අරුණි ශපීරෝ‍ වෙතින්

කවුද දිනුවේ?

Posted in Uncategorized by arunishapiro on නොවැම්බර් 9, 2020

මෙය ලියද්දී 2020 ඇමෙරිකන් මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල නිල වශයෙන් නිකුත් කර නැත. ඒ ඒ ප්‍රාන්ත සහ නගර විසින් ඡන්ද ප්‍රතිඵල දක්වද්දී ඒවා අනුසාරයෙන් ‘විය හැකි ජයග්‍රහණ’ දැක්වීම මාධ්‍යය විසින් කරනු ලබයි.

දිනුවා යැයි නිල දැනුම් දීම සිදුනොවී ඒත් සෝෂල් මීඩියා මාර්ගයෙන් ජයග්‍රහණයේ පණිවිඩය බෙදාගැනීම පුවත්පත්කලාවේදීන් සහ මාධ්‍යවේදීන් යැයි කියාගන්නා අය අතර වෙනදා මෙන්ම අදත් සිද්ධ වෙමින් පවතී. මෙවර ඒ රැල්ල පටන් ගත්තේ AP, ABC, CNN, සහ NBC යන මාධ්‍යය විසින් පෙන්සිල්වේනියාවේ ‘දිස්ත්‍රික්ක චන්ද’ 20 ජනාධිපති අපේක්ෂක හිටපු උප ජනාධිපති ජෝ බයිඩන් වෙතට ‘විය හැකි’ යන ප්‍රදානය කිරීමත් සමඟයි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ කමිටුව විසින් වංචා සිද්ධ වූ ප්‍රාන්ත සඳහා නඩු පවරා ඇත. නඩු 10 ක් තරම් සංඛ්‍යාවක් ගොනු කරන්නට ඔවුන් සූදානම් වෙමින් සිටිති. ඒ නඩු සියල්ලම දෙසැම්බර් 14 වැනිදාට පෙර විභාග කර අවසන් වීමට නියමිතය. ඒවායෙන් ‘විය හැකි යැයි දක්වන ලද ප්‍රතිඵලයේ’ වෙනසක් සිදු නොවෙන බව බහුතරයේ මතයයි.

ඇමෙරිකන් මහ මැතිවරණයක දී මහජනතාව ප්‍රකාශ කරන ඡන්ද සංඛ්‍යාව අනුව ඒ ඒ පක්ෂයෙන් ‘දිස්ත්‍රික්ක නියෝජිතයන්’ (electors) දෙසැම්බර් 14 වැනිදා ඔවුන්ගේ ප්‍රාන්ත අගනගරයේ දී මුණ ගැසී, මැතිවරණයේ ප්‍රතිඵලය අනුව අපේක්ෂකයා තෝරා ගැනීම සඳහා ඔවුන් තම ඡන්දය දෙනු ලබයි. එම ප්‍රතිඵල එවිට කොංග්‍රසය වෙත ඉදිරිපත් කර කොංග්‍රසය වෙතින් සම්මත වෙයි.

අපේක්ෂා නොකළ තරම් සෙනඟක් ලවා ඡන්ද ප්‍රකාශ කරවන්නට සමත් වූයේ වෙන කවුරුත් නොව ඩොනල්ඩ් ට්‍රම්ප් විසිනි. ඔහුගේ පාක්ෂිකයන් මෙන්ම ඔහුව දැඩි සේ නුරුස්සන අයත් ඡන්දය ප්‍රකාශ කරන්නට මෙවර එක්රොක් වූහ. දැනට ඇති දත්ත අනුව, 66.8% ක් ඡන්ද දායකයන් ඡන්දය ප්‍රකාශයට ඉදිරිපත් වූ බව කියැවේ. එය 1900 න් පසුව දකින ඉහළම ප්‍රතිශතය බවට පත්වනු ඇත.

සාමාන්‍යයෙන් තැපෑලෙන් ඡන්දය ප්‍රකාශයට අවසර ලබාගැනීමට විශේෂ හේතු අවශ්‍යයයි. හමුදා සේවය, ලෙඩ ඇඳේ සිටීම යනාදී හේතු දක්වා එවැන්නකට අවසර ගැනීම දුෂ්කර වූවකි. කෝවිඩ්-19 වසංගතය නිසා ඉල්ලන්නේ නැතිවම ගෙදරටම ඡන්ද පතක් ගෙන්වා ගැනීමට සියල්ලන්ටම අවස්ථාවක් 2020 දී පෑදිණ. ඒ අනුව මෙවර තැපැල් ඡන්ද ප්‍රකාශ කරන ලද සංඛ්‍යාව ඉතා ඉහළ වීම සතුටට මෙන්ම වියවුල් තත්වයට ද ඉඩ පාදන ලද්දයි. එහි දී බොරු ඡන්ද ගැන වියවුලක් ඇතිවේ යැයි ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කලින්ම කියද්දී මාධ්‍යය එය විහිළුවකට ගත් හැටි කැමති අයට සොයා ගත හැකියි.

මම එදා උදේ පාන්දර 5:30 ට ඡන්ද මධ්‍යස්ථානය වෙත ගියෙමි. ඒ වෙද්දී කාන්තාවන් දෙදෙනෙක් දොර අසල බිම වාඩිවී සීතලට ගුලි ගැසී සිටියහ. අපේ මධ්‍යස්ථානයේ 20 ක් පමණ ස්වේච්ඡා සේවකයන් වැඩට වාර්තා කරද්දී පෝලිම ද දික් වන්නට පටන් ගැනිණ. උදෑසන 7 ට ඡන්ද ප්‍රකාශය සඳහා දොර අරිද්දී දෙතුන් සියයක පිරිසක් පෝලිමට එකතු වී සිටියහ.

සාමාන්‍යයෙන් වාහනයෙන් ගොස් දොර අසලින්ම එය නවතා ඇතුළට ඇවිද ගොස් ඡන්දය ප්‍රකාශ කර එළියට එන්නට මිනිත්තු පහක් නොයන ගමේ ඡන්ද මධ්‍යස්ථානය මෙවර පැය එකහමාරක් දෙකක් අතර කාලයක් පෝලිමේ සිටින්නට සිද්ධ වූ තැනක් බවට පත්විය. සවස 8 ට දොර වහන තෙක්ම තත්වය එසේ පැවතියේය. අපේ කටයුතු නිමා වූයේ රාත්‍රී 10:30 ටයි.

මා වාසය කරන Sussex දිස්ත්‍රික්කයේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට ලැබුණ චන්ද ප්‍රමාණය 71,196 ක් වූ අතර ජෝ බයිඩන්ට ලැබුණු ඡන්ද ප්‍රමාණය 56,657 ක් සහ ජෝ ජෝගන්ස්න්ට ලැබුණු ඡන්ද ප්‍රමාණය 1,003 ක් විය. නමුත් ප්‍රාන්තයක් හැටියට සමස්ත වැඩි ඡන්ද ප්‍රමාණය ජෝ බයිඩන්ට ලැබීමත්, ඒ නිසාම දිස්ත්‍රික්ක ඡන්ද 3 ද ඔහුටම ලැබෙනු ඇත.

කෝවිඩ්-19 සඳහා පනවන ලද තහනම් නිසා තමන් විසූ නගර අත්හැර ගමේ පදිංචියට පැමිණි සංඛ්‍යාව මෙහි දී ඡන්දය ප්‍රකාශ කිරීම මෙවර ඡන්දයේ දී දකින්නට ලැබෙන විශේෂ ලක්ෂණයක් වූයේය. ඒ අය අතරින් කොතරම් දෙනෙක් ප්‍රාන්ත දෙකක දී ඡන්දය දුන්නාද, එනම් තැපැල් මඟින් නීති විරෝධී ලෙසින් දෙවරක් ඡන්දය දුන්නා දැයි යනාදී විමර්ශන පසුව පැවැත්වෙනු ඇත. ඒත් එයින් මැතිවරණ ප්‍රතිඵල වෙනස් වේයැයි අපේක්ෂා නොවේ.

රිපබ්ලිකන් පක්ෂයට මහ පුටුව අහිමි විය හැකි වුවත්, නිල් රැල්ලක් එනවා යැයි අනාවැකි කියූ අය බොරුකාරයන් කරවමින් මේ වෙද්දී සෙනෙට් ආසන සහ කොංග්‍රස් ආසන වැඩි කරගන්නට රතු පක්ෂයේ අය සමත්ව සිටින බව පෙනී යයි. එසේම ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් මෙන්ම ප්‍රාන්ත ආණ්ඩු තුළ ද යම් තරමකට ආසන වැඩි කරගන්නටත් රිපබ්ලිකන් පක්ෂය සමත් වෙමින් සිටින බව පෙනී යයි.

ඊ ළඟ කොංග්‍රසයෙන් සහ සෙනෙට් සභාවෙන් ලබන වසර දෙක තුළ දී පහසු සහායක් බයිඩන් හැරිස් දෙපළට ලබාගත හැකිවේවිද යන්න මෙන්ම ඩෙමොක්‍රැටික් පක්ෂය විසින් මෑත කාලයක දී දැඩි සේ නැඹුරු වූ වමෙන් යාන්තමකට හෝ හැරවේවිදැයි යන්නත් ගැන දකින්නට හැකිවනු ඇත.

ලිබටේරියන් පක්ෂයේ ඡන්ද ප්‍රමාණය රිපබ්ලිකන් පක්ෂයට වැටුනේ නම් කරට කර දුවන ලද ජනාධිපති පුටුවේ ජය රිපබ්ලිකන් පක්ෂයට පහසුවෙන් ලැබේ යැයි සමහර අයගේ මතයයි. තවමත් නිල වශයෙන් ප්‍රතිඵල නිකුත් කර නොමැති ඇරිසෝනා, ජෝර්ජියා, නෙවාඩා, සහ පෙන්සිල්වේනියා යන ප්‍රාන්තයන්හි ජෝ ජෝගන්සන් දිනාගත් ප්‍රතිශතය යනු ට්‍රම්ප්ට වැඩියෙන් බයිඩන් ලබා ඇති සමස්ත ප්‍රතිශතයට වඩා වැඩි වූවකි.

වෙනසක් නොකළ හැකි පක්ෂයක් ලෙසින් ලිබටේරියන් පක්ෂය දිහා බලන ආකාරය 2020 න් පසුව වෙනස් වේවිද?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: