අරුණි ශපීරෝ‍ වෙතින්

2020 ඇමෙරිකන් ජනාධිපතිවරණය

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 26, 2020

මම ඇමෙරිකාවට පැමිණියේ 1989 ගිම්හානයේ දී ය. එවක දී රොනල්ඩ් රේගන්ගේ උප ජනාධිපති ලෙසින් කටයුතු කළ ජෝර්ජ් එච්. ඩබ්ලිව්. බුෂ් රටේ ජනාධිපතිවරයා ලෙසින් වැඩ පටන් ගෙන තිබුණි. ඔහුට දෙවැනි වාරයක් නොලැබෙන හේතුව, රහස් පරීක්ෂක කතාවක් මෙන් ලියන ලද බදු අබිරහස, කළින් දවසක මම පරිවර්තනය කළෙමි. බිල් ක්ලින්ටන්ගේ පළමු වාරය පටන් ගනිද්දී මට ඇමෙරිකන් පුරවැසිභාවය ලැබී තිබිණ. ඔහුගේ දෙවැනි වාරය සඳහා ටෙනසි ප්‍රාන්තයේ නොක්ස්විල් නගරයේ පැවැත්වෙන ලද චන්ද රැළියකට ගිය මට (හමේ පාට නිසා යැයි සිතමි) සභාවේ ඉදිරියෙන්ම අසුන් ගන්නට පුටුවක් සහ ක්ලින්ටන් සහ ගෝර් දෙදෙනාට අතට අත දෙන්නටත් අවස්ථාව ලැබිණ.

ඊ ළඟට පත් වූයේ ජෝර්ජ් ඩබ්. බුෂ් විය. ඔහු නොක්ස්විල් නගරයේ ගුවන්තොටුපොළට පැමිණ, කිසිදු හැඟීමක් ඇති නොකරන කතාවක් පවත්වා නික්ම ගියේය. බහුතරයට වැඩි එක ‘දිස්ත්‍රික්ක චන්දයකින්’ බුෂ් ජනාධිපතිවරයා වෙන්නේ අනෙක් අපේක්ෂකයා වූ ගෝර් වෙත වක්‍ර ආකාරයකින් ක්ලින්ටන්ගේ අනියම් පලහිලව්ව ඇඳී තිබුණ හෙයිනි. 22 වියැති මොනිකා ලුවින්ස්කි සමඟ “කිසිදු ලිංගික සම්බන්ධයක් නැතැයි,” දිවුරුම් යටතේ ක්ලින්ටන් කියන ලද බොරු ප්‍රකාශය නිසා නියෝජිත සභාවෙන් ඔහුව “විශ්වාස භංගයට” පත්ව සිටියේය.

හිලරි ක්ලින්ටන් ඉහළින්ම දිනන බවත් ඇය පහසුවෙන්ම ඩෙමොක්‍රැටික් පක්ෂයේ නාම යෝජනාව ලබාගන්නා බවත් මාධ්‍ය විසින් කියද්දී කිසිවෙක් නම හෝ අසා නොතිබුණ බරක් ඔබාමා නාම යෝජනාවත්, 2008 ජනාධිපතිවරණ ජයත් ලබාගන්නට සමත් විය. ඒ වසරේ මම ප්‍රථම වරට චන්ද පොළක වැඩට ගියෙමි. ඔබාමාගේ දෙවැනි ජනාධිපතිවරණයට ජනතාව සහභාගී වූයේ වැඩි උනන්දුවක් නැතිවයි. 2012 දී මම රොම්නි රැළිය නරඹා පැමිණ වෙන අයෙකුට චන්දය දුනිමි. 2014 දී මම නැවතත් චන්ද පොළක වැඩට ගියෙමි.

2016 දී ද හිලරි ක්ලින්ටන් දිනන බවට කල් තියාම පැවති පොදු මතය වූයේය. ඩොනල්ඩ් ට්‍රම්ප් දිනාවි යැයි ප්‍රසිද්ධියේ කියූ අය අතලොස්සක් වූවා පමණක් නොව “නිහඬ බහුතරය” යන වචනය එදා අද තරම් අහන්නට නොතිබුණකි. CNN හි මැතිවරණ ප්‍රතිඵල ඉදිරිපත් කරන ලද ස්වරය වෙනස්වීම බලා සිටිය දී පැහැදිලිවම ඔවුන්ව ද පුදුමයට පත් කරන ලද බව පෙනිණ. එදා මම ඩෙලවෙයාර් ප්‍රාන්තයේ චන්ද පොලේ වැඩට ගිය බැවින් ගෙදර එන්නට පෙර නියම වූ කර්තව්‍යයක් හැටියට අපේ දිස්ත්‍රික්කයේ ප්‍රතිඵලය වූ ට්‍රම්ප් ජයග්‍රහණය චන්ද ස්ථානයේ දොරේ අලවා ආවෙමි.

තව සතියකින් පැවැත්වෙන්නට නියමිත 2020 ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී ඩෙලවෙයාර් ප්‍රාන්තයේ වාසය කරන, ඔබාමාගේ උප ජනාධිපති හැටියට කටයුතු කළ ජෝ බයිඩන් තරඟ කරයි. ඔහු පහසුවෙන්ම දිනන්නට නියමිත යැයි ප්‍රධාන මාධ්‍ය විසින් කාලයක් තිස්සේ ස්ථාවරයක සිටිය දී “නිහඬ බහුතරය” ගැන කසුකුසුවක් පැත්තකින් දිගින් දිගටම අහන්නට ලැබිණ.

අවුරුදු 30 ක් ඇමෙරිකාවේ මැතිවරණ ගැන යම් අවධානයක් දක්වන ලද මට මෙවර මැතිවරණය අරුම පුදුම මැතිවරණයක් ලෙසින් පෙනී යයි.

ප්‍රාන්ත සහ ජනාධිපතිවරණ මුල් මැතිවරණ දෙකක් සඳහා දැනටමත් මම චන්ද පොලට වැඩට ගියෙමි. කෝවිඩ්-19 වසංගතය මැද්දේ එක් වතාවක් කල් දමා වෙනත් දිනයක පවත්වන ලද්දා වුවත් ඒ මුල් මැතිවරණ දෙකේ දී ම මෙතෙක් දකින්නට නොලැබුණු තරම් ජනකායක් චන්දපොල වෙත ඇදී ඒම දකින්නට හැකියාව ලැබිණ. එසේම තැපෑලෙන් යවන ලද චන්ද සංඛ්‍යාව මේ වෙද්දී වාර්තාගත ලෙසින් ඉහළ ගොස් ඇත.

යම් පක්ෂයක යැයි කියාගන්නා අය සියල්ලන්ම චන්ද පොලට ගියොත් ඒ පක්ෂය අනිවාර්යෙන්ම ජයග්‍රහණය ලබයි. නමුත් ඇමෙරිකන් චන්ද බලය ඇති අයගෙන් සාමාන්‍යයෙන් චන්දය ප්‍රකාශ කරන්නේ බාගයකට යාන්තම් වැඩි සංඛ්‍යාවක් පමණි. ජනාධිපතිවරයා හැටියට කවුරු පත් වුවත් රටේ ව්‍යවස්ථාව සියල්ලන්ටම සාධාරණයක් ඉටු කරන නිසා රට එතරම් වෙනසකට භාජනය නොවෙනවා යැයි දැඩි විශ්වාසය ඊට ප්‍රධාන හේතුවයි.

වාර්තා තබාගන්නට පටන් ගත් පසුව එනම් 1828 සිට අද දක්වා පැවති ඇමෙරිකන් මැතිවරණ ඉතිහාසයේ 80% කට වැඩි සංඛ්‍යාවක් චන්ද පොළට යන ලද අවස්ථා තුනක් ඇත. පළමුවැන්න, ”1837 භීතිය” න් පසුව ආර්ථිකය නැවත ස්ථාවරයකට පත් නොවී තිබිය දී ය. දෙවැන්න, සිවිල් යුද්ධයට උත්ප්‍රේරකයක් වූ ඒබ්‍රහම් ලින්කන් ජනාධිපති තනතුරට පත්වෙන ලද 1860 නොවැම්බර් 6 වැනිදා මැතිවරණයයි. වාර්තාගත ඉහළම සංඛ්‍යාවක් චන්ද පොළට යන්නේ 1876 නොවැම්බර් 7 වැනිදාය. මැතිවරණ ප්‍රතිඵල ගැන වැඩියෙන්ම වියවුල් ඇති ඇමෙරිකන් ජනාධිපතිවරණය එයයි. අද දක්වාම, අඩුම ‘දිස්ත්‍රික්ක චන්ද’ වාර්තා වූ ඒත් ජනතාව 81.8% ලෙසින් වැඩියෙන්ම චන්දය ප්‍රකාශ කරන ලද මැතිවරණය එයයි. අවසානයේ දී, රිපබ්ලිකන් පක්ෂයේ රුතෆෝර්ඩ් බී. හේස් ජනාධිපති යැයි පිළිගැනීම සිදු වූයේ ඩෙමොක්‍රැටික් පක්ෂය විසින් ‘ප්‍රතිසංස්කරණ” නවත්වා දැමීමත් සහ දකුණේ ෆෙඩරල් හමුදා භටයන් ඉවත් කිරීමත් සඳහා කේවල් කිරීමෙන් පසුවයි.

ඉතාමත් තියුණු ලෙසකින් දේශපාලන පක්ෂ දෙක අනුව රට බෙදී ඇති 2020 දී ඒත් චන්දදායකයන් අතරින් 80% ක් චන්දය ප්‍රකාශ කරාවි යැයි අපේක්ෂා කළ නොහැකියි.

2016 දී ට්‍රම්ප් වෙත අප්‍රසාදය දක්වන ලද්දේ ඩෙමොක්‍රැටික් පක්ෂයේ අය පමණක් නොවේ. පසුගිය මැතිවරණයේ දී රිපබ්ලිකන් පක්ෂයේ බොහොම දෙනෙක් ඔහුට චන්දය දී නැත. ඒත් මෙවර ඔහුට රිපබ්ලිකන් පක්ෂයේ වැඩි පිරිසක් චන්දය දෙන්නට ඉදිරිපත්ව සිටිති.

නොවැම්බර් 3 වැනිදා මමත් නැවතත් චන්ද පොලේ වැඩට යමි. අපේ ප්‍රාන්තයේ ජනාධිපතිවරණ ‘දිස්ත්‍රික්ක චන්ද’ 3 ක් ඇත. ජෝ බයිඩන්ට ජය ගනීවිද?

2 Responses

Subscribe to comments with RSS.

  1. N. Indula said, on ඔක්තෝබර් 26, 2020 at 12:30 ප.ව.

    ට්‍රම්ප් දිනන්න නම් Texas & Florida ප්‍රාන්ත අනිවාර්යෙනුත්, Ohio, Wisconsin, Michigan, Pennsylvania යන ප්‍රාන්ත වලින් states 3 වත් දිනාගත යුතුයි. ඇමරිකාවෙ සුදු ජාතිකයින් (හා විශේසයෙන්ම සුදු ජාතික පිරිමින් ) නොවන අය ආගමානුකූලව වගේ Democratic පක්ෂයට චන්දය දෙන බව පෙනවා…. ඇත්තටම සුලු ජාතිකයෙකු හෝ කාන්තාවක වීම ජීවිතයට බාධාවක් නොවන (හා affirmative action policies නිසා minority වීම වාසියක් වෙන ) ඇමරිකාවේ Republican පක්ෂයට minority votes වැඩියෙන් නොලැබීම ඒ පක්ෂයේ දුර්වලතාවක් නොවෙද?

    • arunishapiro said, on ඔක්තෝබර් 27, 2020 at 10:40 පෙ.ව.

      N. Indula,

      මම දකින විදියට “ආගමානුකූලව වගේ” ඩෙමොක්‍රැටික් පක්ෂයට වැඩියෙන් චන්දය දෙන්නෙ හැම වයසකම ඉන්න සුදු හමැති කාන්තාවන්. මේ දිනවල කළු හමැති අය වාර්තාගත සංඛ්‍යා වලින් ට්‍රම්ප් ගැන ප්‍රසිද්ධියේ කැමැත්ත දක්වන බව පෙනී යනව. ඒක මීට කළින් කිසිම රිපබ්ලිකන් අපේක්ෂකයෙක් සම්බන්ධයෙන් දකින්න නොලැබුණ දෙයක්. ‘සුලු ජාතික’ හෝ ‘කාන්තා’ චන්ද රිපබ්ලිකන් පක්ෂයට ලැබෙන්නෙ නැහැ කියන එක මම පිළිගන්නෙ නැහැ. සුදු පිරිමි පුරවැසියන් වෙතින් පමණක් දිනත හැකියාවක් කිසිදු පක්ෂයකට නැහැ. රටේ චන්දය දාන්න ඇත්තටම යන්නෙ 50% කට ඩිංගක් වැඩි සංඛ්‍යාවක් නිසා රිපබ්ලිකන් පක්ෂය දිනපු හැම අවස්ථාවක දී ම, රේගන්, බුෂ් තාත්තා, බුෂ් පුතා, සහ ට්‍රම්ප් සඳහා සුදු හමැති පිරිමින්ට අමතරව අනෙකුත් කණ්ඩායම් ද රිපබ්ලිකන් පක්ෂයට චන්දය දීලා තියෙනව.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: