අරුණි ශපීරෝ‍ වෙතින්

වසංගතයේ දී සෞඛ්‍යය සහ ආර්ථිකය යන දෙකම ආරක්ෂා කරගත් රටවල් මොනවාද?

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 12, 2020

දේශපාලනීයකරණය වෙද්දී බෝවෙන රෝගයකින් පවා වැඩියෙන් බැට කන්නේ පුද්ගලයාගේ සෞඛ්‍යය නොව පුද්ගලයාගේ ආර්ථිකයයි. තවත් විදියකින් කිව්වොත්, වැඩියෙන් සෞඛ්‍ය අනාරක්ෂිත තත්වයකට ජනගහණයක් පත්වීම වෙනුවට වැඩියෙන් ආර්ථික අනාරක්ෂිත තත්වයකට මුහුණ දීමට ජනගහණයට සිදුවේ. එහි දීර්ඝ කාලීන ඵලවිපාකය වැඩියෙන් අනාරක්ෂිත සෞඛ්‍යය තත්වයන් ඇතිවීමයි. ලංකාව ස්වයංපෝෂිත කරන්නට කියා ‘පස් අවුරුදු සැලසුම්’ ගෙනන ලද කාලය ලංකා ඉතිහාසයේ සෞඛ්‍ය ක්ෂේත්‍රය දැඩි ලෙසකින් පරිහානියට ගිය කාලය වූයේය.

කෝවිඩ්-19 වසංගතය නිසා සිදුවෙන මරණ සංඛ්‍යාවන් මෙපමණක් මෙපමණක් යැයි ප්‍රධාන සිරස්තල ලෙසින් වාර්තා කිරීම දැන් නැවතී ඇත. ඒත්, බෝවී ඇති අයගේ සංඛ්‍යාවන් වාර්තා කිරීම ජයටම සිදුවේ. වසංගතය බෝවූ අයගෙන් මිය ගිය හෝ යළි සාමාන්‍ය තත්වයකට එන්නට නොහැකි ලෙසින් අබල දුබල වූ ජන සංඛ්‍යාව කොතරම් දැයි දක්වන්නේ නැතිව වසංගතය බෝවෙන අය මේ මේ ගණන් යැයි වාර්තා කිරීම “විද්‍යාත්මක ක්‍රමයක්” නොවේ. කෝවිඩ්-19 වසංගතය වාර්තා කිරීම ආරම්භයේ සිට ම දේශපාලනීයකරණය වූවා මිසෙක කිසිදු ලෙසකින් විද්‍යාත්මක වූයේ නැත.

ලැබී ඇති නවතම දළ ජාතික නිෂ්පාදිතයේ දත්ත ඇසුරින් රටවල් 38 ක ආර්ථික පරිහානිය දක්වන ප්‍රස්ථාරයක් පහත මූලාශ්‍රය ඇති ලිපියේ අඩංගුයි. 2020 වසරේ අප්‍රේල් සිට ජූනි දක්වා, එනම් දෙවැනි කාර්තුව යැයි සැලකෙන්න, පසුගිය වසරේ එම දෙවැනි කාර්තුව හා කරන සංසන්ඳනයක් අනුව එම ලිපිය සකස් වී ඇත.

ස්පාඤ්ඤය, මහා බ්‍රිතාන්‍යය, සහ ටියුනීසියාව දැඩි හානිකර වූ ආර්ථික අවපාතයන් අත්විඳ ඇත. අනෙක් අතට තායිවානය ඒ සලකා බලන ලද කාලයේ දී අත්විඳ ඇත්තේ සියයට 1 කටත් වඩා අඩු ආර්ථික අවපාතයකි. ෆින්ලන්තය, ලිතුවේනියාව, දකුණු කොරියාව යනාදිය ද සියයට 5 ක් හෝ ඊට අඩු දළ ජාතික නිෂ්පාදිතයක අවපාතයක් අත්විඳ ඇත.

ආර්ථිකය පාවා දීමෙන් සෞඛ්‍යය ආරක්ෂා කරගන්නට හැකියාවක් ලැබුණාය යන මිථ්‍යාව වෙනුවට එහි අනෙක් පැත්ත සිද්ධ වී ඇතැයි මේ ලිපියෙන් දක්වයි. වඩාත්ම දරුණු ආර්ථික අවපාත වලට ලක්වී සිටින රටවල් තුළ වඩාත්ම ඉහළ කෝවිඩ්-19 මරණ අනුපාතිකයන් දකින්නට ලැබේ. උදාහරණ ලෙසින් පෙරූ, ස්පාඤ්ඤය, සහ මහා බ්‍රිතාන්‍යය දක්වා ඇත.

අනෙක් අතට, තායිවානය, කොරියාව සහ ලිතුවේනියාව යන රටවල් මරණ අනුපාතිකය අඩුවෙන් පවත්වා ගන්නට සමත් වූ අතර ඒවායේ ආර්ථිකයට සිද්ධ වූ හානිය ද මධ්‍යස්ථ ලෙසින් පවතී.

එසේම එක හා සමාන ලෙසින් දළ ජාතික නිෂ්පාදිතය අඩු වූ රටවල් අතර විවිධ මරණ අනුපාතිකයන් දකින්නට ලැබේ. මෙහි දී ඇමෙරිකාව සහ ස්වීඩනය සමඟ ඩෙන්මාර්කය සහ පෝලන්තය සසඳා බැලිය හැකියි. මේ රටවල් හතරේම ආර්ථිකයන් සියයට 8-9 අතර අඩුවීමක් දකින්නට ලැබුණත් මරණ අනුපාතිකයන් සැලකිය යුතු ලෙසින් වෙනස් වෙති.

එම ලිපිය පෙන්වා දෙන වැදගත්ම කාරණය වන්නේ ජනතාවගේ සෞඛ්‍යය ආරක්ෂා කරගන්නට නැත්නම් ආර්ථිකය ආරක්ෂා කරගන්නට කියා දෙකෙන් එකක් බිල්ලට දීමෙන් අනෙක ආරක්ෂා කරගන්නට හැකි වූ රටක් නැති බවයි. දැනට ඇති දත්ත පෙන්වන්නේ ජීවිත බේරා ගැනීම සහ වසංගතය පැතිරීම පාලනය කරගන්නට සාර්ථකව සමත් වූ රටවල් හොඳම ආර්ථික උපායමාර්ගයන් ද යොදාගන්නා ලද රටවල් බවයි.

පහත මූලාශ්‍රයේ දත්ත දක්වන්නේ කැනඩාවට වඩා, ජර්මනියට වඩා, ජපානයට වඩා, ප්‍රංශයට වඩා, සහ මහා බ්‍රිතාන්‍යයට වඩා ආර්ථිකයෙන් යහපත් තැනක සිටින්නට ඇමෙරිකාව සමත්ව ඇති බවයි. මහා බ්‍රිතාන්‍ය සමඟ සසඳන විට ඇමෙරිකාවේ ආර්ථික අවපාතය සහ මරණ අනුපාතිකය යන දෙකම අඩුවෙන් පවතී.

ඇමෙරිකාවේ පාලන බලය බෙදී පවතින ආකාරය වටහා ගැනීමට අද ඇමෙරිකාවේ වාසය කරන බොහෝ පුරවැසියන්ට මෙන්ම සමහර පාලකයන්ට ද නුහුරු වූවකි. ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් වැඩ වරද්දා ගත් හැටි ගැන දැනටමත් උවමනාවක් ඇති අයෙකුට සොයා ගැනීම ඉතා පහසුයි.

වසංගතය නිසා සිද්ධ වූ මරණ ඉතාමත් අඩු මට්ටමකින් පවතින රටක් විසින් ආර්ථික බාධක මහත් රාශියක් සීඝ්‍රයෙන් ගෙනැවිත් රටේ ආර්ථිකය තවත් දශක ගණනාවක් යන තුරු අනතුරුදායක තත්වයකට ඇද දමා ඇති ආකාරය ගැන කතා කරන්නට ඉදිරිපත් නොවී එවැනි රටක වාසය කරන අය ඇමෙරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් හාස්‍යයට ලක් කරමින් සතුටු වෙන ආකාරය දැකීම දුකකි.

ඇමෙරිකන් ජනතාව ණය කරවන්නට ට්‍රම්ප්ට හෝ ඕනෑම ඇමෙරිකන් ජනාධිපතිවරයෙකුට ඇති හැකියාව අඩාල කරන්නට ප්‍රාන්ත 50 ක්, කොංග්‍රසයක්, සෙනෙට් සභාවක්, සහ සුප්‍රීම් උසාවියක් ඇත. ඒත් එයාකාර ලෙසකින් බලය බෙදී යන යාන්ත්‍රණ නැති රටවල ජනතාව තම “ජාතියේ පියා” විසින් “රට බේරාගන්නා ආකාරය” දකිද්දී මුලාවෙන් රැවටී සිටින්නන් සැනසුම් සුසුම් හෙළති, ආර්ථිකය තවත් විනාශයට ඇද වැටීම කල් තියා දකින්නට හැකි අය පශ්චාත්තාපයේ සුසුම් හෙළති.

ඉංග්‍රීසි ලිපිය මෙතැනින්:
Which countries have protected both health and the economy in the pandemic? By Joe Hasell, September 01, 2020

One Response

Subscribe to comments with RSS.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: