අරුණි ශපීරෝ‍ වෙතින්

“කවුරුන් වෙනුවෙන් ද ගංටාරය වදින්නේ?”

Posted in Uncategorized by arunishapiro on ජූලි 2, 2020

ඇමෙරිකාවේ වීදි තුළ දකින්නට ලැබුණ උද්ඝෝෂණ සහ පෙළපාලි ගැන ද ඇසිය යුත්තේ ඉහත ප්‍රශ්නයමයි. ඒත් මෙතෙක් ඉතිහාසයේ සැබැවින්ම සිද්ධ වූයේ මොනවාදැයි කියා සොයා නොබලන තාක් කාලයක් සැබැවින්ම සිද්ධ වෙන්නේ කුමක්දැයි යන අවබෝධය නොලැබෙනු ඇත.

අලුතින් එකතු කරන කොමියුනිස්ට්වාදයේ කළු පොතේ 2 වැනි කොටස, සෝවියට් දේශය විසින් මුළු මහත් ලෝකය පුරාම සමාජවාදී විප්ලවය අවුස්සන්නට ගත් වෑයම් සටහන් වෙයි.

ලෝක සමාජවාදී විප්ලවය සඳහා ඔවුන් කොමින්ටර්න් හෙවත් කොමියුනිස්ට් ජාත්‍යන්තරය පිහිටුවා ගත්හ.

හැකි කුමන ආකාරයකින් අරගලයේ නියැළීම ඔවුන්ගේ ක්‍රමවේදය වූයේය. එයට අවිගත් හමුදාවක්, ධනවතුන් භංග කිරීම, ප්‍රතිගාමීන් තුරන් කිරීම සහ අවසානයේ දී පවතින ඕනෑම රජයක් පෙරළා සෝවියට් යුනියනය විසින් පාලනය කරන ආණ්ඩුවක් පිහිටුවීම මේ ලෝක සමාජවාදී විප්ලවයේ අරමුණ විය.

පරිවර්තනය කියවද්දී, ඉතිහාසඥයන් ගෙනෙන සවිස්තර තොරතුරු ලියා ඇති ආකාරය දිගින් දිගට ඇදී යන බවකින් යුතු යැයි සමහර විට ඔබට සිතෙනු ඇත. සිද්ධීන් ගණනාවක් විවිධ රටවල් තුළ එකවර දිග හැරුණි. කොමියුනිස්ට් සටන්කාමීන් රටින් රටට රිංගා ගනිමින් ඒවායේ විප්ලව ඇති කරන්නට වෑයම් කළහ. ඒ නිසා සමහර අයගේ නම් හා ඔවුන් කළ විනාශකාරී කටයුතු එක තැනකට හෝ කාලයකට සීමා වී නැත.

රුමේනියාව, හංගේර්යාව, එස්ටෝනියාව, බල්ගේරියාව, යනාදී වශයෙන් සෑම රටක දී ම පාහේ කොමින්ටර්න් කටයුතු කළ ආකාරය මෙසේ විය.

මුලින්ම ඔවුන් පුහුණු කරන ලද සටන්කාමීන් කිහිප දෙනෙක් රටකට රිංගා ගනිති. පවතින වියවුලක් තව දීර්ඝ සහ දරුණු තත්වයට හරවන්නට ඔවුන් රහසේ කටයුතු කරති. වාමාංශික දේශපාලන පක්ෂ තුළට පමණක් නොව දක්ෂිණාංශ පක්ෂ තුළට පවා ඔවුන්ගේ සටන්කාමී ඔත්තුකරුවන් රිංගා ගනිති.

හැකි තරම් පුරවැසියන් සංඛ්‍යාවක් මරා දැමීම හෝ පිටුවහල් කිරීම ඔවුන්ගේ ක්‍රියාදාමයයි.

එසේම, ඔවුන් තුරන් කරන්නේ විරුද්ධ පක්ෂ පමණක්ම නොවේ.

තමන් සමඟ එකතුවෙන ලද සටන්කාමීන්වම, එනම් තමන් වෙනුවෙන් හතුරන්ව මැරූ සටන්කාමීන්ට ද අනතුරුව වධහිංසා දී මරා දමති. ලාච්චු තුළ හෙළවෙන්නට බැරි සේ හිරකරවා තබන යුද සිරකරුවන් ගැන කියවද්දී, ශ්‍රී ලංකාවේ රජයේ විශ්වවිද්‍යාල නවක වදය සිහියට නැඟුනේ මන්ද?

දරුවන් සහ කාන්තාවන් ඔවුන් වෙතින් ගැලවෙන්නේ ද නැත.

අන්තිමේ දී සමාජවාදී සිහිනය, හෝ කොමියුනිස්ට් සිහිනය කියා අත්පත් කරගන්නා ලද සමානාත්මතාවයක්, සාධාරණ සමාජයක්, ආර්ථික දියුණුවක්, හෝ සැබෑ සාමකාමී වාතාවරණයක් ඔවුන් සෝවියට් දේශය සමඟ සම්බන්ධව පවතින තාක් කල් ඒ කිසිම රටකින් දකින්නට නොලැබුණි.

අර්න්ස්ට් හෙමින්ග්වේ වෙතින් 1936 ස්පාඤ්ඤ සිවිල් යුද්ධය ගැන දැනගන්නට ලෝක ජනතාවට අවස්ථාව පෑදිණ. ඔහු ස්පාඤ්ඤයේ සිට යුධ වාර්තා 31 ක් ලියා ඇත. 1940 දී ඔහු ලියන “කවුරුන් වෙනුවෙන් ද ගංටාරය වදින්නේ?” යන පොත ද ඒ කාලයේ ඔහු ලද අත්දැකීම් සම්බන්ධයෙන් ලියැවෙන්නකි.

ලක්ෂ පහක් පමණ මිනිස් ජීවිත අහිමි වූ සහ තවත් ලක්ෂ පහක් පමණ සරණාගතයන්ට රටෙන් පැන යන්නට සිද්ධ වූ ස්පාඤ්ඤ සිවිල් යුද්ධයේ සටන් වදින්නට ලෝකයේ නන් දෙසින් ජනතාවක් එහි ගියහ. කොමින්ටර්න් විසින් ‘හමුදා උපදේශකවරු’ යැයි 2,044 ක් එහි යවා ඇත. ඒ නිල වශයෙන් සෝවියට් මූලාශ්‍රයක දැක්වෙන සංඛ්‍යාවයි.

ස්පාඤ්ඤයේ රිපබ්ලිකන් අරගලයට එකතු වෙන්න මුළු ලෝකයෙන්ම නිදහස් හිතවාදීන් ඇදී යද්දී, රිපබ්ලිකන් අරගලය මෙහෙයවන ලද සෝවියට් දේශය එහි මහා භීෂණයේ උච්චතම අවධිය ලොවෙන් වසන් කරන්නට සමත් වූයේ කෙසේද?

මේ දිනවල ව්ලැඩිමිර් පූටින් සිය පාලන බලයේ කාලය දීර්ඝ කර ගැනීමට නීති වෙනස් කරමින් සිටියි. චීනය හොංකොං වැසියන්ගේ නිදහස කප්පාදු කරන්නට නීති වෙනස් කරමින් සිටියි. ඒත් නිදහස් යැයි කියාගත් ලෝක මාධ්‍ය බොහොමයකින් අහන්නට ලැබෙන්නේ තවත් වසර 4 ක් පමණකට සීමා වෙන පාලන බලයක් ලැබේවි යැයි අනුමාන කෙරෙන ඩොනල්ඩ් ට්‍රම්ප් එළවා ගන්නට හැදී ඇති ප්‍රවෘත්ති වාර්තා සහ මතවාදයන්ය.

හෙමින්ග්වේ පක්ෂපාතීව සිටි රිපබ්ලිකන් ආණ්ඩුව වෙනුවෙන් සෝවියට් යුනියනය සැබැවින්ම සහාය දුන්නේ කුමන ආකාරයකින් ද යන්න සවිස්තර ලෙසින්, ඒත් ඉතාමත්ම නීරස ආකාරයකින්, මෙම පරිවර්තන කොටසින් ඉදිරිපත් වෙයි.

හෙමින්ග්වේ මැඩ්රීඩ් නගරයේ සිටිය දී එයට බෝම්බ ප්‍රහාර වැටිණ. ඉතින් “කවුරුන් වෙනුවෙන් ද ගංටාරය වදින්නේ?” නවකතාවට ඒ තොරතුරු තාත්වික ලෙසින් සහ හැඟීම් උපදවන ලෙසින් එකතු කරන්නට ඔහු සමත් වෙයි.

සිනමා වෑයමක් ලෙසින් 2012 දී “හෙමින්ග්වේ සහ ගෙල්හෝර්න්” (Hemingway & Gelhorn) ද ඒ අදහස් වෙනස් නොකර යළිත් අපිට පිළිගන්වා ඇත.

ඒත් ස්පාඤ්ඤයේ රිපබ්ලිකන් ආණ්ඩුව අස්සේ සෝවියට් බලය කොතරම් නින්දිත ක්‍රියාපටිපාටියක් ගෙන ගියාද යන්න පිළිබඳව නවකතා ලියැවී නැත. සිනමා වෑයම් දකින්නට නැත.

කේබල් කෙල්ලෝ (Cable Girls 2017-2020) නෙට්ෆ්ලික්ස් නිෂ්පාදනය කළ ස්පාඤ්ඤ බසින් සහ ඉංග්‍රීසි උපරැසි වලින් එන “ඩ්‍රාමා සීරීස්” එකකි. ජූලි මාසයේ එන අලුත් සීසන් එකෙන් සමහර විට අපිට ස්පාඤ්ඤයේ රැඳවුම් කඳවුර තුළට එබී බලන්නට හැකියාව ලැබෙනු ඇත. කොමියුනිස්ට්වාදයේ කළු පොතේ 16 සහ 17 වැනි පරිච්ඡේද මෙය නරඹන අය සඳහා කතාව තවත් රසවිඳින්නට පසුබිම් විස්තර රාශියක් සපයයි.

ඒත් ඉතිහාසයේ පසුබිම් නොදන්නේ නම්, එවැන්නෙකු විසින් හෙමින්ග්වේ කියවද්දී, හෝ ‘කේබල් කෙල්ලෝ’ නරඹද්දී, ඇති කරගන්නා මතය, එයින් බෙදන “පණිවිඩය” කුමක් වෙයිද?

සෝවියට් දේශය කඩා වැටීමෙන් අනතුරුව ඔවුන් යටත් කරගෙන සිටි දේශයන් වෙතින් ඔවුන්ගේ අලුත් පරම්පරාවට සැබෑ ඉතිහාසය ඉගැන්වීම සිද්ධ වී ඇත. නමුත් ඒවා සෙසු ලෝකයට දැනගත හැකි සේ පරිවර්තනය වෙන්නට තවත් කාලයක් ගතවෙනු ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: