අරුණි ශපීරෝ‍ වෙතින්

ජෝ සහ ජො

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 28, 2020

ජෝ බයිඩන් (Joe Biden) වසර 8 ක් ඇමෙරිකාවේ උප ජනාධිපතිවරයාව සිටියේය. 1973 සිට ඩෙලවෙයාර් ප්‍රාන්තයෙන් පත්ව උප ජනාධිපති තනතුර තෙක් වසර 35 ක් ඔහු සෙනෙට් සභිකයෙක් ලෙසින් කටයුතු කරන ලද්දේය.

ජො ජෝගන්සන් (Jo Jorgensen) IBM කොම්පැණියේ අලෙවි නියෝජිතවරියක් ලෙසින් වෘත්තීයට පිවිසීය. අනතුරුව ඇය මෘදුකාංග අලෙවි කරන ව්‍යාපාරයක් 1983 දී දකුණු කැරලයිනාවේ ඇරඹීය. ඇය ක්ලෙම්සන් විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරියකි. 1992 දී දකුණු කැරලයිනාවේ 4 වැනි දිස්ත්‍රික්කයේ ලිබටේරියන් නාම යෝජනාවෙන් තරඟ කර පරාජය වූවාය. 1996 දී උප ජනාධිපති හැටියට ලිබටේරියන් පක්ෂයෙන් නාම යෝජනා ලද්දා වූ ද ජෝගන්සන් 2020 දී ලිබටේරියන් පක්ෂයෙන් ජනාධිපතිවරණයට පෙනී සිටින අපේක්ෂිකාවයි. ඔව්, 2020 ජනාධිපතිවරණයේ කාන්තාවක් තරඟ කරනවා, නමුත් දේශපාලනයේ කාන්තා නියෝජනය වෙනුවෙන් පෙනී සිටිනවා යැයි කියන ලෝකයේ බහුතරය ඇය ගැන සඳහනක් කරනවා දකින්නට නැහැ.

කළු හමැති අය දීර්ඝ කාලීන සිරබාරයට යැවෙන ලද ‘ප්‍රචණ්ඩ අපරාධ පාලනය සහ නීතිය බලාත්මක කිරීමේ 1994 පනත” ගෙනෙන සෙනෙට් කමිටුවේ ප්‍රධානියා ජෝ බයිඩන් වූයේය. එවක දී බයිඩන් එය “1994 බයිඩන් අපරාධ පනත” යැයි හැඳින්වීය. ජනාධිපති හැටියට බිල් ක්ලින්ටන් රට වටා යද්දී මේ පොලිස් නිලධාරීන් ලක්ෂයක් අලුතින් බඳවා ගැනීමට හැකියාව ලැබුණා වූ, සහ ඇමෙරිකන් ඩොලර් බිලියන 8.7 ක් වසර හයක් තුළ ප්‍රාන්ත වලට සිරගෙවල් වැඩියෙන් හැදීම සඳහා ෆෙඩරල් රජයෙන් වෙන් කරන ලද පනත, තමා කළ හපන්කමක් යැයි කියන ලදි.

වැඩියෙන් සිරගෙවල් හදන්නට මුදල් වෙන්කර තිබිය දී, සිරගෙදරට යවත හැකි අපරාධ ද වැඩි වූහ. එපමණක් නොව දත්ත පෙන්වන්නේ ඒ වෙද්දී අපරාධ ඉහළින්ම දැකිය හැකි වූ කාලය 1991 දී සිද්ධ වී ඇති බවත්, 1994 වෙද්දී එය පහළට යමින් පැවති බවත්ය.

හිලරි ක්ලින්ටන් ජනාධිපතිවරණයට තරඟ කරද්දී, 2015 දී බිල් ක්ලින්ටන් විසින් එම පනත අත්සන් කිරීමෙන් තත්වය නරක අතට හරවන්නට තමන් දායක වූවා යැයි NAACP වාර්ෂික රැස්වීමේ දී කියා සිටියේය. 2016 දී බිල් ක්ලින්ටන් නීතියේ වරද බයිඩන් පිට පැටවීය.

1990 සිට 2005 දක්වා සිරගෙවල් සංඛ්‍යාව සියයට 43 කින් වැඩි විය. සිරබාරයේ සාමාන්‍යයෙන් රඳවා ගන්නා කාලය සියයට 35 කින් ඉහළ යන ලද අතර, ප්‍රාන්ත කිහිපයක එය සියයට 50 කින් ඉහළ යන ලදි. වර්තමානයේ ඇමෙරිකාවේ සිරගෙවල් තුළ සිටින සංඛ්‍යාව ලෝක ජනගහණයෙන් සියයට 5 ක් බවට පත්ව ඇත.

නොමිලේ සපයන සෞඛ්‍ය සේවය ගැන පුරසාරම් දොඩමින් ඒත් හැමදාම මුදල් ගෙවා දොස්තරවරු වෙතට යන ලංකාවේ වාසය කරන අය පවා ඔබාමා සෞඛ්‍ය පනත එද්දී එය අගයන ලදි. රජය මාර්ගයෙන් බෙදන්නට යෑම නිසා අද බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය අංශය වැටී ඇති දුර්වල තත්වය ගැන සංවාද කරන අය වැඩියෙන් ඉන්නේ එරට ඇඩම් ස්මිත් ආයතනයේය. ඔබාමා සෞඛ්‍ය පනත ගෙනෙන ව්‍යසනය මම මේ බ්ලොග් අඩවියේ එදා ලියා ඇත. අද ජෝ බයිඩන් විසින් සෞඛ්‍ය සඳහා ‘බයිඩන් පනත’ ගෙනෙනවා යැයි කියයි. ට්‍රම්ප් තුළ ඇති මමංකාරය ගැන විවේචන නිතර අහන්නට ලැබුණත්, පනතක් තමන්ගේ නමින්ම හඳුන්වද්දී එය මමංකාරයක් හැටියට වමේ අය කිසිවිටෙක නොදකින්නේ ඇයි?

වෙළඳපොලට රාජ්‍ය මැදිහත්වෙද්දී ප්‍රතිඵලය ව්‍යසනකාරී යැයි කියද්දී එය මෙසේ යළි යළිත් ඈත ඉතිහාසයෙන් සහ මෑත ඉතිහාසයෙන් උදාහරණ සපයනවා වුවත් ඒවා පිළිගැනීමට අකමැති අය බොහෝ වෙති. ඔවුනට අනුව පහළ යමින් පවතින ප්‍රචණ්ඩ අපරාධ මැඬලීම සඳහා සිරගෙවල් වැඩියෙන් හැදීමෙන්, ඊට කළින් දීර්ඝ කාලීන සිර දඬුවම් නොලැබෙන අයත් සිරගත වීම කමක් නැත. ඔවුනට අනුව ඔබාමා සෞඛ්‍ය පනත අසාර්ථක වුවත් බයිඩන් සෞඛ්‍ය පනත සාර්ථක විය හැකියාව ඉහළයි.

විසල් ආණ්ඩු බලයෙන් ස්ථාපිත කරන ලද මේ පනත් සහ වැඩ සටහන් නිසා ගැටළු නිර්මාණය කරන ලදැයි ද, ඒවා විසඳන්නට නම් ආණ්ඩුව කුඩා, ඉතාමත්, ඉතාමත්, කුඩා තත්වයකට ගෙන යා යුතු යැයි ජෝ ජෝගන්සන් පෙනී සිටියි.

සෞඛ්‍ය සේවය තුළ රාජ්‍ය සහ රක්ෂණ සංස්ථා ලියකියැවිලි අඩු කිරීමෙන් සහ සැබෑ මිල ගණන් තරඟයක් තුළින් වැය 75% කින් අඩු කරන්නට හැකි යැයි ඇය කියන්න අහන්නට කැමැත්තේ සැබෑ වෙළඳපොල තරඟයට කැමති අල්පය පමණි.

බයිඩන් සහ ට්‍රම්ප් දෙදෙනා වෙනුවට කදිම විකල්පයක් ජෝ ජෝගන්සන් විසින් ඉදිරිපත් කළ ද, පසුගිය මැතිවරණ වලටත් වැඩියෙන් මෙවර මැතිවරණයේ දී විකල්ප අපේක්ෂකයන් වෙත යන චන්ද බාගයකින් අඩුවී ඇතැයි කියැවේ. එනම්, 2% ක් ලබාගත් විකල්ප අපේක්ෂකයන් වෙත මෙවර චන්ද යන්නේ 1% ක් පමණක් යැයි කියැවේ. බයිඩන් වමට වඩාත්ම බර වූ අපේක්ෂකයා හැටියට දැකීම ඊට හේතුවකි. ට්‍රම්ප් රිපබ්ලිකන් පක්ෂය බේරා ගන්නට පැමිණි ජනතාවගේ නායකයෙක් හැටියට දැකීමත් තවත් හේතුවකි. ජෝ ජෝගන්සන් පෙනී සිටින සියළු දේශපාලන ස්ථාවරයන්ට දක්ෂිණාංශයේ චන්දදායකයන් බොහොමයක් වැඩියෙන් කැමැත්ත දැක්වූවත්, තව දුරටත් වමට බරවීම වළක්වා ගැනීම සඳහා ට්‍රම්ප්ගේ මමංකාරය සහ නිව් යෝර්ක් උඬඟු හැදියාව පිළිබඳව නැහැය වසාගෙන චන්දය දෙන්නට යනු ඇතැයි පෙනී යයි.

හැම මැතිවරණයක්ම අතිශයෙන් තීරණාත්මක වූ ලෙසින් පිළිගැන්වීම දේශපාලන පක්ෂවල ගතියකි. පක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුරු වුවත් පක්ෂයට චන්දය ලබාගැනීම සඳහා රට මුහුණ දිය හැකි අනතුරුදායක තත්වය ගැන පමණක් දේශපාලන පක්ෂය විසින් උලුප්පා දක්වයි. ඒත් රටේ සමෘද්ධිය සිද්ධ වෙන්නේ කුමන ප්‍රතිපත්තිවල නියැළීම නිසාදැයි පෙන්වා දෙන දේශපාලන පක්ෂයක් ඇත්නම්, එයින් රටේ පාලන බලය ලබාගන්නා අය කවුරුන් වුවත්, ඔවුන් වෙත යම් බලපෑමක් කරන්නට හැකියාවක් ලැබේවිද? තවත් විදියකින් කිව්වොත්, රේගන්, බුෂ් තාත්තා, බුෂ් පුතා යනාදී ආණ්ඩුව විසල් කරන්නට සහ යුද්ධ වලට හනිකට ඇදී ගිය ජනාධිපතිවරුන් වෙනුවට පළමුවෙන් රිපබ්ලිකන් පක්ෂයේ අය විසින් සහ දෙවැනුව රටේ ජනතාව විසින් ට්‍රම්ප් තෝරා ගැනීම පෙන්වන්නේ අනතුරුව අත් වූ පරාජයන් වලින් පක්ෂයක් හැටියට ඔවුන් යමක් ඉගෙන ගත්තා කියාද?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: