අරුණි ශපීරෝ‍ වෙතින්

සමෘද්ධිය ගැන ද්වේෂ කරන්නේ දුප්පතුන් නම් නොවේ

Posted in Uncategorized by arunishapiro on සැප්තැම්බර් 13, 2020

දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව සෝවියට් ගුලාග් වලට යවන ලද කාන්තාවන්ගේ අත්දැකීම් රැගත් ප්‍රබන්ධයක් Cilka’s Journey නමින් හෙදර් මොරිස් විසින් ලියා ඇත. එහි සිංහල පරිවර්තනයක් චන්දන ගුණසේකර විසින් “සිල්කාගේ දිවිසැරිය” නමින් අලුතින්ම වෙළඳපොලට ඉදිරිපත් කර ඇත. සෝවියට් ගුලාග් පසුබිමක දිග හැරෙන සිංහල බසින් කියවත හැකි ප්‍රථම ප්‍රබන්ධය මෙය දැයි මම නොදන්නෙමි. ඒ කෙසේ වුවත්, ‘කොමියුනිස්ට්වාදයේ කළුපොත’ කියවමින් සිටින ඔබට සයිබීරියාවේ සහ චෙකොස්ලෝවැකියාවේ පැවති භීෂණ ගැන සෑහෙන තොරතුරු කියවන්නට ලැබී ඇති නිසා මේ නවකතාව කියවද්දී පසුබිම හුරු පුරුදු ලෙසකින් දැනෙනු ඇත.

මෙහි දී එකතු කරන්නේ ‘කොමියුනිස්ට්වාදයේ කළුපොත’ පරිවර්තනයේ හතරවැනි කොටසේ දෙවැනි බාගයයි. උතුරු කොරියාව, වියට්නාම් සහ ලාඕස්, කාම්බෝජය යන ආසියාවේ රටවල් තුළ කොමියුනිස්ට් වෑයම් කළ විනාශය මෙහි දී කියවන්නට ලැබේ.

‘කොමියුනිස්ට්වාදයේ කළු පොත’ මුල සිට කියවන්නට එන අයට මෙහි දකුණත පැත්තේ අගට පිළිවෙලින් එකතු කරන ලද PDF වලින් පුළුවනි.

ඊ ළඟට ගෙනෙන V වැනි කොටස තුන්වැනි ලෝකයේ කොමියුනිස්ට්වාදය ගැනයි. එයට ලතින් ඇමෙරිකාව, අප්‍රිකාවේ ඉතියෝපියාව, ඇන්ගෝලා සහ මොසැම්බික් සහ ඇෆගනිස්ථානය අඩංගුයි. එම කොටසේ පරිවර්තනය නිමා වූ පසුව සියල්ලම එකතු කර මුළු පොතම එක PDF එකක් හැටියට එකතු කරන්නෙමි.

උතුරු කොරියාව මරණයට පමුණුවන්නට “නරක වැසියන්” සොයද්දී හරකුන් ඝාතනය කළ අයවත් අපරාධකාරයන් හැටියට වර්ගීකරණය කළහ. කුසගින්න නිසා ගවයෙක් ඝාතනය කිරීම යනු කාම්බෝජයේ ද සිරගත විය හැකි වරදක් වූයේය. පොල් පොට්ගේ කාම්බෝජයේ දී කුසගින්න නිවාගන්නට තමන් විසින් වටපිටාවෙන් අල මුල් පළතුරු වැනි ආහාර සොයා යෑමත් සිරගත විය හැකි, ඒ නිසාම නියත මරණයක් අත්විය හැකි තත්වයක්ව පැවතිණ. ඒ හරකුන්ට ඇති විශේෂ ළැදියාවක් හෝ ආගමික නාමයෙන් ආරෝපණය කරන ලද සංස්කෘතික සද්ගුණයක් නිසා නොවේ. හරකෙක් මැරීම නිසා ලැබෙන මස් වලින් මහත් විශාල පිරිසකට එක වේලකින් වටිනා පෝෂණයක් ලැබීමට අවස්ථාවක් පෑදීම වාමාංශික රජයකට ඉවසා දරා ගත නොහැකියාව නිසයි.

කාම්බෝජය ගැන පරිච්ඡේදයේ දී ලංකාවේ නමක් ද හමුවේ. දිවිගලවාගෙන අවුත් ඇමෙරිකාව වාසස්ථානය කරගත් කාම්බෝජ වැසියන් නම දෙනෙක් හමුවී සම්මුඛ සාකච්ඡා වලින් Beyond the Killing Fields නමින් පොතක් සම්පාදනය කර තිබෙන්නේ ඌෂා වේලාරත්න විසිනි.

ඊළාම් කොටි ගැන ආසියාව ගැන ලියන පරිච්ඡේදයේ එක වාක්‍යයක පමණක් සඳහන් කර ඇති නමුත් මෙහි සඳහන් අනෙකුත් රටවල් වල දී සේ ම වාමාංශිකයන් විසින් වාමාංශිකයන්ව මරන ලද 1987-1989 ජවිපෙ භීෂණය ගැන කිසිවක් කොමියුනිස්ට්වාදයේ කළුපොත තුළ සඳහන් කර නැත.

වියෙට්නාම් යුද්ධය ගැන ලෝකයේ බොහෝ රටවල වැසියන් දන්නේ ඇමෙරිකාව ඒ හා සම්බන්ධ වූ තැනේ දී පටන් පමණි. ඇමෙරිකාව පරාජය කළා යැයි කියා (ඇමෙරිකන් වැසියන්ගේ උද්ඝෝෂණ මත ඇමෙරිකන් ආණ්ඩුව අනුන්ගේ යුද්ධයකට මැදිහත්වීමෙන් අයින් වූ බව නොතකා) වියෙට්නාමයට ප්‍රශංසා කරන අය සිටින නමුත් ඇමෙරිකන් හමුදා ඉවත් වී ගිය පසු වියෙට්නාමය ඔවුන්ගේම රටවැසියන්ට සැලකුවේ කෙසේදැයි කියා සැබැවින්ම විමසන ලද අය ඉන්නේ කොපමණ සංඛ්‍යාවක් ද?

පොඩි මිනිහා වෙනුවෙන් කැප වෙනවා කියන වාමාංශිකයන්ට රැවටී කොමියුනිස්ට්වාදී වූ රටවල් තුළින් පැහැදිලිවම පෙනෙන පරිදි වැඩියෙන්ම මිය ගියේ වාමාංශික සටන්කාමීන්ම සහ දුප්පතුන්ම වීම මුලින්ම ප්‍රශ්න කළ යුත්තේ වාමාංශිකයන්ම නොවේද?

ක්‍රමයෙන් රජයේ මැදිහත්වීම් වැඩි වීමටත්, එතැනින් සමාජවාදය වෙතටත්, අනතුරුව කොමියුනිස්ට්වාදය ආසන්නයටත්, තවමත් විවිධ රට රටවල ජනතාව ඇදී යාම කාලයෙන් කාලයට දැකිය හැකියි. වාමාංශික පැත්තට වැඩියෙන් පිවිසෙද්දී ආර්ථිකයට හානි සිද්ධ වීම ක්ෂණිකව සහ පැහැදිලිව පෙනෙන්නට පටන් ගැනෙද්දී බොහෝ රටවල් කෙටි කාලයකට හෝ ලිහිල් ආර්ථික පිළිවෙත් ඇති දක්ෂිණාංශයට නැවතත් හැරීමක් දකින්නට ලැබේ. ඒත් යළිත් සමෘද්ධිමය වාතාවරණයක් යාන්තමින් හෝ ඇතිවෙද්දී, ආර්ථිකය යාන්තමින් හෝ වැඩෙද්දී, ඒ යල්පැන ගිය අදහස් නැවතත් දිග හැරෙන ආකාරය දකින්නට හැකිවෙයි.

යාන්තමින් හරි ඉඩක් දෙන විට සමාජයේ සියල්ලන්ටම එක සේ පෑදෙන සමෘද්ධියට ද්වේෂ කරන්නෝ කවුරුන්ද? ඉතිහාසයෙන් ලැබෙන මේ තොරතුරු වලින් පෙනී යන්නේ ඒ අය කිසිත් විටෙක දුප්පතුන් නම් නොවූ බවයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: