අරුණි ශපීරෝ‍ වෙතින්

සාර්ථක ප්‍රතිපත්ති සහ අසාර්ථක ප්‍රතිපත්ති

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 30, 2020

තෙවැනි කාර්තුවේ දී ඇමෙරිකාවේ දළ ජාතික නිෂ්පාදිතය 33.1% ක වාර්ෂික වේගයකින් කඩිනම් ඉහළ යෑමක් දකින්නට ඇතැයි වානිජ්‍ය දෙපාර්තමේන්තුව වාර්තා කරන ලදි. එයට බෙහෙවින් දායක වී ඇත්තේ ව්‍යාපාර සහ ගෙවල් හැදීම සඳහා ආයෝජන මහත් ලෙසින් වැඩි වීමත්, එසේම දෙවැනි කාර්තුවේ ඉතාමත් පහළ ගිය පාරිභෝගිකයන් භාණ්ඩ මිල දී ගැනීම යළි ඉහළ යෑමත් නිසයි.

සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් කියා සමහර ප්‍රාන්ත සහ නගර දැඩි නීති රෙගුලාසි ගෙනෙන ලදි. එහි දී සැබැවින්ම සෞඛ්‍ය ආරක්ෂාව සලසන ලද ප්‍රතිපත්ති නැති තරම්. කුඩා ව්‍යාපාර මුලින්ම නැතිවී ගියහ. කලා ක්ෂේත්‍රයේ, විශේෂයෙන්ම නිව් යෝර්ක් නගරයේ බ්‍රෝඩ්වේ සංදර්ශන අපි එදා නරඹන්නට ගිය මට්ටමින් යළි කවදා දකින්නට ලැබේවිදැයි කිව නොහැකියි.

නිව් යෝර්ක් සහ චිකාගෝ වැනි විශාල නගරවල වාසය කළ අභිවාහ්‍ය කලා (performing arts) වෘත්තියේ සිටින තරුණ පිරිමි කණ්ඩායමක් මට පසුගියදා ටෙක්සාස් ප්‍රාන්තයේ ඔස්ටින් නගරයේ දී හමුවිණ. වයස 18-26 ත් අතර සිටි ඔවුන් සිය කුසලතා දක්වන්නට සහ ප්‍රගුණ කරන්නට නොහැකියාව නිසා මානසිකව වැටී සිටියහ. එසේම වෙනත් රැකියා වලින් මුදල් උපයමින් ඔවුන්ගේ සතුට වූ කලාවේ යෙදීමට නොහැකියාව නිසා ආර්ථික අතින් ද අසරණ වී සිටියහ. ඔවුන් ඔස්ටින් නගරයට ඇදී ආවේ එහි දී ඔවුන්ගේ කුසලතා දක්වන්නට සහ ප්‍රගුණ කරන්නට විවෘත ස්ථාන ඇති බව දැන ගනිද්දීය.

ඒ තරුණ අය බොහොමයක් තමන් දන්නා කියන අයගේ නිවහන් තුළ ජීවත් වෙති. මන්ද, මාර්තු මාසයේ සිට ඔවුනට ඔවුන්ගේ වෘත්තියෙන් හෝ අමතර රැකියා වලින් ආදායම් කිසිවක් නොලැබුණු නිසයි. මාර්තු මාසයේ සිට අහිමි වූ ‘නැටුම් පංති’ ගැන කියද්දී එක් තරුණයෙක්ගේ ඇස් වලට කඳුළු උනනවා බලා සිටියෙමි. වයස 18 ක් පමණ වූ ඒ තරුණයාට මාර්තු මාසයෙන් පසුව තමන්ට සහභාගී වන්නට ලැබෙන ලද ප්‍රථම නැටුම් පංතිය ලැබෙන්නේ ඔක්තෝබර් අග දී ය. පංතිය අවසන් වෙද්දී ඊට පෙර එකිනෙකා නොදැන සිටි ඒ තරුණ පිරිමි කණ්ඩායම අලුත් නගරයක දී අලුත් සහෝදරත්වයක් ගොඩනඟා ගෙන තිබුණහ.

අභිවාහ්‍ය කලා සඳහා එක් ප්‍රාන්තයක තහනම් වුවත් තවත් ප්‍රාන්තයක ඊට ඇති ඉඩකඩ ගැන කිසිවෙක් ප්‍රසිද්ධියේ කතා නොකළ ද කලාකරුවා ඒවා සොයාගෙන ඒ වෙත ඇදී යන ආකාරයත් දැකගන්නට ලැබිණ.

ඇමෙරිකන් රජය විසින් කලාව සඳහා යැයි ඇමෙරිකන් ඩොලර් මිලියන 75 ක හදිසි සහනාධාර වෙන් කරනු ලැබුවත්, ඒවා ගියේ ‘අභිවාහ්‍ය කලා උදෙසා වූ ජෝන් එෆ්. කෙනඩි කේන්ද්‍රයට’ ඩොලර් මිලියන 25 ක් යනාදී වශයෙන් මිසක තමන් විසින් තම හැකියාවන් දියුණු කරගන්නට තනිවම වෙහෙසමින් කාටවත් බරක් නැතිව කටයුතු කරන ලද මිලියන ගණනක කලාකරුවන්ට නොවේ.

මේ දිනවල විශාල නගර වලින් අපේ ගම පැත්තට ඇදී ආ ජනතාව කොතරම් දැයි කිවහොත්, විකිණීම සඳහා උදේ ඉදිරිපත් කරන නිවාස හවස හය වෙද්දී විකිණී අවසන් වෙති. ඩොලර් ලක්ෂ තුනක නිවසක් අද ඩොලර් ලක්ෂ පහකට විකිණීම පහසු වී ඇත. අලුත් නිවාස ඉදිකිරීම සඳහා ‘බිල්ඩින් පර්මිට්’ ඉල්ලුම ඒවා නිකුත් කරන කාර්යාලයට හසුරුවා ගත නොහැකි තරමට වැඩි වී ඇත. ගොඩනැඟිලි ඉදි කිරීමට භාවිතා කරන දැව හිඟය තවමත් පවතියි.

නිවහන් අලංකාර කරන්නට මිල දී ගන්නා විසිතුරු භාණ්ඩ එවැනි කඩ වලින් පිටවී යන්නේ රාක්ක වල බඩු අහුරන්නටත් කළින්. එැවනි කඩ තුළ සැරිසැරීමේ දී නත්තල් කළින් ඇවිත් යන හැඟීම ඇතිවේ.

නිදහස් ඉඩකඩක් නැතිවීම නිසා සමහර නගර පරිහානියට යද්දී නිදහස් ඉඩකඩක් පැවතීම නිසා තවත් නගර දියුණු වෙන ආකාරය මේ කාලයේ දී පැහැදිලිවම දැක ගන්නට හැකියාව ලැබේ.

කෝවිඩ්-19 වසංගතය කියමින් කර්කශ නීති ගෙනෙන ලද ප්‍රාන්ත, නගර වලින් ඉවත්ව ගියේ නිදහස් වෙළඳපොල අගයන අය පමණක් නොවේ. ඉතාමත් දැඩි වාමාංශික මතධාරීන් පවා තමන්ගේ පෞද්ගලික වත්කම් අඩුවෙන බව දකිද්දී, තමන්ගේ ජීවිතයේ සුවපහසුවට අවස්ථා අඩු වී යන ආකාරය දකිද්දී, ඒ කර්කශ නීති ගෙනන ලද පැති අත්හැර දමා ගියහ. කිසිදාක ‘බිග් ඇපල්’ අත්හැර යන්නේ නැතැයි තරයේ කියන ලද අය අද වෙළඳපොල නිදහස ඇති පැතිවලට ඇදී යාම දකිද්දී ඔවුන් පාඩමක් ඉගෙන ගත්තා යැයි අයෙක් වරදවා සිතිය හැකියි.

වෙළඳාමට නිදහස නොමැතිකම නිසා හැමදාම දුප්පත් බැවින් සිටින රටවල් වලින් ජීවිතය සමෘද්ධිමත් කරගන්නට අවස්ථා නැතිකම නිසා වෙළඳාමට නිදහස ඇති සමෘද්ධිමත් රටවල් වෙත ඇදී එන ජනකායෙන් සැලකිය යුතු සංඛ්‍යාවක් ඒ තමන්ගේ පෞද්ගලික ජීවිතය සමෘද්ධිමත් වෙන්නේ ඇයි දැයි කියා නොදනිති. ඇමෙරිකාවේ කර්කශ නීති පැනවූ නගර වලින් පිටමං වී යන වැසියන් ද එසේය. ඔවුන් තමන්ට උන් හිටි තැන් අත්හැර දමා එන්නට සිද්ධ වූයේ කුමන නරක ප්‍රතිපත්ති නිසාදැයි කියා වැඩි අවබෝධයක් නැත. ලංකාවෙන් ඇමෙරිකාවට, කැනඩාවට සහ බ්‍රිතාන්‍යයට ඇදී යන මෙන්ම ඔවුන්ද ලංකාවේ අසාර්ථක ප්‍රතිපත්ති මේ රටවල දී සාර්ථක වේ යැයි විශ්වාස කරති.

ඒත්, වෙළඳපොල ආශ්චර්යය එයයි. සමෘද්ධිමත් වීමට හෝ ජීවිතය සාර්ථක කරගැනීමට වෙළඳපොල වැඩ කරන ආකාරය හඳුනාගැනීම අවශ්‍ය නොවේ. දන්නා අයගේ මෙන්ම අගයන අයගේ මෙන්ම, වෙළඳපොල කිසිවෙකුට විශේෂයෙක් නොදක්වා එය හැමදාම කටයුතු කරන ලෙසින් කටයුතු කරයි. එනම් වෙළඳපොලට බාධක අඩුවෙද්දී නිෂ්පාදකයන්ගේ සහ පාරිභෝගිකයන්ගේ ජීවිත සමෘද්ධිමත් කරයි, වෙළඳපොලට බාධක වැඩිවෙද්දී සියල්ලන්ගේම ජීවිත පරිහානියට පත් කරයි. මැදිහත්වීම් වෙනුවෙන් පෙනී සිටින අයව ද කරපින්නාගෙන යමින් ඔවුන්ගේ ජීවිත ද සමෘද්ධිමත් කරයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: