අරුණි ශපීරෝ‍ වෙතින්

සමාජය පරාධීන කිරීම ප්‍රජාතන්ත්‍රවාදයෙන් කළ නොහැකි විට

Posted in Uncategorized by arunishapiro on ජූලි 20, 2020

කොමියුනිස්ට්වාදයේ කළු පොත පරිවර්තනයේ III වැනි කොටස මෙහි දී ඔබ වෙත. මේවා කටු සටහන් බවත්, සම්පූර්ණ පොත පරිවර්තනය කර අවසානයේ දී පද ගැලපිලි, සහ අකුරු වැරදීම් හදා තනි පොතක් හැටියට මෙහි එකතු කරන්නෙමි.

අනෙක් යුරෝපයේ කොමියුනිස්ට්වාදයේ වින්දිතයන් ගැන මේ තෙවැනි කොටස අන්ද්‍රීසි පැච්කෝව්ස්කි සහ කැරල් බාටොසෙක් දෙදෙනා විසින් ලියා ඇත. පොත 1999 වසරේ නිකුත් වූවක් බව මෙය කියවද්දී, එනම් ‘අද’ සහ ‘වර්තමානය’ යැයි දැක්වෙන තැන්වල දී සිහිකළ යුතුයි.

“මට හරියටම කියන්න මර්දන ක්‍රමය කුමක්දැයි කියා, එවිට කොමියුනිස්ට්වාදයේ එයට අනුකූල වෙන අදියරය කුමක්දැයි මම ඔබට කියන්නම්.” එදා පෝලන්තයේ ජනප්‍රිය කියමනක් වූ එය අද ලෝකයේ රටවල් වෙතින් ද, එදාට වඩා බරපතල බැවින් ඉතා අඩුවෙන් වුවත්, පහදා ගත හැකියාවක් මෙය කියැවීමෙන් පසු අයෙකුට හදාගත හැකියි.

පෝලන්තයෙන් පටන් ගෙන යුගොස්ලෝවියාව, ස්ලොවැකියාව, චෙකොස්ලෝවැකියාව, රුමේනියාව, හංගේරියාව, බල්ගේරියාව, සහ යනාදී රටවල් තුළ “හැමෝම හිරගෙදරට යන කාලය” ගැන සවිස්තර සටහන් මෙම කොටසට ඇතුලත් වේ.

“පංති අරගලය” යනු මානව දයාවේ උත්කර්ෂවත් වෑයමක් සහ ආචාර ධාර්මිකව පිවිතුරු වෑයම යැයි දකින අය තවමත් ලොව බහුලව සිටිති. ඒ අය අතරේ ඉහත සඳහන් කළ රටවල් ඇතුලේ මෙම කොටසෙන් ඉදිරිපත් කරන, ‘පංති අරගලය’ සැබැවින්ම දිග හැරුණේ කෙසේදැයි කියා දැන සිටින අයත් නිසැකයෙන්ම සිටිති. කාට කාටත් අන්තිමේ දී අත්වෙන්නේ කුමන ඉරණමක් දැයි විමසා බැලීම ඔබ තනිවම කළ යුත්තකි.

රජය හරහා දඬුවම් ලැබෙන්නේ කාටදැයි තව දුරටත් වසන් කරගෙන සිටිය නොහැකි යුගය උදා වූයේ ජනතාව අඩපණ කිරීම නොව නවෝත්පාදනය හඹා ගිය පෞද්ගලික අංශයේ වෑයම් හරහා ය.

ලෝකයේ ඒ ඒ රටවල ආණ්ඩු විසින් තවමත් අඩු වැඩි වශයෙන් නීතිය ඒ ඒ පුරවැසියන් වෙත බලපාන්නේ කෙසේදැයි කියා තෝරන බලය ඔවුන් අත තබාගෙන සිටිති. ලොව මහත් ජනතාවක්, විශේෂයෙන්ම ඔවුනට ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්නට ඉඩක් නැති නිසා, එනම් පෙළ පොත් අධ්‍යයනයෙන් සැබෑ ඉතිහාසය ගැන කිසිවක් දැන ගන්නට නොලැබුණු නිසාම, සියවසකට එහා කාලයක දී කළ වැරදි, එදා ඉල්ලා සිටි දේවල්, එදා උත්කර්ෂණීය කළ දැක්ම ඇති නායකයන්ම අදත් සුදුසු යැයි තරයේ විශ්වාස කරති.

සමාජය පරාධීන කිරීම ප්‍රජාතන්ත්‍රවාදයෙන් කළ නොහැකි විට බලතණ්හාධිකයන් යොදා ගත් නීති විරෝධී උපාය මාර්ගයන් වලට ව්‍යවස්ථාගත දඬුවම් නොතිබීම යන්න මෙහි 20 වැනි පරිච්ඡේදය අවසානයේ කෙරෙන අතිශයෙන්ම ඛේදනීය වූ හෙළිදරව්වයි.

“අධිරාජ්‍යවාදී” යන පරිභව පද වහර “කොමියුනිස්ට් අධිරාජ්‍යවාදය” නැත්නම් “සෝවියට් අධිරාජ්‍යවාදය” සම්බන්ධයෙන්, රජයෙන් බෙදන පෙළ පොත් සහ රජයෙන් බෙදන දැනුම තුළින් නොලැබේ නම් අයෙක් එයින් දිග හැරුණු ඛේදවාචකයන් කෙසේ වූවාදැයි දැනගන්නේ කෙසේද?

“මගේ පියාව පළමු වතාවට අත් අඩංගුවට ගත් පසුව, තවත් පොලිස් නිලධාරියෙක් මධ්‍යාහ්නයේ දී පමණ ඇවිත් මගේ මවට අංක 10 දරන පොලිස් ස්ථානයට එදා සවස පහට යන්න යැයි උපදෙස් දුන්නා. රූමත් සහ කරුණාවන්ත කාන්තාවක් වූ මගේ මව, ඇඳුම් පැළඳගෙන පිටත්වෙලා ගියා. අපි, ඇයගේ දරුවන් තිදෙනාම, ඇය එන තෙක් ගෙදරට වී බලා සිටියා. ඇය ආපහු ආවේ පාන්දර එක පසුවෙලා, පොරෝනයක් වගේ සුදුමැළි වෙලා, ඇයගේ වස්ත්‍ර සියල්ලම ඉරිලා කීතු කීතු වෙලා තිබුණ. ඇය නිවසට ගොඩ වූ වහාම ඇය උදුන වෙත ගියා, එහි දොර ඇරියා, ඇඳුම් ඔක්කොම ඉවත් කළා, ඒවා පුච්චලා දැම්ම. ඊට පසුව ඇය නෑවා, ඇය අපිව ඇයගේ අත් දෙකින් බදාගත්තේ ඊට පසුව පමණයි. අපි නිදාගන්න ගියා. ඊ ළඟ දවසේ ඇය පළමු සියදිවිනසා ගැනීමේ වෑයමේ නියැළුනා, ඊට පසුව තවත් වෑයම් තුනක් සිද්ධ වූවා, ඇය දෙවතාවක් වහ බීලා මැරෙන්න හැදුව. ඇය අදත් ජීවත්වෙලා ඉන්නවා, මම ඇයව බලාගන්නවා, ඒත් ඇය දැඩි ලෙසින් මානසික රෝගාතුර වී සිටින්නියක්. මම කවදාවත් හොයාගත්තේ නෑ ඔවුන් ඇයට සැබැවින්ම කළේ කුමක්දැයි කියා.” -1944 සිසිරයේ බල්ගේරියාවේ දී.

ඒ අහිංසකයන් වෙනුවෙන් මහ පාරේ උද්ඝෝෂණ කරන්නට, පාපතරයන් නඩුමඟට ගෙනියන්නට, කිසිදාක කිසිවෙක් ඉදිරිපත් වූයේ නැත.

ඒත් අදත් බහුතරය වනුයේ රජයේ බලය බලාත්මකව යොදවන්නට රජයේ නිලධාරීන්ට ඉඩදෙන නීති තවත් වැඩි කරන්න යැයි ඉල්ලා සිටින ජනතාවයි. බලයේ සිටින අය එසේ වූවාට හෙට පත්වෙන්නට පුල පුලා බලා සිටින අපේ පක්ෂයේ අද ඉන්නේ උගත්, බුද්ධිමත්, අවංක, ඇත්ත මිනිස්සු යැයි හුවා දක්වන්නට බලතණ්හාධික සියල්ලන් විසින්ම දැඩි වෑයමක නියැළෙති. ඔවුන් බලයට පත් වූ පසු කතාව යළිත් වෙනස් නොවන ආකාරයෙන්ම දිග හැරෙද්දී ජනතාව පුදුම වී බලා සිටිනු ඇත. ක්‍රමය වෙනස් කරගන්නට, එනම් රජයේ බලය අඩු කරන්නට යැයි ඉල්ලා සිටින කාලය කවදා ඒවිද?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: