්න දෙයක් දුන්නෙ නැහැ. එසේම අපිට කිව්ව මිය ගිය අයව රේල්පාර අසලට විසිකරන්න කියල, ඔවුන්ව වළදාන්නේ නැතිව. අපි ආයෙත් පිටවෙලා ගියා.”

යම්කිසි විශ්වවිද්‍යාලයකට ඇතුල් වෙන්නට, බස් රථයක ඉදිරිපස ආසනයක වාඩිවී යන්නට හැකි උද්ඝෝෂණ ගැන සිහින මවන්නට පවා මේ ජනවාර්ගික කොටස් වලට 1954 වර්ෂයේ දී සෝවියට් දේශයේ දී නොහැකි වූයේ මන්දැයි කියා දැනගන්නට කැමති නම් කියවන්න “කොමියුනිස්ට්වාදයේ කළු පොතේ” අලුතින්ම එකතු කළ පරිවර්තන කොටස.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: