අරුණි ශපීරෝ‍ වෙතින්

පාන් හැදීම, පරිවර්තන වෑයම්, සහ බයිසිකල් සවාරි

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 8, 2020

ජීවිතයේ තවත් දශකයක ආරම්භය අත ළඟ එද්දී, වේගය අඩු කළත් ජයගත යුතු දේවල් එමට ඇතැයි පෙනී යයි.

පාන් සම්බන්ධයෙන් ලෝක ඉතිහාසයේ උද්ඝෝෂණ පෙළපාලි බොහොමයකි. ඒ සෑම එකක්ම වෙළඳපොලට ආණ්ඩුවක් මැදිහත්වීම නිසා හට ගැනුණු අර්බූදයකි.

රුසියන් ආණ්ඩුව (ස්වීඩනයට අලෙවි කළ) ධාන්‍ය තොග වශයෙන් මිල දී ගැනීම නිසා පාන් විකුණුම් මිල ඉහළ යෑමෙන් 1650 දී හටගත් ‘නොව්ගොරොඩ් අරගලය’ මුල්ම සටහන් ගත වූවයි.

බ්‍රිතාන්‍ය යටත් විජිත ආණ්ඩුවට එරෙහිව ඇමෙරිකා යටත් විජිතයේ මැසචූසෙට්ට්ස් ප්‍රාන්තයේ 1710 සහ 1713 අතර ඉහළ ගිය පාන් මිල ගැන පවත්වන ලද ‘බොස්ටන් පාන් උද්ඝෝෂණ’ කිහිපයක් සහ ප්‍රංශයේ 1775 දී සිද්ධ වූ ‘පාං පිටි යුද්ධය’ ඇතුළුව පාන් අර්බූදයන් ලෝකයේ විටින් විට එළිදැක ඇත.

1953 නැගෙනහිර ජර්මනියේ මාර්ක්-එංගල්ස් ප්ලාට්ස් හි දී “අපිට නිදහස ඕනෑ, අපිට පාන් ඕනෑ, අපිට සියළු රුසියානුවන්ට ගහලා මරා දමන්න ඕනෑ,” යැයි කියමින් නැඟී සිටි අරගලයේ දී ජර්මානුවන් 513 ක් මිය ගියහ. සමාජවාදී ක්‍රමය වෙනුවෙන් පෙනී සිටින අය අසාර්ථකත්වය හමුවේ හැමදාම කරන්නේ වෙන කවුරුන් පිට හෝ වරද පැටවීමයි. බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් ‘වෙනත් ජනතාවක් පත්කර ගැනීම,” විසඳුම හැටියට ලියුවේ එහි දී ය. එහෙත් ආණ්ඩුවට වැරදුනා කිව්වට, ක්‍රමය අසාර්ථක යැයි කියා නම් බ්‍රෙෂ්ට් පවා කිසිදා පිළිගත්තේ නැත.

1977 ‘ඊජිප්තු පාන් උද්ඝෝෂණය’ එරට ප්‍රධාන නගර කිහිපයක් පුරා පැතිර යන ලද්දකි. රජයේ සේවකයන්ගේ බෝනස් සහ දීමනා අඩු වෙන පාටක් පෙනෙද්දී, මුලින්ම පාරට බහින්නේ ‘රට වෙනුවෙන් වැඩ කරනවා’ කියන රජයේ සේවකයන්මයි.

කෝවිඩ් වසංගතයේ සත්‍යය තත්වයන් කණපිට හරවමින් තම බලය පෙන්වන්නට පටන් ගත් පාලකයන් අඩු වැඩි වශයෙන් ලෝකයේ නන් දෙසින් දැකගන්නට හැකිවිණ. වමට කොතරම් නැඹුරුදැයි අනුව ඒ ඒ දේශපාලකයන් බලාත්මක බලය යොදවා ජනතාවට තහනම් වැඩි කිරීම දකින්නට ලැබීම පුදුමයක් වූයේ කාටද?

කෝවිඩ්-19 නිසා පාන් හිඟයක් ඇමෙරිකාවේ පැවතියේ නැත. ඒත් නිවාස අඩස්සියට දමන ලද ජනතාව පාන් හැදීමට පුහුණුවන අත්හදා බැලීම් කරන්නට පටන් ගැනීම නිසා පාන් පිටි සහ යීස්ට් හිඟයක් ටික කලක් පැවතිණ.

ඒ ගෙදර දී ම පාන් හැදීමේ අත්හදා බැලීම් පසුගිය දිනවල මම ද කරගෙන ගියෙමි. අති සාර්ථකව මගේම රෙසිපි හදා ගන්නට හැකි තත්වයකට එන්නට හැකි තවත් කුසලතාවයක් එකතු කර ගැනීමේ සතුට මෙසේ බෙදා ගනිමි.

මේ නිවාස අඩස්සිය නිසා යළි පටන් ගත් පරිවර්තන වෑයම දැඩි සේ දුෂ්කර වූවකි. දත්ත සහ මූලාශ්‍ර දක්වමින් සටහන් ගත කරන්නක්, විශේෂයෙන්ම එය මහා ඛේදවාචකයක් වෙද්දී, එය කියවන්නට වෑයමක් ගන්නා අයෙක් සිටිවීදැයි යන්න පවා ගැන සැක සහිතව පටන් ගත්තකි. ඒත් එය කියවන්නට ඩවුන්ලෝඩ් කරගන්නා අය එන්න එන්නම වැඩි වී ඇතැයි දකින්නට ලැබීම මා දිරිමත් කරන ලදි.

ආණ්ඩුවේ මැදිහත්වීම් නිසා ශාරීරික සහ මානසික සෞඛ්‍යය මෙන්ම ආර්ථිකය ද ඇතුළුව මිනිස් ජීවිතයේ අනාගත මෙන්ම එදිනෙදා කටයුතු සියල්ල වෙතම දැඩි සේ අහිතකර බලපෑම් ඇති කරමින් පැවතීම ඇස් පනා පිට ඔප්පු වෙන 2020 අවුරුද්ද තුළ දී ලෝකයේ සෑම පුරවැසියෙක් විසින්ම තදින් ඉල්ලා සිටිය යුත්තේ ආණ්ඩුවේ මැදිහත්වීම් අඩු කළ යුතුයි කියා මිසෙක ඒවා සාධාරණීය කරන්නට හේතු සෙවීම නොවේ.

මගේ නිවහන අවට ඇති බයිසිකල් සවාරි යා හැකි, ඒ සඳහාම ඉදිකරන ලද, අතුරුපාරවල් සොයා ගැනීමට කාලයක් තිස්සේ අරමුණු කරගෙන සිටියෙමි. ඔව්, මේ ඇමෙරිකාව නිසා ඒ සඳහා ඉදිකරන ලද රජයේ නොවන පෞද්ගලික භූමි තුළ හදා ඇති ගෙවීමක් නොකර යා හැකි බයිසිකල් මාර්ග ද ඇත. ගිම්හානය ගෙවී ගියේ අලුත් ඉතා සුන්දර බයිසිකල් මාර්ග සහ කෝපි කඩ ගණනාවක් සොයා ගැනීමෙනි. බයිසිකල් සවාරි නිසාම අලුතින් මිතුරු කැළක් ද එකතු කරගැනීමේ භාග්‍යය ලද්දෙමි.

සමාජවාදී නොවන අපි, පොදු යහපත නොව පෞද්ගලික යහපත උදෙසා පෙනී සිටින අපි, ව්‍යසනකාරී තත්වයන් ගෙනෙන්නට රජයක් වෑයම් කරද්දී පවා අපේ යහපත සලසා ගත හැකි ක්‍රම සොයා යමු. අපේ කුසලතාවයක් දියුණු කරගත හැකි අවස්ථාවකින් ප්‍රයෝජන ගනිමු. අධ්‍යාත්මික ප්‍රබෝධය වෙනුවෙන් කටයුතු කිරීම පමණක් නොව ශාරීරික උන්නතිය සඳහා ඇති ඉඩකඩකින් ද ප්‍රයෝජනය ගනිමු. අපි එසේ කරන්නේ යැයි ලොවට හඬ ගා කියමු. සමාජවාදීන්, අනෙක් අතට, පොදු යහපත වෙනුවෙන් පෙනී සිටිනවා යැයි ලොවට හඬ ගා කියමින්, අනුන්ට තහනම් පැනවීම ගැන නොපැකිළව පෙනී සිටිමින්, ඔවුන්ගේ පෞද්ගලික යහපත උදෙසා කැපවීමෙන් වැඩ කරමින් සිටිති!!!!!

One Response

Subscribe to comments with RSS.

  1. Sam Perera said, on ඔක්තෝබර් 9, 2020 at 1:47 පෙ.ව.

    //ඒ ගෙදර දී ම පාන් හැදීමේ අත්හදා බැලීම් පසුගිය දිනවල මම ද කරගෙන ගියෙමි. අති සාර්ථකව මගේම රෙසිපි හදා ගන්නට හැකි තත්වයකට එන්නට හැකි තවත් කුසලතාවයක් එකතු කර ගැනීමේ සතුට මෙසේ බෙදා ගනිමි.//

    මේක කියවපුවාම මමත් ප්‍රොෆෙෂනල් බක්කරේ කෙනෙක් වෙලා වෙච්ච අලකලංචියක් මතක් උනා. 2008 දී වසර කිහිපයක විරාමයක් (රැකියාවෙන් අස් වී, පිටිසර පළාතකට ගොස් ගොවිතැනක් බතක් කරගෙන ටික කලක් ජීවත් වීම සඳහා ගත් විරාමයක්) ගෙන අපි මෙල්බර්න් සිට කිලෝ මීටර් 550 පමණ දුරක පදිංචියට ගියා. රැකියාවට යාම සඳහා උදයේ නැගිටීම, ට්‍රැෆික් ජෑම් මැද වැඩට යාම/ඒම වැනි එදිනෙදා ජීවිතයේ අකමැතිම දේවල් වෙනුවට, ගෙවතු වගාව, අළුත් අළුත් ආහාර වර්ග අත් හදා බැලීම වැනි ඉතාමත්ම විනෝදාත්මක කටයුතු කරමින් ගත කල ඒ කාලයේ, ගෙදර පාං පිච්චීමටත් මම කටයුතු කළා. කඩෙන් පාං ගෙඩියක් ගන්නා මිල වාගේ දෙතුන් ගුණයක වියදමක්, මහන්සියක් ඒ වෙනුවෙන් වැය උනත්, අපි ලංකාවේදී කාපු පාං ඒ හැටියටම හෝ ඊටත් වඩා හොඳට හදන්න මම ඉගෙන ගත්තා. ලංකාවේ පාන් වලින් වෙනස් උනා නම් ඒ ගුල්ලෝ නැති කම විතරයි. හැමදාම උදේට ඇහැරෙන්නේ පාං පිච්චෙන සුවඳත් සමගයි. නමුත්, ඊළඟ වසරේ අපේ වාර්ෂික සෞඛ්‍ය පරීක්ෂාව කලාම තමයි තරු පෙනුනේ. සීනි මට්ටම අහස උසට නැගලා. ඒ තමා මගේ බක්කරේ වෘත්තීයේ නිමාව.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: