තෝර්ස්ටීන් වෙබ්ලන් (Thorstein Veblen) සහ උත්කර්ෂණ පරිභෝජනය
ඇමෙරිකාවේ වැසියන් නොවැම්බර් මාසයේ අන්තිම බ්‍රහස්පතින්දා සමරන ‘ස්තූතිය පුද කිරීමේ’ උත්සවයෙන් පසු දිනය, එනම් කළු සිකුරාදා යැයි හැඳින්වෙන්න, ඊ ළඟට එන නත්තල් උත්සවය වෙනුවෙන් තෑගි මිල දී ගැනීමේ පළමු දිනය හැටියට සාමාන්‍යයෙන් සැලකේ.
මෙම දිනයට කළු සිකුරාදා කියා නම වැටුනේ කෙසේදැයි විමර්ශනය කළ අයෙකුට දැනගන්නට ලැබෙන්නේ 1950 ගණන් වල දී දවස් හතරක නිවාඩුවක් හදාගන්නට ඇමෙරිකන් අය සිකුරාදා දවසේ නිවාඩු ගැනීම නිසා එම සිරිත පටන් ගැනුණ බවයි.
දැන් අපිට ‘බ්ලැක් ෆ්‍රයිඩේ’ දිනයට අමතරව ‘සයිබර් මන්ඩේ’ හෙවත් අන්තර්ජාලය හරහා විශේෂ වාසි ලබාගත හැකි සඳුදා දිනයක් ද, එමෙන්ම ‘ට්‍රැවල් ටියුස්ඩේ’ හෙවත් සංචාරය සඳහා මහත් ලාබදායක වාසි ලබාගත හැකි අඟහරුවාදා දිනයක් බවට ද පත්ව ඇත.
පරිභෝජනය කවුරු කෙලෙසින් කළ යුතුද යන්න ගැන තවත් කෙනෙකුට තීරණය කළ හැකියාව ඇතැයි සිතන අය ලොව එමට සිටිති.
වැය කරන්නේ තම වෙහෙසෙන් උපයා ගන්නා ලද මුදල් නම් ඒවා උපයාගත් අයට රිසි සේ යෙදවීම නිසා සමාජයේ සම්පත් නාස්තියක් වේ යැයි සිතන අය සිටිති. ලංකාවේ සුප්‍රසිද්ධ රූපලාවණ්‍ය ශිල්පියෙකු වන චන්දිමාල් තම උපන්දින සාදය ජයටම පැවැත්වීම එදා ආන්දෝලනාත්මක විය. ඒ ගැන “මේක නාස්තියක් නෙමේද?” කියා පුවත්පත් සම්මුඛ සාකච්ඡාවකින් ද ඔහුගෙන් විමසන ලදි.
ඉතින් අයෙක් තම පෞද්ගලික මුදල් වලින් උත්සව පැවැත්වීම සම්පත් නාස්තියක් යැයි හෙළා දකින අදහස මුලින්ම න්‍යායයක් ලෙසින් ලෝකයට ගෙනෙන ලද්දේ, ඔව්, ඔව්, ඒකත් එන්නේ ඇමෙරිකන්කාරයෙක් ගෙන් තමයි!
ඒ 19 වැනි සියවස අග සහ 20 වැනි සියවස මුල දී ය. ඔහු නමින් තෝර්ස්ටීන් වෙබ්ලන් නම් විය.
ඔහු අර්ථ ශාස්ත්‍ර ක්ෂේත්රයේ හුදු පැත්තකින් පමණක් සිටියෙකි. විස්කොන්සින් ප්‍රාන්තයේ ‘ගොවි’ පවුලකින් එන ඔහු නොර්වේජියන් සම්භවය තිබි අයෙකි. ගෙදර දී නෝවේජියානු බස කතා කරන ලද බැවින් ඔහු ගැටවර විය තෙක් ඉංග්‍රීසි ඉගෙන ගෙන නොතිබුණි.
‘උත්කර්ෂණ පරිභෝජනය’ (conspicuous consumption) යන පද වහර ඔහු ඉදිරිපත් කරන ලද්දකි. ඔහු වඩාත්ම ප්‍රසිද්ධිය ලබාගන්නේ එයටයි. ‘විවේක සුවයෙන් පසුවෙන පංතියේ න්‍යාය” (The Theory of the Leisure Class) යන පොතෙන් ඔහු ඉහත පද වහර ඉදිරිපත් කළේය.
අයෙක් තම සමාජ තත්වය (පංතිය) හෝ නිපුණත්වයන් ගැන අනෙක් අයට කියා පාන ක්‍රමවේදයක් හැටියට උත්කර්ෂණ පරිභෝජනයේ යෙදෙයි. ඉතින් එයට හැකියාව ඇත්තේ විවේක සුවයෙන් පසුවෙන පංතියටයි.
දඩයමේ යෑමේ සහ මසුන් මැරීමේ යෙදී සිටිමෙන් මිනිසා ගොවිතැනට හැරුනේ ඇයි, එහි හේතුව සමාජමය සහ සංස්කෘතිකමය වේයැයි ද, එහෙනම් ඒ සමාජමය සහ සංස්කෘතික හේතු මොනවාදැයි කියා අවබෝධ කරගැනීම වැදගත් යැයි වෙබ්ලන් සැලකීය.
ඒත් ඔහුගේ අදහස් එවක අර්ථ ශාස්ත්‍රඥයන්ගේ අවධානයට පත් වූයේ නැත. ඉතින් හාස්‍යය උපදවන ශෛලියෙන් ‘විවේක සුවයෙන් පසුවෙන පංතියේ න්‍යාය’ යන පොත ඔහු 1899 දී ලියන ලදි. එයින් සමාජ අධ්‍යයනය ආර්ථික විශ්ලේෂණයට ඈඳන්නට හේ සමත් වූයේය.
සමාජ තත්වයක් සොයා යන වෑයම තුළින් මනුෂ්‍ය හැදියාවට අභිප්‍රේරණයක් ලැබෙන්නේ යැයි වෙබ්ලන් කියා සිටියේය.
මෙහි දී අපට වෙබ්ලන්ගේ සමාජ තත්වය ගැන සිහි නොකර සිටීමට නොහැකි යැයි සමාජ අධ්‍යයන ශාස්ත්රවේදියෙකු වන ඩේවිඩ් රීස්මන් පෙන්වා දෙයි. වෙබ්ලන් විසූ නොර්වේජියානු ප්‍රජාව කොතරම් හුදකලාව ජීවත් වුවාද කියතොත් ඔහු එයින් ඉවත්ව යද්දී, “එක අර්ථයකින් එහි දී ඔහු ඇමෙරිකාවට සංක්‍රමණය වූවා,” යැයි ඇමෙරිකන් ඉතිහාසඥයෙක් වූ ජෝර්ජ් එම්. ෆ්‍රෙඩ්රික්සන් කීය.
ඔහුගේ දෙමව්පියන්ට දරුවන් දොළොස්දෙනෙක් සිටියහ. වෙබ්ලන් පවුලේ හතරවැනි දරුවායි. දෙමව්පියන් නෝර්වේ වලින් පැමිණෙන විට ඔවුන් අත වැඩි මුදලක් හෝ අධ්‍යාපනයක් නොතිබුණත්, පියා වඩුවැඩට දක්ෂයෙක් වූයේය. ‘ඇමෙරිකන් සිහිනය’ සාර්ථක වීමෙන් පවුලේ ව්‍යාපාරය සමෘද්ධිමත්ව ඔවුන් තම දරුවන්ව ඉහළ අධ්‍යාපනය වෙත මුදල් ගෙවා යවන්නට සමත් වූහ. වෙබ්ලන්ගේ සහෝදරියක් වූ එමිලි ඇමෙරිකන් විශ්වවිද්‍යාලයකින් උපාධියක් ලබාගන්නට සමත් ප්‍රථම නොර්වේජියානු සංක්‍රමණික තැනැත්තියක් බවට පත්වෙන්නීය. වෙබ්ලන් පවුලේ වැඩිමහල් දරුවා වූ ඇන්ඩෲ වෙබ්ලන් අයෝවා ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ physics ආචාර්යවරයෙක් බවට පත්වෙන අතර ඔහුගේ පුතා පසු කාලයක දී ඇමෙරිකාවේ ප්‍රධාන පෙළේ ගණිතඥයන් අතරට පත්වෙන ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේ ඔස්වෙල්ඩ් වෙබ්ලන් ය.
මිනෙසෝටා හි ලිබරල් ආට්ස් උගන්වන පෞද්ගලික විශ්වවිද්‍යාලයක් වූ කාල්ටන් කොලෙජ්, ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය, යේල් විශ්වවිද්‍යාලය යනාදියෙන් වෙබ්ලන් අධ්‍යාපනය ලබා ඇත. අධ්‍යාපන ක්ෂේත්රය තුළ සේවයට ඔහු දැඩි සේ වෑයම් කළ ද, ඔහුගේ පිළිවෙලක් නැති පෙනුම, සහ ආචාරශීලී නොවූ හැදියාව සමඟ ආගම ගැන ඔහු තුළ වූ සැකය ප්‍රසිද්ධියේ කියා පෑමත් නිසා එවක අධ්‍යාපන ආයතන ඔහුට රැකියාවක් දීමට පසුබට වූහ. ඒ හේතුවෙන් 1884 සිට 1891 දක්වා වෙබ්ලන් තම පවුලේ අයගේ සහ භාර්යාවගේ පවුලේ අයගේ පිහිටෙන් ජීවත් වූයේය.
1892 දී අලුතෙන් හදන ලද චිකාගෝ විශ්වවිද්‍යාලය වෙබ්ලන්ගේ ගුරුවරයෙක් සේවයට බඳවා ගන්නා අතර ඒ මාර්ගයෙන් වෙබ්ලන්ට සහායක ගුරුපත්වීමක් ලැබේ.
ප්‍රාථමික මට්ටමකින් සමාජය කොටස් දෙකකට බෙදී ඇතැයි වෙබ්ලන් කියයි. ව්‍යාපාරිකයන්, නීතීඥයන්, සහ වෙනත් වෘත්තීයවේදීන් සිටින “විවේක සුවයෙන් පසුවන පංතිය,” එක කොටසකි. අනෙක් කොටස “වැඩ කරන පංතියයි”, කලින් කී පංතියේ ධන වස්තූන් ඇතිවෙන්නේ මේ පංතියේ ශ්රමයෙනි.
වැඩ කරන පංතියේ නිෂ්පාද්‍යතාවය තුළින් උසස් පංතියට ඔවුන්ගේ ජවය විවේකී සුවයෙන් පසුවෙන කටයුතු වල යෙදී “උත්කර්ෂවත් පරිභෝජනයේ” යෙදෙන්නට හැකියාව ලැබෙනවා යැයි වෙබ්ලන් කියා සිටියි.
මොනවාද මේ උත්කර්ෂවත් පරිභෝජනයට අයිති දේවල්?
ටෙනිස් ක්‍රීඩාව, අශ්ව රේස්, ආගම, සහ වේදිකා සහ ඔපෙරා වැනි කලා ප්‍රසංග වලට සහභාගී වීම සහ ඉහළ ඝනයේ වස්ත්‍ර හැඳීමයි.
වෙබ්ලන්ට අනුව “අගනා භාණ්ඩ වලින් උත්කර්ෂවත් පරිභෝජනයේ යෙදීම විවේකී සුවයෙන් පසුවෙන පිරිමින්ගේ හොඳ නම පවත්වාගෙන යෑමේ ක්‍රමයයි.”
පහළ පංතිවල සාමාජිකයන් ඒ අතරේ දී තමන්ගේ ‘තත්වය ඉහළ යැයි පෙන්වීම’ සඳහා හැකි සෑම විටෙකම උසස් පංතිවල පරිභෝජන විලාසිතාවන් අනුකරණයේ යෙදෙති.
වෙබ්ලන් මේ න්‍යාය යොදාගත්තේ ධනවාදය විවේචනය කරන්නටයි. වැඩි ප්‍රායෝගික භාණ්ඩ නිෂ්පාදනයෙන් අවධානය වෙනතක යෑම නිසා නිෂ්පාද්‍යතාවය සහ ඉහත සඳහන් ලෙසින් බඩු මිල දී ගැනීමේ කටයුතු යනු සමාජයට නාස්තිකාර වූ ලෙසින් වෙබ්ලන් දැක්වීය.
අර්නස්ට් හෙමින්ග්වේගේ ‘ගැට්ස්බි’ නැත්නම් එෆ්. ස්කොට් ෆිට්ස්ජෙරාල්ඩ්ගේ ‘රබර් චෙක්’ (කලින් ලියූ සටහනක් මෙතැනින්) යනාදියෙන් වෙබ්ලන්ගේ අදහස් ඇමෙරිකන් කලා නිර්මාණයන්ටත් එකතු වූ බව පෙනී යයි.
පරිභෝජනවාදය ගැන වැඩියෙන් කතා කරන අද වාමාංශිකයන් පවා අල්ලාගෙන සිටින්නේ වෙබ්ලන් කියූවයි.
චර්යාමය අර්ථ ශාස්ත්‍රයක් ගැන කතා කරන්නට යන්නේ ද, මිනිස් හැදියාව කුමක්දැයි කලින් පහදා ගත යුත්තකි. සමස්ත සමාජයේ ජීවත්වන සෑම ඒකීය මිනිසෙකු අතරින්ම දකින්නට නොහැකි ලක්ෂණයක් නම්, එය සමාජයක පවතින පොදු මිනිස් හැදියාවක් යැයි කියා සලකන්නට නොහැකියි.
විවේකී සුවයෙන් පසුවෙන ‘උසස් පංතියක්’ ලෝකයේ සිටින්නේ නම්, එයට සත්‍යයෙන්ම අයිති වෙන පුද්ගලයන් සංඛ්‍යාව කොපමණක් වේදැයි කියා ඔබ සිතනවාද?
ජෙෆ් බේසෝස්, ඉලාන් මස්ක්, බිල් ගේට්ස් මෙන්ම ලංකාවේ උපන්දින සාදයක් දමා නාස්තිකාරයෙක් යැයි අහගත්ත චන්දිමාල් ද තම පෞද්ගලික වත්කම් සඳහා ඔවුන්ගේ වෙහෙස මහන්සිය යෙදෙව්වේ වෙනත් සාමාන්‍ය රටවැසියෙකුට වඩා වැඩියෙන් ද අඩුවෙන් ද?
leave a comment