අරුණි ශපීරෝ‍ වෙතින්

පැත්තක් නොගෙන ප්‍රවෘත්ති ප්‍රචාරය වීමක් ලෝකයේ කවදා හෝ සිද්ධ වූවාද?

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 27, 2020

අදහස් උදහස් වලින් අයෙක් එල්බ ගත් මතවාදය හඳුනාගන්නට නම් ඔවුන් පක්ෂපාතී වෙන සහ විරෝධය දක්වන සිද්ධීන්, කරුණු, සංකල්ප දිහා අවධානය යොමු කළ යුතුයි. ලිබටේරියන් යැයි කියා ගන්නා අයෙක් රාජ්‍ය බලය වැඩි කරන කටයුතු සඳහා පෙනී සිටිනවා නම් ඒ පුද්ගලයා ලිබටේරියන් මතවාදය අගයන අයෙක් නොවේ.

දැඩි වාම අදහස් ඇති අය පහසුවෙන් හඳුනාගත හැකි වුවත් වමට බර, මධ්‍යස්ථ, සහ දකුණට බර යැයි කියාගන්නා අයව තෝරා බේරා ගැනීම අපහසු වූවකි. මධ්‍යස්ථ මතවාදීන් යැයි කියාගන්නා අය දකුණේ සහ වමේ අදහස් පොදු මතයක් බවට හැරෙන තෙක් ඒ ගැන අදහස් දැක්වීමට පසුබට වෙති. මධ්‍යස්ථ ප්‍රවෘත්ති ප්‍රචාරයේ යෙදෙනවා යැයි කියාගත් ජනමාධ්‍ය ද එසේම කටයුතු කරති. උදාහරණයක් හැටියට විසිවැනි සියවස පුරාම සමරිසියන්ගේ පැත්තෙන් තතු වාර්තා කිරීමෙන් මධ්‍යස්ථ ප්‍රවෘත්ති සේවා අයින් වී සිටියහ.

ලෝකයේ සැබැවින් දිග හැරෙන්නේ කුමන තත්වයක් දැයි හඳුනාගැනීම අතපසු කරන්නට නොහැකි පුද්ගලයා ව්‍යාපාරිකයාය. මන්ද, අනාගත වෙළඳපොල තුළ ඇතිවන තත්වයන්ට මුහුණ දෙනු පිණිස දැන් තීරණ ගත යුතු නිසයි. ඉතින් අනාගතය සඳහා තීරණ අද ගත යුතු අය වම, වමට බර, මධ්‍යස්ථ, දකුණට බර, දකුණ, යන පැති වලින් ඉදිරිපත් කරන තොරතුරු ගැන අවධානය යොමු කළ යුතුයි.

තමන් වාසය කරන රටේ ඇති ජනමාධ්‍ය බෙදාහරින ප්‍රවෘත්ති වලින් තමන්ගේ සිතට සතුටක් ඇති කරන නිසා පමණින් විශ්වාස කිරීමෙන්, එනම් පැත්තේ මතවාදයට පමණක් සවන් දීමෙන් අවසානයේ අමාරුවේ වැටෙන්නේ තමන්මයි. හැම පැත්තක්ම ගෙනෙන තොරතුරු සොයා බැලීමෙන් පසුව පමණක් තමන්ගේ මතය හදා ගැනීම නිසා තමන් සඳහා වඩාත්ම නිවැරදි තීරණ ගැනීමට පුද්ගලයාට හැකියාව ලැබේ.

2020 ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී, ජෝ බයිඩන්ගේ පවුලේ ව්‍යාපාර ගැන ජනාධිපතිවරුන් අතර පැවති දෙවැනි විවාදයේ දී සඳහනක් සිදු විය. ඒත් ඒ හා දිග හැරෙන ලද ප්‍රවෘත්ති බොහොමයක් ට්විටර්, ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් යනාදියෙන් අවහිර වූහ. ෆේස්බුක් හරහා ඒ ගැන දක්ෂිණාංශ ‘ඇමෙරිකන් ස්පෙක්ටේටර්’ විසින් හෙළිකරන ලද කිසිවක් බෙදා ගැනීම මුළුමනින්ම අවහිර කෙරුණි. විවාදයෙන් පසුව ජෝ බයිඩන්ගේ පුතා වූ හන්ටර් බයිඩන් විසින් හෙරොයින් උරමින් ළාබාල කාන්තාවක් මෙන් පෙනෙන අයෙක් සමඟ හැසිරෙන ලිංගික විඩියෝව දකින්නට ජනතාවට ලැබිණ. ජෝ බයිඩන් සහ චීන අගමැතිවරයා පෙනී සිටින ඡායාරූප ද දවස් දෙකක් යනතුරු ෆේස්බුක් හරහා කිසිවෙකුට බෙදාගන්නට නොහැකි තත්වයක් ඇති විය.

රුසියාව සමඟ කූට ගණුදෙනු කරන ලදැයි ට්‍රම්ප් බලයෙන් පහකරන්නට ගෙනෙන ලද සියළු වෑයම් අසාර්ථක වීම දිගින් දිගටම ඇමෙරිකන් ජනමාධ්‍ය සහ සෝෂල් මීඩියා වලින් ප්‍රචාරය වුවත්, මැතිවරණයට සති කිහිපයක් තිබිය දී සොයා ගැනෙන බයිඩන් පවුල විසින් චීනයේ අතකොළු බවට පත්ව ඇතැයි යන ප්‍රවෘත්ති දැනගන්නට ලැබෙන්නේ ප්‍රවෘත්ති බෙදා හරින තැන් අල්පයකින් පමණි.

ඇමෙරිකාවේ ඕනෑම සේවා ස්ථානයකට යමක් අලුත්වැඩියා කිරීම සඳහා බාර දෙන විට ලැබෙන ගිවිසුමක් ඇත. නියමිත කාලය ඇතුලත දී එහි වැය ගෙවා ආපහු ලබා නොගත්තේ නම් ඒ භාණ්ඩය අලුත්වැඩියා කරන ස්ථානයේ අයිතියට පත්වේ. ජෝ බයිඩන්ගේ පුත් හන්ටර් බයිඩන් විසින් කොම්පියුටර් ලැප් ටොප් එකක් ඩෙලවෙයාර් හි කඩයකට දී එය නැවත ලබාගැනීම අත්හැර දමා තිබුණි. කඩේ අයිතිකරුවා එය පිරික්සා කර බලද්දී එහි ඇති තොරතුරු පිළිබඳව පොලීසිය සහ FBI දැනුවත් කර ඇත. එපමණක් නොව, ඔහු තම ආරක්ෂාව සඳහා කොපි තබාගෙන ඇත.

ට්‍රම්ප් සහ බයිඩන් අතර පැවත්වෙන දෙවැනි විවාදයට පෙර, හන්ටර් බයිඩන් සමඟ හවුලේ ව්‍යාපාර කටයුතු කළ අයෙක් තමන් සතු මොබයිල් ෆෝන් සහ ඊමේල් ඉදිරිපත් කරමින් හන්ටර් කරන ලද සියළු දේවල් ගැන ඔහුගේ පියා වූ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් හොඳින් දැන සිටියේ යැයි මාධ්‍ය ප්‍රකාශයක් ඉදිරිපත් කළේය. පසුගියදා අපේ පළාතේ සිටින ට්‍රම්ප් පාක්ෂිකයෙක්, පළාත් සංවිධායක, සහ ප්‍රාන්ත කොංග්‍රස් සභිකයෙක් මාධ්‍ය හෙළිදරව්වකින් කියා සිටියේ බැංකු ගණුදෙනු ගැන, එනම් චීනයෙන් එවන ලද විශාල මුදල් ප්‍රමාණයන් ගැන ඇසින් දුටු සාක්ෂිකාරියක් ඉදිරියට පැමිණ සිටින වගයි.

ඩෙලවෙයාර් ප්‍රාන්තයේ බැංකු ඒවායේ පෞද්ගලික ගිණුම් කටයුතු දැඩි රහසිගත බවකින් ආරක්ෂා කරති. ස්විට්ස්සර්ලන්තය හා සමාන නීති ඇති නිසා ඩෙලවෙයාර් ප්‍රාන්තය බොහෝ සාමාගම් විසින් බැංකු කටයුතු සඳහා ප්‍රිය කරන්නකි.

මේ තොරතුරු හෙළිදරව් වන්නට පටන් ගත් පසුව රස්මූසන් ජනමත විවරණ අඩවිය අලුත් මත විමසීමක් ඉදිරිපත් කරමින් 2020 මැතිවරණයේ ප්‍රථම වතාවට ට්‍රම්ප් ඉදිරියෙන් සිටිනවා යැයි දක්වන ලදි.

කෙසේ නමුදු, මේ නිසා ට්‍රම්ප් සැබැවින්ම ඉදිරියට ඇවිත් සිටිනවාද, නැත්නම් පසුගිය මැතිවරණයෙන් පසුව එදා සිටි ‘නිහඬ බහුතරය’ වෙතට තවත් පිරිසක් ඒ වන විට ද එකතු වී සිටියාද, ඒ ගැන ජනමාධ්‍ය ප්‍රචාරය කිරීම හැකි තාක් කල් කල් යවමින් සිටියා ද, යනාදී ප්‍රශ්න මතුවේ. ට්‍රම්ප් සැබැවින්ම ඉදිරියෙන් සිටිනවාද යන ප්‍රශ්නයට පිළිතුර තව දින කිහිපයකින් දැනගන්නට ලැබුණත්, අනෙක් ප්‍රශ්න සඳහා පිළිතුරු අපිට දැනගන්නට හැකියාවක් නැත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: